Saturday, April 30, 2016

මැයි දිනේ තොපෙයි යකුනේ.........


මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........
එළිය වැටෙන්නත් කලියෙන්
ගල් ගැහෙන හීතලට ගැහෙමින්
දළු නෙලන්න වත්තට යන 
තොපෙයි බොලව්නේ.........
කළු ගැහුණු තොපේ හම විකුණගෙන
මහතැන්වල සැප පුටුවල කැරකෙන 
මහඋන්ට ඉතුරු අවුරුද්දම තියෙනවා යකුනේ.........

මැයි දිනේ තොපෙයි මිනිසුනේ.........
බ්ලොග් ගල් සිමෙන්ති එක්ක 
උදේ ඉදලා කළුවර වැටෙන කල්
ඔට්ටු වෙමින් දාඩිය පෙරණ
තොපෙයි බොලව්නේ.........
කරගැට ගල් වෙච්චි තොපේ අත්වලින් නැගලා
සීතල කාමර වලට ගොඩ වුණ උන්ට
එදාටවත් කඩේ යන්නැතුව හිටපල්ලා යකුනේ.........

මැයි දිනේ තොපෙයි මිනිසුනේ..........
ගිනි ගහන කාෂ්ටකේ යට 
තාර උණුවෙන මහපාරවල් වල
මුට්ට කරගගහා ජීවිතේ හොයන
තොපෙයි බොලව්නේ.........
මුට්ට වලට කරගහලා හුරු වුණ තොපේ උරහිසෙන්
අහසට නැගලා තොපිට තරු පෙන්නන උන් දෙන
ගල් බෝතලේට පෙරේත වෙන්න එපා යකුනේ.........


කසුප් අනුරාධ


.

Thursday, April 28, 2016

ලෙඩේ මොකක්ද?......



දවසක් දා එක සීයෙක් - දොස්තර හමුවට ඇවිදින්
තමන්ට ගැටළුවක් ඇතැයි - මෙලෙස පැවසුවා

මට හරියට නින්ද යන්නෙ - නෑනෙ දෙගොඩ හරිය වෙලත්
පහුවදාට හරි හමනට - ටොයිලට් යන්නෑ

මලබද්ධය වගෙයි නේද - නින්දත් හරියට නොවේද
ඒව අහල දොස්තර තැන - තුණ්ඩුව ලිව්වා

තවත් සීය කෙනෙක් ඇවිත් - තමුන්ගෙ ලෙඩ කන්දරාව
දොස්තර මහතැන් වෙත මේ - ලෙසට පැවසුවා

අනේ මහත්තයො මා හට - නින්ද යනව යස අගේට
මළ මුත්‍රා පාන්දරම - ඕසෙට යනවා

වෙන මිනිස්සු මෙහෙට එන්නෙ - ලෙඩ කියාන ඕව නොයන
ඔහේට ඇති ලෙඩක් නැතැයි - දොස්තර කිව්වා

පයිත්තියං මහත්තයට - ඒක ලෙඩක් නොවෙනු කොහොම
මට ඇති මහ හිත රුදාව - ඉවසන්නට බෑ

නින්ද හොඳට පැමිණුනාට - උදේට සේරම ගියාට
දවල් දොළහ පැනලත් නොවැ - මට ඇහැරෙන්නේ...


අසංක ගයාන් අබේසිංහ

Wednesday, April 27, 2016

......මාල කවි......




                                  එදා
                          ඔයාට මතකද
                         අපි හීන මැව්වා
                             දවස ගැන
                                  අද
                         ඔයාට පුළුවන්ද
                      කියන්න එදා වගේම
                         ආදරෙයි කියා
                                 මට
                        තවමත් පුළුවන්
                     හිතේ කහටක් නැතුව
                        කියන්න ඔයාට
                             ආදරෙයි
                     බලන්නකෝ ආයෙත්
                  පරණ හැඟුම්බර විදිහටම
                       වගේම ඇස්වලින්
                                එදා

 


                                                                   -අසංක ගයාන් අබේසිංහ-

Monday, April 25, 2016

බවුන් වඩමි මා......



