දොඩමළු වූ නෙත් අගට කෙසේ එනවද කදුළු
දරා දුක් ඉහිලුමුත් සොදුරු ලොව රුදුරු වී
ආදරය පසෙකලා නැගෙන දුක් අඳෝනා
තුනී කරලයිද නුඹ සිතේ කකියන රිදුම්,
නෙත් අගින් තොල් අගින් තුන් සිතින්වත් නොමැත
ජයෙන් ජය මිස පතා පුතුන් හට නිරා දුක
ඉර නැගී බැහැලා යන පරවු මල් හැන්දෑවේ
අසා ඉන්නේද නුඹ උලලේනන්ගේ ගී,
එදා නුඹ තුරුලේ ඉද තන පුඩුවේ තොල් ඉළූ
පුතා නැහැ දකින්නට පිටුපායි නුහුරුවට
ඉහිළු දුක් පුතු නමින් සිහිව සිත හඬවාවි
එවන් පුතු හෙට හදයි දරු පැටවු හුරතලට,
කෙසේ සැනසේ ද නුඹ බටිති ගී හඩ අසා
නොවේ එය එක් තැනෙක නුඹේ සිත දුක් විඳින
කෙසේ නවතීද ඔය නෙතු නැගෙන කඳුළු බිඳු
සිත පලා නැගෙන දුක් උණුව ලේ නලියවයි.
ආදරය රුදුරු නැත. ජීවිතය අඳුරු නැත.
පිදුවමුත් ආදරය නොලැබුණිය පෙර පවට
සදු දකින හැන්දෑවේ නුඹ සිතට දුක හැගේ
කිසිවෙකුට නොවේවා මෙවන් ඈ විදින දුක ..........................
තුෂාර විතාරණ
විෂය වස්තුව -
අපි හරක් මස් කන එකට විරැද්ධව සමාජය පාරට බස්සන්න හදන රටක්. ඒත් අපි ව ලෝකයට බිහි කරලා උස් මහත් කරපු අම්මලා විතරක් නෙමෙයි අපි වෙනුවෙන් නොවිදිනා දුක් විදපු තාත්තලා දහස් ගානක් මේ නිමේෂයේ දී ත් වැඩිහිටි නිවාස වල වැලපෙමින් ජීවත් වෙනවා. හරක් කියන්නේ සත්තු. නමුත් අපේ ම අම්මලා තාත්තලා කියන්නේ ඊට එහා ගිය හැගීම් දැනීම් තියෙන ජීවිතයේ සැදෑ සමයේ අසරණකමට මුහුණ දෙන මිනිස්සු.
අපි ඉපදුන දින සිට සමාජය තේරැම් ගෙන එහි අතරමං නොවී ලෝකය සමග ගණුදෙනු ගොඩනගා ගන්නා තුරැ අප පසුපසින් හිද ජීවිතය කියා දුන්නේ අම්මා සහ තාත්තා. කුඩා කාලයේ අපි නිසා මේ දෙන්නා කොයි තරම් නම් නිදි මරලා ඇත් ද? අපි නොදන්නවා වුණාට අපි රෑ පුරා නිදා ගන්නැතුව කිරි බොන්න ඇති. සෙල්ලම් කරන්න ඇති. ඊළග දවසේ වැඩට යන්න තියෙන තාත්තා බින්දුවක් වත් නැතුව පහුවදා කොයිතරම් බස් වල නිදියලා ඇත් ද?
අපි කුඩා ම කාලේ අම්මා කොයි තරම් පරිස්සමෙන් ද නිදා ගන්නේ අපි යටවෙයි කියලා. අපිට ලෙඩක් දුකක් වුණාම අපි උස්සං කොයිතරම් දුවලා ඇත් ද ? අම්මා ලෙඩ වුණාම කිරි දෙන්න නැති ව කොච්චර හිතින් අඩලා ඇත් ද?
ඒත් වැඩිහිටි නිවාසයේ අද ඉන්න අම්මා ගැන අපි මොනව ද හිතන්නේ. අපිට කිරි පොවපු අම්මා කනවාද බොනවාද කියලා බලන්නේ කවුද? අපිව ලොකෙන් ම රැකපු තාත්තා අද අනාරක්ෂිත වෙලා. එදා අපේ වීරයා තාත්තා. අද ඒ වීරයාට මොනවද වුණේ. වෙන වෙන අය සහ වෙන වෙන දේවල් අපේ ලෝකයේ වීරයෝ වෙලා. ඒ අහිංසකයින් දැන් අපිට වටින්නෑ.
වැඩිහිටි නිවාස හතු පිපෙන්නා හේ ඇරෙන ලංකාවේ අපි හරක් මරන්න එපා කියලා පනතක් පාර්ලිමේන්තුවට ගේනන යනවා. තවත් වරක් හිතලා බලන්න. අපි මේ ගැන සතුටු වෙනවා ද ? දුක් වෙනවා ද?