Monday, September 29, 2014

එනු මැන...තරු කිරණ සේ...කුමරියේ...



තරු කුසුම් ගෙත්තමේ
ඉඟි පාන මිහිරියේ
ඔබට පිදු හදවිලේ
කොඳ කැකුළු පිපෙන්නේ

සීතලෙන් වෙළුණු රෑ
හුදකලා අසපුවේ
පීරමින් නබෝ ගැබ
ඔබෙ එළිය සොයන්නේ

හෝ හඬින් හමන මේ
මඳ සුළඟ මාරුතේ
කොඳුරන්නෙ ඔබෙ නමයි
කඳු අතර නිම්නයේ

සඳකැනින් නැහැවෙනා
ඈත මිටියාවතේ
ඔබෙ රුවයි මැවෙන්නේ
රුවන් සිතුවමක් සේ

ඔබෙ සුසුම් උණුසුමක්
විමසනා සිත් කොනේ
තරු කිරණ සේ ඇවිත්
රැඳෙනු මැන කුමරියේ



අසංක ගයාන් අබේසිංහ

Friday, September 26, 2014

ඒකට මොකද වුණේ......???


බේබද්දෙක් එක දවසක හැන්දැ කොරේ
පාර පුරා යයි උස්සා සරම කරේ
බීමරගාතෙ දොඩමින් නොමැතිව චාරේ
යන මිනිසුන්ට නොහැකිය බේරෙනු පාරේ

මේ මිනිහා යන පාරට ඉතා ළඟින්
රේල් පාර වෙයි කලබල නිරන්තරෙන්
දැන් මිනිහා වැනි වැනි යයි සැහැල්ලුවෙන්
ගොඩවී රේල් පාරට හරි ලොකු ජොලියෙන්

මෙහෙම යද්දි හෙළුවැලි පසුපස පෙන්නා
කෝච්චියක් පිටිපස්සෙන් දිව එන්නා
මේක නොදන්නා බේබදු බම්මන්නා
කුණුහරුපයක් කියමින් සතුටින් ඉන්නා

ගහයි කෝච්චිය හූ හඬ නළාවෙන්
බේබද්දා පන්නනු ඉවතට පාරෙන්
නළාව ඇසි මේ ගොබිලා කේන්තියෙන්
ඉවතට පැන මරහඬ දෙයි මහ සද්දෙන්

කවුද අඩෝ හූ කියන්නෙ මෙමා හට
කෝච්චියෙත් වෙනසක් නැත මේ පොරට
එහෙම කියා දිගහැර අතපය පෙරට
ගැහුවෙ පයින් පාරකි යන එන්ජිමට

සිහිය නැතුව මොහු දැන් ඉස්පිරිතාලේ
පයින් ගැහුව කකුල කපා ඇත මෙවෙලේ
සිහිය එන විටත් නොදනී ජංජාලේ
ඇහැරෙන විට ඇඳ වට මිතුරන් වේලේ

දැන් දැන් මතක් වෙයි උන්දැට පෙර දිනය
අන්තිමටම හිටියේ හරි ජොලියෙන්ය
ගැහුවෙ කෝච්චියට පයින් හරි කෙළිය
ඇහුවෙ මෙලෙස මිතුරන්ගෙන් වුණු හරිය

අඩෝ මචං...කෝච්චිය පෙරලුණාද බං ?...පයින් ගැහුව විතරයි මට මතක......!!!

( අසා තිබූ කතාවක් කවියෙන් ඉදිරිපත් කිරීමකි )

                                                           අසංක ගයාන් අබේසිංහ

Thursday, September 25, 2014

පුබුදමු මිනිසත් බව අපගේ...



මිනිසත් බව වියැකී යාදෝ...
ගුණවත් බව වැළලී යාදෝ...


පහන් සිලක රැඳි සුමුදු එළිය පොද
ලෙස දිලෙනා අපගේ
සොඳුරු මිනිස් බව
රුදුරු වෙසින් එන
ලොව අදහම් හමුවේ...

වියැකී යාදෝ... වැළලී යාදෝ...

පවනක සිසිලස දැවටුණු වදනින්
හදින් බැඳෙනු හැකිවේ
මුව රැඳි අකුටිල සිනහව පුරමින් සෙනෙහස වපුරවමින්
යා කර මිනිසත් බව රැඳි මිතුදම් යදම් ලෙසින් සවියෙන්
බැඳ ලා ලිය යුතු වේ...

සියුමැලි සුන්දර රසයන් විඳිනට
බාධක පිරි දිවියේ
ඉසිඹුවකින් තොර මිනිස් සිතට අප
හුරු කර ලිය යුතු වේ...

