Monday, June 30, 2014

පොලිස් මාමේ........ මම නැවතී සිටිමි. ඔබ නවතින්න............



පොලිස් මාමෙ දැක්කත් හිත බය වෙනවා
කාකි ඇඳුමෙ කොළ පාටට හිත දනවා
අම්මලා තාත්තලා මේ ගැන කියවනවා
ඇහෙනව මාමෙ, කෙරුවද මෙහෙමත් ඒවා ..............

ඉස්සර මාමලා රැවුලත් වැව්වාලූ
කටමැත කියවලා මිනිසුන් නැව්වාලූ
දැං බැරි ඇයි මාමෙ රයිෆල් ඕනෑලූ
සාමය එක්කනම් ගිනිඅවි නෑ යාලූ ..............

පොලිසියෙ බිත්ති වල තීන්ත ගෑවාට
එස් පහ කරලා බෝඩ් ගහලා තිබ්බාට
ජනතා හිතවාදි වෙන්නම් කීවාට
මිනිසුන් බයයි එහි ඉන්නා යක්කුන්ට ..............

වාහන නවතලා මහ මග මරනවද
හිරේ ඉන්න අය එල්ලා මරනවද
අවි පෙන්නන්න ගෙනියන අය මරනවද
ඒ විතරක් ද, ගහලත් අය මරනවද ..............

වාහන පදින මාමේ මෙය අහගන්න
කොළ පෑ ඇඳුම් දැක්කොත් හයියෙන් යන්න
ලයිට් ගහලා එන අයටත් දන්වන්න
"පොලිසිය ඉන්නවා නොනවත්වා යන්න" ..............


කසුප් අනුරාධ



.

Saturday, June 28, 2014

mini කවිය ...............




එක් වූයේ අප දෙදෙන 
සම වූ නිසාවෙනි අප සිතුම් පැතුම් ....

වෙන්වූයේ ද අප දෙදෙන 
සම වූ නිසාවෙනි අප සිතුම් පැතුම් ....


අසංක ගයාන් අබේසිංහ



.

Thursday, June 26, 2014

මට කිරි පෙවූ, ඔබයි අම්මේ මගේ කිරිඅම්මා................



මා උපන් දා ඉඳන් ළඟ සිට
ඉරක් වූ මට හඳක් වූ
කිරි හිනා කට පීදෙනා තුරු
දහස් වරකිය වෙහෙස වූ
මට මවක් වූ
ඔබයි අම්මේ මගෙ මව්ගෙ අම්මා..............

මුහුණ අත්පා හැඩය නොවුණම
ඇයයි හැදුවේ කිරි තියා
කුසේ ගින්දර දැනී හැඩුවම
වැහැරි තන පුඩු මුව තියා
මට කිරි පෙවූ
ඔබයි අම්මේ මගේ කිරිඅම්මා................

අපට කන්නට දෙයක් නැති තැන
නුඹේ කුස පිරුණේ නැති
කොතෙක් දඟකම් කළත් අප වෙත
සිනාවක් ඇගෙ මුව ඇති
මාව නැලවූ
ඔබයි පින්කඳ මගේ අත්තම්මා..................

දෑත් වැහැරී මුහුණ මැලැවී
ඇතත් දහිරිය හිත රැඳී
මගෙත් දරුවෙක් බලා මිස ඈ
නොයන්නට සැරසී හිඳී
මාවම පැතූ
ඔබයි අම්මේ මට මගෙම අම්මා................


තුෂාර විතාරණ


.

Tuesday, June 24, 2014

පමාවුණු කුසුම ඔබ, මගේ හද පිපෙන්නට..............



අනුන් සතු උයන් ඉමක
පිපී මදහස පාන
පමාවුණු කුසුම ඔබ
මගේ හද පිපෙන්නට ..................

එහා ඉම කොනක හිඳ 
නෙතු දෑල රස මවන
පිපි කුසුම නෙලන්නට
නොහැක මට අනුන් ඉම ..................

එහෙත් මදනල ගෙනෙන
ඔබෙ සුවඳ විඳින්නට
සිනා මුව දකින්නට
පමණි හැකි අද මා හදට ..................

