Saturday, May 31, 2014

විමල් පැන්නෝ.............. මෙන්න පුවත්......



අඩිය අඩිය තියලා ගොඩවුණ
අම්මෙක් අප්පෙක් වගේ හදාගත්තු
පක්ෂයට පයින් ගහලා 
ජම්මාන්තර වෛරයක් තිබුණ
ධනවාදයත් එක්ක පැනලා ගිය එකා...
කසාද බැදලා අවුරුද්දෙන් දෙකෙන්
දික්කසාද නොවෙයි කියලා කාට ද කියන්න පුළුවන්...????

දේශපාලනයේ අකුරු කියවපු දා ඉඳලා
රුසියාවේ ලේ කැකෑරුණු හදවතක්
බටහිර පැත්තට කොක්ක ගැහුව ම 
මොන මෝඩයාට ද හිතාගන්න බැරි 
මේකා ඇමරිකාවට හරි එංගලන්තයට හරි
රිංගනවා ම තමයි කියලා...... ????

දවස් දෙකක් විතර හොරෙන් කාලා
කලන්තයක් වත් හැදෙන්නැති
මාරාන්තික උපවාස කරද්දි ම 
කන පැලෙන්න දෙකක් දීලා
පුටුව අස්සට තල්ලු නොකළාම
ඕනෙ ම බූරුවෙක්ට තේරෙන්න එපැයි
මේ ඇට මැස්සා උඩ යනවාම තමයි කියලා.........!!!!

77 ඡන්දෙ වෙලාවේ
පොල්ලෙල්ලක් දැම්මත් පාර්ලිමේන්තු යනවා වගේ 
රැල්ලට ඡන්ද අරන් පාර්ලිමේන්තු ගියාට
තමන්ගේ තරම දන්නැති උන් කීපයක් ම ඉන්නවා
ඒ පුම්බන ගෙම්බෝ පුම්බලා පුම්බලා
පුපුරලා යනකල් ම උං දන්නෑ.
තමන් කවුද, කොහෙන්ද ආවේ තියා
තමන්ට මොනව ද කරන්න පුළුවන් කියලාවත්
තඹ දොයිතුවක තේරුමක් නෑ..........!!!!


හැබැයි එක දෙයක් විමල් දන්නවා
ඒ තනියම ඉල්ලුවොත් ඇපේ තියා 
ඇගේ කෑලිවත් ඉතුරු වෙන්නෑ කියන එක...
එක දෙයක් අපිත් දන්නවා
ඒ කොච්චර කෑ ගැහුවත් 
විමල් තියා විමල්ගේ මයිලක්වත් මේ වෙලාවේ පනින්නෑ කියන එක.....


කසුප් අනුරාධ



.

Thursday, May 29, 2014

නිවන් සැප ලැබේවා ...............



කළත් මැරකම් ඇති පදම් - මිනී මැරුණත් මගෙ අතින්
වුණත් හොරකම් බුරුත්තක් - යට යවමි එය මගෙ බලෙන්

ගිනි තියන්න හැකි වුණේ - ගෙවල් යායක් විතරනේ
දුටුව විට ඒ නිවැසියන් - තිබුණානේ මගෙ කට කනේ

විකුණගන්නට හැකි වෙතේ - මගෙ අණින් මත්පැන් පෙරා
සතුව ඇති කුඩු කඳු ගණන් - සමතලා වෙයි රට පුරා

සිටියි එකසිය හමාරක් - කෙල්ලෝ මඩමෙහි මා සතූ
හිතන්නේ තව කොහොමදැයි - පතුරවනු මේ කටයුතු

දිව්‍ය ලෝකෙකි රෑ පුරා - කම් සැපෙන් පිරි සාජ්ජේ
නටයි මා වට සුරඟනන් - අහෝ සැපතකි සමාජේ

ගසා කෑමෙන් අල්ලසින් - ලැබෙයි සැමවිට කුට්ටියක්
පළායන හැටි මම දනිම් - නීතියත් මට සෙල්ලමක්

දාන දෙමි මම රට පුරා - නොවේ සැනකෙළි මේ වගේ
සුදු වතින් මල් පුදන්න් - පිං පතාමයි මට අගේ

ගිරිය පුප්පා වේදිකාවේ - විසිරුවන්නේ මගෙ රැසේ
දනන් රැවටෙන් හැටි දකින විට - නැගේ සිත තුළ මදහසේ

කරයි සතහට සේවයක් - මගෙ නමින් කණ්ඩායමක්
යවමි යහමග පරපුරක් - බෙදා දී රෙදි පොත් ටිකක්

මව්පියන් නොහඳුනන්නේ - අඹුව දරු පිටුදකින්නේ 
කුමට ඒ ගැන හිතන්නේ - ලොවට මා සුචරිතයිනේ

