අල්මඩිත්තට හිරු හිනාවෙයි
උදෑනැක්කෙම එකහෙලා.
කෙහෙල් දල්ලට පාට වෙන්නට
කුඹුරු යායම සැරසිලා.
කන්ද මුදුනේ ලන්ද අස්සෙන්
ගලන හීතල වතුර පාරකි.
වක්කඩේ කැඩුවම ලියැද්දට
ඉහේ පීදුනු මල් හිනාවකි.
මැටි ගසා අතු හෙවිල්ලා ඇත
සිරිපාල මාමගේ පැලේ.
වතුර බොන්නට උඩ ඇලේ.
කෙහෙල් මණ්ඩිය හිනාවෙනවා
හීත හුළඟට අත් වනං.
ඇතේ වෙල්ගොටුකොළත් ඉරමුසු
නියර මත්තේ ඇති තරං.
කිතුල් පතුරක ගෙනල්ලා.
පීල්ලෙන් වැටෙනා වතුර ටික
විඩාවට පිළියම වෙලා.
අල්මඩිත්තට අද ගියපු මට
බලන්නට මෙය සුරපුරක්.
ඒත් මේ මහ පොළවේ හැපෙනා
උන්ගේ ජීවිත මහ බරක්.
තුෂාර විතාරණ
.
පින්තුර ටික නම් නියමයි ,අවසාන පද ටික ඇතුලේ ලොකු කතාවක් තියෙන්නෙ ....නියමයි
ReplyDeleteඔව් සහෝදර,
Deleteමං ඊයේ දවසම හිටියේ අල්මඩිත්තේ. ඔය පින්තූර ටික ගත්තෙත් මංමයි. උදේ ගිය පාර පිහිල්ලෙන් නාලා, වෙල්ගොටුකොළ ගලවගෙන අරං ගිය කෑම පැලට වෙලා කාලා ආයේ ගෙදර එද්දි හවස 4 වුණා. ඉතින් අපි කොච්චර ආසාවෙන් මේ දේවල් රස වින්දත් ඒ ජීවිත වල කතන්දරය ඊට ගොඩක් වෙනස් නිසා මෙහෙම දෙයක් ලියන්න හිතුණා.......
අගය කිරීමට ස්තූතියි සහෝදර...
අන්තිම කවිය තමයි ජීවිතයේ යථාර්තය කියන කවිය
ReplyDelete//මට බලන්නට මෙය සුරපුරක්.
ඒත් මේ මහ පොළවේ හැපෙනා
උන්ගේ ජීවිත මහ බරක්//
පි ආසාවෙන් බලන්න යන අපිට මතුපිටින් පෙන සුන්දර ගැමි පරිසරය එක්ක තියෙන කටුක යතාර්ථය ඕක තමයි .
ස්තූතියි ඉවාන්....
Deleteඅපි ලස්සනයි කියලා රස විදින ගොඩක් දේවල් පිටුපස අපිට නොපෙනෙන මේ ඇත්ත කටුකත්වය තියෙනවා. අල්මඩිත්තෙදි හම්බෙන ආතලා, මාමලා හරි සුන්දර මිනිස්සු. ඔවුන් කුඹුරට පොහොර ටික දාලා පැලට වෙලා විටක් කාලා, තේ කහට ටිකක් උණු කරං බීලා හවසට පිහිල්ලෙන් ම නාලා ගෙදර යනවා. ඒ ජීවිත හරිම සරලයි. ඒ මිනිස්සුත් කටපුරා හිනාවෙලා හදවතින් ම කතා කරන අව්‍යාජ මිනිස්සු. ඒත් නොකියන මොකක්දෝ දෙයක් ඒ ජීවිත වල තියෙනවා. ඒ තමයි ආර්ථිකමය අපහසුකම ඉවාන්. ඒ මිනිස්සු ඒකෙන් පීඩිතයි.....
නගෙර් සල්ලිකාර අයට ගම සුන්දරයි. ඒ් සුන්දරත්වය අැතිකරන්න ෙහලනා දහදිය කද ෙකතරම්ද? ඒ් දහදිය ජීවිතය ජීවත් කරවන්නයි. උපරිමයි කවිය මෙචා්
ReplyDeleteඇත්ත නලියා...............
Deleteඋඹ කියනවා වගේ ඒ මිනිස්සු මේ පොළව එක්ක හැප්පෙන්න දාඩිය හෙළන අය. අපිට ලියදි ටික එක එල්ලට පෙනෙද්දි හරිම ලස්සනයි තමයි. ඒත් ඒ ලියද්දෙන් ලියද්ද මඩවන්න, පෝරුගාන්න කොච්චර දුක් විදින්න ඇත්ද? රෑට ඌරෝ පෙරලුවාම ඒ නියර බදින්න කොච්චර දුක් විදිනවා ඇත්ද? අපිට පැල හරි ලස්සනයි. ඒත් පැල් කොටේකට වෙලා පුවක් පතුරු කීපයක් උඩ එලිවෙනකල් ඇනතියාගෙන ඌරෝ එනවාද බලාගෙන ඉන්න එක කොච්චර අමාරු ඇත්ද? ලස්සන ඇතුලේ තියෙන යතාර්ථය ඕක තමයි....