නුවන් යුග පවසන ඔබේ
රහස් කරවයි මහද මුකුලිත
සලිත වූ රස හැඟුම් රෑනක්
ලැගුම් ගයි සිත පතුලට ම වැද .................

ආදරේ හිරිමල් හැඟුම්
හද පුරා මගෙ දැනී යන්නට
සැලසුවේ පමණක් ඔබම වුව
නොවෙයි පිං මට එය ලබන්නට ..................

ඉඩක් තිබුණොත් ලෝ දහම මත
අයිති කරගනු මිසක ඔබ මට
නොම සිතමි රස විඳ බලන්නට
ඵලය වන තහනම් ගසක ................

සසර ඉපදුන අනෙක් භවයක
අපට අප හිමිවී තිබෙන්නැති
ඒත් මේ අත්භවයේ මම වෙමි
වෙනත් මලකට සෙවන සලසන ..................

පතා ආ ලෙස මේ සසර ඉම
මේ භවයෙ අපි අනුන් සතුවුව
සපත කරනෙමි ඔබේ හද මල
නෙළන්නට මතු හැම භවේදිම .................


අසංක ගයාන් අබේසිංහ


.

Saturday, June 21, 2014

ආදරය වර්චස් ගොඩක්.......................



උප්පත්තිය ගඟක් 
ගලන්නැතුව පැවැත්මක් නැති....................

පාසල හිරගෙයක්
හොරෙන් පනින්නැතිව ආතල් එකක් නැති....................

අධ්‍යාපනය මැණිකක්
පොලිෂ් කරන්නැතිව ෂයින් වෙන්නැති....................

ආදරය වර්චස් ගොඩක්
වැහිලා තියෙනකල් මාට්ටු වෙන්නැති....................

කසාදය රෝස මලක්
නැට්ටේ කටු නැතිව කොලිටියක් නැති................

වයිෆ් මුගටියෙක්
බෙල්ලෙන්ම කඩාගෙන මිසක් අතඅරින්නැති.............

රැකියාව කොටිවල්ගයක්
අතඅරින්නට විදිහක් ම නැති....................

කොහොමත්
අන්තිමට බැලුවම,

ජීවිතය හෝටලයක්
පරිප්පු නැතිව කිසි ගතියක් නැති....................



කසුප් අනුරාධ



.

Thursday, June 19, 2014

අකුරු කළ පන්තියට ගිනිබෝල පිටවුණා ............



ගිනි ගහන වැලි කතර, හිරු රැසින් නැහැවෙනා
දෙපා පිච්චෙන තරම් රළුව දෙයි වේදනා
අකුරු කළ පන්තියට ගිනි බෝල පිටවුණා
පොතත් පෑනත් අතින් ගිලිහුණා ගිලිහුණා ...............

උඹ නමින් ලියවුනත් අනාගත පැතුම් මල්
යක්ෂයින් ඩැහැගනී තුවක්කුව තියෙන කල්
කඩා සුනු විසුනු කර ආදරය පිරි ගෙවල්
පන්නලා නුඹලාව මහමගට වැටෙන කල් ...............

අතට ටින් කටුව දී ගතට වැරහැල්ල දී
උන් බලා සැනසේවි හිඟාකන විටකදී
යුද ටැංකි යට කරන් අනාගත දිනකදී
හැකිවුණොත් ජයගන්න හිනැහිලා නම් මදී ................

ඉරුණු පොත් කැබැල්ලේ අකුරු ටික ගලපලා
පැදුරු කඩමාල්ලේ ඉඳන් හිත සනසලා
ඔය පෙනෙන ලෝකයට එපිටහින් බලාලා
යුද ටැංකි ගිනි පිඹින්නැති හෙටක් හොයාලා ...............

පුත නුඹට හැකිවේවි යුද්ධයක නොපැටලුණ
සුන්දරත්වයෙන් පිරි සමනල්ලු හිනාවෙන
ජාති ආගම් භේද නැති ලොවක් පෙන්නන්න
දිරි ගන්න ඔය හිතට හරි දුරයි එහෙ යන්න ...............


