Tuesday, April 22, 2014

මුඩුක්කුවට එහා ............................



හැකිවෙයි ද බර කරට ගන්නට
හැපි හැපී වැටෙන ජීවිත,
දුප්පත්කමින් පීඩිත මුහුණු,
කුසගින්නෙන් හඩන පොඩිවුන්,
බේබදුකම, නූගත්කම .................. තව ඕනේ තරම්.

හැකිවෙයි ද මේ දේවල් අතික්‍රමණය කරන්නට
දුඹුටු ගැහුණු කොණ්ඩ ගුළියක් බැදගත්,
කර ඉරුණු කමිසයක් ලා ගත්,
කුණු ගොඩින් ඇහිලූ කලිසමක් දැවටූ,
මේ පුංචි උඹට .................

ඔය සිමෙන්ති බාල්දිය එසවූ දාට
කුණු ඇලට බැම්මක් නොව,
අම්මා හිතන මහා මන්දිරයකුත් නොව,
මහ උන්ට ඕන කොන්ක්‍රීට් පාරකුත් නොව,
ක්‍රිකට් ගහන්නට පිට්ටනියකුත් නොව,
උඹට හදන්නට හැකිය
ඔය මුඩුක්කුවෙන් එතෙර වන්නට
පුංචිම පුංචි අඩි පාරක් ...............................

එදාට ඒකෙන් උඹ පස්සෙන් යන්න ඒවි
දුප්පත්, නූගත්, බේබදු, උන් හැමෝම.
ඒ කියන්නේ මුළු මුඩුක්කුව ම.
ඒ දහිරිය හිතට අරන්,


කෝම හරි කරට ගනින් ඔය බර ........... දුවේ


තුෂාර විතාරණ

.

24 comments:

  1. පුංචි බකට් එකකට හරි පුරවගත්තනං හොදා... පින්තුරේ නියමයි...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දේශකයා......

      Delete
  2. අතික්‍රමණය ///
    මේ වචනෙ එතෙන්ට අවුල් නැද්ද

    කවිය නං වෙනදා වගෙම පට්ට...
    දිගටම ලියමු ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත.....

      ලියද්දිත් ඒක හිතුණා. ඒත් පොඩි වෙනසකටත් ඒකක කමක් නෑ කියලා හිතිලා දැම්මා. ඒත් මහේෂ්ට අපි එකගයි.

      ඒ වගේ ම ස්තූතිවන්ත වෙනවා මහේෂ් ඔබගේ මගපෙන්වීමට. ඇත්තට ම ඒ දේ තමයි අපි හැමෝට ම ඕනේ. අපි අතර සංවාදයක් තියෙන්න ඕනේ නිර්මාණකරණය ගැන. එතකොට තමයි හොද නිර්මාණ බිහි වෙන්නේ. ඒ වගේ ම ලියන කෙනෙක් වුණත් වගකීමෙන් දෙයක් ලියන්නේ එතකොට. අනික තමයි ඒ විදිහ සංවාදයන් තමයි නිර්මාණකරුවෙක් සහ නිර්මාණයක් ඔසවා තබන්නෙත්. ඒ වගේ සංවාදයක් කරන්න පුළුවන් වෙන්නේ නිර්මාණය සහ සමාජය ගැන අවධියෙන් ඉන්න කෙනෙක්ට විතරයි. ඒ නිසා ඔබගේ අදහසට අපි බොහෝම ගරු කරනවා .............

      Delete
  3. අැත්තටම...
    නුඔ පස්සෙන් එ්වි
    මුළු සමාජයම...
    එදාට
    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ.....

      මේ දේ කරන්න පුළුවන් අලුත් ම පරම්පරාවට විතරයි.... එ්කට බාධා ගොඩක් තියෙනවා. ඒත් උන්ට මේ දේ කරන්න පුළුවන්. ඒකට හයියක් වෙන එක තමයි අපේ වගකීම...

      Delete
  4. මේ වගේ දහසක් අහිංසක මල්වලට අනාගතේට පාර හදන්නට, මේ රට වඩාත් ලස්සන තැනක් කරන්නට ශක්තිය හා ධෛර්‍ය් ලැබේවා..!

    ReplyDelete
    Replies
    1. මේ අහිංසක මල් වලට අනාගතේට පාර හදලා දෙන්න මේ පාලකයින්ට සැබෑ ඕනෙකමක් නැහැ මනොෂ්,උන් හොදට පාර කපා ගන්නවා.හැබැයි උන්ගේ පවැත්මට.