කණ කැස්බෑවෙකු දකීද අහසක්
සිදුරින් විය මෙලොවේ
ඒ ලෙස පෙර පිනකින් ලද දිවියේ
මිනිසත් ගුණ වඩවා
අප ලද දිවියේ සුවඳ විහිදුවමු

මිනිසත් බව පුබුදා...
ගුණවත් බව වඩවා...

 

අසංක ගයාන් අබේසිංහ

Tuesday, September 23, 2014

විකසිතව තබන්නම්......ඔබේ පෙම් කුසුම් මල්......



හිඳින්නේ ඉවසුමෙන් - සිතුම් විහඟුන් රැසේ
බලන්නේ සෙනෙහසින් - ඔබේ දෙනුවන් දෙසේ
රකින්නේ දිවි මතින් - පැතූ පෙම මා ඔබෙන්
එහෙත් සිත් යා වුණේ - නැතිවදෝ සොඳුරියේ



කීරි ගැසි සෙනෙහසක් - නොහැඟුනිද ඔබෙ හදට
වීරියද ගෙන සිතට - සිනාසෙමි ඔබ දෙසට
ඔබ වෙනත් අයෙකු වෙත - හෙලන පෙම්වත් බැලුම්
වැදී මා හද පතුල - සැලී ඉරි තැලී යයි



පවනක්ව ඔබ දෙසට - සුසුම් පා කරන්නම්
සිනා මවමින් මුවග - හැඬුම් යට යවන්නම්
විකසිතව තබන්නට - ඔබේ පෙම් කුසුම් මල්
මගේ පෙම් කැකුළු මල් - මිලින වී ගියාදෙන්

 

                                                             අසංක ගයාන් අබේසිංහ

Monday, September 22, 2014

කැමති විදිහකට හිස්තැන් පුරවාගන්න......!!!



පිරිමි එකක් - හුදකලාවයි
පිරිමි දෙකක් - සහෝදරකමයි
පිරිමි තුනක් - ජොලියයි
පිරිමි හතරක් - බෝතලයයි
පිරිමි පහක් - සාකච්ජාවයි
පිරිමි හයක් - පාටියයි



ගැහැණු එකක් - හුදකලාවයි
ගැහැණු දෙකක් - .................
ගැහැණු තුනක් - ..................
ගැහැණු හතරක් - ................
ගැහැණු පහක් - ...................
ගැහැණු හයක් - ...................



( මෙය විහිළුවක් පමණක් බව කරුණාවෙන් සලකන්න...අනවශ්‍යය වගන්ති සම්පූර්ණ කරගෙන මා සමග අමනාප නොවන්න )

අසංක ගයාන් අබේසිංහ

Thursday, September 18, 2014

ඔබ......රූ......ජායා......



ලා දළු සෙලවෙන මිහිරි සැඳෑවේ
සුළං සරින් ගත නැළවෙන වේලේ
ලා රතු හිරුගේ නිමල රැසේ
ඔබගේ සිතුවම් මසිත මැවේ...

සොඳුරු වුවන සිත පමණි දකින්නේ
නෙත් පිංකර නැත සියුමැලියේ
මිහිරි සුවඳ සිත පමණි විඳින්නේ
හිමි නැත ඔබෙ වත සියුමැලියේ...

තුරු අග රැඳි පත් නිබඳ සැලෙන්නේ
සවන් වැකේ කිංකිණි රාවේ
තුරුපත් සෙවණේ සීතල අතරේ
දැනේ දැනේ උණුසුම ඔබගේ...

මාවත් අතරේ සුදු වැලි ඇතිරූ
අතිනත් පටලා යන සේයා
සිහිනෙන් ගෑ සුවඳයි නෙත් මානේ
වියැකී යයි රූ සිරි ජායා...



 

අසංක ගයාන් අබේසිංහ

Tuesday, September 16, 2014

ඔබ නොවී ඒ......



















ඔබ කොහේදෝ... ඔබ කොහේදෝ...
කාලයේ වැලිතලා අතරින්
සොයමි තවමත්...
 



ඈත කඳු නිම් වළල්ලේ සිට
පාවී ආ ඔබ
රැඳී මුළු සිත
පෙළයි මා අද...
 


ඔබ කොහේදෝ... ඔබ කොහේදෝ...
ස්වප්න ලොව මා රැජිනියේ...
 



නිරුදක කතරේ මිරිඟු පසුපස
ලුහුබැඳී ඔබ මහත් වෙහෙසින්
නැවතුනේ සිත රවටමින් මා
හමුවුණා ඔබ... හමුවුණා ඔබ...
 


ඔබ නොවී ඒ... ඔබ නොවී ඒ...
ස්වප්න ලොව මා රැජිනියේ...
 



දකිනු රිසියෙන් ඔබේ රූ සිරි
සිහින ලොව වෙත යළි පලා යමි
මවෙත එනු මැන සිහිනයෙන් බැස
ස්වප්න ලොව මා රැජිනියේ...

