Tuesday, April 8, 2014

උඹට තියෙන ප්‍රශ්ණ කප්පරක් තරම් ........................



පුළුවනි ද උඹට අඩිය ගහන්න පන්තියට හෙට
ගේන්න කියූ රුපියල් පනහ අත නැතිව
කළු ගැහුණු පිය මුහුණ කරගැට වපුල දෑත
හෙට හොයාවිද වැඩිපුර කාසි නුඹ නමට ................................

උදේට කාපු හීල් බතට හා ළූණු පළුවට
හැකි ද හිතේ හැංගුණ ආශාවන් නිවන්නට
අතේ පැද්දෙන වලලු වල හඩට දුවන
ලේන් පැටියට කියන්න ද මේ දුක ...............................

කෙස් හැලුණු බෝනික්කිට අන්දන්න ගවුමක්
උඹ හීන දැක්කාට කොයින්ද සුද්දියේ කාසි
මහන්න පුළුවන් නම් අම්මා මහයි ඊට කලියෙන්
සුදට සුදේ ඉස්කෝලේ යන්න ගවුමක් උඹට ..............................

වටේ පිටේ පාන්කිරිත්තෝ ගී කියනවා තමා
ඒත් උන්ගේ ජීවිත තරම්වත් ලස්සන නෑ මේවා
උන්ට අදින්න රෙදි, ඉස්කෝලෙට සල්ලි ඕනේ නෑ
ඒත් උඹේ ලෝකය ඒ තරම් ලස්සන නෑ.........................

උඹ අහක බලං කල්පනා කරනවා
පොතේ තියෙන ප්‍රශ්ණ වලට උත්තර හොයන්න
ඊට කලින් උඹට තියෙනවා උත්තර හොයන්න
හෙට පොත කියවන්න පාසල් එන එක ගැන ....................

තුෂාර විතාරණ


.

18 comments:

  1. සංවේදියි. හැම දේටම ඉහලින් මුදල යන සාධකය ඔසවා තබා මනුස්සකම වළ දැමූ සමාජයක පොදු කාරණාවක්.

    පුංචි දුවේ මේ දුප්පත්කම කියන සාගරය තරණය කල හැක්කේ ඔබේ අධ්‍යාපනය නම් නෞකාවෙන් පමණි…………
    ඉගෙන ගනින් මගෙ දුවේ……………………

    පද ටික ලස්සනයි තුෂාර. …!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත චතුරංග.

      ඔබ කියන කතාව ඇත්ත. අපි සල්ලි වලට හැමදේම යටකරලා.සල්ලි වලට යට නොවුණු ජීවිතත් අපි මිල කරන්න හදනවා......

      ඒ වගේ ම ඔබ ඒක වෙනුවෙන් දැකපු විසදුමත් හරිම නිවැරදියි. අපිට මේ දේවල් වෙනස් කරන්න නම් අපි පළමුව සාර්ථක විය යුතුයි. ඒකට හරි පාරක් ඔබ දැක්වුවා. ස්තූතියි ප්‍රියා සංවාදයට................

      Delete
  2. //ඊට කලින් උඹට තියෙනවා උත්තර හොයන්න
    හෙට පොත කියවන්න පාසල් එන එක ගැන ....................//

    ෙමවන් ලක්ෂ ගනනක් දරුවන් අප අතරම ෙවෙසනවා
    ඔවුන් ෙවෙනුවෙන් කුමක් කල යුතුද?....

    පද වැල දැක්කම හිත ෙපාඩ්ඩක් ෙකායිල් උනා..

    ජය ෙව්වා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ,

      පළමුවෙන් ම ස්තූතියි ඔබේ අදහසට........

      ඔබ කියන කතාව සමග අපි එකගයි. මේ විදිහේ දරුවන් සිය දහස් ගණනක් ඉන්නවා අපි අතර. ඒක ගමේ ද නගරයේ ද කියලා වෙනසක් නෑ. ඒත් අපිට කරන්න දෙයක් නැත්තේ නෑ. කුරුටු ගෑ ගී පවුරේ අපි හිතන්නේ නම් ඔවුන් වෙනුවෙන් අපිට හැම දෙයක් ම කරන්න පුළුවන්. අපි මේ කවිය ලියන එකේ සිට ඔවුන් ලගට ගිහින් ඔවුන් වෙනුවෙන් ලොකු දෙයක් කරන තැනට එනතෙක් අපිට බොහෝ දේවල් කළ හැකියි. අනික විදානේ ඔවුන් වෙනුවෙන් වැඩ කරන්නට පුළුවනුත් මේ දුක දැනිලා උණුවෙන අපිට ම තමයි.