තුෂාර විතාරණ




පසු සටහන - යුද්ධය විසින් ඉරාකය, ඇෆ්ගනිස්ථානය වැනි රටවල් වල පාසල් දහස් ගණනක් ගිනිබත් කොට ඇති අතර දරුවන්ට අධ්‍යාපනය ලබන්නට ඇති පහසුකම් අතිශය සීමාකාරී තත්වයකට පත්කොට ඇත. වත්මන් ඇෆ්ගනිස්ථානයේ පාසල් අධ්‍යාපනයේ ඇති පහසුකම් ගැටළුව පිළිබඳ ව කරුණු දක්වන "මහාචාර්ය ඩැජෙස්ටර්" මෙලෙස කියා සිටියි. "තමන්ගේ අභ්‍යාස පොත් වල තිබෙන ප්‍රශ්ණ වලට පිළිතුරු සොයන ශිෂ්‍යයන් අතිශය වාසනාවන්තයි. මන් ද ඔවුන් මේසයක් අසල පුටුවක හිඳ, කළු ලෑල්ලක් ඉදිරිපස සිටින ගුරුවරයෙකු සහිත පන්තිකාමරයක සිට අධ්‍යාපනය ලබන නිසාය. නමුත් ඇෆ්ගන් දරුවන් දහස් ගණනක් අභ්‍යාස පොත් වල ප්‍රශ්ණ වලට පිළිතුරු සොයනවා වෙනුවට හිඳගැනීමට පුටුවක්, ලිවීමට මේසයක් පන්ති කාමරයට ගොඩනැගිල්ලක් ගැන සිහින දකිමින් සිටිති". 

යුද්ධයක් ඇරඹීම ඉතා පහසු සහ සරළ කාරණයක් වුව ද එහි ප්‍රතිඵල අතිශය ඛේදනීය සහ කාලාන්තරයක් යන තුරු ඉන් මිදීමට අවස්ථාව නොසලසනු ලබන්නේ ය.


A NEWS FROM AFGHAN WAR


You are seen on the ground after a suicide attack in Khost province, east of Kabul, Afghanistan, Sunday, Dec. 28, 2008. A suicide bomber tried to attack a meeting of tribal elders and blew himself up near an Afghan primary school on Sunday, killing 14 children and wounding 58 people, the U.S. military said.
From - http://www.cleveland.com

Wednesday, June 18, 2014

වසන්තය නොඑනු මා වෙත.............



අකල් ගිම්හානෙකට වී
දෛව මාරුතේ සමග
ගිලිහී ගිය මුදු මලෙක
සුවඳ සිහිනෙන් විඳිමි..............

ගොම්මන් සැඳෑ යාමේ
ඇය දැවෙන චිතකයේ
අවසාන ගිනි සිළුද
ගිල ගනී නිශාන්තය ...............

වියරුවෙන් ලය පතුල
නොනැවතී ඇවිලෙනා
වියෝවේ චිතකයේ
දැවෙයි මා සියොළඟම ...............

ඇගේ පියැවුණු දෙනෙත්
දකින්නට පවු කරපු
මා දෙනෙත් වලට තව
කඳුළු නෑ හඩන්නට ...............

සිනා සැලු ඇගෙ උවන
උණුසුම් වූ රත් කොපුල
සෙනෙහසින් පිරුණු සුව
ගෙන ගියා උඩු හුළඟ ..............

සසරෙ මා පැතු එකම පෙම් මල
අහිමි වූ සඳ නිමේෂයකින්
කුමට මා හට අන් කිසිත් සුව
ඇය නොමැති මේ බොල් අහස යට .............

දැවෙන රිසි වෙමි සදාකල්හිම
තුරුළු කරගෙන ඇගෙ සොඳුරු පෙම
ඉතින් එනු එපා වසන්තය
කිසිම දා යළි මා වෙතට ...................


අසංක ගයාන් අබේසිංහ


.

Monday, June 16, 2014

අලුත් ම ත්‍රස්තවාදී අවදානම..................



එරට උතුම් යැයි කියනා තැනක් වේ ගරු
මේ තැන ඉන්නේ බලගතු මැති ඇමතිවරු
ඒ අය එක්වී සමයක මේ සැරසෙන්නේ
සමුළුවකට යන්නට පිටරට සැනසිල්ලේ...........