පඬු සුවඳේ - මුදු පවනේ
වැලි මළුවේ - බෝ සෙවණේ
සිලි සිලියේ - මිමිණිල්ලේ
හිත නවතින්නේ
ඔබෙ ළඟමයි අම්මේ...

මල් සුවඳේ - රෑ හුළඟේ
හෝ හඬ මැද - පාළු යමේ
පහන් සිලක - ළෙලවිල්ලේ
හිත නැළවෙන්නේ
ඔබෙ තුරුලේ අම්මේ...

සීත හිමේ - වන අරණේ
මිටියාවත - නිහඬ පෙතේ
ඈත කොනේ - රුවක් මැවේ
ඔබමද එන්නේ
මගෙ පියාණනේ...

වග වළසුන් - නිති සරනේ
නැත සරණේ - ඔබ සෙවණේ
යළි ඒදෝ - දැන් ඒදෝ
හිත විමසන්නේ
මගෙ පියාණනේ...

සිහිවන විට - වාවන්නේ
නෑ අද දින - මෙලොව කුසේ
ඔබ නැති බව - මව් පියනේ
බවුන් වඩමි මා
වීරිය සිතිනේ...


                                                                 -අසංක ගයාන් අබේසිංහ-

Friday, April 22, 2016

දෙවැනි හයිකුව - එන්න අපි හයිකු කුරුටු ගාමු...........



දැල්වෙනා ඉටිපන්දම
වහන්න වෙර දැරුවත් වෙසක්කූඩුවේ සව්කොළ
ඌ කරුමක්කාර පළගැටියෙක්

තුෂාර විතාරණ


පළමු හයිකුව - http://kurutugegeepawra.blogspot.com/2016/04/blog-post_19.html

පසු සටහන - දෙවැනි හයිකුව මේ තරම් ඉක්මනට එන්න හේතු කීපයක් තියෙනවා. පළමුවැනි හේතුව තමා පළමු හයිකුව තුළ ඇති වුණ සාකච්ඡාවේ හරවත්බව. දෙවැන්න තමා පළමු හයිකුවෙන් පස්සේ ඒ සාකච්ඡාව සක්‍රීය ව ඉදිරියට නොයෑම. තෙවැන්න තමා මේ වන විටත් හයිකුව නෙලුම්යායෙන් හැළීමේ යම් අවධානමක් තියෙනවා කියලා ලැබෙන ආරංචිය. මං හිතන්නේ මේ හේතුටික දෙවැනි හයිකුව මේ වෙලාවේ ලියන්න තරම් ප්‍රමාණවත්.

දැනට හයිකු ගැන ඇතිවුණ සාකච්ඡාව සහ හයිකුවල ලක්ෂණයන් කීපයක් හදුනා ගන්න හැකිවුණා. ඒවා පහසුව සදහා මේ විදිහට ගොණුකර ගනිමු. 

1. හයිකුවක 575 රටාව - මේකෙන් කියන්නේ පළමු පද පේළියට වචන/අකුරු/මාත්‍රා (මේක තාම සංවාදයට විවෘත දෙයක්) 5 කුත්, දෙවැන්නට 7 කුත්, තෙවැන්නට නැවතත් 5 කුත් තියෙන බව. නමුත් මේ රටාව හැම විටම ඒ විදිහට රැකීමක් දකින්න නැති බවත් කිව යුතුයි. 

උදාහරණය -
古池や蛙飛び込む水の音
ふるいけやかわずとびこむみずのおと (transliterated into 17 hiragana)
furu ike ya kawazu tobikomu mizu no oto (transliterated into rōmaji)
This separates into on as:
fu-ru-i-ke ya (5)
ka-wa-zu to-bi-ko-mu (7)
mi-zu-no-o-to (5)
Translated:[17]
old pond . . .
a frog leaps in
water's sound 

(මෙය විකිපීඩියාවෙන් උපුටා ගන්නා ලද්දකි.)