 

අසංක ගයාන් අබේසිංහ

Thursday, September 11, 2014

මට සියල්ල ම ලැබුණි...........................



මීට මාස කිහිපයකට පෙර 
මා සතුව බොහෝ දේවල් නැතැයි
දුක් වීමි මම................

වෙර වීරිය දරා සෙවූවෙමි
ඒ සියල්ල ලබා ගැනීමට සිතූවෙමි
සිහින මැවුවෙමි.....................

අවසන
ඒ සියල්ල මා ලැබූවෙමි......................

මා සතුව නොවූ මුදල් වෙනුවට
රිසි සේ ජීවිතය විදීමට මුදල් ලැබූවෙමි

මා සතුව නොවූ තත්වය වෙනුවට
ජීවිතය ඔසවා තබන තරම් තත්වය ලැබූවෙමි

මා සතුව නොවූ පහසුකම් වෙනුවට
ජීවිතය සැපවත් කරවන්නට තරම් පහසුකම් ලැබූවෙමි

මා සතුව නොවූ උසස් සමාජය වෙනුවට
බාගෙට ඉංගීසියෙන් හිනාවෙන් මිතුරන් ජීවිතයට ලැබූවෙමි

මා සතුව නොවූ සිහින වෙනුවට
ජීවිතය සිහින වලින් පුරවාගනු ලැබූවෙමි

නමුත් 
ඒ සියල්ල තුළින් ජීවිතය විදීමට 
මට තවමත් නොහැකි විය

මන්ද
ඒ සියල්ල ලැබුණු සැනින්
මට මගේ ජීවිතය අහිමිවුණි.........................


තුෂාර විතාරණ


.

Sunday, September 7, 2014

දනිමි නොදනිමි...



















නොමැත මා අසල සියපතක් - එනමුදු දැනේ මල් සුවඳ
නොමැත මා වට මඳනලක් - එනමුදු දැනේ මුදු සිසිලස
පිරිවර දනන් ඇත මා වෙත - එනමුදු දැනේ අපමණ හුදකලා බව
රිසිව සරනෙමි තනිවුණු ලොවක - එනමුදු නොමදැනේ හුදකලා බව


 

කිමද මේ හැඟුම ?...

නොහැක හඳුනා ගන්නට... අවදි සිතින්...


 

මායාවකි එය - හුදකලා ලොවකට කැඳවන
රසඳුනකි එය - නෙතට පිය දසුන් සලසන
සඳ කිරණකි එය - පහන් වනතුරු රැය සරසාලන
ගිරි ශිඛරයකි එය - තරණය කෙරුමටම සිත අදවන

කිමද මේ අරුමය - විටෙක සිත රිදවාලන
කිමද මේ වර්ණය - විටෙක සිත අලවාලන
කිමද මේ ස්වරය - විටෙක සිත නළවාලන

කිමද මේ බැඳුම - විටෙක සිත නවතාලන

 


දනිමි නොදනිමි... එනමුදු...

ඔබයි... ඔව්... ඔබම පමණයි... රැගෙන ආවේ...

ඒ හැඟුම මා වෙත...

 


අසංක ගයාන් අබේසිංහ

Wednesday, September 3, 2014

මේ කියන්නෙ මේ මොනවද.............!!!



 

















වයිපර්:   හබිය ගෙදර උයයි
             ළමයි බලා ගනියි
             මට තියෙන්නෙ ෂපාන් එකේ
             බලන්න ටීවී...


                                හබී:   වයිෆ් පට්ට තමයි
                                         ඒක හින්ද සැරයි
                                         මට තියෙන්නෙ කියන ලෙසට
                                         වැඩ කරන්නනේ...


වයිපර්:  දැන් ලොව හරි නවයි
            පෙර ලෙසටම නොවෙයි
            මේ කාලෙදි කොහෙද මෙයා
            කුලෑටි ගෑණූ...


                               හබී:  ඒක හරිම තමයි
                                      නෝනට හිස නැමෙයි
                                      බැනුම් අහනු බැහැ මට
                                      කට වහගෙන ඉන්නම්...


වයිපර්:  ගැහැණු පිරිමි කියා
            දැන් වෙනසක් නැතා
            පිරිමි කමයි ගැහැණු කමයි
            දැන් සමානනේ...


                              හබී:  ඒක ඇත්ත තමයි
                                     නෝනට මං බයයි
                                     මං පිරිමිය කියල ඉතිං
                                     නමට විතරනේ...


වයිපර්:  බැන්දානම් කරේ
            ගැහිය යුතුය බෙරේ
            පිරිමි තමයි හැම දෙයක්ම
            කරන්න ඕනේ...


                             හබී:  ගෑණු වැඩත් මගේ
                                     පිරිමි වැඩත් මගේ
                                     මේ මොකක්ද මේ විනාසෙ
                                     තෝර දෙන්නකෝ...