මෙතැන තියෙන ඔළුගෙඩි ටික ගණන් බැලුවොතින්
බාගයකට වැඩිය ඇතේ පාර්ලිමන්ට් එකෙන්
ඒක නිසා රැකිය යුතුයි මේ රන් කඳවල්
ඉහළම රැකවල් දී ඇත දා මුරකාවල්...........

කෙසේ වුව ද යන මග ඇති තොටුපොළක ගුවන්
නවතන්නට සිදුවිය මේ යානය දොසකින්
එහෙදි සිද්ධ වුණේ දෙයකි නොසිතුව විලසින්
කඩා පැනපි ත්‍රස්තවාදි රැළක් හදිසියෙන්...........

ගත්තනේ මැති සෙට් එක මුන් ප්‍රාණ ඇපයට
ඊට පස්සේ කලබල වුණි එරට යමරෙට
රටේ ඉන්න මහතැන දුවමින් හතරකොනේ
ගිනිගත් හිස නිවා ගන්න විදි සොයනු පෙනේ...........

දුවන අතර කට්ටිය දැන් සිහිය විකල්ලෙන්
ඇමතුම එයි ඉහළට මැර නායකතුමගෙන්
රටේ ලොක්කා විමසයි දැන් උන්ගේ කප්පම
අනෙක් පසින් ඉල්ලන දේ බරයි හොඳටම...........

අපිට ඉන්න බෑ තවදුරටත් පිළිසඳරේ
ත්‍රස්තවාදි එක්ක කතා අපිට නොතේරේ
මොකද වෙන්නේ දුන්නේ නැතොත් කප්පම තොපිට
ලොක්කා ඇහුව විටදි ලැබුණා පිළිතුර යසට...........

එහෙනම් අපි කරනවා දඩුවමක් රටට ම
ඉතින් එයට වගකියන්න බැරිය අපිට ම
දුන්නේ නැතොත් අර ඉල්ලපු කප්පම අපිට
මුන් ටික සේරම ආපහු එවනවා රටට...........


(මා අසා තිබූ අමුතු විහිළුවක අදහස කවියට නැගීමකි.)


අසංක ගයාන් අබේසිංහ


.

Sunday, June 15, 2014

එය අල්මඩිත්ත නම් විය .................



අල්මඩිත්තට හිරු හිනාවෙයි
උදෑනැක්කෙම එකහෙලා.
කෙහෙල් දල්ලට පාට වෙන්නට
කුඹුරු යායම සැරසිලා.


කන්ද මුදුනේ ලන්ද අස්සෙන්
ගලන හීතල වතුර පාරකි.
වක්කඩේ කැඩුවම ලියැද්දට
ඉහේ පීදුනු මල් හිනාවකි.

මැටි ගසා අතු හෙවිල්ලා ඇත
සිරිපාල මාමගේ පැලේ.
සුද්ද කළ පොල්කටුව පිල උඩ
වතුර බොන්නට උඩ ඇලේ.

කෙහෙල් මණ්ඩිය හිනාවෙනවා
හීත හුළඟට අත් වනං.
ඇතේ වෙල්ගොටුකොළත් ඉරමුසු
නියර මත්තේ ඇති තරං.

යාය ඉහළින් ගලා යන ඇල
කිතුල් පතුරක ගෙනල්ලා.
පීල්ලෙන් වැටෙනා වතුර ටික
විඩාවට පිළියම වෙලා.

අල්මඩිත්තට අද ගියපු මට 
බලන්නට මෙය සුරපුරක්.
ඒත් මේ මහ පොළවේ හැපෙනා
උන්ගේ ජීවිත මහ බරක්.




තුෂාර විතාරණ


.

Thursday, June 12, 2014

දැනී නෑ මේ හැඟුම් තුරා නුඹ හිනැහෙනා........



ඔබ පුංචි සියපතක්
වැව් දියෙන් හිස සැලුව
ඈත ඉඳ අතවනන
ඉපල් ගස වෙමිය මම......................

රතුපාට හිනාකට
නිල්පාට දෙනෙත් කැට
කෝම ළං කරන්නද
කෙස් පැහුණු මේ හිතට......................

කිරිගරුඩ දෙඅත් අග
නා රතට ඇඟිලි තුඩු
කෝම මං පතන්නද
රැළි වැටුණු මයෙ අතට......................

