තමා වරදකරු ද? නිවැරදිකරු ද ?
මුඩ්ලියර් හඩතලයි උසාවිය දෙදරා
වැඩකරලා එද්දි අමාරුවට
හවසට බියර් එකක් .......................
මොනවා????
හවසට බියර් එකක්,
තමා උසාවියට අපහාස කරනවා ද?
අහනදේට විතරයි උත්තර........................
නැවතත්
ගිරිය පුප්පා
තමා වරදකරු ද? නිවැරදිකරු ද ?
ඒ දෙකෙන් එකක් නම් ඉතින්
"වරදකරු ස්වාමීනී"
පැය හතලිස් අටක්
පොලිස් කූඩුවේ ලග්ගවා,
හාමතේ, දාදිය ගද ගගහා,
උසාවි කූඩුවට නග්ගවා,
ලෝකයක් ඉදිරියේ වරදකරු කොට,
දඩ ගසා, ඇප ලියා, ශරීරය බැද,
මිනීමරුවෙකු මෙන් එළියට දැමූකල.
හිතේ ඇතිවුණි ප්‍රශ්ණ කීපයක් ම..............................
දවස පුරා අත්උදව් දීලා.
ඇගපත රිදෙනවා හැරෙන්නට බැරුව,
කාලක් හරි බියර් එකක් හරි
කටට හලාගෙන යන මම
මිනීමරුවෙක් ගානට දානවනම්,
මේ නීති හදන පාර්ලිමේන්තුවේ
එක ඇමතියෙක් මන්තිරියෙක් බීලම නැත් ද?
බොන උන් අල්ලන්න ඇහි පිය නොගහා
බාර්ගානේ හිටගෙන ඉන්න
එක පොලිස්කාරයෙක් හරි
උන්ගේ එක ලොක්කෙක් හරි බීලම නැත් ද?
මාව උසාවි කූඩු ගානේ නග්ගලා
මහා ලොකුවට කෑ ගහන
එක මහත්තෑං කෙනෙක්වත් කටේ තියලාවත් නැත් ද?
මං බිව්වා තමයි.
ඒකනේ බැලුම් පිම්බුවාම අහුවුනේ.
මං වැරදියි තමයි.
හැබැයි මං බියර් එකක් බිව්වා විතරයි.
මං ඡන්ද වලට ලක්ෂ ගණන් වියදම් කරකර
ඇමතිලාගේ මැරයොන්ට බොන්ට යවලා නෑ.
ඡන්දෙට කෝටි ගණන් යටකරපු
මැරයන්ට මං පර්මිට් දීලත් නෑ.
බාර් කාරයන්ට කියලා මාගේ බිල්ගෙවාගෙන
උන්ට කේස් වැටුනම පොලීසියට සද්දෙ දාලත් නෑ.
පෝය දවසට ඉස්සරහා දොර වහලා
පිටි පස්සේ දොරෙන් බඩු විකුණලත් නෑ.
මූඩි ගලවලා කසිප්පු කවලං කරලා
ඇමතියන්ට කරපු වියදම් පියවගෙනත් නෑ.
බීපු වෙලාවට වෙරි මතට ද මන්දා
මේකට විසදුමක් හිතිලා තියෙනවා.
බොන එක ඔච්චරටම වරදක් නම්
එයාලම දුන්න බාර් පර්මිට් ටික
තහනම් කොරා නම් ඉවරයිනේ.
එතකොට,
උසාවියත් නිදහස්,
පොලීසියත් නිදහස්,
ඇත්තට ම කියනවා නම්
අපිත් නිදහස්.........................................
තුෂාර විතාරණ
.