Monday, December 4, 2017

කිසිත් නොකියා ඉන්න .................................

Image result for alone

හිස් අතින් ඔබ එන්න
දෝර ගලනා ආදරේ - කීරි ගැහෙනා වේදනා
නැතිව ඇවිදින් යන්න
හිස් අතින් ඔබ එන්න

ඉකි ගැහෙන හදවතක ඇති බර මනින්න
නෙත් අගින් හැලෙනා කදුළු කැට ගනින්න
හිස් අතින් ඔබ එන්න
එපා හිත සනසන්න - එපා නෙතු පිසලන්න
කිසිත් නොකියා ඉන්න

අදුරු හවසක දැනෙන පාලුව විදින්න
රෑහි නාදෙට පිපෙන හිරිගඩු බලන්න
හිස් අතින් ඔබ එන්න
එපා කිසිවක් දෙන්න - එපා කිසිවක් ගන්න
හිස් අතින් ඔබ යන්න



තුෂාර විතාරණ


.

Tuesday, July 4, 2017

පිංවතියේ......



හිතට පෑයූ සඳක් වී
ලොවම සරසා සිනා වී
තුරුළෙ හිඳ ඔබ ගැයූ ගී
එදා මටනම් නෑසුණී

ඇය මගේ ලොව රජවෙලා
මදු සඳක් සේ පායලා
එවන් දැහැනේ තනිවෙලා
දෑලෙ මායා පෙම් කළා

ස්වප්නයෙන් එළි වූ දිනේ
මීදුමක් පාවී ගියේ
ඇගේ මායා විල් තෙරේ
මුළා වුණු බව වැටහුණේ

අන් ලොවක් වෙත පායලා
ඇගේ පුන්සඳ හිනැහුණා
අව සඳක් මට පෙන්වලා
සැණින් ඉවතට ඉගිලුණා

ඔබට මා දුන් දුක් සුසුම්
පාව යාවිද යළි ඉතින්
කමන්නට ආ මුත් සොවින්
සොමි සඳක් වැනි වත දකිම්

කෙලෙස් සයුරින් අත් මිදී
යන මගට ඔබ නොම සැලී
එකතු වන්නට හිත හැදී
මේ ලොවේ මට පිං මදී...

 

අසංක ගයාන් අබේසිංහ

Wednesday, June 28, 2017

එනු මැනවි මා වෙත......





පිනැති කුමරියක් හෝ කුමරෙක් - ඉන්නවනම් භවේ
එන්න මගේ කුසට අනේ - මාද මවක වන්නේ
හෙලන කඳුළු ලොවට හොරෙන් - දන්නවනම් මගේ
එන්න මගේ රත්තරනේ - පමා නොවී මෙසේ

ලොවේ සියළු කුණු ඕජස් - කතා නිතර ඇසේ
නිවස තුළත් රැවුම් ගෙරුම් - අව සැලකිලි දැනේ
කුමක් කරන්නද පිං මදි - වීද මගේ කුසේ
ඉන්න ඇවිත් පැලපදියම් - නුඹට මගේ පුතේ

එනවානම් මගේ ලොවේ - රජුන් ඔබයි පුතේ
එනවානම් මගේ ලොවේ - රැජින නුඹයි දුවේ
මේ කිසිවක් නැතිවු කලට - මගෙ ජීවන මගේ
කුමන අරුත වෙයිද නුදුරු - අඳුරු ගමන් පෙතේ

නෙත් විවරයි නෙතේ කඳුළු - දැන් වියළී ගිහින්
හිත විවරයි හිතේ පැතුම් - දැන් ගිලිහී ගිහින්
හද විවරයි හදේ හැඟුම් - දැන් වියැකී ගිහින්
මං විතරයි මගේ සිතුම් - දැන් බොල්වී ගිහින්...

අසංක ගයාන් අබේසිංහ

Tuesday, June 27, 2017

ලොකුම අවුල......??? (කවියක් නොවේ)

                        




 " කරුණාකර ලොව අනෙකුත් රටවල පවතින ආහාර හිඟතාව සඳහා වන විසඳුම් පිළිබඳව ඔබගේ අවංක අදහස පවසන්න "
 

ලෝක සමුළුවකදී ඉහත ප්‍රශ්නය සඳහා ලැබෙන පිළිතුරු පිළිබඳ සමීක්ෂණයක් සිදු කරන ලදී.

