දුවේ,
ඔය පහණ වගේ
දවසක දැල්වෙමින්
පාසල විතරක් නෙමෙයි
ලෝකය ම එළිය කරන්න...
දුෂ්කර මාවතක යන
හැම ගමනක ම අවසානයේ
ජයග්‍රහණය තියෙනවා...
සුමට පාරක ගිහින්
ජීවිතේ දිනපු උන්ට වඩා
නුඹලාගේ ජයග්‍රහණය වටිනවා...
මොකද ඒ ජයග්‍රහණය
දුක පරදා අත්පත් කරගත්තු
තනිකර ම නුඹලාගේ
ජයග්‍රහණයක් වන නිසා...
ජීවිතේ කියන්නේ ම
මහ අමුතු දෙයක්...
දුක කියන්නේ ම
හැමෝම විදින දෙයක්...
කදුළ කියන්නේ ම
සිනහවට අභියෝගයක්...
වේදනාව කියන්නේ ම
සතුටට ආරාධනයක්...
ජයග්‍රහණය කියන්නේ ම
පරාජයන් පරාජය කිරීමක්.....
ඊයේ දිනයේ අප විසින් රත්නපුර පැල්මඩුල්ල උඩරංවල විද්‍යාලයේ දරුවන්ගේ භාවිතාව සදහා ඡායාපිටපත් යන්ත්‍රයක්, ටෝනර් 03ක්, පාසලේ සියලුම දරුවන්ට පොත් රැගෙන ගියා. ඒ කටයුත්ත අති සාර්ථක ව සිද්ධ වුණා. අපි උදේ 10 ට යන්න සැලසුම් කරලා තිබුණාට මාර්ග දුෂ්කරතාවය නිසා අපිට පොඩි දුරක් යන්න පැය දෙකක් ගත කරන්න වුණා. විදානේ විසින් ෆොටෝ කොපි මැෂිම සහ පොත් ටිකත් ටෝනර් ටිකත් පටවාගෙන ඔහුගේ නිලරථයේ ගියා. විදානි, පොඩි විදානි, සබරේ ඇනෝ සහ රූපිකා මිස් ඒ රථයේ ගියා. විදානෙගේ ප්‍රිය බිරිදගේ නිල රථයේ රියදුරු වුණේ මම. මං ෂාරුක්ඛාන් වගේ යද්දි ලංකා බැංකුවට වෙලා ස්ථාවර තැන්පතුවන පොළිය ගණන් බලමින් සිටි ප්‍රසන්න අයියා ඒ ස්කූටරයට නංවා ගත්තා (ආ.... ප්‍රසන්න අයියා හොද මේකප් එකක් දාලා ඇවිත් හිටියා.... ) අපි දෙන්නා ස්කූටරයෙනුත් අර කලින් කියපු සෙට් එක කාර් එකෙනුත් කිලෝ මීටර් 10 ක් පමණ වූ දුෂ්කර ගමන පටන් ගත්තා.
විදානෙගේ රථයට පාරේ තියෙන වලවල් නිසා ගමන් කිරීම හරිම අපහසු වුණා. ඉතින් අපිත් පිටි පස්සට වෙලා හෙමි හෙමින් ගමන ගියා. උඩරංවල පාසලට යන්න කිලෝමීටර් 03 ක් පමණ පෙර අපිට හමුවුණ හංදියේ සිට අර විදානේ කියපු ඩිමෝ බට්ටා වර්ගයේ වාහනය සහ ත්‍රීවිලරයක් මගින් අපිට ප්‍රවාහණ පහසුකම් දුන්නා. ඒත් ස්කූටරයේ රියදුරුකම දිගට ම කරගෙන යන්න වුණේ පණ බයෙන් පිටිපස්සේ එල්ලිලා හිටපු ප්‍රසන්න අයියා ද පරිස්සමට අරගෙනමයි. කොහොම හරි නොහිතපු තරම් දුෂ්කර මාර්ගයේ තත්වය නිසා අපි පැයක් පරක්කු වෙලා පාසලට ගියා.
ඊට පස්සේ අපිට අර රූප වල තියෙන කෑම මේසය භාර දුන්නා. අපි ඉතින් ඒක පරිස්සමට පාවිච්චි කරා. එතනදී ඔන්න විදානේ හැලප 05 ක් කාපු කතාවනං අපි කාටවත් කියන්නෑ කියලත් පොරොන්දු වුණා. (ඒ ගැම්මෙන් තමා අර අග මුල ගැලපෙන කතාව විදානේ ස්ටේජ් එක උඩදි කරේ කියලත් මට පස්සේ පුද්ගලිකව ම කිව්වා) පස්සේ අපි 06 වසරෙන් ඉහළ දරුවන් රැස්කරලා පාසල විසින් ලෑස්ති කරපු චාම් සහ පොඩි කාලයක් ගත්තු වැඩසටහනට සහභාගී වුණා. දරුවන්ට ඒ හරහා ලොකු පණිවුඩයක් ගියා කියලත් අපිට වැටහුණා. ඒකෙදී කියපු දේවල් දෙකක් ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මට හිතට වැදුණ ම දේවල් දෙක.