      Delete
    2. මනෝෂ්,

      ඔව් මනෝෂ් අපි හැමෝම සතුව ඒ වෙනුවෙන් වගකීමක් තියෙනවා කියලා ගොඩක් දෙනෙක්ට තේරෙන්නේ නෑ......
      ඒකත් එක ආකාරයක මෝඩ කමක් සහ නූගත්කමක් මනෝෂ්.....

      Delete
    3. මනෝජ්,

      කතාව සීයට සීයක් ඇත්ත. ඒ හැම කැත වැඩක් ම කරන්නේ මේ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි වලින් කියලා ඒ අය නොදන්නවා නෙමෙයි. ඒත් ඒක රටේ මිනිස්සුන්ට නොතේරෙන්නයි වැඩ කරන්නේ. මිනිස්සු මෝඩ වන තාක් මේ සෙල්ලම් කරයි................

      Delete
    4. මිනිස්සු මෝඩවෙලා ඉන්නකම් වාසිය පාලකයින්ට.

      අවුරුදු තිහකටත් පෙර මුඩුක්කුව මුඩුක්කුවම තමයි. එතනින් එලියට ගන්න කිසිකෙනෙකුට උවමනාවක් නැහැ. ඉන්න පැල්පතෙන් එලියට අරන් ලෑලි ගෙයක් දෙනවා එක්කම ඒ මිනිස්සුන්ගේ අධ්‍යාත්මික ආකල්ප සහ අවබෝධයන්ට සහෝදරාත්මක තල්ලුවක් දෙන්න ඕන. අන්න ඒකයි වැදගත්. මට ඔවැනි මිනිසුන් සමග මීට අවුරුදු තිහකට පෙර අත්විඳි අත්දැකීම් තියෙනවා. ඒවා ඉතා බිහිසුනුයි. මේ අහිංසකයින්ව ඔය මානසික තත්වයෙන්ම තියන්න පාලකයින් මෙන්ම උන්ගේ ආරක්ශකයින් වෙන පාදඩ පාතාලයත් ඉත සිතින් කැමතියි. ඒක හරියට සැඟවුනු අවබෝධතා ගිවිසුමක් වගේ.

      Delete
    5. ඔව් අරූ,

      ඔබේ කතාව හරි. මේ දුප්පත්කම තවත් පිරිසකගේ ආදායම් මාර්ගයක් විතරක් නෙමෙයි ජීවන ක්‍රමය රදා පවතින සාධකය වෙලා. මුඩුක්කුවත් එහෙම තමයි. හැබැයි කුරුටු ගෑ ගී පවුරේ අපි විශ්වාස කරන විදිහට මිනිස්සු මේ තත්වය තේරුම් න්නවානම් ඔය හැම තත්වයක් ම විසද ගන්න පුළුවන්. මිනිස්සු තුළත් වගකීමක් තියෙනවා තමන්ව අන්දන්නට නොදී සිටීමට. ඒකට තම තමන් බුද්ධිමත් වෙන්න ඕනේ. බුද්ධිමත් කියන්නේ උගත් ම නෙමෙයි.

      එතකොට ඔය කාටවත් මිනිස්සු කඩේ යවන්න බැරි වෙනවා. ඒකට හැම මිනිසෙකු සතුව වගේ ම බුද්ධිමත් පිරිස අතෙත් වගකීමක් තියෙනවා. ඒක එක ආකාරයක සාමූහික වගකීමක් වගේ දෙයක්. අපි සතුව ඔවුන් ශක්තිමත් කිරීමේ , ගොඩනැගීමේ වගකීමක් තියෙනවා. ඒක අපිට පුළුවන් හැම විදිහකින් ම කරන්න පුළුවන්. අපේ මේ කවියත්, ඔබේ මේ සංවාදය පෝෂණය කිරීමත් ඒ වගකීම එක් ආකාරයකින් ඉටු කිරීමක් විදිහටයි අපි දකින්නේ..................

      Delete
    6. මේ තියෙන තත්වෙට සම්පූර්ණයෙන්ම වගකියන්නෝනි මහජනතාවම තමා. මොකද කිසිම හිරිකිතක් නැතිව මේ කාලකන්නි පාලකයො යලි යලිත් පාර්ලිමේන්තුවට යවල බලය දෙන්නෙ මේ මහජන්තාවමනෙ.

