Thursday, July 31, 2014

අසංක ඔබට අපේ සුභපැතුම්...............



අලුත් ඉරකින් නැගෙන පැතුමෙන් සතුටු වී ඔබ සිනා වෙන්න
අලුත් නැකතට දකුණු පයගෙන සිනා මුහුණින් ඇතුළු වන්න
අලුත් ගෙදරට අලුත් මුහුණින් අලුත් පැතුමන් එකතු වෙන්න
අලුත් නුවරින් ආපු දිරිඇති පුතෙකු ලෙස ගෙයි සැරිසරන්න.............

මුදල් යහමින් සතුට සමගින් නිතර අත මිට සැරි සරත්වා
නිදහසේ සුව සමග මුහුවුණු සිනා රැළි මුව නැගී එත්වා
උතුරනා කිරි රැල්නගා ගෙන නිවස ආරක්ෂා කරත්වා
ගැමුණු තෙජබල වීර පැරකුම් සිංහ සෙයියාවෙන් සිටිත්වා............

රුවෙන් අගඇති ගුණෙන් පිරිපුන් සිරිකතක් හෙට ලැබෙනවා
කිරි සිනා හඬ කොමල වදනින් ගෙදර සතුටින් පිරෙනවා
හිතේ ඇති පැතුමන් දිනා ඔබ රජෙකු ලෙස සැරිසරනවා
එහෙව් ගමනට අපි හැමෝමත් එක සිතින් සුභ පතනවා...........


කුරුටු ගෑ ගී පවුරේ සහෘදයෝ.



පසුවදන - කුරුටු ගෑ ගී පවුරේ අසංක ගයාන් අබේසිංහ සහෝදරයා අලුත් නිවසට සුභ මොහොතින් 2014-08-01 දින පිවිසීම නිමිතෙන් වූ අපගේ සුභ පැතුමයි.

Tuesday, July 29, 2014

මට හොරෙන් ඉදි වන මගේ ගෙදර............




උණු කඳුළු හිර දෙඇස
හිරි වැටුණු හද සසල
පණ නැතිව ගිය ගතම
කිති කවයි මයෙ ඇඟම........

පෙරුම් පිරු ජීවිතය
විසිරිලා පාමුලම
හිරවෙලා හදවතම
නැවතිලා මයෙ දිවිය........

පොතේ හුන් බිරිඳක්ව
 උන්නු මා පෙර දිනක
නුරා සුව ඈ සමඟ
වින්ද බව අමතකද...........

ගතින් බෝ නික්මිලා
ගොසින් හැර මා දමා
සිතින් ඔබ යන යුරා
කෙලෙස අදහම්ද මා........

සෙනෙහයේ රන් යදම්
ලිහිල් වී දිය වෙලා
ඔබෙන් මා පැතූ ලොව
වෙන තැනක ඉදි වෙලා.......

ස්නේහයේ
සප්ත ස්වර
බොඳ වෙලා විසිරිලා
අලුත් හිරු එනතුරා
මග බලා හිඳිමි මා.........


කාංචනා චන්ද්‍රසේකර



Monday, July 28, 2014

ඔබ නැතිව................ මම තනිව...



ඔබ නැතිව..................

මම තනිව.................

අනන්තයට ම දුක් වින්දා

ඔබව ම සෙව්වා
මට මාවද අමතක වන තුරා
කඳුලැල් හලා යැව්වා
නෙතට කඳුළුද අහිමි වන තුරා

ඉතින් දැන්..............

ඔබ නැතිව ද මා සමග
සිටිනු හැක මා හට මේ ලොවේ
මට නැත කිසිත් වෙනසක්
ඉසිඹුවකි මේ ජීවිතය අද මට

නොකියමි එනු එපා කියා ඔබට
තවද, නොකියමි එන්න කියා හෝ යළි

සියළු සොම්නස් හැඟුම් සිත පුරා තවරා
ඔහේ පාව යන වරා මලක් සේ සුළඟේ
ගුවනේ සැරිසරා යන පියාපතක් සේ නිදැල්ලේ
සැහැල්ලුවෙන් සරසමි මගේ ජීවිතය අද

සතුටින් ඉපිලෙමින්

මම තනිව ................

ඔබ නැතිව ...................


අසංක ගයාන් අබේසිංහ


.

Saturday, July 26, 2014

ඇත්තට ම ඒක මාර අමාරුවක්......................