ඇත්තටම අපි මතුපිටින් දකින ගැමි සුන්දරත්වයට යටින් මොන තරම් කඳුළු දහඬිය ගඟක් ගලනවද?
ReplyDeleteකවි ටික නියමයි තුෂාර.
ස්තූතියි ප්‍රියා...............
Deleteගම හරිම සුන්දරයි. ඒකේ තර්කයක් නෑ ප්‍රියා. ඒ වගේ ම ඒ මිනිස්සු හරිම අහිංසකයි. අව්‍යාජයි. සරලයි. ඒත් ඒක යට සැගවුණු අපහසුකම් කීපයක් ම තියෙනවා. ගෙදර හාල් ටික පුරවලා තියෙනවා. ඇයි කුඹුරු වැඩ කරනවානේ. ඒ වගේ ම එළවලු ටිකත් තියෙනවා. කුඹුර උඩ පැත්තට වෙන්න කොටුවක් තියෙනවානේ. ඒත් අතේ සත පහක්වත් නෑ. රෙදි කෑල්ලක් ගන්න, බෙහෙත් ටිකක් ගන්න, වෙනත් වුවමනා දෙයක් ගන්න විදිහක් නෑ. කෙහෙල් කැනක් වත් විකුණ ගත්තම තමයි අතට කීයක් හරි එන්නේ.
ඒ ජීවිත වල මහා බලාපොරොත්තු නෑ ප්‍රියා. අපි මේ දේවල් නොදැන මේ ජීවිත ලස්සනයි කියලා විතරක් කියන එක හරි දෙයක් නෙමෙයි.
කවි ටික පට්ටය...
ReplyDeleteතරහා අවසර පිංතූර ටිකත් පට්ටය...
සැබැවින්ම අව්‍යාජ ගැමිකම හිතටදනවන්නට තැනූ අපූරු උස්සාහයක් යැයි හැගේ...
ජයවේවා
ස්තූතියි මහේෂ්...............
Deleteහැමදාම වගේ ඇවිත් අපිව දිරිගන්වනවාට.. කවිය ලියන්න හිතුනේ ඊයේ දවසේ හිතට දැනුන දේවලුත් එක්කයි....
පීල්ල දැක්කම පැනලා නාගන්නමයි හිතුනේ.මෙහේ කොහේද දිය පීලි?අවසාන ටිකටනම් දුකක් දැනුනා
ReplyDeleteකුරුටු ගෑ ගී පවුර පැත්තට සාදරයෙන් පිළිගන්නවා....
Deleteකතාවනම් ඇත්තම තමයි. ඒ පීල්ල දැක්ක ම නාන්නමයි හිතෙන්නේ. වතුර මද්දහනටත් අයිස් වගේ. ඒ තරම් සීතලයි. උල්පතින් එළියට එන තැනමයි පීල්ල තියෙන්නේ. උඩින් තියෙන කැලේ කෑල්ලෙන් තමයි උල්පත් වතුර එන්නේ.. ඇත්තට ම උල්පත් වතුර බොනකොට දැනෙන්නේ පැණිරහක් වගේ දෙයක්. කියලා වැඩක් නෑ මල්.............
අල්මඩිත්තට අද ගියපු මට
ReplyDeleteබලන්නට මෙය සුරපුරක්.
ඒත් මේ මහ පොළවේ හැපෙනා
උන්ගේ ජීවිත මහ බරක්.
මේ පද ටික මාතෘකාවක් කරන් තව ලොකු කවියක් ලියන්න පුලුවන්....
ලස්සන කවි ටිකක්..
ස්තූතියි සුසී........
Deleteඇත්ත කතාව. අනික සුසී මං දැකපු දේ තමයි අපි දෙයක් ගැන හිතලා කවි හෝ නිර්මාණ කරනවාට වඩා අපි ඒ දේ අත්වින්දොත් දැනෙන ප්‍රමාණය වැඩියි. ඒ වගේ ම ඒක අනික් අයට දැනෙන්න ලියන්න පුළුවන් ප්‍රමාණයත් වැඩියි. ඉතින් ස්තූතියි අපිව දිරිගැන්වුවාට..........
///අපි ඒ දේ අත්වින්දොත් දැනෙන ප්‍රමාණය වැඩියි.///
Deleteමේකටනම් මන් 100% එකගයි.මොකද එක්තරා විදිහක අත්විදීමක ප්‍රතිඵලයක් තමයි මගේ //හන්තාන සිහිනය.// බ්ලොගේ ඇරඹුමත්..