ලැබෙයි ලොකු නිල නාමයක් - මගේ අත්වල නොමැත ලේ
මෙවන් දස්කම් සපිරි මා - කුමට ඉනු පසුතැවිල්ලේ

ඒ නිසාමයි මහතුනේ - මටත් යනු ඕනෑ නිවන්
මුළු හිතින්මයි කියන්නේ - අසනු මැන දැන් මේ වදන්

මගේ ඉරණම එන ලෙසින් - මරණයට පත් වුවොත් මා
ලියනු මැන දැන්වීමකින් - මෙන්න මේ ලෙස හැඩදමා

සත්ගුණවත්, සමාජ සේවක, දානපති, පරමාදර්ශී 
------------------- හට නිවන් සැප ලැබේවා........!!!



අසංක ගයාන් අබේසිංහ


.

Tuesday, May 27, 2014

සල්ලි එපා ගෙදර එන්න ....................



සියක් ගව් දුර සුසුම් හෙළමින
ගොතන සඳ කවිකාර සිහිනෙන
කුරුටු ගෑ පන්හිඳෙහි සිහියෙන
හද රැඳුනේ ඔබ පමණි තුන්සිත ................

උගත්කම් කරකාර බැඳගෙන
තානාන්තර හිසේ දරමින
රන්කාසි පොදි බැඳන් සිටියද
හිස්ය දිවියම ඔබෙන් තොරවන ..................

ඔබ නමට පුද කළෙමි දිවියම
රැඳුනේ නෙත් තුළ ඔබේ වතමය
ගත රැඳුනේ නිති ඔබේ සුසුවඳ
සබඳ එනු මැන ඔබේ සඳවෙත ................

අපේ අතැඟිලි රන් හුයෙන් බැඳි
ලිහිල් කළ වරපට උගත්කම
රන්කාසි පොදි කිමට දිවි නැති
සුසුම්ලයි ජීවිතේ තනිකම ...............

පෝයදා සඳ දිටිමි තුටියෙන
සිත්හි රැඳුනේ ඔබේ වතමය
සියක් ගව්දුර ගතින් සිටියද
සිතින් නම් ඔබ මගේ යහනෙය ............

පඬු පෙවූ වත ඔබේ දිවියේ
පරද්දන නා දළුව දෙතොලේ
සොයයි උණුසුම ඔබගේ තුරුළේ
රන්කාසි කිම එන්න සබඳේ ..............


කාංචනා චන්ද්‍රසේකර


.

Sunday, May 25, 2014

ඇල්පිටියේ ඝාතනය - ගයනිකා සහ කමාන්ඩෝ පෙම්වතා .........


එහෙව් ගමනක් යන්න හිතුනද
එබෙන්නට කලියෙන් හිරූ
සමන් මල් ගැටපිච්ච මල් එළි
බහින්නෑ හිරු එනතුරූ .....................

හිතේ පෙම්මල් පීදිලා නුඹ
වැරදි මගකයි පියැඹුවේ
නුඹේ අත වෙයි පෑන ඒ අත
තුවක්කුව රැඳුනා දුවේ .....................

පිපී හිනැහෙන මල් දකින විට
පා ගැටී සරසවි බිමේ
බැඳි දෙපා යදමින් බිඳන් නුඹ
ඉමක් දුටුව ද කෙම්බිමේ .....................

මුණ ගැසී විසඳන්න පුළුවං 
කියලා හිතුව ද ගයනිකා
ගස් කොළං නොව ගෙදර කොරහත් 
බිඳන් යනවලු යන යකා .....................

ආදරෙයි නම් සිඹිනවා හැර
බිඳක්වත් රිදවන්නේ නෑ
ඉනේ සඟවන් ආව මුවහත
පපු කුහර සිප ගන්නේ නෑ .....................

ඈත පිපිලා හිනාවෙන මල් 
නෙලා ගන්නට බැරිමනං
දොහොත් මුදුනේ තියං වැඳලා 
පිං ලබන්නට හුරු වෙයං .....................


තුෂාර විතාරණ


ඡායාරූපය - රිවිර


.

Thursday, May 22, 2014

උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ???


තෙල්බැම්ම පුරා
හිනා කටවල් ගොඩයි.
පළවෙනිම දවස සරසවියට ගොඩවැදී....
උහුලා ගත නොහෙන කැළණියේ රස්නය
වපුලයි දහඩිය බිඳු නහය උඩ....

ආ.. ඒ .. මෙහෙට මෙහෙට....
ගියෙමි අයියා කෙනෙකුගේ ආරාධනයෙන්.
ගෙවල් කොහෙද ? නුවර 
නුවර කොහෙද ? පේරාදෙණියේ
මල්වත්ත ළඟද ? ඔව්
උඹ කපල් ලව් කරන ඒවා බලන්න යනවද ? නෑ
පල පල යන්න. අනේ නෑ
උඹේ කාඩ් එක එබිකම්................
අදට ද මිතුරන් අමතන මා ප්‍රියතම නම.