 

සභාව:  ලැජ්ජා නැති කමයි
           ජන්මෙ වරද හැඩයි
           නියම පිරිමි නියම ගැහැණු
           කොහෙන් හොයම්දෝ

           පෙර කාලය අගෙයි
           සැමිය දෙවිය තමයි
           ඒත් එයා දැන් ටොමියා
           වෙලා තියෙන්නේ

           නියම පිරිමි හොඳයි
           ගැහැණුන් ගරු කරයි
           ඒත් පිරිමිකම බල්ලට
           දැමිය යුතු නොවේ

           නියම ගැහැණු හොඳයි
           පිරිමින් ගරු කරයි
           ඒත් ගැහැණුකම හොඳහැටි
           රැකිය යුතු වෙතේ

           ගැහැණු පිරිමි කියා
           පංගුපේරු නැතා
           සහයෝගෙයි ආදරයයි
           තියෙන්න ඕනේ

           සොබාදහම ලොවේ
           මැවු ලස්සන ඇතේ
           ගැහැණු පිරිමි කම් ඒ ලෙස
           රැකිය යුතු වෙතේ

           බාග පිරිමි ගොඩයි
           බාග ගෑණු ගොඩයි
           දැන් ලෝකයෙ ගොඩක් අවුල්
           හැදෙන්නෙ ඒකයි

 

අසංක ගයාන් අබේසිංහ

Monday, September 1, 2014

සීයගෙ ආසාව......


























කට්ට අව්ව පායා තිබු දවාලක
ගිනි ගහනා රස්නය ඇති වෙලාවක
ටවුම මැදින් වැටිලා ඇති මහ පාරේ
සීය කෙනෙක් ගමනක් යයි කුදු ගැහිලා

ගොක්කොළ පෙනෙනා වයසේ මේ සීයා
ගමන යන්නෙ කඩිමුඩියේ හැරමිට්ටෙන්
ඔළුව රත්වෙලා ගිනිකන අව්ව නිසා
සීයා හට දැන් දැන් එයි කලාන්තය

ඔන්න ඔහොම ගිහින් ගිහින් බැරි ගාතේ
හොඳටම උත්සන්න වීල කලාන්තේ
හිටිහැටියේ වැටුනි පාර මැද්දෑවේ
හතරගාතෙ දාල සීය උඩුබැල්ලෙන්

සිහිය නැතිව සීයට වී අසාද්ද
මේක දැකල වටවීලා මිනිස් කැළ
දැන් දැන් කතාවෙයි දිය යුතු බෙහෙත් ගැන
මැරෙන්නට නොදී බේරමු සීයාව

හරි හරි දන්නවා කළ යුතු ප්‍රතිකර්ම
කියමින් එකා දෙන්නා එයි පෙරමගට
ඉන් එක අයෙක් ගියේ පිරිස තල්ලුකර
ප්‍රථමාධාර දෙන්නට මේ සීයාට

ගෙනාවොතින් වතුර ටිකක් ඉසින්නට
විහගට හැකිය සීයව ගොඩ දාන්නට
අර ගිය එකා සීයගෙ හිස අල්ලගෙන
බෙරිහන් දෙනව වටේ ඉන්න පිරිස වෙත

මේ කලබලය අස්සේ එක තරුණ ළඳක්
එබිලා බලා සීයා වෙත පහත් වෙලා
කිව්වේ මෙලෙස සිය රූමත් මුහුණ විදා
රැස්ව සිටි පිරිස ඇත දැන් පුදුම වෙලා

මම දන්නෙමි හොඳහැටි ප්‍රථමාධාර
කර ඇත මමත් එහි ලොකු පාඩම් හොඳට
මුවට මුව තියා දිය යුතු වෙයි හුස්ම
නැතිනම් බැරිය සීයගෙ පණ අරගන්න

දැන් මේ පිරිස සීයගෙ පණ පසෙක තියා
ප්‍රථමාධාර වාදෙක පැටලීල ගියා
වතුර ඉහින්නට පොරකයි අර කොල්ලා
කෙල්ලගෙ කෘත්‍රිම හුස්ම දීම හුළඟෙ ගියා

මේ රණ්ඩුව අස්සෙ සීය පණ ඇවිදින්
හෙමින් සැරේ ඇරලා එක ඇහැක් සලා
කෙඳිරි ගෑවෙ එතන හිටපු අයෙක් වෙත
රහසින් මෙන්න මේ ලෙස වේදනාවෙන්

 

අර ලස්සන කෙලී මට කරන්න හදපු එක ඒකිට කරන්න ඇරපල්ලා...උඹල මෙතන මට වතුර මල ජරාවක් ඉහින්න හදන්නෙ නැතුව...!!!



( ඇසූ කතාවක් වෙනස් කර කවියට නැගීමකි )

අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...