ඇත්ත සුසී,
Deleteමං හිතන්නේ ඔබ පේරා කැම්පස් එකේ ඉන්න කෙනෙක් වෙන්න ඕනේ.......... මහවැලිය සහ හන්තාන කියන්නේ පේරාදෙනියේ සංකේතයන්නේ. අපේ ජීවිතේ ගොඩක් සාර්ථක වෙන දේවල් අපේ හැගීම් සහ අත්දැකීම් එක්ක ගොඩනැගුණ දේවල්. අපි බාහිරින් අපේ ගමන යන විදිහ ඉගෙන ගන්න ගියාට සාර්ථක වෙන්නේ අපි තුළම ඇති ශක්තීන්ට අනුව යන ගමනක් විතරයි. ඒ නිසා ඔබගේ අත්දැකීම තුළින් බ්ලොගය සාර්ථක මාවතක යනවා වගේ අපේ මුළු ජීවිතේ ම අපේ ම ගමනක් හොයා ගන්නවා සුසී..........
ඇත්තටාම අපි බොහෝ දෙනෙකුට මේ වාගේ දෙයක සුන්දරත්වය දැකම එය උපරිමයෙන් විඳගැනීමේ හැකියාව තියෙනවා. ඒත් ඒ අපි දැක්ක සුන්දරත්වය ඒ ආකාරයෙන්ම තව කෙනෙකුගේ හදවතට සමීප කරන්න, විශේෂයෙන්ම කවියකින්, නිසැඳසකින් වඩාත් රසවත්ව සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව හැමෝටම නෑ. අතලොස්සකට විතරයි පුලුවන්. ඔබ ඒ ගමෙනෙ දුටු හැම සිදුවීමක්ම දසුනක්ම හරි අපූරුවට කවියට නඟලා. දැං ඔය ගැන ඔබ නිකං වචනයෙන් විස්තර කලා නම් ගමනෙ ලස්සන එතරම්ම අපිට දැනෙන්නෙ නෑ. උදාහරණයකට ඔබට උවමනා උනා ලා කොල පාටින් පේන කුඹුරු යායක් තිබුන කියල කියන්න. ඒත් ඔබ නිකංම මං කුඹුරු යායක් දැක්ක නොකිය ඒක හරි ලස්සනට කියනවා. \\කෙහෙල් දල්ලට පාට වෙන්නට
ReplyDeleteකුඹුරු යායම සැරසිලා//
මේ ප්‍රකාශය අතරෙ අඩුම තරමේ කෙහෙල් දල්ලෙ පාට ගැනවත් කියල නෑ. කොල පාටක් ගැන කොහෙවත් කියල නෑ. ඒත් මේ ටික කියෙව්ව ගමන් එක පාරටම අපේ හිතේ මැවෙනවා, උදේ හිරු එළියෙන් නැහැවෙමින් මද සුලඟත් එක්ක දඟ කරන පැල ගොයමින් පිරිච්ච ලා කොල පාට කුඹුරු යායක්.
නිර්මාණකරනය කියන්නෙ මේකට තමයි.
ඇත්තෙන්ම අතිවිශිෂ්ඨයි ගී පවුරේ..
ස්තූතියි මනෝෂ්............
Deleteවිචරය පිළිබද දැන් දැන් විදග්ධයෙක් නිර්මාණය වෙමින් පවතින ඔබ වැන්නෙක් විසින් කරන ලද කෙටි විචාරය වුනත් මට ඉතා වටිනවා. අපේ බ්ලොග් සගයින් අතර සිටින ඉතා සාර්ථක විචාරකයෙක් වෙන ඔබ එම කවිය විග්‍රහ කරන්නා වූ ආකාරය ඉතා වටිනවා.
ඇත්ත මට කියන්න ඕනේ වුණෙත් ඒ ටිකම තමයි. කොළ පාට කියනවාට වඩා අල්මඩිත්තට ම අයිති දෙයකින් මට ඒක පැහැදිලි කරන්න ඕනේ වුණා... අල්මඩිත්ත කියන්නේ කුඹුරු යායක් මනෝෂ්. ඒක දෙපැත්තෙන් ඇල පාරවල් දෙකක් ගලනවා. ඒවා උල්පත් වතුර. ඉහළින් ඇති කැලෑ රොදකින් ගලාගෙන එන වතුර තමයි ඒ... කුඹුරු යාය වැඩ කරන දහ පහළොස් දෙනෙක් ඉන්නවා. ඒ හැමෝ ම ඒ කුඹුර ළගට වෙන්න පැලකුත් අටවලා තියෙනවා. හරිම ලස්සන තැනක් මනෝෂ්. හැබැයි මේ ජීවිතත් එක්ක ගැටගැහිලා යන තවත් අදෝනා කීපයක් ම තියෙනවා......