ආ..... අර අතන ඉන්න අක්කා පේනවද? ඔව්
ගිහින් අහපං උඹට කැමති ද කියලා.  හා
ඒ... මෙන්න මේ මලත් ගිහින් දීපං මං ගානේ.

තැබූවෙමි දකුණු පා ආපස්සට
හැරී ගියෙමි කෙල්ලන් රැළක් වටකරගත් ඈ වෙතට
උන්ට පිටුපසින් ඈ දෙස බලා සිටියෙමි.
ඇයි ඔතන ඉඳන් බලං ඉන්නේ  ?
අක්කේ මට කැමතිද ?
මොනවා???  (ආයෙත් මම) මට කැමතිද?
මලත් දිගු කළෙමි පැරණි සිංහල චිත්‍රපටියක මෙන්..

කවුද කිව්වේ මගෙන් අහන්න කියලා. 
දෙවරක් නොසිතා හැරුණෙමි ආ පස්සට
අත දිගු කර සැනකින් පෙන්වා දුනිමි ඔහු...
මහා කඩේ යෑම .........................
කඩේ යනවද එක එකාට?
අසල සිටිවුන් යක්ෂාවේෂව මා වෙත කඩා පනී
උගතිමි පළමු පාඩම
කිසිදාක අනුන්ට කඩේ නොයනු.....................

ආපසු ගියෙමි අණ ලැබූ තැනට
උන් ඔරවාගෙනය මරාගෙන කන්න මෙන් මා
කළ වරදක් කිසිත් නැත මා දන්නා.
උඹ මොකට ද අත දිග් කරලා මාව පෙන්නුවේ.
ඒ අක්කා ඇහුවා කවුද එව්වේ කියලා.
මොනවා තෝ මාව පෙන්නුවාද?
මහා පාවාදීම ......................................
වට පිටාවම එකම ගෝෂාවට මට බැනවදී
උගතිමි දෙවැනි පාඩම
කිසිදාක කිසිවෙකුවත් පාවා නොදෙනු ..................

එදා සිට අද වන විට ගෙවී ඇත දසවසරක්
අදටත් කරන්නට බැරි වැඩ දෙකකි.
1. කඩේ යෑම්‍
2. පාවාදීම
එබැවින් එදා ඔවුන් ගොඩනැගූ එබිකම් ම වෙමිය මම.......


තුෂාර විතාරණ


.

Wednesday, May 21, 2014

ගැහැණුන් ගැන හොයන පිරිමිකම ...........



කෙතරම් වැරදි කළත්
නාවලා ගෙට ගත්තම 
පිරිසිදුයි කීවද
යුවතියනේ........................

අපේ හදවත් දනී අපි අපිරිසිදු බව

අපි අයාලේ යන අතරතුර
නිරතුරු ඔබේ චරිතය ම සෙව්වද
යුවතියනේ ........................

අපි දනිමු අපි දුස්චරිත බව

සෙව්වද ඔ‍බේ පතිවත
නොරකින ගමන් අපේ පතිනිවත
යුවතියනේ .........................

අපි දැවෙන්නෙමු ඔබේ කඳුළු තුළ

උරුමයෙන් ලද පිරිමිකම
උතුම් බවකට හරවා නොගත්
වල් වැදී ගිය සමාජයක
දූෂිත වූ සිත් සතන් මැද
අපි අතරමං වුව ද 
යුවතියනේ .......................

අපි අගය කරන්නෙමු ඔබේ උතුම් බව


පද මාලාව පිළිගැන්වීම - උතුම් වූ ගැහැණු චර්යාධර්ම සහ පතිවෘත්තාව දිවි දෙවැනි කොට රකින්නා වූ සියළුම යුවතියන් වෙත මෙන්ම සියළුම ආකාරයෙන් ගැහැණුන් හට අවංක වූ සහ එසේ වීමට කැමති පිරිමින් වෙත.


අසංක අබේසිංහ

.

Monday, May 19, 2014

මොන පිරිමියා ද මේකට උත්තර දෙන්නේ.......?



දනි පනි ගා නැගැ බසයට
සීට් එකේ හරි බරියට
කිරා වැටෙයි
          කලිසන් ඇඳි මහත්තුරු ................

බඩ නෙරලා ඇඟේ තෙලට
මස් පිරිලා හරි හරියට
පාට පාට හැන්ඩි කමිස
දිලිසෙන කළු ඔප සපත්තු
සෙන්ට් පුයර සුවඳ හමන
          කලිසන් ඇඳි මහත්තුරු ...............

