Sunday, November 30, 2014

කෝ අපේ එක......???



එක් සමයක අපි ඉන්නා ග්‍රහලෝකේ
නායකයන් රැස්වී ඇත ලකට ලකේ
කුමක්ද මේ බලා ඉන්න අරුමැක්කේ
ලෝකයාට දැනිලා ඇත මහත් සැකේ

නායකයන් එකතුව මේ කරන කතා
මහජනයා අතරට ගියෙ යසට ගොතා
කියවුණු ඒ කරුණු අතර හොඳට හිතා
එළියට ආ අදහස මේ ලෙසට වෙතා

නියෝජිතයො රැළකට මේ අය අතරින්
ටුවර් එකක් ලැබිලා ඇත කලාතුරින්
මොකක්ද ඒ චාරිකාව හොයා බැලින්
අපාය නැරඹුමට වේය ඉතා හොඳින්

සාකච්ජා නිතර නිතර පැවැත්වුණා
හැම රටකම නියෝජිතයො තෙරෙන්නා
ඒ ඒ රටවල උන්දැල එකතු වුණා
නියමිත දින චාරිකාව පිටත් වුණා

යම රජු වෙයි අපාය මහ දොරකඩම
කණ්ඩායම පිළිගන්නට ඉහළින්ම
ආ ගිය තොරතුරු කතාව වෙනුවෙන්ම
සාජ්ජයකි කෑම බීම ඇති නියම

අපෙ කස්ටිය ගමනට දැන් ලෑස්ති වේ
අපාය මුල කොනක හිටන් බැලු යුතු වේ
යමපල්ලන් යම රජු හා මූලික වේ
සැහැල්ලු ලෙස ගමන තුටින් යා යුතු වේ

ලෝදිය හැළිය කටු ඉඹුලද පහු කරලා
කකුල් මැදින් දෙකට ඉරන තැන දැකලා
කිසිදා නොදුටු දඬුවම් ක්‍රම විධි පෙනිලා
කම්පනයෙන් කස්ටිය ඇත විර වීලා

චාරිකාව නිමා කරන අවසානේ
නැවතුම වෙයි යම රජුගේ මහ භවනේ
වාඩි වෙන්ට කස්ටිය හට අණ කෙරුනේ
වටපිට බලද්දියි අරුමැති දේ පෙනුණේ

බිත්ති පුරා ඇත එල්ලා ඔරලෝසූ
එකසිය ගණන් රටවල් ඇත නැත පහසූ
එක් එක් රටට වෙයි එක එක ඔරලෝසූ
දැනගනු තෙක් නැත කිම මේ ඉස්පාසූ

එක් එක් රටේ බොරු කියනා වේගයට
හොර මැරකම් දූෂණ අනුපාතයට
එකී නොකී අවලම් වැඩ වල උසට
කටු කැරකෙයි යම රජු දැන් කී ලෙසට

බලන් බලන් ගිහින් ගිහින් බිත්ති වටේ
නියෝජිතයො තම තමන්ගෙ උපන් රටේ
ඔරලෝසුය නරඹන්නේ එකට සිටේ
සමහර කටු කැරකෙන්නේ හැටට හැටේ

අපේ රටේ උන්නැහෙ දැන් ගිහින් ගිහින්
වටේ කැරකි හැම බිත්තින් අතරතුරින්
හොයයි නැතිය ඔරලෝසුව කිසිම ලෙසින්
ඒ පිළිබඳ පිටවෙයි යම රජුගෙ කටින්



ආ ඒකද... ඒක මගේ රූම් එකේ ෆෑන් එක විදිහටයි තියාගෙන ඉන්නෙ... හොහ්...හොහ්...හොහ්...



( ඇසූ කතාවක් වෙනස් ආකාරයට කවියට නැගීමකි )

අසංක ගයාන් අබේසිංහ

Thursday, November 27, 2014

අපිත් දැන් 50,000 යි............................................................. අද අපි කියනවා අපි කවුද කියලා...............