කවිපෙලේ අවසානයේ කියපු ඒ කාරණය ගැන මං මොකුත් නොකීවෙ ඉහලින් ගොඩක් අය ඒ ගැන කතාකරල තිබ්බ නිසයි. කොහොම උනත් ගී පවුරේ මේ අහිංසක මිනිස්සුන්ගේ මේ ලස්සන පරිසරයෙ අපිට පේන සුන්දරත්වය අභ්‍යන්තරයෙ නෑ තමයි. ඔතන මෙහෙම දේකුත් තියෙනවා කුරුටු. නගරේ ජීවිතෙන් හෙම්බත්වෙච්ච අයට ගම දැක්කම ඒක සොඳුරු ලෝකයක් වෙනවා. නමුත් දහසකුත් දුක් කම්කටොලු මැද ජීවත්වෙන ගැමියෙකුට නගරෙ තියෙන සැප පහසුව, නවීන සාප්පු, යානවාහන දකිනකොට අපි ගමට ආදරේ කරනවා වගේ ඒ මිනිස්සු නගරෙට ආදරේ කරනවා. නමුත් නාගරිකයා දන්නවා තමන් නගරෙට වෙලා විඳින දුක.
Deleteඑකකට එකක් සාපේක්ෂයි. කොහොමත් මිනිස්සු විදියට අපි අපිට ලැබිල තියෙන දේ දේ තියෙන අඩුපාඩු දුෂ්කරතා ඇද කුද දකිනවා. ඒත් එක්කම අනිත් මනුස්සයත් අර මනුස්සයා ලඟ තියෙන දේවල් දිහා බලල හූල්ලනවා.
අර සන්ෆ්ලවර්ස්ලා කියන්නෙ ඕක හරි ලස්සනට.
"එගොඩ ඉවුරෙ තණකොල කන ගොනා
මෙගොඩ ඉවුරෙ තණ දකිනව මනා..." කියලා.
හැබැයි මේ මොනා කිව්වත් දහසක් දුක් කම්කටොලු මැද ගම්මානයේ මේ ගෙවන ජීවිත ඇත්තටම ජීවිතේ විඳිනවා. නගරෙ අය විඳවන අතරෙ මේ මිනිස්සු මිනිස්සු විදියට ඉපදිලා,මිනිස්සු විදියට ජීවත් වෙලා, මිනිස්සු විදියට මහපොලොවෙ මිහිදන් වෙනවා.
මනෝෂ්.
Deleteමට මුකුත් ම කියන්න එතන ඉතුරු කරලා නෑනේ. ඔබ එය මනාව විස්තර කරලා තියෙනවා. අර කතාව තමයි මේ සියල්ල එක්ක ම කියැවෙන්න ඕනේ දේ. ඒ තමයි ඔබ කියනවා වගේ අපිට තියෙන දේවල් ගැන හිතන්නැතුව අපි අපිට නැති අනුන්ට තියෙන දේ ගැන හිත හිත දුක් වෙනවා. ඒක නිසා තමයි මනෝෂ් මිනිහා කියන සතා කිසිදවසක තෘප්තිමත් වෙන්නැත්තේ. කෝටි ගණන් සල්ලි ගොඩගගහා ඉදලා සත පහක්වත් ගෙනියන්න බැරිව වලකට යට වෙනවා. මට ඕනේ මොනව ද මං නවතින්න ඕනේ කොතන ද කියලා තීරණය කර ගන්න තරම් ඔලුවක් නෑ. කූඹි කෑම එකතු කරන්නේ වැහි දවස් වලට කන්න. ඒත් මිනිහා සල්ලි එකතු කරන්නේ මොකට ද??? මැරෙන දවසට අරං යන්නද?? නැහැ කිසිම අර්ථයක් නෑ...
ඔබ කියනවා වගේ ම නගරේ මිනිහා ගම ගැන හූල්ලනවා වගේ ම ගැමියා නගරේ ගැන හූල්ලනවා. ඒත් දෙපැත්තෙම හොද නරක තියෙනවා. ඒත් නගරේ මිනිහට සාපේක්ෂ ව ගැමියා ජීවිතේ විදිනවා. ඔහුට නගරයට එන්න වාසනාව නැති තරමට ම ඔහුට ජීවිතයක් ලැබෙනවා. ඒත් ඔහු ඒක තේරුම් නොගනීවි.............. නගරේ මිනිහත් මේ දේ තේරුම් නොගනීවි...............
ඔන්න ඔය ටිකයි මටත් කියාගන්නෝනි උනේ. ඒත් ඒක ඔහොම පිළිවෙලට හැඩට ගලපල කියාගන්න මට තේරෙන්නෙ නෑනෙ අප්පා. ඒ නිසා උදාහරණ දිදී දිගට කියනවා.
