Friday, November 27, 2015

හිනා එක්කලා නුඹ අැවිත් උන්නා........


ඉඳින් බැසපලයන්...............
තවත් කුමකට එබෙනවාදෝ වළාකුල් අතරින්
පළාතම රන් පෑ කෙරූ - මවා පෙන්නන්නට හැදූ
හීන ලෝකය තවත් පාරාවී
හඩන්නට කඳුළැල් නැතී
අහිංසක මගෙ නෙත්පෙතී............

මගබලා ඉඳලා..........
සියොලඟම වැහැරිලා කොළ හැලිලා.
නුඹේ උණුහුම මයෙ ළඟින් තියලා.
ගව් ගණන් අෑතින්............. පෙනී නාෙපෙනී නුඹ යන්න යනවා.....

නිල් ගුවන පීරා...........
නේක පෑයට වළාකුල් මැවිලා.
අදහ ගන්නට බැරි කතා කිව්වා.
ඒත් පහුවෙනිදා............ හිනා එක්කල නුඹ අැවිත් උන්නා....

හිතින් දුක්වින්දා..........
මට අයිති නැති හීනයක් දැකලා.
පූදින්න වෙර දැරූ මල් තලලා.
ඝණ අඳුර අැවිදින්.................. පැතූ පැතුමන් කඩා බිඳ දැම්මා.....




තුෂාර විතාරණ


.

Thursday, November 26, 2015

වනේ සරණා අපිට කවුරු සරණක් වේවි ..........



වෑහෙනවා මහතුනේ අාදරේ හිත් අගින්
කැකෑරෙයි හද පතුලේ දරු සෙනෙහෙ දළුලමින්
නොමිනිසුන් නොවේ අප හිගා කෑවත් නුඹෙන්
මිනිස් ගති තේරෙනවා ඉදින් තරහා නොවෙන්

වෑස්සෙන කිරි කදුළු මුගේ කුස පුරවාවි
බඩ බැදන් කිරි කැටිය රැකවරණයත් දේවි
ඒත් කිරි උණන්නට කුසට අහරක් නේවි
වනේ සරණා අපිට කවුරු සරණක් වේවි

පුතේ දවසක නුඹට හැකිවේවි අැවිදින්න
අතුපතර හිත් විලස පැද්දෙමින් පියඹන්න
මේ මවට හැක තෙක් නුඹේ පණ රැකදෙන්න
පුතේ දහිරිය ගන්න.... වැරෙන් අල්ලාගන්න.................


තුෂාර විතාරණ

Monday, November 23, 2015

පුතා පාස් කරලා බැහැ පුතා................



න්තිමයි කියවීම නං
ම්තම්වත් ගැටගහගන්න බැරි හැටි
වැරදි කරනකොට මේ තරං
වලා කොහොම ද උඩ පන්තියට.....????



පසු සටහන - මුදල් අැමති අසලින් ම අමුතු විදිහට බලාගෙන සිටින්නේ අධ්‍යාපන අැමතිතුමන්ය.


කසුප් අනුරාධ


.

Wednesday, November 18, 2015

මේ සටහන මධූමාධවී වෙනුවෙනි........


පාලුයි මචං...
උඹ නැති බ්ලොග් කරලියම
හිනාවේ අඩුවක් දැනෙනවා
හිනා වෙන්නට බැරි තරම්.....

පාලුයි මචං...
උඹ නැති කමෙන්ටු ඔක්කොම
ඉන්නවා අපි මගබලං
ඉක්මනට එනකං තුටිං

පාලුයි මචං...
උඹ නැති සයිබරයම
මගබලං ඉන්නං ඉතිං
හිනා වෙන්නට අා සැනිං


කුගෑගීප


සටහන - මධුමාධවී හී මධුවා රෝගාතුර වීමෙන් පසුව රෝහල්ගත වී සිට මේ වන විට නිවසේ වෙෙද්‍ය උපදෙස් මත විවේකීව ඉන්නා බව දිනකට පමණ පෙර දැනගත්තෙමු... මේ සටහන ඔහු වෙනුවෙනි... ඉක්මනින් අායෙම බ්ලොග් ලියන්නට එනතුරා අපි මගබලා ඉන්නවා මධූවෝ....

