Tuesday, January 6, 2015

එක් සමයක්......



ඔයාව මුල්ම වතාවට හමුවුණු ඒ දවස් කීපය ආයෙත් ඇදලා ගන්න පුළුවන්නම්... මම මුළු ලෝකෙම දීලා හරි ඒ දේ කරනවා මගේ නංගි... ඒ දවස් වල අපි දෙන්නම පුංචි... ඔයා ගැන හරිම ලෙංගතු හැඟීමක් මගේ හිතේ ඇතිවුණත් ඒක කියාගන්න මම පහුබෑවා... ඔයාගෙ හිතෙත් ඒ වගේ හැඟීමක් තිබුණා කියලත් මට එදා දැනුණා... ඒත් ජීවිතේ අපිව මුණගැස්සුවේ ඒවා හිත්වලම හිරකරගන්න බලපෑම් කරලා... ඒත් අදටත් මම තනියම... තවමත් මගේ හිත ඔයා වෙනුවෙන් හූල්ලනවා... අද අපි දෙතැනක... ඔයා කොහේ ඉන්නවද කියලවත් අද මම දන්නේ නැහැ... ඒත් අතීතේ අපි දෙන්න හිටපු ගම මැදින් යද්දී හමන හුළඟේ හීතල මැදින් ඔයා මා ළඟ හිටියනම් කියලා මට තාමත් හිතෙනවා... ගමේ ගස් කොලන්, වෙල් ඉපනැලි, සුන්දර කැලෑව මැදින් වැටුණු ගුරු පාර හින්දා මට මතක් වෙන සුන්දර හැඟීම් කොයි තරම්ද... ඒත් ඒ එකක්වත් සැබෑවක් නොවෙන හීන විතරක් බව දැනෙද්දී තාමත් කාටත් හොරෙන් මට කඳුළු එනවා... ඒ ඔයා වෙනුවෙන් ඇතිවුණු මුල්ම ආදරේ කඳුළු කියලා මට දැනුණත් අද මම ගොඩක් පරක්කු වැඩි... අසම්පූර්ණ ජීවිත ගමනේ ඔයා නැතුවම අද මම ගොඩක් දුර ඇවිත්... ජීවිතේ කියන්නේ අපි කොයි තරම් උත්සාහ කළත් අපිට අවශ්‍යම දේවල් ගොඩකුත් නොලැබී යන දෙයක් කියලා අද මට තේරෙනවා...ඒ ඇත්ත දරාගන්න අමාරු වුණත්...
 

ජීවිතයේ එක් සුහුඹුල් සමයක
මට ඔබ හමුවූවා
ඔබ මා හමුවූවා

හිරිමල් හැඟුමක් සිත් මල් කළඹා
හොරැහින් එබී බලා
දෙහදට කතා කළා

මුවගින් එක වදනක් හෝ නොමැතිව
අප නෙත් යා කරලා
හැඟුමන් කතා කළා

සිත් සැරසූ ඒ හැඟුමන් අතරේ
හිනැහුණු නෙත් රඳවා
සිහිනෙක රස වින්දා

කඳුලක උණුසුම සැමකල් රන්දා
අප නෙත් මගහැරුණා
ඔබ මා අත්හැරුණා

කාලය මැවු ඒ අදිසි වසන්තය
ගීයක පද සරසා
සැනෙකින් නිමා වුණා


පසු සටහන: මට සමීප අයෙකුගේ ඇත්දැකීමක් මගේ වචනයෙන් හා කවියෙන් ප්‍රකාශ කිරීමකි.


-අසංක ගයාන් අබේසිංහ-

42 comments:

  1. මිහිරැති වසන්ත කාලේ
    කිම ඔබ මෙතෙක් නො ආවේ
    ගිම්හානයේ ගිලන් වී
    තනිවීමි වේදනාවේ

    සිතුවිලි සිතුම් සඳැල්ලේ
    ළතැවී රැඳී නිදැල්ලේ
    මිහිරක් කොහෝද ඇත්තේ
    කිව මැන මටත් වසන්තේ

    දාහය ගතේ වෙළීලා
    කඳුළැලි නෙතින් ගලාලා
    ඈතට ඇදී ගලා යේ
    සොයමින් ගෙවූ අතීතේ
    සෙනෙහස ඔබෙන් උදාවූ
    යුගයකි ගෙවා නිමා වූ

    ගී පද: ප්‍රේමකීර්ති ද අල්විස්
    ගායනය සහ සංගීතය: ෂෙල්ටන් පෙරේරා

    ReplyDelete
    Replies
    1. පුදුමාකාර සංවේදී ලස්සන ගීතයක් සින්දු...ප්‍රේමකීර්ති වගේ පුද්ගලයෙක් ගැනනම් කියන්න වචන නෑ...ගායනය ඊට හපන්...