Deleteමංද මගෙ අවුලක්ද කියලා. කොහොම උනත් මිනිසා දියුණුවෙන් දියුණුවට පත්වෙලා( ඌ කියන විදියට ) ආව මේ ගමන් මඟට මං කැමති නෑ. අපි අනිත් සත්තු වගේ නෙවෙයි. හැමදේම කෘතීම කරගෙන. මං අර කලින් වතාවකත් කීවෙ. මිනිහෙක්ට කවදාවත් ඌට ඕනි විදියට ජීවත්වෙන්න බෑ. සමාජෙට ඕනි විදියටයි ජීවත්වෙන්නෝනි. ඒ නිසා හැමදාමත් විඳවනවා.
ඒක හරි මනෝෂ්.............
Deleteඅපි දියුණු වෙනවා කියලා කරගෙන තියෙන්නෙ අනවශ්‍ය සංකීර්ණ වීමක් විතරයි. මිනිහා නගරයට සංක්‍රමණය වීම කියන්නෙත් ඕකමනේ. මිනිහා හිතාගෙන ඉන්නේ නගරයේ හිටියාම දියුණු වෙනවා කියලා. ඉතින් අඩි දෙක තුනකට කොටු වෙලා තනියම උඩ බලාගෙන ඉදලා මැරිලා යනවා. ඒ ඇරෙන්න ටවුමට ගියා කියලා ඔහු කරන අමුතු දෙයක් නෑ. බලෙන් සංකීර්ණ වෙනවා. ගම් වල මිනිස්සුන්ට තියෙන ගැටළුවත් ඕක තමයි. කොහොම හරි ටවුමට යන්න තමයි ට්‍රයි එක. ඒකෙන් වෙන්නේ මොකක් ද කියලා ඔවුන් දන්නේ නෑ. අපි මේ දකින කුඹුරු කරන පරම්පරාව ඉවර වුණාම ඊළග පරම්පරාවක් මේ දේවල් පවත්වා ගනියි ද කියලානම් ටිකක් සැකයි තමයි...
ඇයි මනෝෂ්ට දෙයක් විස්තර කරන්න බෑ කියන්නේ. ඔබ තරම් අගේට විචාරයන් කරන්න අපිට බැරි එකේ ඔබ ඒ අංශයේ පරිණත වෙන කෙනෙක් නෙවැ.............
නියර වල ඉරමුසු වැල් වැවෙනවද ....???
ReplyDeleteමට කොයිල්.... ?????
කෙන්ජියෝ..................
Deleteඇයි එහෙම වෙන්න බැරිද????
මේකයි කෙන්ජි. හැමදාම සුද්ද කරන නියර වලනම් නෑ තමයි. ඒත් කුඹුරු යාය අයිනෙන් යන නියර නිතර ම සුද්ද කරන්නෑ. අනික නගරයට වෙන්න කුඹුරු වල හතර අතම සුද්ද කරාට ගැමියෝ මේ අයිනෙම නියර සුද්ද නොකරන්නේ සමහර කෘමීන් විනාශ වෙන නිසා. ඒ අය කුඹුරට අත්‍යවශ්‍යයිලු. ඉතින් ඒ සුද්ද නොකරන නියරේ වෙල්ගොටුකොළ, ඉරමුසු වගේ දේවල් තියෙනවා. වෙල්ගොටුකොළ හරි ඉරමුසු හරි ලොකු වැල් යන්න ම ඕනේ නෑ. ඉරමුසු තම්බලා බොන්නට ගන්න නිසා වැඩිපුර ඕනේ වෙන්නේ මුල්. ඒකට ලොකු වැල් ඕනේ ම නෑ මචං. වෙල්ගොටුකොළ එක්ක ඉරමුසු දාද්දි මටත් ඕක හිතුනා. කෙනෙක් මේක වැරදියට තේරුම් ගනියිද කියලා...
මචං ඒ විතරක් නෙමෙයි. කීකිරිඳිය, මුගුනවැන්න, මුංඇට පළා, ගිරිපළා වගේ දේවලුත් තියෙනවා....
ඇයි සැකද????? මේ පැත්තේ ආවනං ඔන්න ඔහේ අල්මඩිත්තට ගෙහුං ම බලලා පීල්ලෙන් නාලත් එනවානේ...........................
නැහැ බං ..උඹ ඔය කියන සුන්දර ගම් වල සුවද විදල තියෙනව .... මමත් ගමක හැදුන බුවෙක්....
Deleteමහ ගෙවල් තිබුනෙ කුඹුරු යායත් මායිම්ව ඉඩම.....වැල් ගොටුකොල,මුකුණුවැන්න මැල්ලුමට ගත්තෙ නියරෙන් කඩල ගෙදර මහ බවලත්තු....කලවම් පලා වත්තෙන් කඩාගෙන මැලේව්වේ ....ඉරමුසු/පොල්පලා පවා වැලි පොළවෙ වැවිල තිබුන....