2. හයිකුවක හැම වෙලාවෙම දේවල් දෙකක් ගැන කතා කරනවා. ඒක සතුන්, ගස් මල්, වතුර, වැස්ස වගේ මොනවා හරි වෙන්න පුළුවනි. හැබැයි වෙන්කොට හදුනාගත හැකි දේවල් දෙකක් තියෙනවා.

උදාරණය -

පුංචි ගොලුබෙල්ලෝ
බලාපන් බලාපන් උඹේ
හෙවනැල්ල දෙස..

(ඉසාගේ හයිකුවකි. ඉසා යනු හයිකු කවීන් අතර මූලිකයෙකි.)

3. මේ දේවල් දෙක අතර සමීපකමක් තියෙනවා වගේ ම මේ තුළ කැපීමක්/ඡේදනයක් ගැනත් කතා කරනවා. සමහර වෙලාවට ඡේදනය වීමක් පෙන්වනවා. තවත් විටෙක ඡේදනය වෙන්න යන බවක් කියැවෙනවා.

උදාහරණය -

සද නැති රැය
තද සුළං විත් වැළදගෙන
පැරණි දේවදාර ගස්

(බෂොගේ හයිකුවකි. බෂො යනු හයිකු කවීන් අතර ප්‍රමුඛයෙකි.)

4. අනික තමා හයිකුවක් තුළ බොහෝ විට ඍතුව ගැන සදහනක් වෙනවා. සමහර ඒවායේ සරත් සමයේ.. වසන්තයේ සුළග වගේ වචන වලින් ම කියැවෙනවා. ඒත් බොහොමයක් ඒවායේ ඒ ඒ ඍතු වලට අදාළ ලක්ෂණ තමා කියැවෙන්නේ. මේ ඍතු වෙනස ජපනුන් හදුන්වන්නේ කීගෝ කියලා.......... ජපන්නුන්ට අනුව ඔවුන්ගේ ඍතු සාමාන්‍යෙයන් මේ විදිහට දක්වන්න හැකියි.

Spring: 4 February–5 May
Summer: 6 May–7 August
Autumn: 8 August–6 November
Winter: 7 November–3 February

ෙම් ඍතුවත් ඒක්කම ගැලපිලා යන ජපනුන්නට ම අාවේණික වෙච්චි තවත් දෙයක් හයිකුවට අදාල වෙනවා. ඒක ඔවුන් හදුන්වන්නේ සයිජිකි කියලා. නැත්තං කියෝසෙ කියලත් කියන්න පුළුවනි. මේක තවත් වැදගත් දෙයක්. මේ තමා ඒ ඒ ඍතු වලදී ඍතුවට අදාළව අහස පොළව සත්තු ගස්වැල් වගේ දේවල් වල සිද්ධ වෙන වෙනස.... ඔවුන් ඒක පැති කීපයකින් ම බලනවා.

1. ඍතුව
2. අහස
3. පොළව
4. මනුෂ්‍යයා
5. පැවැත්ම
6. සතුන්
7. ගස්වැල්

මේ සියලු අංශයන් ඒ ඒ ඍතු වලදී සිද්ධ වෙන වෙනස්කම් ගැන හයිකුවේ දී හරි සුමට ව ස්පර්ශ කරනවා. අනික තමා ඍතුව කෙලින් ම නොකීවාට මේ ඒක දෙයකින් හරි ඍතුව ගැන සදහනක් වෙන්න පුළුවන් කියලත් අපි මතක තියාගන්න ඔ්නේ......

උදාහරණ කීපයක් කියන්නම්....