අතින් ගමක මළු පුරවන්
වාරු නැතුව අමාරුවෙන්
ගොඩවෙන විට බවලත් උන්
දැක ඇස් පියවෙන ඉබේම
අනේ ඉතින්
          කලිසන් ඇඳි මහත්තුරු ...............


ඉසුරිකා චූලරත්න


.

Saturday, May 17, 2014

මේ ඇගේ උපන්දිනය වෙනුවෙනි.....................



කරුණා මුහුණ රෑ පුන් සඳ පාන වෙතේ
තාරුණ්‍යයේ සිරි තවමත් මැකී නැතේ
කටපිරි සිනා හඬ කිංකිණි නාද දෙතේ
ලේලිය, මුණුබුරා, බෑණා ඇයට අගේ ............

ඇය මෙහි නැතිව දිනයක් බෝ දිගය දැනේ
නැත කළඑළිය මුලු නිවසම අඳුර පිරේ
පාරේ යන අය ද කැඳවයි බතට මෙහේ
අම්මේ විශාකා නුඹදැයි පෙරදි භවේ ...............

සුළු ලෙඩකදිත් කලබල වී අපි රකිනා
ඇති දැඩි කළේ අප මල්පෙති සමව සිතා
නැත මට වදන් ගෙන එන්නට ඔබගෙ සොබා
දිගුසිරි පතමි අම්මේ මම ඔබට සදා ............

කළුගල් මැණික් ගල් කීවොත් විටෙක පියා
ඔබහට මැණික් ගල් කළුගල් වීය සදා
දිවියට උගත හැකි පාඩම් ඔබෙන් මනා
අම්මේ ඔබයි මගෙ දිවියේ රැජිණ සදා ............

සැමියා දුව පුතා නැති කල ලොවක් නැත
මුළු ජීවිතය කුස්සියටම ඇරී ඇත
ඔබෙ පන්නරය මෙහෙවයි අප කරනු සෙත
මතු බුදුවන්න මේ පින් මදි නොවනු ඇත .............


කාංචනා චන්ද්‍රසේකර


විශේෂත්වය - අම්මාගේ 54 වැනි උපන්දිනය වෙනුවෙන් කුරුටු ගෑ කවියකි.

.

Friday, May 16, 2014

වේදනාවක තරම ........................



නිමාවිය වසන්තය ඇය ළඟින් සිටි
පැමිණේද කාලයක් එවන් වූ යළි
නොදනිමි මා තවමත් ...............

ගිලිහී ගිය අත්වැල්
බොඳවී ගිය සුසුම්
ඇදුම් කවනා මතකයන්
මාවත පෙන්වයි මා හට
සැනසුමේ මාවත වේය එය
මරණයේ මාවතද සමග පැමිණි
නොහැඟේ යා යුචුද යනු ඒ මග ...................

දෙගුරුන් වෙතින් මිදී මා
ලෝකයේ ගැරහුම් නොලබා
කෙසේ තරණය කරම්ද ඒ මාවත ...........

වේදනා නොදැනේ හදවතට
වේදනා තිඹිරිගෙය වී අද එය
කඳුළු නොනැගේ නෙතු අගට
ඇත සිඳී ඒ කඳුළු උල්පත
සොයා එනතුරු සොඳුරු මරණය
සිටී මගබලා මා සිත නොමැති කය ..................

පුදමි මිලින වූ සෙනෙහසේ මල්
යටගියාවේ සොහොන් කොත වෙත
එහෙත් තවමත් ඇය ද නොදනී
මගේ සිත එහි සැතපෙනා බව .................


අසංක ගයාන් අබේසිංහ


.

Monday, May 12, 2014

ජීවිත සළුපට හැමතැන හිල්ගැහිලා වියැකෙනවා.....



දෑඟිලි සළු පට පටලා
ඉඳිකටුවට ඉඩ දෙනවා.
ජීවිත සළුපට හැම තැන
හිල් ගැහිලා වියැකෙනවා.
නිදි මරනා සේද කුමාරී ...............
පවුලම කරපිට පින්නා
දිවි සයුරට පැන්න කුමාරී ...................

ප්‍රේමය රාගයක් වෙලා
නුඹගෙ වටේ ඉගිලෙනවා.
ජීවිතයට හුරු නැති දුක 
මැහුම් වලින් හැඩවෙනවා.
මුතු සොයනා සේද කුමාරී .................
සිනාවකින් මුව සරසා 
නැතිබැරිකම් වසන කුමාරී ......................

කුසගිනි පරදන් කුස්සියෙ
බත් මුට්ටිය හිනැහෙනවා.
පාසල් යන්නට උන් ළඟ
පොත් පැන්සල් උපදිනවා.
නිවසේ ගිනි නිවස කුමාරී ................
දරු සෙනෙහස හද පුරවා
මව්පදවිය දරන කුමාරී ........................