එහිදී සමීක්ෂණ කණ්ඩායම මහත් අසීරුතාවකට පත්වූයේ පහත හේතු නිසාය...

1. අප්‍රිකාව - 'ආහාර' යනු මොනවාදැයි නොදනී.

2. නැ. යුරෝපය - 'අවංක' කම ගැන හැඟීමක් නොමැත.

3. බ. යුරෝපය - 'හිඟතාව' පිළිබඳ අවබෝධයක් නොමැත.

4. චීනය - 'අදහස' යනු කුමක්දැයි නොදනී.

5. මැද පෙරදිග - 'විසඳුම' යනු කිසිදා අදාළ නොමැති වචනයකි.

6. දකුණු ඇමරිකාව - 'කරුණාකර' යන වදනෙහි තේරුම නොදනී.

7. ඇමරිකා එක්සත් ජනපදය - 'ලොව අනෙකුත් රටවල්' යනු මොනවාදැයි නොදනී.


 
අන්තර්ජාලය ඇසුරිනි.

 

අසංක ගයාන් අබේසිංහ

Monday, May 22, 2017

ඒ මගේ ඇස්......



මගෙ දියණියේ
දකිමි ඔය දෙනෙත්
දිලිහෙමින් කැරකෙනා
විනිවිද දකිමි මා
මගේ ජීවිතය
ඒ ඇස් වලින්

පුංචි බිළිඳියක ලෙසින්
හුරතල්ව දඟලමින්
ළපටි අත් පා ගසා
හිඳී මගෙ තුරුළෙ අද

කියා දෙන්නද පාඩමක්...

ජීවිතය දුර ගමනකි
ඒ මග යා යුතුය
මා මෙන්ම ඔබත්
කම්කටොළු බොහෝ වෙයි
ඉදිරි මාවත අරා
මගෙ දිවියටත් වඩා
නුඹට බාධක වැඩියි

ඉතින් මගෙ දියණියේ
දිලිහෙනා ඇස් ඇරන්
නැණ නුවණ මෙහෙයවා
යනු මැනවි ඉදිරියට

කවදාක හෝ දිනක - මගේ අත් ගිලිහුණත්
මේ තාත්තාගෙ හිත - නුඹ ළඟම රැඳෙනු ඇත

 

අසංක ගයාන් අබේසිංහ

-පසුගිය මාසයේ මෙලොව එළිය දුටු මාගේ පුංචි දියණිය වෙනුවෙන් තබන ලද සටහනකි-

Tuesday, March 28, 2017

ජීවිතේ පාට - පස්වැනි හයිකුව



අදුරු බිම ඇහැරවන හිරු කිරණ
තණපත් මතට වැටී යළි යළිත් සිහි කරදෙයි
වන රොදට අයිති කොළ පාට............................


තුෂාර විතාරණ



සටහන - අපි හැමෝට ම ජීවිතේ ඒකාකාරී වෙලා, අපි ඒකට ම පුරුදු වෙලා. වෙලාවකට අපේ ජීවිත වල පාට අපිට ම අමතක වෙනවා. ඒත් අලුත් එළියක් වැටුණාම ජීවිතේ ආයෙම අලුත් වෙනවා විතරක් නෙමෙයි අපිට අපේ ජීවිත වල පාට මතක් වෙනවා. ඒ වෙලාවට අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. අපි හිතනවා අපි ගොඩක් දෙනෙක් අගේට ජීවත් වෙනවා කියලා. ඒත් ඇත්තට ම බැලුවොත් අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........


.

Wednesday, March 22, 2017

කවුද ඇත්ත කියන්නේ.....................????




රනිල්ලා රාජිතලා මෛත්‍රීලා රෝසිලා
වටේට ඉදගෙන බොහෝ දේ කියවන
අවුරුදු තුනක ආණ්ඩුකරණයේ ප්‍රතිඵල
හරි දැන් කවුද මෙතැනදි ඇත්ත කියන්නේ..........????

මහින්දලා බැසිල්ලා ගෝඨලා නාමල්ලා
ටීවි එක ඉස්සරහා දත්මිටිකාගෙන
ඇමතිකමක් නැති විපක්ෂයේ දුක පෙරාගෙන
හරි දැන් කවුද එතැනදි ඇත්ත කියන්නේ ...........????

දිනේෂ්ලා විමල්ලා වාසුලා ඩලස්ලා
රෑ නමය හමාර වෙද්දි ලේ රත්කරගෙන
කොළේ වහමින් සිල්ලරට කඩේ යන අස්සෙ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ............????