සුවඳ මං සිඹින්නම්
හමා යන සුළඟකින්
නුඹේ තතු අහන්නම්
පාව එන රැළෙන් මින්......................

කෝටියක් මල් දුටිමි
දියවරේ පූදිනා
දැනී නෑ මේ හැඟුම්
තුරා නුඹ හිනැහෙනා......................


තුෂාර විතාරණ


.

Wednesday, June 11, 2014

නංගි මේකට මොකද කියන්නේ..................



නොබලන මුත් කිසි කෙනෙක් අප දෙස
කෙල්ලෙක් පාරේ හිටගෙන
හිටියොත් නම් නිකමට
කී දෙනෙක් බලයිද ඇය දෙස.................

හිරවෙලා යන කළ පොදු බස්රථ වල
පොඩ්ඩක්වත් ගෑවුණොත් ගැහැණු සිරුරක
ඇය කෑ ගසන විට 
වරද කාගේදැයි නාවිමසා ම
රවයි සියලු මගියන් අපිට ම 
ගුටිකන්නත් වෙයි විටෙක
දෙපිටින් ම යයි ලැජ්ජාව....................

එකඳු මගියෙක් වත් නොගත්තද අපේ තඩි බෑගය
අමාරුවෙන් අපි හිටගෙන යන විට
ඇගේ පුංචිම පුංචි අත් බෑගය හරි
ගන්නට පොරකන මගීන් කීයද.................?

සමාජයේ කිසියම් ම හෝ තැනකට 
මොනතාලෙන් සැරසිලා ගියද
පිළිගැනීමක් නැති කලට
වැඩක් කරවාගත නොහැකි විටෙක
හැටහතරෙන් එක මායමක්වත් නැතුව
අපි අසරණ වෙන තරම............................

පෙම්වතියක වූ කලෙක
පතියකු හා දීග ගිය කලෙක
ඇය හිදීවි නම් හරියට
ඇය මත්තේ ම මැරි මැරි හිඳින
ඇය ගැන ම සොයා බලන
රැකවරණය හා ආදරය
ලැබෙනවා නොවෙද ඇයට.........................

මවක් වන්නට සුදුසු වෙයි ඇය
මතුබුදුවනු කියා සැමගේ ආසිරි මැද
මුළු ලෝකයෙන් ම ගුරු බුහුමන් ලැබ
පියෙකු හට කවදානම් එසේ වේවිද.................?

ඉතින් කෙල්ලනේ.......... මේ කිව්වේ ටිකයි..........

ඔබ හට ලැබී ඇත උපන් දායාද
පිරිමින් හට කිසිදාක නොලැබෙන 
සමතැන් නිසිතැන් උස්තැන් තවත් ඉල්ලනු අවැසි නැත
හිටියොත් රැකගෙන ඔබේ වටිනාකම
හිටියොත් නියම කුල කාන්තාවක ලෙස

ලැබෙනවා නේද ඔබට ඕන හැමදේම අත ළඟටම...........



අසංක ගයාන් අබේසිංහ


.

Monday, June 9, 2014

අප්පුහාමිගේ සැප ............................



මහඇදුරු - අප්පුහාමි මොකදැයි උඹ ඔතන කරන්නේ
අප්පුහාමි - අනේ මහත්තයො මම මේ සැපට නිදන්නේ