.

Sunday, November 15, 2015

කඳුළු හංගන දෙනෙත් අභියස......


කඳුළු හංගන දෙනෙත් අභියස
මතකයට නැගුනා ද කිසිවක්....
ජීවිතේ බර වුනත් දියණිය
ඔරුව මුවදොර බලා පැදපං....

වෙඬරු පිඩ සේ සැනින් උණුවන....
සිත් පොඩිය රිදුනාට ඉඳහිට
ලෝකයෙම බර වැටේ හිස මත....
දරාගන්නට වේ ය නුඹහට

නුඹ රැඳෙන්නේ යෙහෙන් මිහි පිට
කාගෙ හෝ වෙන නිසා තවමත්....
නමුදු සිහියට නගන් දියණිය
තනිවෙන්න සිදුවේ ය නුඹටත්....


ඉසුරිකා උත්පලානී


.

Thursday, November 12, 2015

කඳුළු කැට කැට තවත් වෑහෙනවා.............





හිතේ පාලුව තවත් ඉකිලනවා
රාේස පෑ උවනට මුවාවී 
නීල දෙනයන තෙත් කරාවී
පෑල දොර අැරලා දුක පලා යනවා
හිතේ පාලුව තවත් ඉකිලනවා................

සැඩ සුළං හමලා
තැනූ මන්දිර අරං ඉගිලෙනවා
ඔය හිනා නැති
ඔය කතා නැති 
අාදරේ හෙට තවත් තනිවෙනවා
නෙත් කෙවෙනි පලලා
කඳුළු කැට කැට තවත් වෑහෙනවා.............

මුතු හිනා මැවිලා
මගෙ හීන ටික බලෙන් උදුරනවා
නුඹ ළඟින් නැති
සුවඳ එන්නැති
මගෙ හීන හෙට තවත් තනිවෙනවා
මගෙ සවන් පලලා
ඉකිගහන හඬ තවත් රැව්දෙනවා..............



තුෂාර විතාරණ


.

Tuesday, November 10, 2015

පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං ..........



වයිෆ්-             මා සමග දොඩන්නට අද ඔබට වෙලා නැත
හස්බන්ඩ්-       මගේ වැඩ ලෝකෙ වැඩවලට මං හිරව ඇත 

වයිෆ්-             කඩදාසි තීරු වෙයි ඔබේ පෙම් ලෝකෙ අද
හස්බන්ඩ්-      දොඩන්නට ඔබ සමග පෙම් වදන් නොමැත මට

වයිෆ්-             එදා කීවානෙ ඔබ මං ඔබේ මුලු ලොවයි
හස්බන්ඩ්-       කවදාද මං කිව්වෙ මතක නෑ හැබෑමයි

වයිෆ්-             සිතුවෙ නම් ඔබ එදා පෙම් මැදුරු තනන්නට
                      ජීවිතේ හැම සැපම සෙනෙහසින් පුදන්නට 

හස්බන්ඩ්-       වැඩ බහුල ලෝකයේ ඉඩ කොහිද සෙල්ලමට
                      කෑ ගහන විට සිතෙයි තලන්නට හොම්බ කට

වයිෆ්-             ජීවිතේ එපා වී ආදරෙන් මුලා වී
හස්බන්ඩ්-       හෙට බාර නොදුන්නොත් ලොක්ක මට බනීවී

වයිෆ්-             පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං
                      එදා මට කියූ හැටි මතකවත් නැති තරං 

හස්බන්ඩ්-      ඔපීසියෙ මට තියෙන වැඩ ගොන්න දැක්කනං
                      එලොව පොල් පේනවා මෙලොවදිම දැං ඉතිං

වයිෆ්-             අනේ මොන කරුමෙදෝ එන්නේ මේ පෙරලිලා
                      යනවනං අනේ මං මේ ලොවෙන් මියැදිලා

හස්බන්ඩ්-      කියන්නේ ඇයි සුදෝ කරුමෙ මං කියාලා
                      ඔබ මැරුනොතින් මගේ හර්දෙ යයි පැලීලා

වයිෆ්-            කීවා නම් ඔය වගක් මං බනින්නට කලින්
                     මොන වැඩට හිර වුනත් මට කමක් නෑ ඉතින්

හස්බන්ඩ්-        පෙම් මැණික රන් කැටය පණ මගේ රත්තරං
                       උණු උණුවෙ ටී එකක් ගෙනාවොත් ඉස්තරං



ඉසුරිකා උත්පලානි



.