අපි නොදන්න මල් කොච්චර නම්
පිපිලා පරවෙලා යනවා ඇත්ද?
ඒත් අපි ආදරෙන් බලාගත්ත ගහක
පීදුනු කැකුළක් පරවෙනවා දැක්කා ම
හිතට දැනෙන්නේ දුකක්.................

අපි නොදන්න සියොතුන් කොච්චර නම්
අපිව පහුකරගෙන පියාඹනවා ඇත්ද?
ඒත් හැමදාම ඉස්සරහා මල්ගහට එන කුරුල්ලෙක්
දවස් කීපයක් ම ඒ දිහා නොබලා යන්න ගියාම
හිතට දැනෙන්නේ වේදනාවක්................

අපිට නොදැනෙන්න සුළඟ කොච්චර නම්
ඈතින් හමලා යනවා ඇත්ද?
ඒත් හැමදාම ඇඟේ දැවටුන සිසිල් සුළඟක්
වැව් ඉස්මත්තෙදි අපිව මගහැරලා හැමුවාම
හිතට දැනෙන්නේ කණගාටුවක්................

අපි නොදන්න කී දෙනෙක් නම්
අපි දිහා නොබලා යනවා ඇත්ද?
ඒත අපි ආදරය කරන කෙනෙක් 
එක පාරක් අපිව නොදැක්කා වගේ ගියාම
හිතට දැනෙන්නේ පාළුවක්.................

අපි නොදන්න කී දෙනෙක් නම්
අපිත් එක්ක තරහා වෙනවා ඇත්ද?
ඒත් අපේ බිරිඳ හරි පෙම්වතිය හරි
එක දවසක අපිත් එක්ක තරහා වුණාම
හිතට දැනෙන්නේ මාර අමාරුවක්.................

ඇත්තට ම ඒක මාර අමාරුවක්..................


තුෂාර විතාරණ


.

Friday, July 25, 2014

ලෝකයේ ලොකුම සැප දන්නවාද............???



යටගිය දවස එක් සමයක රජකාලේ
බලගතු රජකු හට ඇතිවිය ආසාවක්
එයනම් අරුම ආසාවකි ටක්කෙටම
මෙතුවක් කලක් කිසි රජකුට සිතුනෙ නැති............

රජු හට ඇතිවුණේ ආසාවකි ප්‍රබල
ලෝකෙ ලොකුම සැප කිමදැයි සොයන්නට
ඉතින් එයට උත්තර ලබනට රිසිව
ඔහු කැඳවීය තුන් කට්ටුව පුරෝහිත...........

එම්බා පුරෝහිතයිනි තොප දන්නවද
මා හට සිත් වෙලා ඇත මහ පුරස්නයක්
තොප කිව යුතුය දැන් මා හට සහසුද්දෙන්
කිමද කියා ලොව පවතින ලොකුම සැප...........

බිරන්තට්ටු විය දැන් මේ තුන්දෙනම
කකුල් හයම ගසමින් තරඟෙට මැඩ්ලින්
දෙන පිළිතුරට වූවොත් රජතුම උදහස්
හිස බේරන්න බැරිවන බව නිසැකමය...........

රුවෙන් උතුම් අඟනුන් හා යහන්ගත
වේමැයි උතුම් සැප මේ ලොව තුළ තිබෙන
තොලකට වෙව්ලමින් මේ ලෙස අමාරුවෙන්
නායක පුරෝහිත දුන්නා උත්තරයක්...........

යුද්ධ කරලා මුළු ලෝකෙම අල්ලගෙන
රජකම් කිරීමයි ලොව ඇති උතුම් සැප
දෙවැනි උන්දැ කියා දැම්ම පසු එලෙසින්
තුන්වැනි එකා වෙත හැරුණා රජදෙනෙත...........

අංකුරෙකිය තුන්වැනියා පුරෝහිත
අළුතෙන් ආව රජසේවෙට මෑතකදී
බෙල්ල ගියත් කිවයුතු වෙයි මගෙ මතය
කියලා දුන්නා උත්තරයක් යස රඟට...........

මෙළොව ලොකුම සැප වේ නම් මා දන්නා
වැසිකිළියාම පමණයි මහ රජතුමනි
මෙය ඇසුමෙන් නැගිටුනි අපෙ රජ්ජුරුවෝ
සිංහාසනේ උල්කටුවක් ඇණුනු ලෙසින්...........