පළවෙනිම කාරණය තමයි කුරුට්ටෝ හැමෝම ඒක ම පවුලක අය. ඒ කියන්නේ අයියලා-මල්ලිලා, අක්කලා-නංගිලා විතරක් නෙමෙයි සමහරු නෝනලා-මහත්තුරු
ඒ විතරක් නෙමෙයි මාමාලා-බෑණලා
අැයි නෑනලා මස්සිනාලාත් ඉන්නවා................
දැන් කට්ටිය අපිට හෝ ගාලා බනියි මේවා දැන්ද උඹලා කියන්නේ කියලා.. දැන් හරි කිව්වානේ.......

මේ අපේ අවුරුදු 1 ක සහ දවස් 201 ක මහන්සිය. මෙච්චර කාලයකට පස්සේ අපි විවර්ස්ලා 50,000 කියන රවුම් ඉලක්කම අද උපයාගත්තා.. බ්ලොග්කරුවන් හැටියට මීට සියදයස් ගානක් ඉදිරියෙන් ඉන්න ප්‍රවීණයන් කිහිපයක් ම ඉන්නා වග දන්නවා. ඒත් මේ වෙලාවේ හිතට දැනෙන නිහතමානී සන්තෝෂය නිසා මේ අවස්ථාව මගහැර ගන්න අපිට හිතෙන්නේම නැහැ... 

මේක අපි හැමෝම දන්නවා වගේ මහ දෙයක් නෙමෙයි.. බෙර ගගහා නටන්න දෙයකුත් නෙමෙයි.. ඒත් සතුටට කාරණයක්...විවිධ අවස්ථා වලදී අපේ කුරුට්ටන් (අපිට ඔබම හදා දුන්නු නම) විසින් ප්‍රමුඛත්වය ගනිමින් සමූහ කාර්‍යයක් විදිහට අපේ පවුර ඉදිරියට අරන් ගියා... අද ඒ හැමෝම හරිම සතුටට පත්වෙනවා.... මේක තමන්ගේ ජීවිතයේ වැදගත් කටයුත්තක් විදිහට අපි හැමෝම සලකන්නේ ඒ නිසයි......

ඉතින් මෙච්චර කාලයක් නම් වලින් විතරක් දැනගෙන හිටපු අපි කට්ටිය කවුද කියලා හදුන්වා දෙන්න අපි තීරණය කරා... මීට කලින් 20,000 ක් විවර්ස්ලා අාපු වෙලාවේ අපි ගැන තවත් විදිහක හැදින්වීමක් අපි කරා... ඒක මෙතන තියෙනවා


ඉතින් සහෝදර බ්ලොග්කරුවනි...........
ඔබ මේ ගමන සදහා අප වෙත ලබා දුන්නා වූ ශක්තියට ස්තූතියි
අපේ රචනාවන් නිතර නිතර අගය කරාට ස්තූතියි
අපිව දිනෙන් දින ඔසවා තැබූවාට ස්තූතියි
සැමදා අපි සමග රැදුනාට ස්තූතියි

මීට 
කුගැගීප
කුරුට්ටෝ
......

Tuesday, November 25, 2014

අපිනං එහෙමයි......!!!



ලෝකෙ දියුණු රටවල් එකතුව හැදුව
ජනපදයකි හඳේ තියන හරි පුදුම
පදිංචියට එහි යවන්න තකහනිය
හොයයි සුදුසුකම් සපිරුණු පිරිසක්ම

හොයා බලා හතර අතේ ඇහැ දාලා
ජන ඝනත්වෙ කවුන්ට් කරල වලි කාලා
ඇනලයිස් කොර ආර්ථිකේ සලකාලා
ගණන් හිලව් සිදුවන්නේ ඇර දාලා


හෙමින් හෙමින් අවසානය එළඹෙන්නා
දියුණු වෙන්න කැමති පිරිස් තෝරන්නා
හොර කෙරුමෙන් ඉහළම ලකුණුම ගන්නා
අම්මට සිරි ලංකාවම තේරෙන්නා