තුෂාර විතාරණ

.

Friday, May 9, 2014

අද අපේ උපන්දිනය - එන්න අප හා එක්වන්න. මේ අප මුවේ නැගෙනා ඔබේ සිනහවයි...........



අද අපේ කුරුටු ගෑ ගී පවුරට අවුරුද්ද පිරෙනවා. ඇත්තට ම ඒක අපිට සතුටක්. මේ සතුට ඔබත් එක්ක බෙදා ගැනීම තමයි අපේ එකම අරමුණ. ඒ වෙනුවෙනුයි අපේ මේ සටහන........................

හරියට ම මීට අවුරුද්දකට කලින් අපේ අඩවියේ ඉන්න හසිත හර්ෂණ වීරසිංහ තමයි මේ අඩවිය පටන් ගෙන තිබුණේ. ඊට මාසෙකට විතර පස්සේ තමයි ඔහු මේ ගැන තුෂාර විතාරණ වන මට පැවසුවේ. ඉන්පසු සුරංග සම්පත් විජේසූරිය සහ කාංචනා චන්ද්‍රසේකර සමග කතා කොට අපි මෙය පොදුවේ කරගෙන යන බ්ලොගයක් කරන්න තීරණය කළා. ඒ ගැන හසිත කිසිම රෙගුලාසියක් දැම්මේ නැතුවට අපි හැමෝම එකඟ වුණා මෙය කවි සඳහා වෙන් වූ බ්ලොගයක් කිරීමට. ඒ තමයි කුරුටු ගෑ ගී පවුරේ ආරම්භය..................

ඊට පසුව ක්‍රමයෙන් මෙයට චතුරිකා චන්ද්‍රසේකර, අසංක ගයාන් අබේසිංහ, ඉසුරිකා චූලරත්න, ඩබ්.ටී වීරසිංහ, මෙත්මල් සුභසිංහ කියන සහෘද කැල එකතු වුණා. (මේ අය කවුද කියලා පහතින් කෙටියෙන් සඳහන් කරමි.) කාලයෙන් කාලයට මොවුන්ට ඇති නිදහස අනුව තම තමන් ම විසින් ම නිර්මාණයන් එකතු කිරීම සිදු වනවා. මෙය අප කාගේවත් පුද්ගලික අයිතියක් නොවන වග අපි ව්‍යංගයෙන් අවබෝධකරගෙන සිටින්නෙමු. එනිසා ම මෙය අප සැමගේ පොදු ප්‍රයත්නයක ප්‍රතිඵලයක් ලෙස සැලකුව මනාය.

අවුරුද්දක් පිරෙන අද දවසේ අපි ගැන පොඩි විස්තර ටිකක් කියන්නම්. හැබැයි එක එක්කෙනා එකඟ වුණ තරමට විතරයි කියන්න වෙන්නේ.

හසිත හර්ෂණ වීරසිංහ
- රුහුණු විශ්වවිද්‍යාලය
- සිංහල විශේෂවේදී උපාධි අපේක්ෂක

තුෂාර විතාරණ
- කැළණිය විශ්වවිද්‍යාලය
- සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය, පශ්චාත් උපාධිය
- ආරක්ෂක අංශයෙහි සේවය කරයි.

කාංචනා චන්ද්‍රසේකර
- කැළණිය විශ්වවිද්‍යාලය
- සාමය හා ගැටුම් නිරාකරණය උපාධිය, පශ්චාත් උපාධිය
- රාජ්‍ය අංශයේ රැකියාවක් කරයි.

චතුරිකා චන්ද්‍රසේකර
- පේරාදෙණිය විශ්වවිද්‍යාලය
- ශාස්ත්‍රවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අපේක්ෂිකා
- රාජ්‍ය අංශයේ රැකියාවක් කරයි.

ඩබ්. ටී වීරසිංහ
- යාපනය විශ්වවිද්‍යාලය සහ කැළණිය විශ්වවිද්‍යාලය
- භූගෝල විද්‍යා විශේෂවේදී උපාධිය
- විශ්‍රාමික විදුහල්පති

සුරංග සම්පත් පෙරේරා
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- සිංහල විශේෂවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අපේකෂක
- රාජ්‍ය අංශයේ රැකියාවක් කරයි.

අසංක ගයාන් අබේසිංහ
- ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
- විද්‍යාවේදී උපාධිය
- පෞද්ගලික අංශයේ සේවය කරයි.