පසු කාලිනවත් මට අල්මඩිත්ත වගේ සුන්දර ගම්මාන වල ගැමියන් සමග විදල තියෙනව ....
මට මතක විදියට ඉරමුසු වියලි පසේ වැවෙන මතකයක් තිබුන නිසයි මම එහෙම ඇහැව්වෙ ...සිත් රිදවීමක් වුවා නම් සමාවෙයන් මචෝ.....
අනේ නෑ කෙන්ජියෝ..........
Deleteඋඹ ඇවිල්ලා ගහලා ගියත් අපි කිසිම අවුලක් හිතන්නෑ. මම උත්තරේ දුන්න විදිහත් ටිකක් සීරියස් වුණා වැඩියි ද මන්දා කියලාත් මට හිතුණා. අනේ එහෙම දෙයක් නෑ බං..
ඇත්තට ම මගේ අත්දැකීම නම් වෙනස් කෙන්ජි. මම නම් ටිකක් නගරබදව හැදුන කෙනෙක්. ඒක මගේ කරුමයක් වෙන්න ඇති. ඒ හින්ද ම දන්නෑ මට ටවුම පේන්න බෑ. කොළඹ කාලයක් රස්සාවක් කරන්න වුණා කැම්පස් අවුට් වුණ ගමන් නිසා. ඒත් මං කොළඹින් පනින්නේ කවදද කිය කිය හිටියේ. ඒකට චාන්ස් එකක් ලැබිලා කොළඹින් අයින් වෙලා අවුරුදු කීපයක් වැඩ කර කර ඉද්දි තවත් ගමට යන්න චාන්ස් එකක් හම්බුණා. දැන්නම් ඉන්නේ සුන්දර ගමක තමයි. ඇත්තට ම ආසයි මේ විදිහට ම ජීවත් වෙන්න. මං හිතන්නේ මට ගම මේ තරම් ලස්සනට පේන්නෙත් ඒක වෙන්නට ඇති...
කොහොම වුණත් උඹ කියපු කතාව සීයට සීයක් ම හරි. කුඹුරු මැද නියරවල ඉරමුසු වැවෙන්නෑ තමයි. ඒක ආයි මං අමුතුවෙන් උඹට කියන්න දෙයක් නෑනේ... ඒ ගැන හොදට ම දන්න කෙනෙක් නෙවැ කෙන්ජියා. ජපානයේ රාබුවත් වවන්න අදහසක් නැත්ද????
හැමදාමත් අපි ගැමිකම, ගැමි පරිසරය, ගැමි ජීවිතය, එහි ඇති සංස්කෘතිය, ආහාරපානවල රසවත්කම, කතාකරනවා. නමුත් ඒ මිනිස්සුන්ගේ හදවතට එබී බලන්නේ නැති, ඒ පරිසරය විඳලා ආපහු එන අපි, කොයි තරම් ලොකු වැරදි කාරයෝද?
ReplyDeleteඇත්ත විචාරක....
Deleteවිට කාපු ඒ කටවල් පුරවලා ඒ මිනිස්සු හිනාවෙනවා තමයි. ගෙවල් වල හාල්, එළවලු විතරක් නෙමෙයි කෙසෙල්, දෙළුම්, අඹ, පැපොල් වගේ පළතුරු පිරිලා ඉතිරිලා යන්න තිබුණාට ඒ ජීවිත වල අඩුපාඩු ගොඩක් තියෙනවා. සමහර කන්නයක දෙකක වතුර නැතුව කුඹුරු පාඩු වුණොත් ඒ මිනිස්සු හිතාගන්න බැරි තරම් අසරණ වෙනවා. ඒ දුක එක දවසක් දෙකක් ගමට ගිහිල්ලා සුන්දරත්වය විදලා එන අපිට තේරෙන්නේ නෑ. ඒ විතරක් නෙමෙයි විචාරක බැරිවෙලාවත් අපිට එහෙම ජීවිතයක් ගෙවන්න වුණානම් අපි වහ බෝතලයක් කටේ හලාගෙන මැරිලා ගිහිල්ලා ගොඩක් කල්. ඒ මිනිස්සු ඒ තරම් හිතේ දහිරිය තියෙන ජාතියක්......................
කොහේද ඔය අල්මඩිත්ත තියෙන්නේ.
ReplyDeleteඅපුරු ගමක් වුණත් අපිට ඒ මිනිස්සුන්ගේ ජිවිත වල කොයි තරම් බරක් තියෙනවාද කියන එක අන්තිම කවියෙන් අපුරුවටම කියනවා.
ඇත්තනේ මනෝජ් ඒ ගැන මං හරියට විස්තර කරලා නෑනේ...