මොකක් ගෙරිය කිව්වේ උඹේ කැත මුඛයෙන්
හිතුවද මෙතන විගඩං මඩුවක් කියලා
අපහාසයකි තෝ කෙරුවේ රජකමට
ගසා දමන්නට වෙනවා තොගේ හිස...........

රජු අඩි පොළවේ හප්පා කළ ගර්ජනයෙන්
තක්කු මුක්කු වී ඇත මුළු සභාවම
අන්තිම කැමැත්තත් විමසයි මේ අතර
තුන්වැනි පුරෝහිතගෙන් මරණෙන් ප්‍රථම...........

හා හට අවැසි මුළු රජ මැදුර තුළ
රිසිසේ සුවැති සතියක් ගත කරන්නට
පුරෝහිතගේ ඒ අන්තිම ඉල්ලුමට 
රජ අනුමැතිය ලැබුණේ බාධා නොකර...........

පුරෝහිතයා දැන් ඉන්නේ රජ මැදුරේ
කිසිදා නොවිඳි සැප සම්පත් අතරතුරේ
කමින් බොමින් රාජ බොජුන් පැලෙන්නට
රිසිසේ දින ගෙවයි මරුවා එන තෙක්ම...........

මේ ලෙස දින හයක් ගත විය දුන් සතියේ
හත්වැනි උදේ මූ කෙරුවා මිෂන් එක
රාජකීය වැසිකිළියට රිංගාලා
වසාගත්තා ඒ දොර මූ අගුල් දමා...........

රජු හට ඇති වුණා උදේම මහා බරක්
දුවගෙන ආවා සරීර කිස කරන අටින්
ඒත් ඇතුළේ ඉන්න එකා ගැන දැනුණෙන්
රජුට නැග්ගා කවදත් නැති උෟරු ජුවල්...........

බැහැපිය කැණහිලා මාගේ වැසිකිළියෙන්
ගෝරනාඩු දෙනවා රජු එළියේ ඉඳන්
ඒත් ඇතුළේ ඉන්නා මේ අංකූරා
නොගයි හිතට රජු කියනා වදනක්වත්...........

දැන් දැන් රජුට ඉන්නට බෑ ඇඹරෙනවා
බඩ මිරිකමින් රවුම් රවුම් කැරකෙනවා
ඇඟ හිරිවැටිලා ඇස් වල කඳුළුත් එනවා
තේජස් බිඳුණු රජු මේ ලෙස පවසනවා...........

අනේ කොල්ලෝ දැන් නම් බෑ ඉවසන්න
රටම උනත් දෙන්නම් මම උඹෙ නමට
එළියට වරෙන් මාගේ සුදු පුරෝහිත
එලෙස යදින විට වැසිකිළි අගුළ ඇරේ...........

වැදී විදුලි වේගෙන් රජු ඇතුළතට
හිඳගන්නට ගතවු සුළු පරක්කුවෙන්
සුසුමක් සමග ගිළිහුණු බර කන්ද මතින්
පසක් වුණා රජු හට ලොව ලොකුම සැප...........


අසංක ගයාන් අබේසිංහ


.

Monday, July 21, 2014

නොවෙමි රාමා නොවෙමි සිදුහත්.....................



තුමුල බල ඇති රජෙකු නොවෙමිය
දැසි දසන් සහපිරිවරින් විත්
රැගෙන යන්නට මගේ විජිතෙට.....
එහෙත් හැක රැක බලාගන්නට
සතුට හා දුක බෙදාගත්විට........................

පෙරුම් පිරු සිදුහතුන් නොවෙමිය
ආත්මෙන් ආත්මය පතා විත්
යශෝදර පෙම් පුවත කියනට....
එහෙත් හැක මියෙනා තුරා මට
දමා නොගොසින් ඔබව රැකුමට.......................

ලොවම හෙල්ලූ රාම නොවෙමිය
මනෝලෝකෙක කතාවෙන් විත්
වඳුරු සහයෙන් රැගෙන යන්නට....
එහෙත් හැක මට තවත් කෙනෙකුට
ඩැහැගන්න බැරි වෙන්න රැකුමට.......................


තුෂාර විතාරණ


.

Saturday, July 12, 2014

එන්න යන්න පන්සල් ....................