වසන්ත ඍතුව ගත්තා ම සතුන් කියන ඝණයට ගෙම්බන් ප්‍රධානයි. ගෙම්බන් නිතර කෑ ගැසීම මේ ඍතුවේ ලක්ෂණයක්...... නමුත් ග්‍රීෂ්ම ඍතුවට මදුරුවන් සහ සර්පයින් ප්‍රමුඛයි. සරත් ඍතුව ගත්තා ම ඒ මූලිකත්වය පොඩි පොඩි කෘමීන්ට සහ පළගැටියන්ට ලැබෙනවා...... 

වසන්තයේ දී සකුරා සහ කැලෑ මල් වලට ලැබෙන තැන ග්‍රීෂ්මයේ දී සූරියකාන්ත නෙලුම් සහ මානෙල්වලට ලැබෙනවා. සරත් සමයේ දී ඒ තැන ලැබෙන්නේ පීච්, අැපල් හා මිදි වලටයි....... 


උදාහරණය 1 - 

වසන්තය......
නම නොදන්නා කදු ගැටයක් 
මිහිදුම අතර

(බෂොගේ හයිකුවකි.)

උදාහරණය 2 - 

මගෙ අපූරු ප්ලම් තුරු යුගල
බලන්න මල් පිපෙන හැටි
දැන් එකක අනෙක පසුවට

(බුසොන්ගේ හයිකුවකි. - මෙහි ප්ලම් ගස් වල මල් පිපෙන කාලය ගැන සදහන් කරලා තියෙන එකෙන් ඍතුව ගැන කියැවෙනවා.)


ඉතින් මේ ලක්ෂණ කිහිපයට එහා ගිය තවත් බොහෝ දේවල් ඇති. දැන් අපි ඒ ගැනත් කතා කරමු..... අපි හැමෝට ම දැන් පොඩි මට්ටමින් හරි සාර්ථක හයිකුවක් ලියන්නට උත්සහ කරන්න හැකියි. හැබැයි මේ කිසිදෙයක් ජපානයේ තත්වයන් දිහා බලාගෙන ලියන්න කියලා නෙමෙයි අපි කියන්නේ... අපි මේ හැම දෙයක් ම ලංකාවේ අපේ පොළවට සම්බන්ධ කරමු. අපිට ඍතුව වැදගත් නැහැ තමා. ඒත් අපිට ඒ ඒ මාස වලට අපේ ම කියලා උත්සව සැමරුම් තියෙනවා. කොහා කෑ ගහන කාලයක් තියෙනවා. ඇහැළ මල්, වීර පලු දං හිඹටු ගස් තියෙනවා. අපේ ගොවිතැන ඇල වේලි වැව් එක්ක හැදුණු සංස්කෘතියක් ම තියෙනවා. ඉතින් අපි ජපානයට වඩා ඒ අතින් ගොඩක් දියුණුයි කියලයි මටනං හිතෙන්නේ.....


හරි අපි එහෙනං හයිකු ලියමු........ හයිකු ගැන කතා කරමු....... එන්න ලංකාවේ හයිකු ගොතන්න........


විශේෂ ස්තූතිය - හයිකු අද්දර මාලතීට. අවශ්‍ය බොහොමයක් කවි ඔබේ බ්ලොගයෙන් කියවාගත් බව කරුණාවෙන් සලකන්න.. 

.

Wednesday, April 20, 2016

හාදු වැස්සක සුවය හන්දා - සීත අත් ගිනියම් ව තිවුණා......................