Deleteමේකයි. අල්මඩිත්ත කියන්නේ ගමක් නෙමෙයි කුඹුරු යායක්. ඒක තියෙන්නේ ගම අයිනෙන්. සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ බලංගොඩ මැතිවරණ කොට්ඨාශයේ පිහිටා ඇත. ඉස්සල්ලා මං කිව්වා වගේ මේක ගමක නමක් නෙමෙයි මනෝජ්. ගම කෙළවරේ තියෙන කුඹුරු යාය. ඒක කඳු වලින් වට වුණ ලස්සන තැනක්................
ඇත්තටම ඔය වගේ ගැමිපරිසරයක ටික දවසක් හරි ගත කරන්න පුලුවන් නම් ඒක මනසට කොයිතරම් සුවදායක අත්දැකීමක් වෙයිද.....ඒ අත්දකීම විඳගන්න මාත් ගොඩක් ආසාවෙන් ඉන්නවා. ඒත් අන්තිම කවිය කියෙව්වම අපි ඈතින් දකින ඒ ලස්සන ගම ඇතුලෙ ජීවත් වෙන මිනිස්සුන්ගෙ ජීවිත මොන තරම් කටුක ඇතිද කියල හිතෙනවා.
ReplyDeleteස්තූතියි චාම්ස්.................
Deleteඒක ඇත්ත. අපි ආසයි ඒ සුන්දරත්වය විඳින්නට. ඒත් ඒ පිටුපස සැගවිලා තියෙන ඒ මිනිස්සුන්ගේ ජීවිත වල දුක අපි දකින්නැති තරම්. ඒ ගැන සංවේදී වෙන්න පුළුවන් නම් අපිට සැබෑවට ම ගම විදින්න පුළුවන් වෙනවා චාම්ස්....... ඔබේ ආසාව නිසා ගමට යන්න. නමුත් සුන්දරත්වයට විතරක් වශී වෙන්න එපා. යථාර්තය හොයාගන්න. ඒක ඒ මිනිස්සුන්ටත් කරන ලොකු ගෞරවයක්.................
ලස්සන නිර්මාණයක් ! බව සහ ඔබගේ නිර්මාණශීලීත්වය පිළිබඳව " මනෝෂ් "ගේ අදහස් සමඟ එකඟ බව මුලින්ම කියන්න ඕනා.
ReplyDeleteඅපට නිතර විඳින්න නොලැබෙන දෙයක්, විඳින්න ලැබුනහම් ඒ කෙරෙහි සිත තදින් බැඳෙන එක ස්භාවය. සොබාදහම් සම්බන්දයෙන් ඒක තවත් වැඩියි. එහෙම වින්ඳත් ඒ යටින් තියෙන දහඩිය , කඳුළු දකින්නේ කළාතුරකින් කෙනෙක්.
ඔබ අල්මඩිත්තේ සුන්දරත්වය වගේම , ඒ ලස්සන ඇතුලේ සැඟවුන දහඩිය , කඳුළු වල සුවඳත් විඳිනවා සහ ඒ දේවල් අපිටත් සමීප කරන්න උත්සහා දරලා තියෙනවා.
ඔබට ගොඩාක් ස්තූතියි ...!
බොහොම ස්තූතියි සඳරු,
Deleteඔබ මේ විදිහට නිතරම අපිව දිරිගැන්වීමට අපිට මහත් ශක්තියක් සඳරු. නිර්මාණයක් කරාම අපිට තියෙන සතුට තමයි එ්ක කියවන පිරිසගේ හැගීම්. ඒත් බහුතරයක් දෙනා කවිය රස වින්දට ඔවුන්ගේ අදහස් අපි දන්නේ නෑ. ඒක කාලයත් එක්ක ඔවුන්ට වේලාවක් නැතිකම වෙන්නත් පුළුවන්. ඒත් කමෙන්ටුවක් දැක්කාම අපිට යමක් කරා කියන හැගීම දැනෙනවා. අපිට ඔවුන්ගේ අදහස් දැන ගන්නත් ඒ ගැන අපේ අදහස් ප්‍රකාශ කරන්නත් පුළුවන් වෙනවා. ඉතින් ඔබ සහ අපේ සහෘද කැල නිතර නිතර අපි සමග හිදිමින් අපිව දිරිගැන්වීම අපිට මහත් ශක්තියක් සඳරු..............
ඇත්ත සඳරු මට අවශ්‍ය වුනේ මම දැකපු දේ සහ මට දැනුණු දේ ඔබ වෙත ගෙන ඒමටයි. නමුත් මෙය සැබෑ නිර්මාණයක් වන්නේ ඔබ වැන්නන්ගේ අදහස් මේ සමග එකතු වුණ විටයි සඳරු..............
අල්මඩිත්ත.... නෙවෙයි හැමතැනම...