Sunday, November 8, 2015

ඔබයි හිමියනි ලොවක් පතනා මෙතේ බුදු රජිඳෝ..............



ඔබයි හිමියනි අපේ කාලේ
මහ කසුප් තෙරණෝ...........................
වනේ සිට වැඩලා
දහම් හඩ නගලා
සාසනේ පිරිසිදු කළා මෙන්
මේ බිමට පහණක් වුණා.......

ඔබයි හිමියනි අපේ කාලේ
අනඳ මහ තෙරණෝ...........................
කල්පයක් බලලා
දස පෙරුම් පුරලා
කලින් දා අරහත් වුණා මෙන්
ඔබේ යුතුකම ඉටුකළා.......

ඔබයි හිමියනි ලොවක් පතනා
මෙතේ බුදු රජිඳෝ...........................
මෝහ දුක දුරලා
ඝණ අඳුර මකලා
සිත් සතන් සුවපත් කරන් නන්
දනන් නිවනට කැඳවනා.......



කුගෑගීප


.

Thursday, November 5, 2015

ලක්ෂයට කොඩිය දැමීම....................... අපි ලක්ෂය පැන්නෝ....



නැරඹූවන් ගණන - 100,260 ට වැඩි

බ්ලොගයට වයස - දින 900

පෝස්ට් ගණන - 331

කමෙන්ටු ගණන - 10,030 ට වැඩි

ෆලෝවර්ස් ගණන - 138

ගූගල් මිතුරු කැළ - 270

ෆ්ලෑග් කවුන්ටර් රටවල් ගණන - 80



කවි වලින් විතරක්
මෙහෙම ගමනක් යන්න
අපිට හිටපු ලොකුම ශක්තිය
උඹලා හැමෝම තමා......

ඒ වෙනුවෙන් කුරුට්ටෝ හැමෝම
උඹලා ඔක්කොට ම 
මෙහෙම කියන්නම්

බොහොම ස්තූතියි මචං........


.

Tuesday, November 3, 2015

දීපං යකෝ......!!!




දිනක් දේශපාලකයකු හොරෙකුට හසුවෙයි. ඌ පිස්තෝලය උරුක් කරගෙන සිටින්නේ මොහු මැති සබේ උත්තමයකු බව නොදැනය.

හොරා : දීපං යකෝ උඹ ළඟ තියනා සල්ලී
දේශපාලක : දෙන්න සල්ලි මා ළඟ දැන් නෑ මල්ලී

හොරා : ඒත් උඹේ පෙනුම වෙයිනෙ මහමෙරක
දේශපාලක : ඒත් අනේ මා වෙමි හරි අහිංසක

හොරා : දුප්පත් කමක් උඹ අහලක නැති ගානයි
දේශපාලක : ඒක ඉතිං අපි කළ පිං මහිම තමයි

හොරා : ලොව කා වතුර බිව් පෙනුමක් ඇත උඹට
දේශපාලක : එහෙම නැතුව බෑ මේ රට කරන්නට

හොරා : මොකක් බොලං උඹ දැන් කිව් ඒ හරුපේ
දේශපාලක: ඇයිද යකෝ උඹ නොදනිද මගේ රූපේ

හොරා : මට මොකටද උඹෙ පිංබත් මැටි රූපේ
දේශපාලක : එහෙම කියනු නරකයි වදිනව සාපේ

හොරා : හා හා කියමු උඹෙ ජොබ් එක නොයා වටේ
දේශපාලක : මා වෙමි උතුම් පාලකයකු අපේ රටේ

හොරා : අම්මට හුඩු එහෙනම් මට හොර සල්ලී
             ඉල්ලනු අවැසි නැත උඹගෙන් දැන් මල්ලී
             මෙතුවක් කලක් හොරා කාල යැව් පිල්ලී
             දීපං යකෝ උඹලා ගත් මගෙ සල්ලී


අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...