නුරා නෙතක රූසිරු සඟවන්නේ
සරා සලෙළ නා දළු රඟදෙන්නේ
පරා වළලු බිඳගෙන නලියන්නේ
හමා ඇදෙන සුළඟට රහසින්නේ

නෙතු අද්දර හිඳගෙන ඔබ පාන නුරා
නේක පැහැති සිත්තම් ඇඳ හීන පුරා
ගත උණුසුම් ව වෙව්ලන ඒ දෙතොල අරා
හාදු දහසෙ වැසි වැස්සා රැයක් පුරා

ගිනි ගහන හිරු කිරණ පරයා
රුපු දෑස් මග අරව අරවා
නුරා නෙත් කෙවෙනි අග තවරා
ඔබේ උණුහුම් සුසුම් දැවුණා
හද දෑල පිරි සුසුම් ඉහුණා
නුරා ඇරයුම් ළං ව දැනුණා
හාදු වැස්සක සුවය හන්දා
සීත අත් ගිනියම් ව තිවුණා......................



කාංචනා චන්ද්‍රසේකර



.

Tuesday, April 19, 2016

ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි - ආදර හයිකුව




අපේ ආදරයත් හරියට හයිකුවක් වගේ
එක පේළියකට පද පහයි අනිකට පද හතයි
ඒ විතරක්නං මදැයි පේළිත් තුනයි



තුෂාර විතාරණ

.


පසු සටහන - හයිකු පිළිබද අසා තිබුනෙමි. නමුත් හයිකුවක් කිසිදා ලියා හෝ ලිවීමට උත්සහ කොට නොතිබුණි. හයිකු කියවූ කිසිවිටෙක ඒවා මගේ සිතට දැනුණ බවක් මට මතක නැත. ඒ නිසා ම හයිකු පසුපස නොගියෙමි. නමුත් දින කිහිපයකට පෙර හිතට ආ සිතුවිල්ලකට අනුව ජපනුන්ගේ යුද්ධ පුදුම සහගතය, ටෝපිඩෝ පුදුම සහගතය, සමුරායි සටන් පුදුම සහගතය, සමුරායි කඩුව ද පුදුම සහගතය. එහෙව් එකේ හයිකුව අධ්‍යයනය කළ යුතු යැයි සිත කී බැවින් දින දෙකක් පුරා සියල්ල පසෙකින් තබා (ලෙඩ වී නිදහසේ සිටින නිසා වැඩේ තවත් පහසු විය) හයිකු පිළිබද ගැඹුරු අධ්‍යයනයක් කළෙමි. අවසානයට මම යමක් සොයා ගතිමි. ඒ නම් ජපනුන්ගේ හයිකුව ද පුදුමසහගතය. ඒ අනුව ලියූ මගේ පළමු හයිකුව මෙයයි. 

Sunday, April 17, 2016

ඇගේ වත දකින සඳ ...............



සිරියහන් විමන දුල
නුරාවේ පහන් සිල
අප්සරා වත මඬල
සිත් අහස එකලු කල

සරා හසරැල් පවන
බිඳ දමයි සිල් දැහැන
සුනිල ඉඳුවර නයන
එළි කරයි පෙම් විමන

පෙමින් මත් වූ දෙතොල
පරදවයි සුරත් ඵල
රණ තිසර සරන විල
පුබුදුවයි මෙසිත් මල

සොඳුරු පෙම් පහස විඳ
ගෙතෙන්නේ සඳැස් පද
ඇගේ වත දකින සඳ
සැඟවේය සුපුන් සඳ


ඉසූ


.

Friday, April 15, 2016

මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා.....



දහඩිය හෙලළා හම්බකරපු
ධන ධාන්‍ය ටික ගෙට අරන්
තමන්ගේ ම මහන්සියෙන්
හොයාගත්තු වසන්තය ආවෝ ආවෝ කියන්නෙ
තමන්ට ම කියලා කූඩුවක් හදාගන්න බැරි
අනුන්ගේ පහණින් එළිය බලන කොවුලෝ.
ඒකයි මං කියන්නේ
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා.............