සිරි ලංකා සැට් එක වෙයි සතුටින්නේ
හඳේ පදිංචියට යන්න දින ගැන්නේ
සියළු දෙයට සූදානම් වී ඉන්නේ
අන්තිමේදි ගමන යැවෙයි හඳ යානේ

සියළු පහසුකම් සපිරුණු ජනපදය
වැඩ කරන්න කියාපු හොඳ පරිසරය
අපේ එවුන් එහෙ පිරිලා තනිකරය
දියුණු වෙන්න දැන් කිසි බාධක නැතිය

කලක් ගතවෙලා ගිය පසු මේ අයුරින්
දියුණු රටවලින් එන්නේ හරි සතුටින්
ටෙස්ට් කෙරුමට අපේ එවුන් වැඩ කෙරුමෙන්
ගිහින් බැලුව කල ඇස් ගියෙ උඩ පුදුමෙන්

අපේ එවුන් ඉන්නා මේ ජනපදය
අජූත වී මුඩුක්කුවක ගෙන සිරිය
වැඩක් කරන කිසිම කෙනෙක් නැති හැඩය
දියුණු රටක ලොක්කෙක් ඇහුවා පැනය

ඇයිද උඹල කාලකණ්ණි වී මෙලෙස
අපි දුන්නේ දියුණුව තිබු ජනපදය
වැඩ කරලා එය රැකුමත් යුතුකමය
කිමද මෙසේ වූයේ දැන් කිව යුතුය

කුටු කුටු ගෑ පිරිස තුළින් ඉදිරියට
දෙකට නැමී ආවේ කැහුටෙකි පෙරට
ඔළුව කසා උත්තර දුනි හරි රහට
ප්‍රශ්නය ඇහු ලොක්කා හට බඩ යන්ට

හඳ හැමදාම පායලනේ... ඒ කියන්නේ පෝය... අපි ඉතිං පෝය නිවාඩු...හීහීහී......!!!


අසංක ගයාන් අබේසිංහ

Sunday, November 23, 2014

හොර ඡන්දත් වට්ටනවද මාමේ..................



මාමේ මාමේ ස් බී මාමේ
කොහොමද වා කියන්නේ මාමේ
99යෙ හොර කළ හැටි මාමේ
රෙදි අැදගෙනදැයි කියන්නේ මාමේ

ලැජ්ජයි මාමේ තුච්චයි මාමේ

මරිච්ච ඡන්දත් දැම්මද මාමේ
ගහලා පන්නලා හොර කළ මාමේ
මාමා කළ වැඩ මේවද මාමේ

මේ ඡන්දෙත් මෙහෙවනවද මාමේ

හොර ඡන්දත් වට්ටනවද මාමේ
මැරිච්ච, නොඅාව ඡන්දෙන් මාමේ
මහින්ද මාමා දිනයිද මාමේ

කලින් දිනෙක කට හින්දා මාමේ

දෑ වසරක් හිරගේ දුටු මාමේ
මෙදත් විපක්ෂයේ හිටියොත් මාමේ
තියෙන දෙකත් නැති වෙනවා මාමේ

99යෙ රස කතාව මාමේ

14රේ දී දිගහැරි මාමේ
15වෙ කරනා බලුකම් මාමේ
කියන්න ඉන්නේ කවද්ද මාමේ ......................



කසුප් අනුරාධ



.

Friday, November 21, 2014

විදවපන් ජීවිතය .....................