ම - ඔහොම නිදාගෙන ඉඳලා මොකටැයි මිනිහෝ
අ - එහෙනම් මම අහවල් දේ කරන්න ද අහෝ

ම - උඹ මොකක් ද රස්සාවක් කියලා කරන්නේ
අ - මම පොඩි එළවලු කොටුවක් වගා කරන්නේ

ම - එහෙම කියලා හරියන්නේ නැහැනෙ තමුසෙට
අ - එහෙනම් උපදෙස සර්ගෙ දෙන්න මා හට

ම - මේක දියුණු කරන්න උඹ ගනින්කෝ ණයක්
අ - ණය අරගෙන එය ගෙවන්න වෙන එකත් බරක්

ම - ඒ වුණාට උඹේ කොටුව වෙනවනේ සරූ
අ - එහෙම වුණා කියලා මට පෙනේදැයි තරූ

ම - ඊට පස්සේ උඹට හැකිය ගන්නට ලොරියක්
අ - කියන්න මට ලොරිය අරන් කරනා හරියක්

ම - ටික ටික දියුණුව ළං වෙයි උඹගෙ පවුලට
අ - ඊට පස්සෙ කරනා දෙය කියන් මා හට

ම - උඹට හැකිය ගන්නට මුදලාලි පට්ටම
අ - ඊට පස්සෙ මොකක් වෙයිද කියන් සත්තම

ම - උඹට ඊට පස්සේ ලැබෙයි සිත සැනසීමක්
අ - ඊට පස්සෙ කියන්කො මම කරන්නේ කුමක්

ම - ඊට පස්සෙ උඹට හැකිය නිදන්න සැපට
අ - ඉතින් සර් ඒක නොවෙද කරන්නෙ දැනට ...........

මහඇදුරුතුමාණන්ගේ මුඛ පූට්ටු වූ සේක ................. සාදු ... සාදු .... සාදු ....


අසංක ගයාන් අබේසිංහ


.

Saturday, June 7, 2014

නියෝජ්‍ය ඇමතිවරුන්ට වඳින ගාථාව .................



අවස්ථාව - පොලිස් පරීක්ෂකවරයෙක් එසැනින් එහි විත් නියෝජ්‍ය අමාත්‍යවරයාට වැඳ සමාව ගන්නයැයි කොස්තාපල්වරයාට නියෝග කරයි.... කොස්තාපල්වරයා නියෝජ්‍ය ඇමතිවරයාට වඳින ගාථාව නොදන්නා හෙයින් පොලිස් පරීක්ෂකවරයාගෙන් එය විමසයි.. පොලිස් පරීක්ෂකවරයා එය නායෝජ්‍ය අමාත්‍යවරයාට වඳිමින් ම කොස්තාපල්වරයාට කියාදෙයි...


මහපාරවල් වල සෙනග අධිකය.
උන් සිතා සිටින්නේ මේක උන්ගේ පාර කියාය.
එනිසා උන් බස් ද, කාර් ද, විටෙක කරත්ත ද,
පාරේ පැදයන්නේ තමන්ගේ පාර වගේය.
නමුත් මෙය උන්ගේ පාර නොවන්නේය.
එය උඹ(තුමන්)ගේ අම්මාගේ පාරය.............

ඒ පාරවල් වල යන්න කොහෙත්ම බැරිය.
එනිසා හැටට හැටේ යන්නට උඹතුමන්ට
අධිවේගී මාර්ගයක් හැදුවේය.
එයට අපි ඉඩම් දුන්නේ ජාත්‍යාලයෙන්ය.
ඒ අධිවේගය නිසා අපේ ගෙවල් 
ගංවතුරෙන් යට වද්දී අපි සතුටින් ඔරු පදින්නෙමු.
එසේ අපි හදා දුන් මේ අධිවේගය
උඹ(තුමන්)ගේ අම්මාගේ අධිවේගය..............

ඒ අධිවේගයේ පොලීසියෙන් දමා ඇත.
ඒ උන්ගේ පාර වාගේ යන සාමාන්‍ය ජනතාව
අල්ලා දඩ ගසා, උසාවි දමා, ලයිසන් තහනම් කර
උන්ගේ එදා වේල පවා නැති කර
පාඩම් ඉගැන්නවීමට පමණක් නොවේ.
උන් හැටට හැටේ ගොස් ඇනගත් විට
එය බැලීමට සහ මිනී ඇදීමට ය.
උඹතුමන්ලාට එම පොලීසිය අදාල නැත
මොකද එම පොලීසිය
උඹ(තුමන්)ගේ අම්මාගේ පොලීසිය ය................

අනික අධිවේගය මොකක්ද?
මේ රටම ගෙන බැලිය හැක්කේය.
අපි ජාත්‍යාලයෙන් උදම්වී 
ජාතිකානුරාගී ගී ගායනා කරමින්
ඡන්දය දී උඹතුමන්ලා මහපුටු වලට යවන්නේ
මේ රටට ඕනෑ දෙයක් කිරීමටය.
මොකද මෙය අපේ රට නොවන්නේය.
මෙය උඹ(තුමන්)ගේ අම්මාගේ රටය................


කසුප් අනුරාධ


.

