Tuesday, November 19, 2013

චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ....

                      මව්පියන්ට දරුවන් ලොව ඇති එකම වස්තුවය. එමෙන්ම දරුවන්ට ද මේ ලොව මව්පිය දෙදෙනා ට සම සෙනෙහසක් කොහෙන් ලැබේවිද? ඔවුන්ගේ දරු සෙනෙහසට සම කරන්නට මේ ලොව තවත් සෙනෙහසක් නොමැති තරම්ය. එමෙන්ම දරුවන්ට මුලින්ම හරි වැරැද්ද තොරා බේරා දි ඔවුන් නිසි මාවතට ප්‍රවිශ්ට කරන්නේ ද දෙමාපියන්ය. මේ හෙයිනි මව්පියන් මුල්ගුරුවරු යන අර්ථ සහිතව පුබ්බාචරියාය  ආහුන්‍යෙ ආදි ගෞරවාර්ථ නාම වලින් හදුන්වන්නේ. දරුවන් කොතරම් බරපතල වරදක් කළද ඒ හැම වරදකට ම ඔවුන් සමාව දෙයි.ඔවුන් ගේ හදවතේ ඇත්තේ තම දරුවාය යන හැගීමය.දයාවය අනුකම්පාවය සෙනෙහසය. මේ හෙයින් ඔවුන් දරුවන් කිසිම මොහොතකදී හෝ දරුවන් අත්නොහරීන්නේය. අංගුලිමාල අවසානයේදී ඔහුගේ ඉරණම වූයේ රාජ උදහසින් මරණයට පත්වීමය. මෙය කණ වැකුණ ඔහුගේ මව ඔහු සොයා යන්නේ මිනීමරුවෙකු වුවද තම පුතු කෙරෙහෙ වු අප්‍රමාන දරු සෙනෙහස නිසාවෙනි. මවකට පියෙකුට තම දුව හෝ පුතා යනු මාහැගි වස්තුවකි.අබරණයකි. රත්න ශ්‍රී විජේසිංහයන් අතින් පබැදෙන චන්ද්‍ය මන්ඩලේ සැතපුන පුංචි සාවියේ.. යන ගීතය සදහා ද වස්තුවිෂය වී ඇත්තේ මෙකී අප්‍රමාණ වු දරු සෙනෙහසයි. මවක් ද නොමැතිව තම දියණිය ඉතා දුක් මහන්සියෙන් හදාවඩා ගන්නා පියෙකු යැයි සිතිය හැකිය. එවැනි පියෙකු තුළ තම දියණිය පෙම්බරයෙකු සමග රහසේම නිවසින් පිටවී යාම හේතුකොට ගෙන එකී පියාගේ හද තුළ කැකෑරෙන අප්‍රහිත දාරක සෙනෙහස පිළිබදව සිද්ධියකි මෙකී වස්තුවිෂය ලෙස දිග හැරෙන්නේ . රත්න ශ්‍රීයන් එය අපූරු ලෙස ගීතයට නගන අන්දම මනස්කාන්තය.
                     
                        චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ
                        මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ
                        පාන නිවුන සේ පාලුයි ලැයින් කාමරේ
                        මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ

රත්න ශ්‍රීයන්ගේ ප්‍රතිභා ශක්තිය අපූරුවට ගම්‍ය කිරීමට සමත්වන්නේ මෙහි ඇති චන්ද්‍ර මන්ඩලේ සැතපුන පුංචි සාවියේ යන්න මගිනි. කවියා කථකයා විසින් හෙළිදරව් කරන ඔහුගේ දියණිය සම කරනුයේ චන්ද්‍රයා මතුපිට දිස්වන්නාවු සාවාටය. මෙම සදේ සාවා පිළිබද ජනප්‍රවාද මගින් අපුරු කතාවක් දක්නට ලැබේ. මෙකි කතාවේ සාවා සක් දෙවි විසින් එ හාවාගේ උතුම් ගුණය සලකා සදේ සිත්තම් කළා යැයි ගැමියන් විසින් විස්වාස කරනු ලබයි. මෙය ජාතක පොතේ එන සස ජාතකය මගින් ගැමියන් අතට පත්වූ කතාවකි. රත්න ශ්‍රීයන් මෙය සිහි වූවාක් මෙන් ඔහු කථකයාගේ දියණිය සම කරනුයේ මෙම සදේ සාවාටය. මෙකී සාවා මුලින්ම සාවියෙකු කිරීමේ ගෞරවයද හිමිවන්නේ ද රත්න ශ්‍රීයන්ටය.
කවියා විසින් කථකයාගේ දියණිය රහසේ පලා යාම රසික  හද සන්තාන ගතකරන්නේ අපූරු ආකාරයටය. මන්ද කියාපන් නොකියා හැංගිලා ගියේ එය ධ්වනිත කරනු ලබයි. කථකයාට තම ගෙදර සිටි දියණිය නොමැති අඩුව කොතරම්ද යත් ගෙයි පහන නිවුණු කලක මෙනි. මුලු ගෙදරම පාලු අන්ධකාරයෙන් වැසී ගොසින්ය. කථකයාගේ බලාපොරොත්තු සියල්ල ද නිවී ගොස් ඇති පහන මෙනි. ඇතැම්විට මවද නොමැතිව තම දියණිය උස්මහත් කරන්නට ඇත්තේ සක්විති රජෙකුට අත් දෙක දෙන්නට මෙන් මහත් බලපොරොත්තු කන්දරාවක් සිත්හි පුරවාගෙනය. දුක් මහන්සි වී වෙහෙස නොතකා රෑ දවල් නොබලා වැඩකර නිවසට එන්නට ඇත්තේ දියණිය කිනම් හෝ දිනයක ඉහළ තැනක වැජඹෙනවා දැකීමේ පරම අභිලාශයෙන් වන්නට ඇත. නමුත් ඒ බලාපොරොත්තු සියල්ල තම දියණිය බිද දමා ගොසින්ය. පියෙකුට මෙය කොතරම් හිත්වේදනාවට කරුණක් ද යන්න මන්ද නුඹ ගියේ කියපන් පුංචි සාවියේ යන්න තුළින් ගම්‍ය වේ. පියාට හැකි අයුරින් ඇයට සියලු සම්පත් සලසා දෙන්නට ඇත. නමුත් පියාට ඇති එකම ප්‍රශ්නය මෙතරම් සෙනෙහසක් දැක්වුවද තමා හැරදා යාමට තරම් තමාගේ සෙනෙහස ආගන්තුක අයෙකුට දෙවැනි වූයේ කෙසේද යන්නය. මන්ද කියාපන් මන්ද නුඹ ගියේ ලෙස යෙදීමෙන් කථකයාගේ උක්ත ප්‍රශ්නය රසික හද සන්තානයේ දනවන සුලුය.

 ලාබ රත්තරන් දිලිසෙන පාලු විදියේ
ගෑනු ළමයි පියාඔලා ඉස්සරත් ගියේ
උන්ට සෙයිලමේ මගතොට පාර වැරදුනේ
අන්න ඒ නිසයි මට දුක රත්තරං දුවේ

කථක පියාට තම දියණියගෙන් සිදුවු වැරැද්ද කමක් නැත. තමා හැර දමා යාම පියාගේ සිත සනසාගන්නට පුලුවනි. නමුත් තම දියණියට වරදක් සිදුවේ දැයි තම පියාට දැඩි බියක් දැනේ. ඒ නිසාවෙනි කථකයාගේ සිත වාවාගත නොහැක්කේ. මක්නිසා ද යත්  කථකයා මීට පෙර ද තම දියණිය සේ නගරයට ගිය ගැහැණු දරුවන්ට සිදුවූ ඛේදනීය ඉරණම සිහිපත් වෙන හෙයිනි. කථකයා  දිවා රෑ නින්දක් නොමැතිව සිතන්නේ ද තම දියණියද මුලා වී ගොස් ඇගේ ඉරණම ද අභාග්‍යසම්පන්න තත්වයට ගොදුරු වෙයිදෝ යන්නය. කථකයා නගරයේ දකින්නේ ව්‍යාජත්වයෙන් පිරීගිය පුරයක්  ලෙසය. ලාභරත්තරං යන්න එය මනාව ගම්‍ය කරනු ලබයි. මෙලෙස නගරයට ආගන්තුකව යන ගැහැණු දරුවන්ගේ ඉරණම නැවත පිරියම් කළ නොහැකි තරමට ඛේදනිය තත්වයකට පත්වෙයි. කථකයා ඒ බව හොදින් දනී. වත්මනේද මේ තත්වය එසේම ය. ඇතැම් විට මුදල් උපයා ගැනීම සදහා නගරය බලා ගියද ඔවුන් ගොදුරු ලෙස බිල්ලට ගැනීමට මාන බලන ජාවාරම්කරුවන්ගේ නෙත් ඒ තරුණියන් දෙසම එල්ලවී ඇත. ඇතැම් සමාජ ඛේදවාචක ලෙස ගිනිය හැකි ගණිකා වෘත්තියට ද යොමු කරගනු ලබන්නේ මෙලෙස ආගන්තුක ලෙස නගරයට සේන්දුවන ගම්වල ගැහැණු දරුවන්ය. මෙම කථකයාගේ සිත ද ඇතිවන්නේ ඊට සමාන වූ බීතියකි. නොවෙසේනම් තම දියණිය විසින් කථකයා හැරදමා යාම පිළිබද ව කෙසේ හෝ සිත සනසා ගත හැකිය. නමුත් කථකයාට ඇති දුක තම දියණියගේ ජීවිතයට කිසිදු හානියක් කරදරක් සිදුවුවහොත් යවන්න පිළිබද බීතියකි. එය කථකයාට දරාගනු නොහැකි තරම්ය. එබැවිනි අන්න ඒ නිසයි බය මට දුක රත්තරං දුවේ කියනුයේ. යට කියන ලද උදුරනයෙන් දියණියට කථකයා එනම් පියා තම දියණි කොතරම් විශාල වරදක් කළ ද  ඇයගේ සුඛ විහරණයම අපේක්ෂා කරන  බැවින් ඇය දුකට පත්වේදෝයි සිතා දුක්වන ආකාරයක් ස්ඵුට වේ.
                    මව් පියෝ තම දරුවන්ගේ සුඛ විහරණයම  අපේක්ෂා කරන්නෝ වෙත්. තමන් හැරදා ගියද ඔවුනට දරු කැක්කුම නෑරේ. මෙම දියණිය පිළිබදවද කථකයාට ඇත්තේ ද එවැනි හැගීමකි. කොතරම් වරදක් කළද තම දරුවා යන හැගීම මවකට පියෙකුට තුරන් කර දැමිය නොහැකිය. ඔවුනට වෛර කළ නොහැකිය. ඔවුහු තුන්කල් උපේක්ෂාව වඩන දරුවන් දෙස මුදිතාවෙන් බලා සතුටු වන සතර බ්‍රහ්ම විහරණයෙන් බරිත වූවෝ වෙති. රත්න ශ්‍රී යන් සමස්ත පියවරුන්ගේ හා මව්වරුන්ගේ හද ගැස්ම පිඩු කොට දක්වන්නේ අපූර්වත්වයෙන් යුක්තය.

මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ
මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ
හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ
පාර  මතක නම් තාමත් ගේ ලගයි දුවේ

රත්න ශ්‍රී යන් කූට ප්‍රාප්තියේදී ද කථක පියාගේ සිත නැවත ආවර්ජනය කරන ආකාරයක් දක්වනු ලබයි. කථකයා තම සන්තානය පීරා බලන කළ මෙනෙහි වන්නේ කිසියම් තරුණයෙක් ආ ගිය බවත් ඔහු හා තම දියණිය පිළිබද කිසිදු සැකයක් ඇති නොවුන බවකි. මෙය කවියා දක්වනු ලබන්නේ ප්‍රතිභාවෙන් යුක්තවය. මාල බැදන් සුදු යකඩෙන් රෝස මල් වනේ මාල ගිරව් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ යන්න තුළින් එය මනාව විශද වේ. කවියා දියණිය හා මෙම තරුණයා ද ඔවුන් අතර ඇති ආදරය ද අපූරු ලෙස ව්‍යංගාර්ථවත්ව දක්වා ඇති සේය. ඔහු කිසිම තැනක තරුණයෙක් පිළිබදවත් තරුණියක් පිළිබදවත් ඔවුන් අතර ආදරයක් ඇති බවක් හෝ දක්වා නොමැත. එය රසිකයාට සන්නිවේදනය කරනුයේ සංකේත හරහා ව්‍යංගාර්ථවත්වය. සුදු යකඩෙන් මාල බැදන් මාල ගිරව් ගේ දොරකඩ සිංදු කීම ආදිය තුළින් ව්‍යංගාර්ථයෙන් දක්වුයේ තරුණයා බව අපට හැගී යනු ඇත. එමෙන්ම ඔවුන් අතර වූ ආදරය රෝසමල් වනේකට සමාන කොට ඇත. තරුණ ප්‍රේමයක් යන හැගීම මෙයින් ගම්‍ය කෙරේ. මොවුන් දෙදෙනා අතර නිතර කතාබහක් වූ බව කථකායාට මෙනෙහි වෙයි. මාල බැදන් ගේ දොරකඩ සිංදු කිව් වෙලේ යන්න තුළින් දක්වනුයේ එයයි. නමුදු කථක පියාට එය සැකයක් ඇති වීමට  තුඩුදුන්නක් නොවු බව කවියා දක්වනුයේ හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ ලෙසය. මෙයින් කථකයා තම දියණිය පිළිබදව තබන ලද විශ්වාසයත් මොනවට පැහැදිලි වෙයි. එසේම කථකයා කිසියම් පසුතැවීමක් ද සිත්හි ඇති බව පෙනී යනු ඇතැයි සිතෙයි. හීනෙනුත් හිතුනෙ නෑ මට මොකද කාරනේ ලෙස කීමෙන් මේ පිළිබද හාන්කවිසියක් වත් දැනගත්තා නම් කථකයාට මෙය වලක්වා ගන්නට ද තිබුණේ යන්න කථක පියාගේ සිතට හැගෙන අයුරක් උක්ත උද්ධෘතය තුළින් විශද නොවන්නේද? අවසාන වශයෙන් කථකයා තුළින් නිරූපිත වනුයේ සමස්ත මව්පියවරුන්ගේ දරු සෙනෙහසේ තරම පිළිබදවය. කථකයා තම දියණියට කියනුයේ පාර මතකනම් තාමත් ගේ ලගයි දුවේ ලෙසය. කථකයා තම දියණියට නැවත ගෙදර එන ලෙස ආරාධනාවක් ව්‍යංගයෙන් කරනු ලබයි. ඇය කරන ලද වරදට සමාව දී ඇතිබවක් ද මෙයින් ධ්වනිත වෙයි. එය කවියා ව්‍යංගාර්ථවත් ලෙස දක්වනු ලබන ආකාරය අපූර්වත්වයෙන් යුක්තය. පාර මතක නම් තාමත් ගේ ලගයි දුවේ.. ලෙසය කවියා තම දියණියට නැවත ගෙදර එන ලෙස දක්වනුයේ. රත්න ශ්‍රි  අතින් ලියැවුන මෙකී ගීතය  පියෙකු තුළ තම දියණිය කෙරෙහි ඇති අප්‍රහිත සෙනෙහස මොනවට කියාපාන අතරම සමස්ත මව් පියවරුන් තම දරුවන්ට කොතරම් ආදරයක් සෙනෙහසක් දක්වන්නේ ද යන්න මෙම ගීතයෙන් මොනවට පසක් වනු ඇත. රෝහණ වීරසිංහයන්ගේ ස්වර රචනය ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයද අප හදවත් කරුණා රසයෙන් පිරී යනු ඇත.