සුරුට්ටුව        දැල්වීම          ජීවිතය
දල්වා සුරුට්ටුව
මුව තුළට අැද සුදුපාට දුම්වලාව
පුම්බා හකු දෙපස
හකු පුරවාගත් වඳුරන් මෙන්
සෙමෙන් සෙමෙන් 
පපු කුහර තුළින් 
පෙනහළු දෙකට පුරවා
මහත් උජාරුවෙන්
පිට කරති 
සුදු පාට
දුම් වලා
හිස් අහස දෙස බලා 
කලිසම් කෝට් හැගත්
මහත්වරුන්,
දැල්වෙන සුරුට්ටුවේ රතු හිස බලමින්
දුම් නොබොන්නා දෙස බලා
උසුළු විසුළු කරමින්
තෝ මහ ගෑණියෙක්
විවපන් විපන් ජීවිතේ
ජීවත් වෙන්නෑ හැමදාම
නොසිතයි මොහොතක් ඔවුන්
දැල්වෙන්නේ
සුරුට්ටුව නොව
තමාගේම.
සුන්දර 
ජීවිතය බව.
.
.
.


පෙළගැස්ම - සුරංග ස් විජේසූරිය



.

Wednesday, November 19, 2014

වැඩවසම් ප්‍රේමයේ අරක්ගත් රදළයා..............


පසුපසින් දිව න්න
වැ වැටී වැළපෙන්න
වහළියක් නොවේ මම
වැඩවසම් ප්‍රේමයේ...................

මට අහිමි නිදහසේ

අරක්ගත් රදළයා
වී නුඹම මගෙ දිවිය
කදවුරක සිර කළේ......................

වියළි නිරුදක හදට

මුදුවදන් දිය බික් 
ලැබුණි නම් සැනසෙන්න
සිසිල්වත් කළ නෙතින්.....................

වැහි බික් නොමැතිමුත්

ගුගුරුවන අාකහේ
ගෝරණාඩුව කණට
‍අමිහිරම වත් කළේ..................

සෙනෙහසේ පිපාසෙන්

විඳින දුක් නිවන්නට
හැකි වුණේ කවදාද
රළු පරොළු ප්‍රේමයෙන් ............... ?


ඉසුරිකා චූලරත්න


.

Monday, November 17, 2014

කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා ..............



මීදුමෙන් වැසීගිය හීත කදුකර ඉමේ
හරිත පෑ කදුමුදුන් හිරු රැසින් නැහැවුනේ
දිගට හරහට අැදුනු ඉරි අතර අැති බිමේ
ලෝකයක් රස විදින තේ දළුය හිනැහුනේ

කදු අතර නිම්න බිම සිහිල් දිය උල්පතය
කන්දකින් කන්දකට මාරුවෙන දියඅැලිය
මේ අතර දළු නෙළන කුහුඹු මිනිසුන් රැළය
දුම්රියේ යන අයට බලන්නට මනහරය

හිරු න්න පෙරාතුව දළු නෙළන්නට අැවිත්
හිරි වැටුණු අැඟිලිතුඩු පුරුද්දට නෙළන මුත්
පිපුණු හිරිගඩු මත්තේ හිත හිතා හිටියහොත්
කාසි කෝ පුච්චන්න අද රෑට රොටීවත්

පීදෙනා පීදෙනා දල්ල දෙස බලනවා
හිසට ඉහළින් ගිහිං දළු මල්ල පිරෙනවා
උඹව තනිකර ලොවම පේනවද දුවනවා
කරෙන් නොව ගැටගසා ඉහෙන් බර අදිනවා

රැළි වැටුණු දෑත් වල තව හයිය තියෙනවා
වල ගැහුණු හකු අතර විට හපේ තැලෙනවා
ඔය දල්ල වේලලා රං කාසි හොයනවා
හෙටත් උඹ පාන්දර තේ දළුම හොයනවා.........................

තුෂාර විතාරණ


.

Thursday, November 13, 2014

ආදරේ......මා ප්‍රියේ......