ඉසුරිකා චූලරත්න
- කොළඹ විශ්වවිද්‍යාලය
- උපාධි අපේක්ෂිකා

මෙත්මල් සුභසිංහ
- පේරාදෙණිය විශ්ව විද්‍යාලය
- වෛද්‍ය පීඨය උපාධි අපේකෂක

කසුප් අනුරාධ
- කිසිදු තොරතුරක් හෙළි කිරීම ප්‍රතික්ෂේප කරයි.

මේ අපේ කණ්ඩායම ගැන කෙටි හැඳින්වීමක්. මේ අයගේ තවත් විශේෂතාවයන් ගොඩක් තියෙනවා. පොඩි ඉඟියක් දුන්නොත් මේ අය එක එක්කෙනාගේ කවුද වගේ දේවල්. ඒවා ඔබට අනුමාන කරන්න පුළුවන්. ඊළඟ විශේෂ අවස්ථාවක අපි තවත් දේවල් කියන්නම්.....

අනික් දේ තමයි අපිට මේ තරම් ගමනක් එන්නට ඔබ දුන් සහයෝගය. අපි නිතර ම දිරිගන්වමින් උනන්දුව ඇති කරවන ලද්දේ ඔබයි. අපි කුරුටු ගෑ වචන කවි කළේ නුඹයි. එනිසා ම අපේ ගමනේ පසුපස සිටි ශක්තිය ඔබයි. එනිසා ම මේ සතුට අපි බෙදා ගත යුත්තේ ඔබ සමගයි. මේ ඒ සඳහා වූ ආරාධනාවයි. 

එන්න අප හා එක්වන්න..... මේ අප මුවේ නැගෙනා ඔබේ සිනහවයි.......

(අපගේ අඩවියේ උපන්දිනය දවසේ එන ඔබ හැම දෙනා අපි සාදරයෙන් පිළිගන්නා අතර අප අඩවිය පිළිබඳ කියන දේවල් අතරේ අප වෙනස් විය යුතු ආකාරය පිළිබඳ ව වන ඔබගේ අදහසුත් ගොණු කරන්නේ නම් අගය කොට සලකන්නෙමු.............)

කුරුටු ගෑ ගී පවුරේ අපි.

.

Thursday, May 8, 2014

අභියෝගයක් - දිනුවොත් අපි දෙනවා තෑග්ගක් ....



හැකිවෙයි ද හිතන්නට 
හෙට අපට වෙන දෙයක්
හැකි වුණොත් කියන්නට
අපි දෙනවා තෑග්ගක් .......................

හෙට අපිට විශේෂයි
ඒක ලොකු කතාවක්
ඉවසාන හිටියොතින්
බලන්නට හැකි දෙයක් ..................

ඒත් බෑ ඉවසන්ට
දැනෙනවා හදිස්සියක්
එහෙම නම් කරන්නට
තියෙනවා එක දෙයක් .....................

රහස මේ කොහේ හරි 
බ්ලොගයේ ම ඇති දෙයක්
ඇත්තමයි කියන්නේ 
හෙව්වොතින් තෑග්ගක් .................

බලමු කාටද ඇහැකි
ගන්න අභියෝගයක්
කවුරුන් ද ජයගන්නේ 
හෙට දවසේ තෑග්ගක් ...................


කුරුටු ගෑ ගී පවුරේ අපි

.

Wednesday, May 7, 2014

මේ ඔහු පිළිබද ව වූ මාගේ වේදනාවයි..........



ගුත්තිල ගුරුවර ගත වෙහෙසා දර පලනා
අසිත තවුස්වර කල ගෙඩියෙන් දිය ගෙනෙනා
මහසද් පඩිවර උදළු මිටට දුක කියනා
ගණදෙවි නුවණට බර වැඩ නුහුරට දැනෙනා ...........//

අළුයම සීනුව තාමත් හිත ගස්සනවා
නීල කොබෙයි රැල මා නැතුවත් හිනැහෙනවා
පාළුව තනිකම සතර අතින් නැගැ එනවා
පෙන්ෂන් දිවියේ මිහිර තවම අහුලනවා ..............

රජවරු තැනුවෙකි, තනි ව මිදුල අමදිනවා
ඉර හඳ දුටු සිත බිත්ති හතරෙ බැඳලනවා
හාන්සි පුටුවේ දැල් නුහුලන බර දෙනවා
දහවල් සීනුව හිත නිදහස් කරලනවා ..............
දහවල් සීනුව හිත නිදහස් කරලනවා ...............//



පසුව ලියමි...

මෙය 2013-05-30 දින මා විසින් ම ලියා පළකරන ලද කවියක් බව මුලින් ම සදහන් කළ යුතුය. නැවත ඔබ හමුවේ මෙය තැබීමට සිතුවේ මාගේ අලුත් ම අත්දැකීමක් හේතුවෙන් ලියන්නට ගිය අලුත් කවිය බොහෝ දුරට මීට සමානව ම ලියැවුණු නිසා මෙම කවිය ම නැවත පළ කළ යුතු යැයි සිත කී බැවිනි. එසේ ම ඊට පහතින් ලියූ සැබෑ කතාව ඔබට කීමට අවශ්‍ය නිසා ය.