හසරක් නැති මේ සසරේ සැඟවුණ - සැනසුම වෙත යන පාර වසා
අතොරක් නැති මේ කටෝර සමාජෙ - නිරතුරු රැව්දෙයි විසල් මුසා

එබැවින් හිමියනි ඔබගේ දහමින් - සනසාලනු වස් මගෙ මනසා
පිහිටක් සොයමින් යන මග දුටුවේ - පුරවරයකි මගෙ නෙත් ගවසා

ඇතුළත් වුණු කළ ඒ පුරවරයට - දැනුණේ හිරියකි සිත දවටා
පෙනුණේ මා මෙහි කුරා කුහුඹුවෙකි - සිතුනේ අසරණ වූ විලසා

මහල් ගණන් ඇති ප්‍රසාදෙකි මේ - මැද මිදුලේ තේජස් පානා
ආලෝකෙන් මත්වී ඇති කොත් රජු - දැක මගෙ ඇස් ගිනිකන වැටුණා

පසෙකින් අපාය පසෙකින් දෙව්ලොව - සාදා සැදැහැතියන් උදෙසා
උයනකි සතුන්ගෙ සිරවී ඇති එහි - පණ ඇති උන්ගේ නෙත් දිලෙනා

පිං කරනට ලැදි බැතිමත් පරපුර - යා යුතු පැහැදිලි මගක් ඇතේ
ඒ මග දිගට ම මුදල් හදල් හා - පඬුරු පාක්කුඩම් දිය යුත්තේ

විහාර බුදුගෙය බෝධිය දාගැබ - දුටුවේ නැත කිසිදා මෙලෙසින්
ඒ හැමතැන දැන් අමුතුම හැඩයකි - නිසසල සුවයන් නසන ලෙසින්

පර්යන්තෙක නවතා ඇති රථයකි - දුටුවන් සැමගේ මන බඳිනා
ඒ අසලම ඇති මාලිගයක් බඳු - ආවාසය දැක මුව ඇරුණා

සියල්ල විකිණෙන ආතුර සමාජෙ - බුදුදහමත් විකිණෙනු දුටුවා
බහුරූ කෝළම් විසූක දස්සන - ධර්මය ගිලගනු බව සිතුවා

බුදුහිමිගේ දහමේ ඇති හරයන් - අද කොහි ඇත්දැයි මට සිතුනා
ධර්මයෙ නොපිහිටි අනුගාමිකයන් - දැක සිත නිබඳ ව කලකිරුණා

යකඩ මල්ලටත් ගුල්ලො ගැසූ කල - හාල් මල්ල ගැන කුමන කතා
බුදුදම විනාශ වන කල මෙතැනත් - පුහුදුන් අප හට වෙයි විපතා

ඇලෙන්නට ම මේ නිමි නැති සසරට - මෙතැනින් උඩගෙඩි දෙයි සොඳිනා
නිවන්න සිතාන ආවත් මගෙ සිත - සියල්ල විරුද්ධ බව දැනුණා

බුදු හිමි වදාළ සියල්ල කණපිට - පෙරළී ඇති යුගයක් වනසා
අයැද සිටිමි වඩිනා ලෙස නැවතත් - ලොව්තුරු හිමියනි ලොව සනසා


අසංක ගයාන් අබේසිංහ



පසුවදන - බුද්ධ දර්ශනය පිළිගන්නා මා විසින් මෙම නිර්මාණය සිදු කිරීමට හේතු වූයේ නිර්මල බුදු දහමේ ඇති හරය වර්ථමානයේ අමු අමුවේ විනාශ වනු දැක ඇතිවූ සංවේගයයි. එබැවින් මෙය අන්තවාදී අදහසක් හෝ ආගම්වාදී අදහසක් දරන්නා වූ ප්‍රකාශයක් ලෙස නොසලකනු මැනවි.....................

රූපය - ගොසිප් ලංකා අඩවියෙන්

Saturday, July 5, 2014

අල්ලපු ගෙදර කෙනාගේ නිරුවත බලන විදිහ .......