ඔබ ගැන මේ දැනෙන හැඟුම
දරාගන්න බෑ මගෙ පපුවට
සුවඳ වෙලා අද මගෙ මුළු දිවියම
කුමක් කළෙද ඔබ මට මේ තරමට

මේ තරම් ආදරේ ඇයි ප්‍රියේ මා ලොවේ
තනිවෙලා හිඳි වෙලේ මා සොයා
ආ ඔබේ උණුසුමේ තනිවෙලා ගුලිවෙලා
හිඳිනෙමි දිවිතුරා මා ප්‍රියේ මා ප්‍රියේ

සිහිනයේ චේතනා හදවතේ වේදනා
බිඳහෙලා පුපුරලා යයි ගලා ආදරේ
මේ රැයේ සීතලේ නිදි ලොවේ හුදකලා
සුසුමකින් මා පතන්නේ පැතුමකි ආදරේ



අසංක ගයාන් අබේසිංහ

Tuesday, November 11, 2014

නිදාගත්තට නං ඉතිං කාරි නෑ......



පොඩිනම : නායක හිමියනි මා හිත පෙළනා පැනයකි
නායක හිමි : කිමද කියා එය පවසන් පොඩිනම දැන් හැකි

පොඩිනම : ගැහැණුන් ගැන බුදු දහමේ දේ මට පැටලෙයි
නායක හිමි : කිමෙක්ද ඒ ටක්කෙට මට තවම නොතේරෙයි

පොඩිනම : කෙලින් අසන්නට මගෙ සිත බිය වී වෙයි මැලි
නායක හිමි : කියමු ඉතින් දැනගන්නට නැහැ මට ඉවසිලි

පොඩිනම : ගැහැණු ඇසුර මහණ අපිට අකැපද හිමියනි
නායක හිමි : නපුරු කාම ගින්න එයම වෙයි පොඩි හිමියනි

පොඩිනම : තනිවුවොතින් මාත් සමග තරුණ ළඳක් කෙසේ ?
නායක හිමි : මඟහරිමුකො ඇයව ඉතින් පත්තු නොවී විසේ

පොඩිනම : ඒත් අරුම වෙලාවකදි වූවොත් කරදර
නායක හිමි : ඒ කුමක්ද කියමුකො මම දෙන්නම් සැක හැර

පොඩිනම : නිදාගන්න සිදුවුවොතින් තරුණ ළඳක් ළඟ
                කුමක් වෙයිද මහණ කමට හිත කරවයි දඟ...

නායක හිමි : පවක් නැතිය නිදියනවානම් සිදු වන්නේ
                  ඒත් නිදා නොගන්න එක නොවැ මහ ප්‍රශ්නේ...


අසංක ගයාන් අබේසිංහ

Friday, November 7, 2014

හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී .................



පායන ඉර කඳු මුදුනින් ඉසුරු අරන් වතුයායට
දවස් ගණන් වැඩ තියෙනවා දළු ඇත්තං එකයායට
පාන් රොටී නොපිරුවාට බඩකට අපෙ ඇති ගානට
හිත පිරිලා තිබ්බා සාමි පවුලෙ හිනා මල්යායට

ආඩවනේ ආපු කන්ද ලැයිම් කාමරේට උඩින්
අරන් ගිහින් මගෙ උන් ටික පරිස්සමට උන්නු තැනින්
අනේ සාමි ගියේ නැත්තං වත්තේ වැඩට කියලා උදෙන්
උන් දෙන්නට නොරිද්දන්න ඉන්න ඇහැකි උන්ට උඩින්

කන්න ජාති එමට ඇතිය ජීවිතේට දැකලා නැතී
තෙල් බත් බඩ පුරවාදායි හරි පදමට හොද්ද නැතී
ගවොං, ජීන්ස් කොතෙක් ඇතත් චීත්තයක් දැක්කෙ නැතී
හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී

ගිලින පිට්ටු උගුරු දණ්ඩ හිර කරනවා කන්න බෑ
බඩ පිරිලා මොකට පපුව ගිනිගහනවා ඉන්න බෑ
අපිට පිහිට කන්දසාමී දෙයියෝ මේවා දෙන්න බෑ
අපේ වැරදි තිබුණ වුණත් පොඩි උන් යටකරලා බෑ