මෙය මාගේ පවුලේ කෙනෙකු සම්බන්ධයෙන් ලියැවුණු කවියකි. ගුරුවරයෙක් කීවාට ඔහු දෙවියෙකු වගේ ගුරුවරයෙකි. සැබැවින් ම ගුත්තිල පඩිවරයෙකි. නමුත් මෙහි මූසිලයෙකු ගැන සදහන් නොවේ. ඒ මූසිල එක් අයෙකු නොව අප සැම දෙනා යැයි මට සිතේ......

විශ්‍රාම ගැනීමෙන් පසු නිදහසේ ජීවත් වන මේ ගුරුවරයා දර පළයි. වතුර අදියි. වත්ත උදළුගායි. දහඩිය ගලමින් වත්තේ ගලක් උඩ හිද සිටිනු මම දැක ඇත්තෙමි. මේ පාසලේ ඉගැන්වූ ගුරුවරයා නේදැයි මට එවිට සිතෙයි....

පාසලේ හඩ ඇසෙන මානයේ නිවස තිබේ. තාමත් උදේ පාසල පටන්ගන්නා විට ඔහු තමන්ගේ සියලු වැඩ නිමකර පත්තරයක් කියවයි. නමුත් කිසිදාක පාසල් ජීවිතය මතක් කරමින් දුක්වනු මම දැක නැත්තෙමි. ළමයින් සමග සිටියානම් හොද යැයි හෝ දැන් තමන්ට පාලුවක් දැනෙන බව හෝ කියනු අසා නැත්තෙමි. නමුත් ඔහුගේ වැඩ තවමත් පාසලේ සීනු නාදයට අනුව සිදුවන බව මට හැගෙන්නේ දවසේ පෙළගැස්ම දුටුවිටය. නමුත් එය මාගේ සිතුවිල්ලක් පමණි.....

රජවරු තැනු ඔහු තනිව මිදුල අමදියි. එය ඔහුගේ දින චර්යාවේ වැදගත් ම අංගයකි. ඒ අසීමිත ලෝකය දුටු නෙත දැන් නිවසට කොටුවී බව මට හැගෙයි. පත්තරය කියවන්න හාන්සි පුටුවට බර දුන්න ද ඔහු සිටිය යුතු තැන ඊට හාත්පස වෙනස් යැයි මට හැගෙයි. දහවල් පාසල් නිමවන සීනුව ද නිවසට හොදින් ඇසෙයි. එවිට ආහාර ගෙන අහවර වන ඔහු සැපසේ කෙටි නින්දකට යයි. කිසිදාක ඔහුගේ දින චර්යාව වෙනස් නොවෙයි. ගුරුවරයෙකු ව සිටි කාලයේ තිබූ බොහෝ දේ දැන් අහිමි වී ඇතත් ඔහු කිසිදු දුකකින් තොරව තම නිදහස් විශ්‍රාම දිවිය ගත කරයි. නමුත් එය බලා සිටින මට නම් මෙය මහා වේදනාවකි. එබැවින් මේ වූ කලී ඔහුගේ කතාව නොව, ඔහු පිළිබද ව වන මාගේ වේදනාවයි.......


තුෂාර විතාරණ

.

Tuesday, May 6, 2014

හදවත රත්තරං ජෝති ...............



හින්දු තනු කොපි කර
වචන අමුණා කියන
මහපාරෙන් මතුවුණ
පේමන්ට් ගායකයා ඔහු ය.

ජෝතිපාල ..................

මධුවිත අපෙන් උදුරගත්
පළමු වැන්නා නොවී
මියගිය පසු වීරයෙක් වූ 
අන්තිමයා නොවූයේ ද ඔහු ය.

හදවත රත්තරං ජෝති ....................

හින්දි තනු තොගයට කියා
සංගීතයට වින කළ ද
වැඩිම පෙම් ගී ගණනක් ගැයූ 
සිංහල ගායකයා ඔහු ය.

ජෝති ගී ...................

ඉංග්‍රීසි සිංදු අහන
කොළඹ හතේ නොනලා 
ඩී.ජේ වලදී අදටත් නටවන
පේමන්ට් ගායකයා ඔහු ය .................  

එච්.ආර් ජෝතිපාල ..................


කසුප් අනුරාධ

.

Monday, May 5, 2014

ආදරේ සොයමි මම් ..................



කුරුටු පෙම් ගී ලියන්
ආදරේ සොයමි මම්
ඒත් ඈ දුර ගිහින්
මාව නොපෙනෙන තරම් ...............