01. නියෝජ්‍ය විදුහල්පතිතුමා - ඔබේ මිතුරු සංසදයේ නම ඔබට හොදට ම ගැලපෙනවා. ඔබ ඇත්තට ම නෙළුමක්. වෙනත් පාසල් වල සහ මිතුරන් අතර තියෙනවා 85 කණ්ඩායම 09 වැනි කණ්ඩායම වගේ මිතුරු සංසද. හැබැයි ඒවාගේ දී වෙන්නේ එකතු වෙලා ආතල් එකක් අරගෙන යන එකයි. නමුත් ඔබ එහෙම නැහැ. එවැනි මිතුරු සංසද තියෙන මඩ ගොහොරුවේ ම ඔබ හිටියට ඔබ එයින් උඩට ඇවිත් නෙලුමක් විදිහට පිපිලා රටටම සුවද දෙනවා. ඒකයි ඔබේ විශේෂත්වය.
02. ප්‍රධාන ශිෂ්‍යනායකයා - මේ වැඩසටහනේ දී අපිට දකින්න තියෙන වැදගත් ම දේ තමා මිතුරන් පිරිසක් කරන වැඩක්. මිතුරන් කියන්නේ එකතු වුණොත් මහා දෙයක් කරන්නට හැකි එකමුතුවක්. ඒ නිසා මේ මිතුරන් පිරිස අපිටත් හොද ආදර්ශයක් දෙනවා කවදා හරි දවසක අපිටත් හැකි වුණාම මේ විදිහට යමක් කරන්න කියලා.
මේ එයාලා කියපු වචන එහෙමම දානවා නොවුණට. ඒ කියපු දේ මීට ගොඩක් සමීපයි කියලා මට විශ්වාසයි. තව දෙයක් තමා මේ හැම කෙනෙකුගේ ම කතා වල දී සහ අපි සමග එළියෙදී කතා කිරීමේ දී පවා මං දැකපු අනික් විශේෂත්වය තමා මේ හැම දෙනාම නෙලුම්යාය බ්ලොග් මිතුරෝ බ්ලොග් සහෘදයෝ වගේ වචන කිසිම පැටලීමකින් සහ අමුත්තකින් තොරව භාවිතා කරා. ඔවුන්ට ඒක ඒ තරම් සමීප වීම ඇත්තට ම පුදුමයි. ඒ වගේ ම සතුටුයි. අනික තමා ඒ පාසල විතරක් නෙමෙයි ඒ ගමම අපි ගැන දැනගෙන හිටියා. හැමෝ ම අපිව බලාපොරොත්තුවෙන් හිටියා. අපි අර විදානෙ කියපු ඩිමෝ බට්ටට බඩු පැටවූ වෙලාවෙදිත් අනික් අය අපි කවුද කියලා දන්නවා. වැඩේ ඉවර වෙලා මමයි ප්‍රසන්න අයියයි හංදියට ආවාම විදානෙලා ආපු ත්‍රීවිලරයේ පැච් එකක් ගිය නිසා වෙනත් ත්‍රීවීලරයක් එවන්න පුළුවන් ද ඇහුවාම අපි එතැන තිබුණ ත්‍රීවිලරයකට කතා කරද්දි ඔවුනුත් ඇහුවා අර ඉස්කෝලේ උත්සවයට ආපු මහත්තුරුද කියලා. ඒ තරම් ඒ අය අපි ගැන දැනගෙන හිටියා. ඒකෙන් ම පේන්නේ ඒ ගමට පාසලට දරුවන්ට සහ මිනිස්සුන්ට ඒ පරිත්‍යාගයේ වටිනාකම කියලයි මං නං දකින්නේ.
ඇත්තට ම මේ වැඩේ දී ස්තූතිවන්ත වෙන්න ඕනේ හැම වැඩක් ම කරට අරන් කරපු විදානෙට. අනික් කෙනා තමා සබරේ. ෆොටෝ කොපි මැෂිම පළාත් සභාවෙන් නිදහස් කරලා දීම, ටෝනර් ලබා දීම, වගේ වැඩ සබරේ කරා. විදානේ පාසල සමග දිගට ම සම්බන්ධීකරණය කරමින් දවස් ගාණක් පාසලටයි පළාත් සභාවටයි ගියා. ඒ නිසා මේ දෙදෙනා විසින් මේ කටයුත්තේ වැඩි මහන්සියක් දැරූ බව අනිවාර්යෙන් ම මතක් කළ යුතුයි. ආ.... පළාත් සභාවේ රූපිකා මිසුත් ලොකු මහන්සියක් වුණා... (ඕක කිව්වේ නැත්තං හරි නැහැනේ නේද???)
මූල්‍යමය දායකත්වය අතින් නෙලුම්යාය හැටියට මේ වැඩේ ගැන සදහන් කළ විට ම අජිත් අයියා විසින් පොරොන්දු වූ පරිදි රුපියල් 15,000 ක මුදලක් ලබා දුන් අතර විදානේ විසින් නෙලුම්යායෙන් ලැබුනු තෑග්ගෙහි මුදලත් මුලින් ම යෙදවූවා. අනෙකුත් වියදම් අපි විසින් බෙදා ගැනීමේ පදනමින් වැඩේ කරගෙන ගියා. මීට අමතර ව මධුමාධවී, සබරේ, ප්‍රසන්න අයියා සහ අපි මුදලින් මේකට දායක වුණා.
විශේෂ ස්තූතිය - ස්කූටරයේ වලවල් වල වැටෙද්දි මීක් සද්දයක් නොකර පිටි පස්සේ එල්ලී පැමිණි ප්‍රීති සින්ටා ආ නැහැ නැහැ ප්‍රසන්න අයියාට......
මෙන්න නෙලුම් මල ගහපු ෆොටෝ කොපි මැෂිම
.