      Delete
    2. පිපුණු මලක හැඩ දෑස වසා
      සිතුම් විහඟ කැළ වසඟ කලා
      මගතොට රැඳි නෙත් දහක් වසා
      මතකද අප නෙත් කතා කලා..

      කවුරුද ඔබ මා යන්නේ කොතැනා
      නොම විමසා පෙම ඉඟි මැරුවා
      සොඳුරු වසන්තෙක මොහොතක සුව පා
      වෙන්වූවා අප සුසුම් දරා...

      ඉතුරු ටික මතක් වෙන්නේ නැතෝ..

      Delete
    3. මතකේ නැගෙනා ඔබ රූ ඡායා
      හමුවේදෝ යළි සිත් සනසා
      ඔබ නමටයි මා පාරමි පුරණා
      ඇසේවිදෝ මේ ගී මාලා.....

      Delete
    4. ගායනය සහ සංගීතය : ශාලිත අබේවික්‍රම
      ගී පද : විපුල ධර්මප්‍රිය ජයසේකර

      ;-)

      Delete
    5. ඔය තියෙන්නේ...උඹලා තුන්දෙනා හින්දා මට කියන්න දෙයක් ඇත්තෙම නෑ මෙතන...හිකිස්...

      Delete
  2. මුහුදේ ඉන්නේ එක මාළුවද....?

    ReplyDelete
    Replies
    1. ඌ දැන් ඒ වගේම වෙන මාළුවෙක් අල්ලගෙන බං...

      Delete
  3. ගීතයක්මයි අසංක මට ඇහෙන්නෙ. කතාවනම් හුරුපුරුදුයි. ඒත් මේ පද රචනයනම් මට ගොඩක්ම නැවුම්. අනේ මේව ගීත කරන්න හැකිනම්...

    ReplyDelete
    Replies
    1. උඹේ මේ දිරිමත් කිරීම සහ අගය කිරීම හරිම උණුසුම් හැඟීමක් ගේනවා මනෝෂ්...

      Delete
  4. අත්දෑකීම කාෙග වුණත් රසවත්

    ReplyDelete
    Replies
    1. අඩේ වැව් ඇවිල්ලා...කොහොම උනත් උඹ ආපු එක ඊට වඩා රසවත්...

      Delete
  5. " අසංකගේ තවත් එක් ආදර අන්දරයක් " ( අපි නොදන්න Chess ) : D : D

    ඇත්තටම මනෝශ් කිව්වා වගේ ගීතයක රස තියෙන ලස්සන නිර්මාණයක් අසංක.

    ReplyDelete
    Replies
    1. මේ සඳරුවා හින්දා රහසක්වත් රැකගන්න බෑ...හික්ස්...ඔහොම පැනපු ගමන් සේරම එළි කරන්න එපා බං...ලැජ්ජයිනේ...බොහොම ස්තුතියි හොඳේ...

      Delete
  6. වැඩ වැඩි නිසා කාලෙකින් මේ පැත්තේ එනකොට කවි ගොඩක්ම ලියල ....කවිය අගෙයි.කවියටත් වඩා මුලින්ම ලිව්ව අකුරු ටික හිතට වැදුන .මොකක්දෝ සමීප බවක් ඒ අකුරු වල තියනව ...... :)

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි හංසි...ඒ සමීප බවට හේතුවක් තමයි මේක ඇත්ත අත්දැකීමක් වීම...

      Delete
  7. ''ඒත් අතීතේ අපි දෙන්න හිටපු ගම මැදින් යද්දී හමන හුළඟේ හීතල මැදින් ඔයා මා ළඟ හිටියනම් කියලා මට තාමත් හිතෙනවා..''

    මතකයන් ඒ තරමටම සුන්දරයි
    ලස්සනයි පවුරේ... :)

    ReplyDelete
    Replies
    1. සත්තයි සුසී...මතකයන්...ඒ ගැන කියලා වැඩක් නෑ අප්පා...