කාන්තාව - අනේ සර් මට විය හරි විලිලැජ්ජාවක්
පොලිස් රාළහාමි - මොකක්ද මේ හතරබීරි කතාවෙ අරුතක්

කා - තට්ටු දෙකේ නිවසක ඉමි තනිපංගලමේ
රා - ඉතින් මොකද පැමිණිල්ලට හේතු වලාමේ

කා - තට්ටු තුනේ නිවසකි මගෙ අල්ලපු ඉඩමේ
රා - දැන්නම් මගේ පනිනවා මායිම් ඉවසීමේ

කා - හරි හරි මම කාරණාව කියනෙමි කෙටියෙන්
රා - ඒක හොඳයි විසඳන්නට මේක ලේසියෙන්

කා - අල්ලපු ගෙයි මිනිහා ඉන්නේ අමු හෙළුවැල්ලෙන්
රා - හත්වලාමෙ ඒක කැතයි නොවැ එක එල්ලෙන්

කා - ඒ මිනිහා ඇවිදියි එය මට පෙනෙන්නට
රා - එහෙනම් අපි හනිකට යමු එය බලන්නට

කා - දිය යුතු වෙයි ඌ හට රජකාලෙ සම්බුවක්
රා - ඒකට මේ මං ඉන්නවා නොමැත කිසි බයක්

(දෙදෙනාම කාන්තාවගේ නිවසට පිවිසෙති. කාන්තාව විසින් රාළහාමිට තම නිවසේ සැකැස්ම පෙන්වයි.)

කා - මෙන්න මෙතන ජනේලයෙන් දකිමි උගෙ වත
රා - කෝ බලන්න කෝ බලන්න ඌගේ නිරුවත

කා - අන්න අන්න දැක්ක ද ඌ ඉන්න සෙප්පම
රා - නිරුවත නොව උගෙ කඳබඩ දැක්කෙමි තවම

කා - ඔහොම නෙමෙයි මම නම් නිරුවත නරඹන්නේ
රා - මේ මොන හරුපයක් ද දැන් ඔහේ කියන්නේ

කා - තබා උඩින් මේ මේසෙට අර උස පුටුව 
        පුටුව උඩට නැග්ගට පසු දිස්වෙයි හෙළුව


අසංක ගයාන් අබේසිංහ


.

Wednesday, July 2, 2014

හෙදියන්ගේ පිකට් ඉවරයි...... දැන් බබාලා පිකට් කරන වේලාවයි.........



දමා දමා                     සද්දෙ දමා
අප රවටනු                සිතනු එපා
බෙහෙත් ගන්න           ආව දනා
වලට දමා                  මරනු එපා

අපි යන්නේ කොයි පාරේ 
බිබිලෙ මාමා ගිය පාරේ ................

හිතලා බලව්        කවුද දෙන්නේ
පඩිය ගන්න       සල්ලි දෙන්නේ
අපි ආවම       මොකද වෙන්නේ
දොර වහගෙන    උඹලා ඉන්නේ

නිදහස කෝ නිදහස කෝ
සෞඛ්‍යයට නිදහස කෝ ................

වයෝවෘද්ධ             අම්මා පියා
බඩදරුවෙක්        ඉන්න කෙනා
තුවාල වී                     ආපු දනා
මැරුණොත් ගත     හැකි ද දිනා

අපිට ඕනේ ඇමති කෙනෙක්
කොන්ද තියෙන පිරිමි කෙනෙක් ................

ලක්ෂ ගණං          පඩි ගන්නවා
කන්න නැතුව     අපි මැරෙනවා
ලෙඩට බෙහෙත්   ගන්න යනවා
අපේ කරේ             උං නටනවා

විලි ලැජ්ජයි විලි ලැජ්ජයි
මෙහෙම එව්වෝ ගැන ලැජ්ජයි ................

පඩි ඉල්ලුවා           එදා පොටේ
සල්ලි දුන්නා       කඩලා කැටේ
ගහගන්නවා        මෙදා පොටේ
වටකරගෙන         දෙමුද බැටේ


කසුප් අනුරාධ


පසු සටහන - මෙය පිකට් වලදී කෑ මොර දෙන තාලයට කියවන්න. මැදින් ඇති අළු පාට කොටස් ඒ තාලයට ම කියැවිය හැකිය.ඒවා කළුපාට ඒවායේ ඒකාකාරී බව කැඩීමට සහ පිකට් එකේ ආතල් එක වැඩි කර ගැනීමට යොදා ගන්නා අනුපූරක කොටස් ය. මේ පිළිබද ව පැහැදිලි මදිනම් ළඟම ඇති රෝහලට ගොස් නිකරුණේ කාලය ගත කරන නර්ස් කෙනෙක්ගෙන් අසා දැනගන්න...............

මෙම කවියට පාදක වූ මාතලන්ගේ පහත දැක්වෙන් අලුත් ම පෝස්ටුුව ගැනත් මතක් කරන්න ඕන.

http://maathalan.blogspot.com/2014/07/deadly-unions.html
.
Related Posts Plugin for WordPress, Blogger...