Tuesday, November 12, 2013

කොළඹ කොටුවේදී මවක් ගෙළවැලළා ගැනීමට උත්සහ ගනී .............



වෙනකෙක් නෙමේ දරුවන් දූෂණය කරේ
උන්ගෙම තාත්තා
දරුවෝ ටික අරං ගිහිං පොලීසියට
අනික් දවසේ දැම්මා උසාවියට
පරිවාසේ නෝනා උඩින් පල්ලෙන් අහලා විස්තර
ළමයි දානවැයි කිව්වා ළමා නිවාසයකට
ගෙදර ආ‍රක්ෂාවක් නැතැයි කිව්වම
මං මොනවා කියන්න ද දෙයියනේ ................

එදා ඉදලා බෑ මට ගෙදර ඉන්ට
ඇහෙන්නෙම පොඩි උන්ගේ ඇඩිල්ල
හීනෙන් ඇවිත් හීං එකී කියනවා
ගෙදර එක්කන් යන්ට කියලා
ගිහිං ඇහුවම ළමා නිවාසෙට
ළමයි පෙන්නන්න බෑලු කියන්නලු පරිවාසෙට
පරිවාසේ නෝනට පිටිං යන්න බැරිලු උසාවි නියෝගෙට
මං මොනවා කරන්න ද දෙයියනේ ....................

දරුවෝ මරං කන්න හදපු අමන මිනිහා
එක දවසක් පොලීසියේ තියාගෙන
අපිට පේන්න බැන්නා විතරයි උෟට
අනික් දවසේ උසාවි දැම්මට
ඇප දුන්නා යටිගිරියෙන් කෑ ගහපු ලෝයර්ගේ කටට
මිනිහා ඒ ගමන් ගියා අනික් ගෑණිගේ ගෙදරට
ගේ දොරකඩට ම ඇවිත් බැන්නේ මට
ජීවත් වෙලා ඉන්න දෙන්නෑ කියලා ඌට කරපු දේට
මං මොනවා කරන්න ද දෙයියනේ ......................

ගියා කියන්න ඕනේ හැමෝම ළගට
කිසි කෙනෙක්ගෙන් පිහිටක් නෑ මගේ දුකට
ළමයි ටික ළග නැතුව පපුව ප‍ැලෙන්න එනකොට
මැරිලා ගියානං හොදයි කියලා හිතුනා මට
පොලීසිය උසාවිය පරිවාසේ විතරක් නෙමේ
මේ ලෝකේ මොන කෙංගෙඩි තිබ්බත්
නීතියක් කියලා මොන හරුපයක් ලියලා තිබ්බත්
තමන්ගේ ම ළමයි දූෂණය කරපු එකා
හොර ගෑණිත් එක්ක ඉන්නවා හරි අගේ ට
ළමා නිවාසෙකට දාලා  දුක් දෙනවා ළමයින්ට
මං මොනවා කරන්න ද දෙයියනේ ......................