      Delete
    7. ඔව් මනෝෂ්. මේ දේට මිනිස්සු ම තමා වගකියන්න ඕනේ. ඒත් මනෝෂ් ලංකාව වගේ රටවල් වල දේශපාලනික ව සවිඥානික ජනතා ප්‍රතිශතය අඩුයි. දේශපාලනික ව විතරක් නෙමෙයි උගත් කම අඩු ජනතා ප්‍රතිශතය ලංකාව වගේ රටවල් වල ගොඩක් වැඩියි. ඉතින් අපි හිතන විදිහට මේ පිළිබද අවබෝධයක් තියෙන, නමුත් දේශපාලකයන්ට කඩේ යන සහ මේ වෙන දේවල් නොදැක්කා වගේ ඉන්න දේශපාලනික ව උගත් සහ සවිඥානික ප්‍රජාව මේකට ගොඩක් ම වගකියන්න ඕනේ. ඔවුන් පහළ පන්තියේ ජනතාව අවදි කරවීමක් හෝ ඹවුන් වෙනුවෙන් දේශපාලනයක් නොකිරීම මීට ප්‍රධානත ම හේතුවයි. ලංකාවේ ගත්තොත් මේ පිරිසට අදාල වෙන්නේ මධ්‍යමපාන්තික කියන කොටස. ඔවුන් කෙටි කාලීන අරමුණු වෙනුවෙන් කඩේ යන එකයි මේකට ප්‍රධාන හේතුව..........

      Delete
  5. අනේ මන්දා… කියන්න දෙයක් හිතාගන්න අමාරුයි තුෂාර. පද ටික ලස්සනයි කියලා විතරක් කියන්නම්. :(

    ReplyDelete
    Replies
    1. අපි බැලුවා කවුද මේ අලුත් හාදයා කියලා. දැන්නේ දැක්කේ ප්‍රියා කියලා......

      මොකද මේ වුණේ................
      මොනවා වුණත් අයි ඈම් අ බොග කියන ටී ෂර්ට් එකනම් පට්ට.............

      Delete
  6. පදටික නම් ඇත්තටම ලස්සනයි.. මේ අහිංසක ජීවිත වල අනාගතය ඉතින් කොයි විදිහට විසදෙයිද කියලා කියන්න කාටවත් බැහැ..

    ReplyDelete
    Replies
    1. පද ටික ගැන කියපු කතාවට ස්තූතියි දිනේෂ්.

      ඇත්තට ම මේවා අනාගතය අවිනිශ්චිත ජීවිත. හැබැයි හරි පාරක ගියොත් අනාගතය ගොඩනගා ගනිවි. ඒත් කවුද ඒ පාර කියලා දෙන්නේ............

      Delete
  7. ඇත්තටම ලස්සනයි ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි බොහොම .......................

      Delete
  8. කවියත් එල ..
    ෆොටෝ එකත් එල...

    මම කවි ගැන මහා ලොකු පඬියෙක් නම් නෙවේ..
    ඒත් මට හිතුනා මේකේ තේරුමට වැඩිපුර ඉඩ දෙන්න ගිහින් කවියෙ වුන පොඩි අවුලක්..
    ම්ම්ම්..
    අනේ මන්ද ඉතිං... මොනවා වුනත් කවිය එල..

    ReplyDelete
    Replies
    1. මුලින් ම ස්තූතියි අගය කිරීමට ................

      ඉතින් රවීන් කියන්නකෝ මොකක් ද ඔයාට දැනෙන විදිහට තියෙන වෙනස. අපිට ඒ අදහස් ඉතාම වටිනවා. අපි කිසිම වැරැද්දක් හිතන්නේ නෑ. ඔයාට තේරෙන විදිහම තමයි අපිට ඕන.............................

      Delete
    2. එහෙම කියන්න තරම් වැරද්දක් නම් තේරෙන්නේ නැහැ..
      මට දැනුන දේ තමයි මේ කවිය සංවේදීව ඉදිරිපත් කරනවට වැඩිය details වලට ඉඩ දීල කියල.. සිරාවට අවුලක් හිතන්න එපා ඉතින්.. මම කවි ගැන පණ්ඩිතයෙක් නෙවේ.. ඇත්තටම හිතුන දේ කිව්වේ..

      Delete
    3. ස්තූතියි රවීන් ඔබේ අදහසට...........
      අපි ඒක ඉතා වටිනා දෙයක් විදිහට පළමුවෙන් ම පිළිගන්නවා.
      ඒක ආයෙම කියෙව්වාම මටත් තේරුණා. ඒත් ඒ විස්තර ඔස්සේ විවිධ පැති ගැන හිතන්න ඉඩ දෙන්නයි අපි උත්සහ කළේ. ඇත්තට ම මේ කවිය ටිකක් දිග් කරන්න තිබුණා. ඒත් දිග දෙයක් ලියනවාට වැඩිය කෙටියෙන් ලියලා හිතන්න දෙයක් දෙන්න හිතුණ නිසයි මෙහෙම ඉවර කළේ. ඒත් ඔබේ අදහස අපිට වටිනවා. ස්තූතියි..........

      Delete

Related Posts Plugin for WordPress, Blogger...