Tuesday, June 3, 2014

උඹට සෙට් වෙලා තියෙන්නෙ පට්ට කෑල්ළක්නෙ......



සුදු මට සැලොන් එකට යන්න ඕන
ෆේෂල් එකක් කරන්න තියනවා
අයිබ්‍රෝස් හදන්නත් ඕන
මාව ඩ්‍රොප් කරන්නකො
ඔයා පේ කරනවා නේද
හොඳ ළමයනෙ මගේ
අයි ලව් යූ සෝ මච්...

ෆිගර් එක මේන්ටේන් කරන්න ඕන
ජිම් එකට යන්නත් වෙනවා සෙවන් ඕ ක්ලොක්
ෆ්රෙන්ඩ්ස්ලා කිව්වා මම සෝ හොට් කියලා
මම ලස්සන උනාම කාටද ආඩම්බර...

ඔයත් ටිකක් ඉන්ග්ලිෂ් හදාගන්න
මගෙ ෆ්‍රෙන්ඩ්ස්ලාට ඔයාව ඉන්ට්‍රොඩියුස් කරන්න ඕනිනෙ...

යමුද ඔඩෙල්
මරු ෆැෂන් ටිකක් ඇවිල්ලාලු අනේ
මාර වෙරයිට්ස් ටිකක්ලු
ඔයා ළඟ මනී තියනවානෙ නේද...

ඊවිනිං වලට අපි මැක්ඩොනල්ඩ් යමු...

මට චුට්ටක් හෙඩෙක් වගේ්
ඩොක්ටර් කෙනෙක් චැනල් කරමුද...

මමි ඩැඩි නම් කැමති අපේ වෙඩින් එක ග්‍රෑන්ඩ් විධියට ගන්න
අපේ වෙඩින් එක ස්පෙෂල් ඉවෙන්ට් එකක් වෙන්න ඕනි
අපි හනිමූන් සිංගප්පෝ යං...

ළමයි හම්බවුණාම මම චබී වෙයිද දන්නෑ නේද
ඒ හින්දා අපි ළමයි හදන එක කල් දාමු
මට නම් බෑ ඔන්න ගෙදරට වෙලා බත් තම්බ තම්බ ඉන්න
අපි සර්වන්ට් කෙනෙක් ගමු
වොෂින් මැෂින් එකකුත් ගමු
ඔන්න ඔයාම තමයි ඔයාගෙ රෙදි හෝ්දගන්න ඕන...

පික්නික් එකක් යමු කසින්ලා එක්ක
ඇට් ලීස්ට් ත්‍රී ඩේස්වත් ඉන්න ඕන හරිද...

මේ කා එක මාරු කරලා වෙන එකක් ගමු අනේ...

ඇයත් මමත් මහ මග හමුවුණ කළ-යාළුවෝ කියයි මෙසේ...

අඩෝ උඹට පට්ට කෑල්ළක්නෙ සෙට් වෙලා තියෙන්නෙ මචං!!!!!!!



නියම සහකාරියක් ගැන සිතා ගනු ඇවැසි නම් අවංකවම ඔබේ හදවතින් විමසනු මැනවි ...


(අවවාදයයි- පට්ට කෙල්ලන් සියල්ල ඉහත ආකාරයම නොවිය හැක)


අසංක ගයාන් අබේසිංහ











Sunday, June 1, 2014

මැකී ගිය සොඳුරු රුව .................



නෙත් සොයයි ඔබේ රුව
කාලයේ වැලි තල අතර
කඳුළු නෙත් පොකුණ තුළ
ගිලී ගිය ඔබේ රුව........................

ගෙවුණු හැම සිහිනතර
නුරා විත හෙළූ නෙත
සිත් අහස එකලු කර
මැකී ගිය සොඳුරු රුව..........................

තව තවත් සොයන්නේ 
මතක මල් සුවඳ මැද
පරව ගිය පෙම් කුසුම .......................

සිත් හැඟුම් නිදි වරන
අඳුරු සැමරුම් කුටිය
මළානික සඳ එළිය
එළි කරන නිශාන්තයක
රිදුම් දී ඔච්චමට 
යළි යළිත් ඉඟිකරන.........................


ඉසුරිකා චූලරත්න


.
Related Posts Plugin for WordPress, Blogger...