මේ අවනඩුව තේරෙන්න අැරලා 
මැරෙන්නයි කියලා හැදුව මට
පොලීසියෙන් එක්කන් ගිහින් 
නඩු දාලා උසාවිත් දාලා
දැම්මා මාව මනෝ වෛද්‍යවරයෙක් ගාවට
අනේ හත් දෙයියනේ ...........................
ළමයි දූෂණය කරපු තාත්තට 
නිදහසේ ඉන්න දීලා හොර ගෑණිත් එක්ක පවුල් කන්න දීලා
අමාරුවේ වැටුණ ළමයි ළමා නිවාසෙට දාලා
ළමයි ඉල්ලපු මාව උසාවි දාපු 
මේ මහලොකු මහත්තුරු දැන් කියනවා පිස්සුලු මට
අනේ මහත්තයෝ පිස්සු ම‍ට නොමේ ----------

තුෂාර විතාරණ

.

Monday, November 11, 2013

මන්මෝහන් සිංගේ ඉල්ලීම .......................



අනේ ලලිතා ඔයා කිවු හින්දා
යුද්ධ කාලේ මං සද්ද කලෙ නෑ
ඔයා දන්නවා ප්‍රභා වෙනුවෙන් මං
කොච්චරක් නම් දුක් වුණා කියලා ...................

අනේ ලලිතා ඔයා කී අයුරින්
යුද කවුන්සිලයේ දී මං බැන්නා
එකට බත්පත කෑ අසල්වැසියා
දැක්කේ නෑ වගේ පාවලා දුන්නා ......................

අනේ ලලිතා ඔයා සනසන්නයි
විටෙං විට මං එක එකා යැව්වේ
උතුරේ ඇවිදලා බනින්නැයි කිව්වා
අම්මපා ඒ ඔයා වෙනුවෙන්මයි .....................

අනේ ලලිතා මේ ගමන නං බෑ
නාකි මං ගැන තව ටිකක් හිතලා 
ගිහිං ආවට කමක් නෑ කියලා 
කියන්නට බැරි අැයි ද මගේ ලලිතා ...................

රට්ටු දැක්කට කමක් නෑ කියමූ
උංට හංගන් ඉන්න බැරි හන්දා
ලෝකයා දැනගත්තාම මේ දේවල්
හිනාවෙයි උං මට නයා පෙන්නා .....................

තුෂාර විතාරණ

.

Friday, November 8, 2013

ආත්මාර්ථකාමීත්වය......













ඉසුරුමුණි ඔහු
ඉසුරුමුණි ඈ
මේතරම් ප්‍රේමයක්
ආදරයක් කොහෙන්
යැයි
දහසක් කිවිවරුන්
සැලමුතු ප්‍රේමය
සමකරනා
මේ යුවළ
සැබෑම ප්‍රේමයේ ආදරයේ
ප්‍රතිමූර්තියද?
නැත නැත
එය මුලාවකි. මායාවකි.
ඔවුන් කොටුකර
එය ප්‍රේමය....
සැළමුතු ප්‍රේමය..
යැයි කීම
ආත්මාර්ථයකි.
නොපෙනෙන්න‍
නොදැනෙන්න
පියවි ලෝකයට
ඇය ඔහු ගැනත්
ඔහු ඇය ගැනත්
සැක කරන්නට ඇත
දහස්වර...
ගල්තලාවක ඔවුන් තබා
නොතෙරපන්නට
මේ වන විටත්
ඔවුන් වෙන් වී
බොහෝකලක් වනු ඇත

හසිත හර්ෂණ

Monday, November 4, 2013

පබළු නගේ- නාමල් තිලකේ.....

                  සම වයසේ පසුවන ළමයින් එකතු වූ විට කෙළිදෙලෙන් කාලය ගත කිරීම බොහෝවිට දක්නට ලැබෙන්නකි. එසේම මෙලෙස ඔවුන් එකතු වූ විට ඔවුන් සිටින්නේ ද ඔවුන්ටම ආවේනික වූ ලෝකයක කිරුළු දරාය. තවද ඔවුනොවුන් අතර වෙන් කළ නොහැකි සෙනෙහසකින් එකට බැදී ඇත. මෙලෙස කාලයක් තමාගෙ ලෝකයේ තනි නොතනියට කෙළිදෙලෙන් කාලය ගතකළ තම හෙවනැල්ල සේ ළගින් සිටි  තම මිතුරිය තමාගෙන් අකාලයේ සමුගෙන යාමක් පිළිබදව දැක්වෙන අපූර්ව ගේය පද රචනයකි මෙලෙස අප විචාරයට බදුන් කරනු ලබන්නේ. එය රම්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් පබැදුණු ගුණදාස කපුගේයන්ගේ ස්වර රචනයෙන් හා ගායනයෙන් අලංකෘත වූ ගේය පද රචනාවකි.