නෙත් කෙවෙනි බොඳ කරන් 
ඉකි ගසා කුමට මම්
සිත් සතන් තුටු කරන්
නුඹ තුටින් සිටියි නම් .................

ආවෙමිය මග ගෙවන්
ඔය වතම පතා මම්
මා දමා ගියෝතින්
හෙටත් මග බලන්නම් ...............

ඉකි ගැහෙන හදවතින්
කෝම ඉවසමි ද මම්
ඒත් කඳුලැලි වසන්
දෑස් පිස දමන්නම් ................


තුෂාර විතාරණ

.

Sunday, May 4, 2014

නුඹට මා වශීවෙලා ...............



මලින් මල පියඹලා 
රොනින් රොන තුඩතියා
යන අතර පියඹලා
නෙත බැඳුනි කිතිකවා ......

දිනෙන් දින මගබලා

කොහිද ඔබ කිය කියා
නෙතු පියන් දිව ගියා
සොදුරු නෙත් සොය සොයා ....

අහම්බෙන් හිනැහිලා

මහමගදී හමුවෙලා
බලන සඳ මා දිහා
නොබලාම හිඳිමි මා ...

සිහිනෙකින් දැවටිලා

දුටුව රුව කොහි කියා
සෙව්ව මුත් නිතිපතා
මග හැරිමි හඬ හඬා .......

අනග පෙම් හෙළ හෙළා

පෙම් මැදුරු බිඳ දමා
උමතු වී රැඟු යුරා
විඳිමි මා නෙතු පුරා .....

පියුව විට නෙතුසරා

පැමිණි ඔබ හදපුරා
විඳිමි මම නිතියුරා
එහෙත් මග හරිමි නෙතු සදා .....


කාංචනා චන්ද්‍රසේකර

.

Saturday, May 3, 2014

ඒක කරන විදිහ ......................



ආදරේ දැනෙනවා.
ආදරේ හිතෙනවා.
ඒ වුණාට ආදරේ කරන්නත් විදිහක් තියෙනවා.

ජීවිතේ විදිනවා.

දිනෙන් දින ගෙවෙනවා.
ඒ වුණාට ජීවත් වෙන්නත් විදිහක් තියෙනවා.

ආයෙමත් දකිනවා.

බලන්නට හිතෙනවා.
ඒ වුණාට අහන්නත් විදිහක් තියෙනවා.

සුමුදු බව දන්නවා.

සුමට බව හැගෙනවා.
ඒ වුණාට නොරිදන්නත් විදිහක් තියෙනවා.

ලෝකයෙන් මිදෙනවා.

මා ළගින් ඉන්නවා.
ඒ වුණාට ඕනෙම දෙයක් කරන්න විදිහක් තියෙනවා.......


තුෂාර විතාරණ

.

Thursday, May 1, 2014

මැයි දිනය සහ වාසු ................. එතකකොට බාහු ................



බලව මිතුර,
දෑස් දෑගිල්ලෙන් මෑත් කර බලව,
රතු පාට හැද, දෑකැති මිටි අත දරා ගෙන,
උන්ගෙ දිනය වෙනුවෙන් උඹලට කත්අදින යන,
දුප්පත් කම්කරුවන් දෙස බලව.............

බලව මිතුර,
වංචාව, අමනුස්සකම අතහැර,
ඔය පෙනෙන පෙරමග නොව,
නුඹ වසාගෙන සිටින අතීතය දෙස හැරී බලව,
කරින් කර නුඹ ව ඔසවා තැබූ,
ග්‍රාමීය කම්කරුවන් දෙස බලව .................

බලව මිතුර,
සත්‍යවාදීබව, මනුස්සකම සිතට ගෙන බලව,
කන්න අදින්න නැති, තඹ සතයක් අත නැතිව,
මැළවුණු දරුමල්ලන්ගේ මුහුණු බලා හිදින,
අනාගතයට බියෙන් මුළුගැණුනු,
අහිංසක කම්කරුවන් දෙස බලව .................

බලව මිතුර,
කම්කරුවාගේ වෘත්තිය වෙනුවෙන්,
අයිතීන්, වරප්‍රසාද දිනා දීමට මගකියූ,
සත්‍යවාදී, මානූෂීය ගති පෙරදැරි කරගත්,
දුප්පත් අහිංසක කම්කරුවන් වෙනුවෙන්,
ජීවිත පූජාකර උරුම කරගත්,
මැයි දිනය පිළිබද,
වාමාංශිකයාගේ යුතුකම දෙස,
දෑස් බැදි අදුරු පට ලිහා,
තව තවත් දෑස් හැර බලව ..........................


කසුප් අනුරාධ

.

Related Posts Plugin for WordPress, Blogger...