      Delete
  8. මටත් පද වැල් ටික දැනුනේ ගීතයක් විදිහට.. ලස්සනයි. හිතට දැනුන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි...

      Delete
  9. නියමයි මචං.. අතීතය සිහිනයක් පමණයි කියල තමයි ඉතින් කියන්න වෙන්නේ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත මචං...ඒත් ඒ සිහිනය දකින්නේ පුදුම ආසාවෙන්...ඒ වගේම දුකෙන්...

      Delete
  10. අම්මෝ....විරහවේ රස.....
    මටනම් ආදරයක තියන සුන්දරම කාලය තමයි,ආදරේ හිතේ තියාගන කියාගන්න දගලන කාලය.ඒ වුනත් ඒක කවදාවත් කියාගන්න බැරිවෙලා ඒ ආදරේ අයිති නැතුවුනහම ඇතිවෙන හැඟීම්......
    උඹ ඒ හැඟීම් ලස්සනට අකුරු කරල තියනවා අසන්කයා.....
    ජය වේවා.....

    ReplyDelete
    Replies
    1. මේ කටුස්සා කොපි කරන්නෙම මං ලියන ඒවමයි. හැක්

      Delete
    2. උඹල දෙන්නම කොපි කරලා තියෙන්නේ මගේ අදහසක් බොලං...හිකිස්...මම මීට කාලෙකට කලින් ලියපු ඒත් කාටවත් නොපෙන්නපු පුංචි ලිවිල්ලක් දාන්නද මෙතන...

      "දෙදෙනකු අතර ඇති ආදරයක අතිශය සුන්දරම කාල පරිච්ජේදය වනුයේ ඔවුන් දෙදෙනගේ ආදරය පටන් ගත් පසු ගතවන කාලය තුළ නොව ආදරය පටන් ගැනීමට පෙර තම තමන්ගේ ආදරය අනෙකාට කියාගත නොහැකිව ලතවෙන කාලය තුළය"

      ඕන්න ඉතිං එහෙමයි මම ඒ කාලෙ ලිව්වෙ...මේවා අපි කාටත් පොදුයි වගේ නේද කටුසු & මාධවී...

      Delete
    3. ඔබ ගියාම දුක මට දී
      දුක දරා ගන්න නොහැකී
      ටඡ් මහල් සිහින ඉහිරී
      සිත අනාථ වී සරමී....

      ඔබ ගියාම දුක මට දී
      හිරු හදිස්‌සියෙන් මියෑදී
      ලොව සැනෙන් අඳුරෙ ගිලුනී
      තරු උමතු දුකින් දැවුනී....

      ඔබ ගියාම දුක මට දී
      ඔබ ගියා කියා නොසිතී
      ඔබ ගැනම සිහින පුරමී
      දුක තුළ ද ඔබම දකිමී....

      පද රචනය - නිලාර් එන්. කාසිම්
      සංගීතය - රෝහණ වීරසිංහ
      ගායනය - නිරෝෂා විරාජිනී

      Delete
  11. රසවත් අදහසක්.
    විරහව පිස්සු හදයි. එයින් වැළකීමට කළ යුත්තේ තමා පළමුව බූට් එක තැබීමයි.

    ReplyDelete
    Replies
    1. ඒත් බූට් එක තියලා ටික කාලෙකට පස්සෙ හැදෙන දුක ඊට වැඩියි මාධවියෝ...

      Delete
  12. මේ ඉර හඳ යට හමුවී ආදරයෙන්
    කතා කරපු අය සෙනේ වඩපු අය
    ළඟ පාතකවත් නෑ
    මේ ඉර හඳ යට හමුවී

    අද නුඹ කොතැනද අද මා කොතැනද
    දන්නේ නෑ නුඹ මටත් හොරා
    ජීවන මහ මග සටන් වැදී ඇත
    නාඳුනනා පෙම්වතුන් වෙලා

    දැන හඳුනා ගත් කාලේ ඉඳලා
    ළබැඳි දයාවෙන් සිටිය නිසා
    අප වෙනුවෙන් අප නමින් හෙලන්නට
    හෙටටත් කඳුලක් ඉතිරි වෙලා

    එඩ්වඩ් ජයකොඩි
    රඹුකන සිද්ධාර්ථ හිමි
    එම්. ආර්. චූලසිංහ

    ReplyDelete
    Replies
    1. නියමයි ඉවානයෝ (අජන්ත...හිකිස්) ...තවත් හිතට වැදුණු ගීතයක්...