පබළු නගේ- නාමල් තිලකේ
පුංචි ඔසරි මැනිකේ - සුමනෝ
උඹ ඇයි නැත්තේ......

මෙහි එන කථකයා බාල ළමයෙකි. ඔවුත් සමග කෙළිදෙලෙන් කාලය ගතකරන ලද්දේ තවත් ඒ වයසේම පසුවන ලද හුරුබුහුටි දැරිවියකි. ඒ බව උක්ත දක්වන පබළු නගේ- නාමල් තිලකේ - පුංචි ඔසරි මැනිකේ ආදි ලෙස කථකයා ඈ අමතන සුරතල් පද වලින් පසක් වේ. තවද ඈ කෙරෙහි පැවති සෙනෙහස පිළිබදව ද මෙකී සුරතල් පද වලින් මොනවට පැහැදිලි වේ. නමුත් කථකයාගෙන් ඇය සමුගෙන ඇති බවක් එකී පද්‍ය කොටසින් පැහැදිලි වේ. එනම්  උඹ ඇයි නැත්තේ..... යන්නෙනි.  පෙර කථකයාගේ තනි නොතනියට කෙළිදෙලෙන් කාලය ගත කිරීමට ඔහු පසුපස වැටී එන ලද්දේ මෙකී දැරිවියයි. නමුත් දැන් ඇය නොමැති සෙයකි.

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හද යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිද ගණිනවා
වෙනදා වාගේම තලමල පිපිලා
තිබුණට ඇළ ළග වත්තේ
සුමනෝ - උඹ ඇයි නැත්තේ...

කථකයා අනතුරුව ඇය හා ගෙවූ අතීත ස්මරණයක යෙදෙයි. කථකයාගෙන් මෙලෙස සමුගෙන ඇති දැරිවිය ජීවත්ව සිටි කාලයේදී ඔහු සමග දුව පැන ඇවිද ගිය ඉසව් පිළිබද ඔහුට මෙනෙහි වන්නේ සළරූ පෙළක දසුන් පෙළක් මෙනි. මොවුන් දෙදෙනා ගම්බද පරිසරයක ජීවත් වෙමින් ගමෙහි වූ සුන්දරත්වයන් වින්දනය කරන්නට ඇත. ඒ බව උක්ත පද්‍ය පෙළ ගැස්ම සාක්ෂි දරනු ඇත. වරෙකදී ඔවුන් වැව අසලට ගොස් රුක් සෙවණක හිදිමින් වැවේ අසිරිය බලා සිටින්නට ඇත. අඩ සද පායා වැව් දියමත පතිතවන අයුරු  හා යායට පිපී ඇති කෙකටිය මල් යාය ඔවුන් තුළ ආනන්දයක් ජනිත නොකරායැයි කෙසේ නම් කවරෙකුට තර්ක කළහැක්කේද? පෙර දිනයේ දී ඔහු හා ඇය බෝ ගස් සෙවණක හිද ඔළිද ගනින්නට ඇත. නමුත් කවියා දක්වන  මම අද තනියම ඔළිද ගනිනවා... යන්න තුළින් ගම්‍ය කරනුයේ ඇය ඔහුගෙන් සමුගෙන ගොස් ඇති බවකි. ඇය සිටියානම් ඔහු කිසිවිටකත් තනියම ඔළිද ගනින්නට වන්නේ නැත. මක්නිසාද යත් පෙර ඇය සෙවණැල්ල සේ ඔහු පසුපස වැටී ඔහු සමග සිටි බැවිණි. ඇය කථකයාගෙන් සමුගෙන වැඩි කාලයක් නොවන බවක් ද ධ්වනිත වෙයි.  වෙනදා වගේ ම තලමල පිපිලා තිබුණට ඇළ ළග වත්තේ.... යන්නේන්  එය මනා ලෙස විශද වේ. තලමලක්  දවසකින් පරවී යන්නේද නොවේ. එය මාස කිහිපයක්  එක ලෙස  තිබී ගස සමගම  විනාශ වී යයි. මෙම තලමල පිපී තිබීම තුළින් ඇය  ඔහුගෙන් සමුගෙන වැඩි කාලයක් නොවන බව ධ්වනිතකර සිටී. තවද තලමල පිපීම ගමක අශුභ නිමිත්තක් ලෙස පැරැන්නෝ සලකනු ලබත්. ගම පාලුවට ලක්වීම විනාශයක්  ආදි  ලෙස අශුභ නිමිත්තක් ලෙස පැරැන්නන්ගේ අදහසක් මෙම තලමල පිපීම සලකනු ලබයි. මෙය කවියා යොදාගනු ලබන්නේද කථකයාගේ ළගින්ම සිටි යෙහෙළියගේ වියෝවීම සංකේතවත් කිරීමට බව පෙනේ. කථකයා විමසන්නේ ඈ ජීවත්ව සිටි දවස්වල පිපී තිබුණ තලමල එලෙසම තිබුණ ද ඇය නැත්තේ ඇයි කියාය. ඔහුට ඇය තමගෙන් සමුගත් බව තවමත් සිත් අදහාගත නොහැකි සිහිනයක් බදුය. ඒ තරම් ම ඇය ඔහුට සමීපව සිටින්නට ඇති අතර හිටිහැටියේ සමුගැනීම ඔහුට නම් විශ්වාස කළ නොහැක්කාක්මැයි වෙනදා වගේම තලමල පිපිලා තිබුණට ඇළ ළග වත්තේ....යන්න තුළින් මනාව ස්ඵුට වෙයි.