එකෙක්ට එකෙක් පේන්න බැරිව
තුවක්කු අමෝරාගෙන උන්නු
කැති පොරෝ අරගෙන ගිහින්
බඩදරු අම්මලා කපලා මරාදාපු හිංගලයෝ දෙමළු
එකම නැකතට එකම ජාතියක් විදිහට 
එකට එකතු වෙලා කැවිලි බෙදාගන්න අවුරුද්ද
ඒකයි මං කියන්නේ 
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............

අවුරුද්දක් ම බඩගාගෙන 
සල්ලි පස්සේ දුවෑවිදලා
රජයේ නිවාඩු දවස් ටිකේ
ටීවි එකේ පෙන්නන ලංකාවේ නැති ගමක් දකින්න
තිලකවර්ධන එකේ සේල් පෙට්ටියෙන් තෑගි පොදිගහන
වැහි නැති හෙණ ගහද්දි සමරන අවුරුද්ද
ඒකයි මං කියන්නේ 
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............


කසුප් අනුරාධ



.

Monday, April 11, 2016

පරසතු... මා සතු...



පරසතු කුසුමක පෙති සැලුනා
නුපුරුදු රසයක සුව හැඟුනා
සුවඳ සොයා ඉව පාරේ පියැඹූ
බඹරිඳු මා පමණද ලඳුනේ...

රහසක්ව කොඳුරලා
මඳ පවන හා එවා
කැන්දුවේ ඔබ ළඟට
මා පමණදෝ...


ජීවිතයේ නිම් තෙර මානේ වූ
ජීවන රසයේ පහස කියාදුන්
ඈ අමතක කර එනු මා ඔබ වෙත
කෙලෙස කියන් ලඳුනේ...

ඔබ වෙතට තැබූ පය
ඈ දෙසට යළි තබමි
යළිඳු මා නොපතන්න
සොයුරියේ...





-අසංක ගයාන් අබේසිංහ-

Sunday, April 10, 2016

දඬුවම...








දවසක් දා එක මිනිහෙක් - සිය බිරිඳයි නැන්දම්මයි
සමග ට්‍රිප් එකක් යන්නට - එළියට බැස්සා

ඒ ට්‍රිප් එක හරි අමුතුයි - බෝට්ටුවෙන් යා යුතු වෙයි
නවමු අත්දැකීමකි ඒ - හැමටම ලැබෙනා

ඒත් කරුමයක් පළදී - කවුරුවත්ම නැති තැනකදි
බෝට්ටුවේ ඇන්ජිම - නැවතී ලෙඩ දුන්නා

අමාරුවෙන් හබල් ගසා - එහා ඉවුරෙ ගොඩ බැහැලා
රට ඇතුළට කැලේ මැදින් - තිදෙනා යන්නා

අහෝ දෛවයේ සරදම - මේ තිදෙනා වට කොරාන
ගෝත්‍රිකයො රැළක්  - සැනින් කඩාන පැන්නා

තොපි මොකදැයි මෙහෙ කොරන්නෙ - අපෙ නිජබිම හරහ යන්නෙ
ගෝත්‍රයේ නායක තැන - දැන් විමසන්නා