      Delete
  13. මට සමීප අයෙකුගේ ඇත්දැකීමක් මගේ වචනයෙන් හා කවියෙන් ප්‍රකාශ කිරීම///
    හිහි මෙහෙම වත් කියමුකො
    කවිය නං පට්ටයි
    අනික් සටහන නැතත්

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නෙ අනෙක් සටහන වැඩක්ම නැද්ද මචං...දුකේ බැරුවා...ඉහි...ඉහි...

      Delete
  14. රසවත් අත්දැකීමක්...
    කවියට වගේම අර පින්තූරේ තිබ්බ පරිසරයටත් මගෙ හිත ඇදිලා ගියා !

    ReplyDelete
    Replies
    1. උඹලගෙ හිත් ඇදිලා යන තරම් දෙයක් කරන්න පුළුවන් වුණා නම් ඊට එහා දෙයක් නෑ මධු...ගොඩක් ස්තුතියි...

      Delete
  15. හුදෙකලාව මේ සිත හඩවනවා
    සැමදා ජිවිතයේ තනිවේදැයි සිතෙනවා
    ඔබගෙන් ලද උණුසුම මට දැනෙනවා
    තනිකම මාගේ ඉගිලි යනවා

    නෙතු පියාන මා ඔබේ රුව මවනවා
    හීනෙන් ඇවිත් මා දැස සිඹිනවා
    ඔබගේ සුසුම් මට තව දැනෙනවා
    ඔබ දන්නේ නෑ ආදරේ ගලනවා

    ඇයි අවංකව ආදරය කරන අපිව දලා යන්න හදන්නනේ????????

    ඔයා හැමදාම කියනවා වගේ අයියේ මගේ සුදු අයියාට දැනේන්නේ එයාගේ නංගි එයාගේන් ඇතට ගියාම.
    හැමදාම ඔයා විතරයි මේ චුටිගේ ආදරය ගැන තේරුම් ගත්තේ.
    මාගේ අයියවා බලා ගන්න.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම චූටි...මම අවස්ථාවක් ආව ගමන් ඔයාගෙ සුදු අයියාට මේ ගැන කතා කරනවා...මේ වෙලාවෙ එයාගෙ හිත මායාවක පැටලිලා තියෙන්නෙ...එයා ඒකෙන් අයින් වුණු දවසක ඔයාව මතක් වෙයි...ඒත් ඒ වෙද්දි එයා පරක්කු වැඩි වෙයිද කියලයි මට බය...

      කොහොම වුණත් මේ වගේ අත්දැකීම් පොදු විදිහට හැමෝටම දැනෙන එක ගැන මට ගොඩක් සතුටුයි...මේ තමයි ආදරේ හැටි...

      Delete
  16. ගොඩාක් අයට වෙලා තියෙන අතීත කතාවක්.ලස්සන ගැලපුමක්

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි ගිහාන්...

      Delete
  17. එක මම දන්නවා ඔයට ඔන මගේ සුදු අයියාව මගේ ලග තියන්න එයා කවදාවත් එක තේරුම් ගන්න එකක් නැති වෙයි. ඔයා මගේ සහෝදරයා නොවුණු එක මට දුකයි එත් මම සතුටුයි ඔයා මේ චුටි නංගිය හොද යාළුවෙක් වුණ එකට.

    හැමොටම මේ විදිහට සිදු වෙනවා. ඒ අපි අවංකව ආදරය කරන එක ගැන එයාලා හිතන්නේ නැහැ.

    මේ වගේ තවත් කවි සිතුවිලි ඔයාට ලියන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චූටි...කිසිම ගැටළුවක් නෑ...මාව ඔයාගෙම සහෝදරයා කියල හිතන්න...ලේ බැඳීමක් නැති වුණත් ඒ වගේම ළඟින් මටත් ඔයා ළඟින්ම ඉන්න පුළුවන්...

      Delete
  18. මේ සිද්දිය විවිධ ස්වරුපයෙන් බොහෝ දෙනෙක්ට වෙලා තියෙනව. ඒක හරි පුදුමාකාරයි කියලත් හිතෙනව.

    ReplyDelete
    Replies
    1. ලෝකෙ හැමෝටම පොදු පුදුමයක් නම් ආදරය විතරමයි මනා...ඒක ලෝකෙ කොයි බලවතාට දුබලයාටත් එහෙමම තමයි...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...