කවියා අවසාන කොටසින් කථකයාගේ සන්තානයෙහි මැවෙන ඇය සම්බන්ධ අවසාන දසුන් පෙළ මෙනෙහි කරන අයුරක් දක්වන්නාක් වැන්න.

මළහිරු එළියෙන් කොක්කු ගියා දෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇද පෙට්ටියක තියලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දී හද කැලතෙන ඇළ
ඒදණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ - ඇයි නුඹ නැත්තේ..

උක්ත පද්‍ය පෙළ දැරිවියගේ අකල් වියෝව පිළිබද සංකේතවත් කරනු ලබයි. කවියා එය දක්වනු ලබන්නේ මළහිරු එළියෙන් කොක්කු ගියා දෝ.... ලෙසිනි. මළහිරු එළියෙන් කොක්කු යාම අශුභ නිමිත්තකි. කථකයාට සිහිවන්නේ මෙකී අශුභ නිමිත්ත ඇගේ අකල් සමුගැනීම සංකේතවත් කරන්නක් ලෙසය. තවද කවියා මෙම කථකයා හා දැරිවි වාසය කළ ප්‍රදේශය පිළිබද ඉගියක් සපයන්නාක් ලෙස මිහින්තලා ගල පැත්තේ.. ලෙස දක්වනු ලැබීමෙන් මනා කොට පසක් වෙයි. එයින් ඇය හා ඔහු මිහින්තලා ආශ්‍රිත ගම්බද පරිසරයක විසූ බවට අපට සිතිය හැකිය. අවසාන වශයෙන්  කථකයාට ඇය හා සමිබන්ධ ඒ අවසාන දසුන සිහිවෙයි. එය කවියා දක්වන්නේ චිත්ත රූප මැවෙන අයුරින් ව්‍යංගාර්ථවත් ලෙසය.  පිරුවට ඇද පෙට්ටියක තියලා පහන් දෙකක එළි මැද්දේ...කථකයා  විසින් හෙළිකරන ලද දැරිවිය මියගිය බවක් සෘජුව ගේයපද රචනාවේ කිසිම ස්ථානයක නොකියවෙයි. නමුත්  ඇය මියගොසිණි. එය කවියා දක්වන්නු ලබන්නේ ව්‍යංගාර්ථයෙනි. පිරුවට ඇද පෙට්ටියක තියලා පහන් දෙකක එළි මැද්දේ... යන්න පාඨක හද සන්තානයේ  සුදු වතකින් සැරසී දෑත ළයෙහි බැද පෙට්ටියක තබා ඇති අයුරු චිත්තරූප මවාලනු ලබයි. ඒ දසුන කථකයා මෙනෙහි වූ විට ඔහුට මෙනෙහි වන්නේ එය සිදුවූ ආකාරයයි. එය ද කවියා දක්වන්නේ ව්‍යංගාර්ථවත්වය.  මදටිය වැටෙද්දී හද කැලතෙන ඇළ...  ‍ලෙසිනි. තවද එය ව්‍යංගාර්ථවත්ව දැක්වීමට කවියා සංකේත වල උපකාරිත්වය පැතු සෙයක් පෙනේ. ඇය මියගියේ පුරුදු පරිදි ඔහු හා සමග සිට සැදෑයාමයේ ආපසු නිවස බලා එන අතර මග තිබූ ඒදණ්ඩෙන් ඇළට වැටීමෙනි. ඇයගෙන් වැගිරුණු ලේ කවියා දක්වන්නේ මදටිය වැටීමක් ලෙසය. එය කොතරම් අපූර්ව සංකේතයක්ද? මදටිය රතු වර්ණයෙන් යුතු බීජ වර්ගයකි. මෙලෙස ලේ මදටිය වලින් සංකේතවත් කිරීම කොතරමි අලංකාරද? කවියා පෘථුල වූ දැනුමක් ඇති අයෙකු සේ ගීතයට ඖචිත්‍ය ලෙස පද ගැලපීමෙන් පාඨක හද සන්තානයේ කරුණ රසය පුරවාලනු ලබයි. මෙම කාව්‍යානුභූතිය නම් අප හද සොවින් බරකරනු ලබන අත්දැනීමක් නොසපයනු ලබන බව කාටනම් කිව හැකිද?


