ඔවැනිම හඩක් මතකයි පෙර අතීතේ
පනස් ගණන් වල ඒ හඩ හටගත්තේ
බණ්ඩා චෙල්වා ගිවිසුම ගිනි අරගත්තේ
කහ සිවුරක්ය මහ පාරේ ඉදගත්තේ .............
හැත්තෑ ගණන් වලදී රට ගිනිගන්න
කලියෙන් හැකිය මේ ගැටළුව විසදන්න
චෙල්වා එක්ක හැකි වූවත් අරඹන්න
කහ සිවුරටයි බැරිවුණෙ ඉවසා ඉන්න .............
ගිවිසුම ඉරා මහ පාරේ ගිනිතියලා
ඒ ගිනි වලින් මේ ලක්දිව උණුකරලා
ඉන්පසු උපන් දරුපරපුර මරවාලා
පස් වසරයි ගත වුණේ ඒ ගිනිනිවලා .............
ද්‍රවිඩ සතුරා නැති තැන මුස්ලිම් ගන්නේ
මෙහෙම ද හිමියනේ බුදු බණ පිළිගන්නේ
වෛරය නොවේ වෛරෙන් අවසන් වන්නේ
මතකයේ නොවේ නම් දැන්වත් දැන ගන්නේ ......
ඔය කැත වචන බුදු දහමට අදාළ ද
අශෝභන ව හැසිරෙන්නට පුළුවන් ද
කඩා පනින බුදු හමුදාවක් වෙයි ද
එතකොට බණ කියන්නේ දැන් පොලිසිය ද .......
සිවුරක් ඇදන් කොළඹට වී උන්නු නිසා
නොදැනුණ නමුත් මිනි මැරුවා යුද රකුසා
තවත් යුද්ධයක් ඕනෙද වෙන්න තොසා
කියනු ගාන බිල්ලට දෙන්නම් සකසා ............
කසුප් අනුරාධ
.