ReplyDeleteසුන්දරත්ත්තවය අැතුලෙ හැංගුන..
කටුක බව...
ජ ය වේ වා!!!
ස්තූතියි විදානේ...............
Deleteවිදානේට නම් කැම්පස් එකට මේ පැත්තේ තියෙන කඳු ටික පෙනිලත් ඇති. අල්මඩිත්ත පිටිපස්සේ කන්දට නැග්ගා ම කැම්පස් එක වගේ ම සමනලෙත් හොදට පේනවා...
ඉතා කැමතියි..
ReplyDeleteබොහොම ස්තූතියි කඳු...............
Deleteකවියක් කියවන කෙනෙක් ඒක ප්‍රිය කරනවානම් ඒක තමයි අපිට තියෙන එකම සතුට........ ඒ බව කියූ ඔබ අපිව දිරිගැන්වුවා... ස්තූතියි කඳූ.... අපිත් හරිම ආසයි ඔබේ කවි ආරට............
What a marvelous poem Thushara.......
ReplyDeleteMind automatically goes to that environment and starts dreaming if I could live there. Then feel a sorrow about the current living style also. Anyway, thanks to giving us a tremendous beautiful experience at least....
From...
White Man
thank you white man...
DeleteThis is not just a poem. That day I went to Almadiththa. I saw that beautiful paddy field. I think this is the miracle of nature. So this poem is one of my experience.
thank you again for your comment.
උඹ සුන්දරත්වය විදලම ලියපු සිතිවිල්ල මසුරං .....
ReplyDeleteමම මුලින්ම හිතුවෙ පිංතුර දැකල ලිව්ව කියල.....
පිංතුර ටිකයි සිතිවිල්ලයි දකිද්දී/කියවද්දී මතක් වුනේ තවලම චිත්‍රපටය කරද්දී.....බුලත්කොහුපිටිය පාලම ලගින් වමට හැරිල ඇතුලට ගියාම තිබ්බ ගම මතක් වුනා... ගමේ නම මතක නැහැ....
සුන්දර ගමක්......
ස්තූතියි කෙන්ජියෝ................
Deleteඒ කියන්නේ කෙන්ජි තවලම චිත්‍රපටය කරද්දි එහෙ ගියාද???
ඇහින් දකිනා සොඳුරුබව නෑ අහිංසක ජීවිත වෙලන්නේ
ReplyDeleteසොබාදහමත් පරදවාගෙන දුගීකම ඉස්මතුව එන්නේ
පීල්ලෙන් බැස කුඹුරු තෙමමින් දහදියයි ඔය ගලා යන්නේ
ඒ දකින්නට ඔබට හැකි වූ නිසයි මේ කවි මල පුදන්නේ
කියා ගන්නට බැරි තරම්
Deleteඅගෙයි ඔබෙ කව ඉස්තරම්
දහිරියක් දෙයි මේ හැඟුම්
අප අගය කළ කවි පැතුම්.......................
මේ පින්තුර ටික වුනත් කවියක් වගේ. කවි ටික පින්තුර පටියක් වගේ .ලස්සනයි. අවසන් පද දෙකට වඩාත් කැමතියි
ReplyDeleteස්තූතියි තිලක සිත,
Deleteඒ වචන ටික අපිට මහත් ශක්තියක්. අපි ලියන කවියක් කියවා ඔබ ලබන්නා වූ සුවය සහ සතුට අපේ එකම පැතුමයි. එයින් ඔබට දැනුණු හැගීම කියවූ විට දැනෙන සතුට අපිට හොදට ම ප්‍රමාණවත්...................
ස්තූතියි ඔබට
ඔබේ යොමු කිරීම මත මේ අගනා නිමැවුම දකින්නට වාසනාව ලදිමි. ඒ වෙනුවෙන් පින් දෙනවා තුෂාරට.
ReplyDeleteස්තූතියි....... ගුණසිංහ මහත්තයා...
Deleteඇත්තට ම ඔබ මෙය ප්‍රිය කරන බව දන්නා නිසයි සදහන් කළේ....
අලුත්නුවර රජමහා විහාරයට හි දේවාලයට එන පුරාණ රජ මාවත වැටී තිබුණේ අල්මඩිත්ත හරහා කියලයි මේ ඇත්තන්ගේ විශ්වාසය තියෙන්නෙ. ඔබට මේ සම්බන්ධ ජන කතාව අහන්න ලැබිලා නැද්ද තුෂාර
ReplyDeleteවිස්තර දන්නවා..
Deleteමං හිතන්නේ ඒක තමයි ප්‍රධාන දොරටුව ඒ පැත්තට තියෙන්න්. ඒත් දැන් බදුල්ල පාරේ ඉදලා එන පැත්තෙන් අපි වැඩිපුර භාවිතා කරන්නේ අනික් දොරටුව නේද දැන්????