      Delete
  3. මේකද මේ රටේ නිදහස් අධ්‍යාපනය.?
    නිකන් බොරු වැඩ වලට කෝටි,ප්‍රකෝටි ගණන් මුදල් වියදම් කරන රටේ අධ්‍යාපනය වෙනුවෙන් වැය කලා නම් මොකද වෙන්නේ.හැබැයි මේ ඉන්න කාලකන්ණි පාලකයෝ කවදාවත් එක කරන්නේ නැහැ.උන්ට ඕනේ මේ රටේ හැමදාමත් නුගතුන් ඉන්නවා දකින්නයි.එතකොටනේ උන්ට හැමදා රජ කරන්න පුළුවන්.

    රටේ නිදහස් අධ්‍යාපනයක් නැතත් අධ්‍යාපන ඇමතිවරුනම් ඉන්නවා හැට හුටා මරක් පිනට කකා.

    ReplyDelete
    Replies
    1. ඇත්ත මනෝජ්. අපි ඔබ සමගයි.

      Delete
  4. රුපියල් පනහක් කෝටි ගානක් සිතුවිලි උපද්දවන හැටි.. අපුරුයි..

    ReplyDelete
    Replies
    1. ඔව් දේශකයා. අවශ්‍ය වෙන්නේ සිද්ධියක් සහ ඒක කලාත්මක ව විග්‍රහ කර ගැනීමක් විතරයි. තව ලස්සන භාෂාවක් තියෙනවානම් ඒක නිර්මාණ්‍යක් වෙනවා.

      Delete
  5. මේ අර පොල් ගෙඩි උස්සුව කියල උසාවි දාන්න හැදුව ළමයගෙ කතාවද මංද...

    තාම මෙවන් චරිත අපේ රටේ ජීවත් වෙනව කියනෙක් අහන්නත් කණගාටුයි...
    බෙදීයාමේ විෂමතාව

    ReplyDelete
    Replies
    1. මේ විදිහ දේවල් ඕනේ තරම්. අපි මේවා දැන ගන්න ඕනේ විතරක් නෙමෙයි. අපි මේවා ගැන සංවේදී වෙන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් අපි මොනවා හරි කරයි. අපේ අරමුණ ඔබ මේ ගැන සංවේදී කරන එකයි.

      Delete
  6. සංවේදි ලස්සනයි,අපේ රටේ එක් පැති කඩක්

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදරයා. ඔබ සමග අපි එකගයි........

      Delete
  7. මේවගේ අන්ත අසරණ ජීවිත මේ රටේ කීයක්නම් තියෙනවද. මෙහෙම අසරණ උන් ඉන්න මේ රටේම බල්ලොන්ට කන්න තරම් සල්ලි තියෙන එවුනුත් ඉන්නවා. මේ ඇති නැති පරතරය කවදානම් ඉවරවෙයිද.

    ReplyDelete
    Replies
    1. ඔබ හරි මනෝෂ්. ඔබ ඒක විග්‍රහ කරගත්ත විදිහත් හරිම වැදගත්. ඇති නැති පරතරය නැති කරන්න බැරි දෙයක් කියලයි අපි හැම වෙලාවෙම කියන්නේ. නමුත් ඒක නිසා ලෝකය පුරා දහසකුත් එකක් ගැටලු ඇති වෙලා. හැබැයි අපි තාමත් ඒ වැරදි ආර්ථික ක්‍රමය කරපින්නා ගෙන දුවනවා. ඒකට අපි කිසිම විකල්පයක් හොයන්නෙත් නෑ. ඇයි අපිට වෙනස් විදිහට හිතන්න බැරි................

      Delete
  8. මනුස්සකමට කලියෙන් මුදල් තියන සමාජයක අපි දැන් ඉන්නේ.. ඉතින් කොහොම කියලා මේ දේවල් නම් වෙනස් වෙන්නද.. ඇත්තටම සංවේදි පද පෙලක්..

    ReplyDelete
    Replies
    1. ඇත්ත දිනේෂ්.
      හැම දේම මුදලින් මනින තැනට මිනිස්සු පත් වෙලා. අවසංවේදී සමාජයක මේ විදිහ කවියක් රසවිදිනවා කියන එකත් ලොකු දෙයක් දිනේෂ්. අපි මේ වෙනුවෙන් අපිට පුළුවන් දේ කරමු කියන එකයි අපේ යෝජනාව..........

      Delete
  9. මුදලට දැන් හැමදේම යට වෙලා ඉවරයි..අධ්‍යාපනය ඒත් එක්කම හරි හරියට දුවනව..මොනව කොරන්නද මහත්තයෝ රටකට ගිය කලක්.

    ReplyDelete
    Replies
    1. උමේෂ්. ඔබගේ අදහසත් වටිනවා. ඒත ගැටළුව තියෙන්නේ අපි අතරම තමයි. ඒත් අපේ ප්‍රතිවිරෝධය හරිම අඩුයි නේද උමේෂ්. මේක අපි අපේ ම වැරදි තමයි. .........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...