බාහුලා අනුරලා විජිතලා ටිල්වින්ලා
තිරයට නොයා තිරය පිටුපස හිඳ
කන්දක් නොදැක්කාසේ කෙන්දට බැණ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ...........????

අරයලා මෙයාලා එයාලා ඔයාලා
නමය හමාරට එහෙම වුණාවත් නොදැන
අද උදෙත් අහිසංක විදිහට පෝස්ටුවක් කොටන
හරි දැන් කවුද මේ ගැන ඇත්ත කියන්නේ............????



කුරුට්ටෝ


.


Monday, March 20, 2017

ඒත් නොකියා කෝම මේ වග. නොසිතු මොහොතක හමුවුණිය ඈ...................



ඔබයි සොඳුරිය ජීවිතය මගෙ
එක්ව මෙතරම් දුර ගෙවා ආ
ඒත් නොකියා කෝම මේ වග
නොසිතු මොහොතක හමුවුණිය ඈ...................

නුඹේ මුව තඹරත දැනුන සුව
තවත් අඩුවක් නොදැනුනත් මට
ඇයි ද නොදනිමි හිත කියන්නේ 
සුන්දරයි අෑ හැමට වැඩියෙන්...............

නුඹේ දෑතග විඩා නිවුනට
දෙහිත දොඩමළු වෙලා උන්නට
අහම්බෙන් ඇගෙ දෑස ගැටුනම
ලෝකයම අමතක ව යන හැටි...............

නමුත් සොඳුරිය එක දෙයක් ඇත
නුඹෙ ළඟත් ඇගෙ ළඟත් දැනෙනා
ඒ කිසිත් නොව නුඹේ ළමැදෙන්
ඇය උරන ලේ කිරෙහි සුවඳයි.............


තුෂාර විතාරණ






සටහන - පහුගිය දවස් වල බ්ලොග් එක පැත්තේ එන්න නොහැකි වුණ හේතුවත් ඇය ම තමා. එයාගේ නම විභාවී උත්තමා විතාරණ. දැනට මාස එක හමාරයි. කාන්චනාට නම් වැඩේ ලේසි නැහැ. මොකද විභාට උදේ රෑ මාරු වෙලා තියෙන්නේ. අපරාදේ කියන්න බැහැ එළිවෙනකල් දවල් වගේ නැගිටලා ඉන්නවා. මොනවා වුණත් ඒක තමා දැන් අපේ ලෝකේ............ මීට තුෂාර & කාන්චනා.

Friday, February 17, 2017

විහාර මහ දේවියේ..........




විහාර මහ දේවි
සුනාමියට බිය නොවී
රට බේරා දුන්
වීර මහා දේවියේ
වඩිනු මැනවි තුසිතයෙන්
දේශපාලන සුනාමියෙන්
සිරිලක් මෑණිගෙ දරුවෝ
දුකට පත් වෙලා
උන්ගේ දුක් ගිනි නිවන්න
මෙත් සිත් පා ඉන් චුත වී
වඩිනු මැනවි තුසිතයෙන්
විහාර මහ දේවියේ..........


ඩබ්.ටී වීරසිංහ

Wednesday, January 18, 2017


නිල් කටරොලු දෑස් අගින්..............සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය
 ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න


රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය.  ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා  කවියට පෙම් කළේ ය. කුරුටු ගෑ ගී පවුර එහි එක් ඵලයක් විය. නමුත් ඔහු මට වඩා පින්සර විය. ගේය පද රචකයෙක් ලෙස දිර්ඝ ගමනකට ප්‍රවේශය ලබා අැත. හේ ප්‍රදීප් කුමාර දිසානායක නම් වේ. නිල් කටරොලු දෑස් අගින් .... ඔහුගේ දෙවන ගේය පද රචනාවයි.  ගායනය සමන් ලෙනින්. නාද රටා අරුණ ගුණවර්ධනයන්.  ඒ සහෘදයා ලොව පුරා විසිරී සිටින කුරුටු ගෑ ගී පවුරේ රසිකයන් විචාරකයන් අතරට හදුන්වා දෙන්නට තීරණය කළේ ය. ගීතය ශ්‍රවණය කර  ඔබේ අදහස් කොමෙන්ටුවක තබා යනවා නම් යෙහෙකි.

 



සටහන 
හසිත හර්ෂණ වීරසිංහ
Related Posts Plugin for WordPress, Blogger...