අනේ අපිට සමාවෙන්නෙ - අතරමංව මෙහෙට වැටුණෙ
අපෙ මිනිහා හැකි තරමට - තේරුම් කෙරුවා

උඹල අතරමං වුණු බව - ඇත්තක් බව පෙනී යන්නෙ
ඒත් දඬුවමක් නොමැතිව - අපි යවන්නෙ නෑ

එක එකාට කසෙන් පහර - සීය බැගින් දැන් දෙනවා
ඇත්ත කිව්ව හින්දම එය  - ලිහිල් කොරඤ්ඤං

උඹල කැමති දෙයක් පිටේ - බැඳගන්නට අවසර ඇත
එනව හොඳයි පළමු එකා - මෙතනට විගසින්

කොට්ටයකුත් ඉල්ලාගෙන - ඒක පිටේ බැඳලාගෙන
බිරිඳ මුලින් කස පහරට - පිට දික් කෙරුවේ

අන්තිම හරියේ දඬුවම - කොට්ටෙ පැළී කස පහරට
ටිකක් වැදී ලේ පෙරාන - බිරිඳ පැමිණුනා

ඒක දැකපු නැන්දම්මා - කොට්ට තුනක් ඉල්ලාගෙන
ඒව හොඳින් ගැට ගහගෙන - පිටියට බැස්සා

නැන්දම්මා බොහොම හොඳින් - ගොඩදාගෙන ඒ දඬුවම
අපෙ මිනිහගෙ වාරය දැන් - මතුකර දුන්නා

උඹෙ පිටටත් ගැට ගහන්න - කොට්ට ගේන්නද විමසා
ගොත්‍රයේ නායක තැන - විමසා හිටියා

අපේ මිනිහා දොහොත් මුදුන් - දී වැඳලා නායක වෙත
මෙන්න මෙහෙම කියපි ඉතින් - දඬුවම ඉල්ලා

අනෙ පිංවත් උත්තමයිණි - කොට්ට එපාමයි මා හට
නැන්දම්මව පිටට තියා - ගැටගහන්නකෝ...!!!



                                                                -අසංක ගයාන් අබේසිංහ-

Tuesday, April 5, 2016

නිළියකට පෙම් බැඳ...



සොමි කැළුම් උතුරනා - රෑ සැඳෑ සාදයේ
රන් පබළු එළි වැටක - රැඳුනු මුතු කුමරියේ

ඔබෙ දිස්න නෙතු මැණික් - කළඹවන්නේ හදයි
එක් සිනාවක් ඔබේ - ලැබගන්න ආසමයි

රුවන් මුතු කුමරියේ...
රූබර වු යුවතියේ...

දෑස මගෙ පින් කළත් - ඔබේ රුව දැකගන්න
ගත මගේ එලෙස වෙද - පහස නුඹෙ විඳගන්න

සිත මගේ මුමුණන්නෙ - ප්‍රේමයේ සොඳුරු කව
ලදොත් මා ඔබේ පෙම - සක්විති වු රජෙක් වෙද

දහස් නෙත් පරදවා - ඔය දෙනෙත් දිනන්නට
බලා ඉන්නේ මෙතැන- තුන් යමේ නොව වෙහෙස

ඉතින් එක් වරක්වත් - මුණ ගැසුනි නම් බැල්ම
වහා ඉහිරවන්නම් - ලොව් තුරා බිඟු රහස

නෙලන්නට දිග මදිලු - මගෙ දෑත ඔය කුසුම
ලොවේ නින්දා පරොස් - මා කරා නොව අඩුව

ඒත් මම නොවේ පසු - පස දෙපා තියන්නේ
එක් වරක් බලන්නකො - මගේ රන් කුමරියේ...


-අසංක ගයාන් අබේසිංහ-

Monday, April 4, 2016

අනාවැකි නං අනාවැකි.... කාළගුණ අනාවැකි....


ඉදිරි දින කිහිපය තුළ
දිවයිනේ යම් යම් ප්‍රදේශවලට
අපරභාගයේ දී හෝ සන්ධ්‍යා කාලයේ දී
ගිගුරුම් සහිත හෝ කඩින්කඩ 
වැහි ඇතිවිය හැකිය...................


කසුප් අනුරාධ


.

Saturday, April 2, 2016

සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....


වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ
තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......

නග්න අහස විසිරි තරුයි
නුඹෙ තනියට ළඟ උන්නේ
රෑ කුමාරි මල තනිකර
නුරා බඹරු පැන යන්නේ

ගිනි ගත් කුස සනසවන්න
දෙලෝ ගිනිද අවුලන්නේ
විලවුන් තැවරූ සියොලඟ 
කෙලෙස් ගඳද මතුවෙන්නේ

වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ
තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....


ඉසූ


.
Related Posts Plugin for WordPress, Blogger...