කන්න ජාති ඇදුම් ජාති ලොරි පටවන් ගෙනාවාම
ඔපිස් එකේ නෝනලා ටික ඉස්ටෝරුව පිරෙව්වාම
ඉවර වෙන්නේ කොහොමද අපි ගාල් කරලා තියව්වාම
මීට වඩා හිතට හොදයි පස් කන්දට යටවුණාම

කොට්ට මෙට්ට බූල් රෙද්ද දත්මදින්න බුරුසු කැටී
මෙච්චර කල් දැනුණ සීත මහත්තුරුන් දන්න හැටී
කන්ද තරං දුක්ගින්දර මෙතෙක් කලක් බලං හිටී
මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී ............


තුෂාර විතාරණ



පසුසටහන - බෙරගල නගරයෙන් පහළට ඇති මාර්ගය, එනම් බෙරගල වැල්ලවාය මාර්ගය පැය විසිහතරේම පොලිස් ආරක්ෂාව යටතේ වාහන පාලනය කොට ඇත. ඊට ප්‍රධානතම හේතුව එම මාර්ගය භාවිතා කරන ප්‍රමාණය පාලනය කිරීම වුවද එමගින් නායයාමේ දර්ශන නැරඹීමට එන සංචාරකයින් නැවැත්වීම සිදු කරයි. එසේම සහනයාත්‍රා සහ වෙනත් නම් වලින් මාධ්‍ය නාලිකා දෙවනත් කරමින් කෑ ගහනා පිරිස ගේනා නානාප්‍රකාර බඩු භාණ්ඩ නිසි තැන්වලට හරවා යැවීම ද මෙම ස්ථානයෙන් ම සිදුවේ. 

බෙරගල මාර්ගය දෙපස කිලෝමීටර් තුන හතරක් යන තුරු හල්දුම්මුල්ල පැත්තට වන්නට පාර දෙපස තවමත් නවතා ඇත්තේ ආධාර රැගෙන එන ලොරි, බස් රථ ය. ඒවා පුරවා ගෙනෙන ආධාර කළමනාකරණය මේ වන විට රජයේ නිලධාරීන්ගේ ප්‍රධානත ම කාර්ය වී හමාරය. (ඒවා ජනතාව අතර බෙදා හැරීම පිළිබද කතා කිරීම අනවශ්‍ය යැයි සිතමු.) මේ අහිංසකයන්ගේ ඥාතීන් පස්කන්දකට යටවී මියගොස්ය. දැන් ජීවත් වන අවතැන්වූ අහිංසකයින් ටික හෙට අනිද්දාම මිය යන්නේ මේ ආධාර කන්දට යටවීමෙනි.................

අපි ඒ තරම් දුක හදුනන ජාතියක් වන්නෙමු. තම ජනතාව අවතැන් වූ පසු මේතරම් දුක දැනෙන ජනතාව වෙත කුගැගීප හී ප්‍රණාමය මෙසේ ප්‍රකාශ කරමු.......

.

Wednesday, November 5, 2014

ඒක තමයි වුණේ......



සමනුයි සෝමයයි ගජ මිතුරන් වන්නා
මුන් දෙන්නා එකටම අවලමෙ යන්නා
සූදුවටම ඇබ්බැහි වී ඇත දෙන්නා
සැමදා සවස සූදු පිටියෙ එල්ලෙන්නා

සෝමෙගෙ නෝන උදයෙම සැමියගෙ අතට
දී ඇත දහක් රුපියල් බඩු ගෙන එන්ට
ඒ දාහත් අරගෙන මොහු ගියෙ යන්ට
සූදු කෙළීමේ අරමුණ ගෙන පෙරට

මෙදා පොටේ නම් සෝමෙට සරුසාරයි
දිගින් දිගට මේ සූදුව දිනන හැඩයි
දිනන දිනන මුදලම ඔට්ටුව අල්ලයි
මෙහෙම ගිහින් ලක්ෂයෙ දිනුමක්ම ලැබෙයි

