Tuesday, March 28, 2017

ජීවිතේ පාට - පස්වැනි හයිකුව



අදුරු බිම ඇහැරවන හිරු කිරණ
තණපත් මතට වැටී යළි යළිත් සිහි කරදෙයි
වන රොදට අයිති කොළ පාට............................


තුෂාර විතාරණ



සටහන - අපි හැමෝට ම ජීවිතේ ඒකාකාරී වෙලා, අපි ඒකට ම පුරුදු වෙලා. වෙලාවකට අපේ ජීවිත වල පාට අපිට ම අමතක වෙනවා. ඒත් අලුත් එළියක් වැටුණාම ජීවිතේ ආයෙම අලුත් වෙනවා විතරක් නෙමෙයි අපිට අපේ ජීවිත වල පාට මතක් වෙනවා. ඒ වෙලාවට අපිට ජීවත් වෙනවා කියලා දැනෙනවා. අපි හිතනවා අපි ගොඩක් දෙනෙක් අගේට ජීවත් වෙනවා කියලා. ඒත් ඇත්තට ම බැලුවොත් අපි අතර ඉන්න බොහොමයක් දෙනා මැරිච්ච මිනිස්සු........


.

Wednesday, March 22, 2017

කවුද ඇත්ත කියන්නේ.....................????




රනිල්ලා රාජිතලා මෛත්‍රීලා රෝසිලා
වටේට ඉදගෙන බොහෝ දේ කියවන
අවුරුදු තුනක ආණ්ඩුකරණයේ ප්‍රතිඵල
හරි දැන් කවුද මෙතැනදි ඇත්ත කියන්නේ..........????

මහින්දලා බැසිල්ලා ගෝඨලා නාමල්ලා
ටීවි එක ඉස්සරහා දත්මිටිකාගෙන
ඇමතිකමක් නැති විපක්ෂයේ දුක පෙරාගෙන
හරි දැන් කවුද එතැනදි ඇත්ත කියන්නේ ...........????

දිනේෂ්ලා විමල්ලා වාසුලා ඩලස්ලා
රෑ නමය හමාර වෙද්දි ලේ රත්කරගෙන
කොළේ වහමින් සිල්ලරට කඩේ යන අස්සෙ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ............????

බාහුලා අනුරලා විජිතලා ටිල්වින්ලා
තිරයට නොයා තිරය පිටුපස හිඳ
කන්දක් නොදැක්කාසේ කෙන්දට බැණ
හරි දැන් කවුද ඒ ගැන ඇත්ත කියන්නේ...........????

අරයලා මෙයාලා එයාලා ඔයාලා
නමය හමාරට එහෙම වුණාවත් නොදැන
අද උදෙත් අහිසංක විදිහට පෝස්ටුවක් කොටන
හරි දැන් කවුද මේ ගැන ඇත්ත කියන්නේ............????



කුරුට්ටෝ


.


Monday, March 20, 2017

ඒත් නොකියා කෝම මේ වග. නොසිතු මොහොතක හමුවුණිය ඈ...................



ඔබයි සොඳුරිය ජීවිතය මගෙ
එක්ව මෙතරම් දුර ගෙවා ආ
ඒත් නොකියා කෝම මේ වග
නොසිතු මොහොතක හමුවුණිය ඈ...................

නුඹේ මුව තඹරත දැනුන සුව
තවත් අඩුවක් නොදැනුනත් මට
ඇයි ද නොදනිමි හිත කියන්නේ 
සුන්දරයි අෑ හැමට වැඩියෙන්...............

නුඹේ දෑතග විඩා නිවුනට
දෙහිත දොඩමළු වෙලා උන්නට
අහම්බෙන් ඇගෙ දෑස ගැටුනම
ලෝකයම අමතක ව යන හැටි...............

නමුත් සොඳුරිය එක දෙයක් ඇත
නුඹෙ ළඟත් ඇගෙ ළඟත් දැනෙනා
ඒ කිසිත් නොව නුඹේ ළමැදෙන්
ඇය උරන ලේ කිරෙහි සුවඳයි.............


තුෂාර විතාරණ






සටහන - පහුගිය දවස් වල බ්ලොග් එක පැත්තේ එන්න නොහැකි වුණ හේතුවත් ඇය ම තමා. එයාගේ නම විභාවී උත්තමා විතාරණ. දැනට මාස එක හමාරයි. කාන්චනාට නම් වැඩේ ලේසි නැහැ. මොකද විභාට උදේ රෑ මාරු වෙලා තියෙන්නේ. අපරාදේ කියන්න බැහැ එළිවෙනකල් දවල් වගේ නැගිටලා ඉන්නවා. මොනවා වුණත් ඒක තමා දැන් අපේ ලෝකේ............ මීට තුෂාර & කාන්චනා.
Related Posts Plugin for WordPress, Blogger...