හසිත හර්ෂණ

Sunday, November 3, 2013

දෙන්න මට උපදෙසක්....................



ගතිමි අතට පොතක්
කියැවූවෙමි පිටු දෙකක්
මැවෙයි ඔබම රුවක්
ඇයිද මට වදයක් ..................

එපා මට පොතක්
නිදියමි සුව නින්දක්
පියාගමි ‍මයෙ දෙනෙත්
මැවෙයි ඔබේ රුවක් .........................

එපා මට නින්දක්
බලමි හොද සිත්තමක්
අහෝ ‍නොදැනිම හදත්
ඇදෙයි ඔබ වෙත සිතත් ....................

ඔෆීසියේ වැඩ ‍ගොඩක්
ඇත්තේය නැත නිමක්
එහෙත් නළියයි හදත්
අහෝ දෙවියනි අසම්මතයක් ..................

මැවෙන රුව වදයක්
ලෙසින් සිතුව ද මමත්
මගබලා ඉමි අදත්
එන්න සබදිනි ඔබ හෙටත් ......................

කාංචනා චන්ද්‍රසේකර

.

Saturday, November 2, 2013

දැන් ඉතින් මං මැරෙනවා ම තමයි.........



මට හම්බුණා පුදුම මිනිසුන් දෙදෙනෙක්
එක්කෙනෙක් ජීවිතේට බොරුවක් කියලා නෑ.
අනික් කෙනා ජීවිතේට ඇත්තක් කියලා නෑ.

මං ඇහුවා කවුද ඇත්ත කියන්නේ කියලා
දෙදෙනාම තමන් ව පෙන්නුවා.
මං ඇහුවා කවුද බොරු කියන්නේ කියලා
දෙදෙනාම අනෙකාව පෙන්නුවා.

එකපාරට ම දෙදෙනාම කිව්වා
මං ඔබව මරණවා කියලා....................
මං හොදට ම බය වුණා.
ඒත් ටික වෙලාවකින් මට සතුටකුත් දැනුනා.
මාව බේරගන්නත් මෙතනම කෙනෙක් ඉන්නවානේ කියලා.

ආයෙම කල්පනා කරපු එයාලා
අදහස් වෙනස් කරා.
එක් අයෙක් කිව්වා මම ඔබව ‍බේරගන්නවා කියලා.
ඒක අහපු ගමන්
මං මුලින් සතුටු වුණා.
ඒත් ටික වෙලාවකින් මට තේරුණා.
දැන් මගේ ජීවිත අවධානම 100% යි කියලා..............

තුෂාර විතාරණ

.

Friday, November 1, 2013

සබරගම් මහ බඹා....


 සබරගම් මහ බඹා
දැමුණු නොදැමුණු
සුදු කලු මිනිසා ............
මවා පෙන්වන දසුන නුඹ මැයි
සබරගමු මහ බඹගේ කෝලම
වරෙක අවි දරනා
වරෙක සිල් රකිනා
නුඹගේ අනුරුව මැයි ................
සබරගම් මහ බඹුගෙ කෝලම
වරෙක පොහො දා සදක්මැයි මුව
වරෙක ගිනිගත් යවට සේ මැයි
ක්‍රෝධය වෛරය දැල්වෙන
දෙබඩි මිනිසා නුඹයි ..............
සොදුරු දෙවියා රුදුරු රකුසා
වසන්නෙ නුඹ ගත සිතේ මැයි
එළිය අදුර සැනෙකින් පෙන්වන
ඉන්ද්‍රචාපය නුඹයි
නුඹගෙ අනුරුවමැයි
සබරගම් මහ බඹුගෙ කෝලම
දෙබඩි මිනිසා නුඹයි............


ඩබ්.ටී වීරසිංහ
Related Posts Plugin for WordPress, Blogger...