පහළව ඇත තණ්හාවක් සෝමෙ හට
ලක්ෂයෙ දිනුම ලක්ෂ දෙකක් කරන්නට
ඊළඟ වටයෙ ලක්ෂය දුනි ඔට්ටුවට
සිතා දෙලක්ෂය ගන්නට ඔහු අතට

ඒත් හිතුවෙ නැති ලෙසටම වැඩ වැරදී
අනෙක් අතට ගියෙ ලක්ෂය ඔහු පැරදී
මොකුත් නැතිවු සෝමේ දැන් කම්පිත වී
මිය පරළොව ගියෙ එතනම නහර පැලී

මළ කෙළියකි සූදු පොලේ සිදුවීම
සමනුත් ගැහෙයි බියවී ලෙස හොඳ හැටිම
මරණය කියන්නේ ගෙදරට දැන් කොහොම
සෝමෙගෙ නෝන කම්පා වෙනු ඇත බෝම

මෙහෙම සිතා මොහු සෝමෙගෙ ගෙදර ඇදෙයි
වෙව්ලන පියවර නිබඳව පසට නැමෙයි
දහිරිය ගෙන ගෙදර දොරට තට්ටු කරයි
සෝමෙගෙ බිරිය ඇස් ලොකු කර දොරෙන් එබෙයි

මොකද සමන් ඇයි මේ හැටි වෙව්ලන්නේ
ඇය අසනා විට සමනුත් ගොතලන්නේ
කෙසේ කියන්නද මරණය සතුටින්නේ
සිතා සමන් මේ ලෙසටයි පවසන්නේ

සෝමය හට සූදුව විය ජය කොඩිය
ඔහු අතටම දිනුම ලැබුණි ලක්ෂයම
මෙසේ කියා කට ගන්නත් පළමුවම
සෝමෙගෙ නෝන පැනපි උඩින් මිදුලටම

අනේ මගේ දෙයියෝ කෝ දැන් සෝමේ
ලක්ෂෙ දිනා ඇත රන්කඳ මගෙ ප්‍රේමේ
දිනා නැතිය මෙහෙම ගොඩක් මේ සම්මේ
සමන් දෙසට හැරුණේ ඇය එක පිම්මේ

කිව යුතු වෙයි ඇය හට දැන් සහසුද්දෙන්
මුළු සිද්දිය නිසි පෙළටම වූ අයුරින්
එසේ සිතා හරි බරි වී පහසු ලෙසින්
කිව්වා ලක්ෂෙ පැරදුණු බව සෝමෙ උඩින්

පරළ වීය සෝමෙගෙ නෝනා හොඳට
ඇසූ විගස මේ කතාව ඒ ලෙසට
ගත්ත ගමන් ඇය කෑ ගැහුවේ යසට
"සෝමේ උඹ මැරිලම පලයන් යන්ට"

එසේ කියා ගතවූ සුළු පමාවකින්
සමන් හටද සිහිය පැමිණි ඇසිල්ලකින්
කියා දැම්මෙ හිත තෙරපූ සිතුවිල්ලෙන්
සෝමෙගෙ නෝන වෙත මේ ලෙස සැහැල්ලුවෙන්


" ඉතිං ඒකම තමයි වුණේ......!!! "

( ඇසූ කතාවකි )


අසංක ගයාන් අබේසිංහ

Sunday, November 2, 2014

නොවිමසනු ආයෙත්......


 
ඇසුවා ඔබ මගෙන්...
"කොපමණ තරම් ආදරේද මට?" කියා...
ගොළුවිය මා එසැනින්...
සැබැවින්ම මා එය නොදන්නා නිසා...

එහෙත්...

කෑ ගසා නොකීවද

මම ඔබට ආදරෙයි
මම ඔබට ආදරෙයි

තනිව හිඳිනා විට හැඬවෙනා තරම්...
එක්ව හිඳිනා විට සිහිනයක් තරම්...

විමසනු නොමැනවි එය ඉතින්
තවත් පැහැදිලි කරනු කියා...


අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...