Tuesday, June 30, 2015

හැට නවය (69)



සිල්වෙස්ටර් බොන්නට වෙයි හරි රුසියා
බීමට ලොල් ඔහු වෙයි නම ගිය මැරයා
වැයික්කියේ පතළව ඇත උගෙ සෙයියා
එදත් ගියේ බාර් එකට මේ ගොයියා

මෙතන තියන තැබෑරුමත් අමුතු වෙතේ
නෑ නොවැ එක එක මත්පැන් නමින් වෙතේ
නම් වෙනුවට ඉලක්කමක් යොදා ඇතේ
ඒ අනුවම ගනුදෙනු ටික සිද්ධ වෙතේ

සමහරු ඉල්ලයි අංකය 'පහ' දෙන්න
ඉතින් පහේ මත්පැන් වර්ගය ඔන්න
ලැබෙයි අතට ගනුදෙනුකරු හට බොන්න
පුරුදුකරුට හරි ලේසිය ඉල්ලන්න

සිල්වෙස්ටර් ප්‍රියතම වර්ගය බොන්න
ඉඳගත්තේ එහි ගොස් හරි බරි වන්න
මල්ලියෙ අදත් 'හැට නවය' ම මට දෙන්න
කියා ඔහුත් මේසයටම වී ඉන්න

අහෝ දුකකි එදා දවසෙ වී තිබුණේ
තැබෑරුමේ 'හැට නවය' ක් නෑ තිබුණේ
ඉවර වෙලා දැන් මේකට මොක කරනේ
බාර් කොලුව හට පැනයකි ඉතිරි වුණේ

සිල්වෙස්ටර් අයියා හට නෑ කියනු
කිසිදා බෑ මා හට ඒ ලෙස කරනු
'හැට අට' වත් දෙන්නට කටයුතු කරනු
එසේ සිතා ඌ ගලපයි යස කරුණු

එක වඩියයි සිල්වෙස්ටර් එහි බිව්වේ
තූහ් කියා එළියට එය විසි කෙරුවේ
හැරී රවා බාර් කොලුව දෙස බැලුවේ
තෝ මා හට 'හැට අට' වෙද ගෙනාවේ

රවටන්නට බෑ සිල්වෙස්ටර් එහෙම
කොලුව හිතයි නෑ කියන්නෙ දැන් කොහොම
ආපහු ගොස් හොඳට හිතයි කිම කෙරුම
පහළ වුණේ ඌ හට අදහස නියම

අංක දෙකක් කවලම් කොරලා හොඳට
ඌ හැදුවේ අලුත් එකක් හරි රසට
එය බී තද වූයේ සිල්වෙස්ටර්ට
නැගිට පැන්නෙ කොලුවා හට ගහන්නට

තෝ හිතුවද මා මෝඩයෙකැයි කියලා
රවට්ටන්න කවලම් බඩු මට දීලා
ආයි කියන්නෑ මම තෝ හට හිවලා
ගෙනෙන් කොහෙන් හරි 'හැට නවය' ක් හොයලා

අසරණ වී කොලුවා වී බයාදුවෙන්
කරන්නට දෙයක් වේ දැයි විමසිල්ලෙන්
යන අතරේ දැක්කේ එක ඇස් කොනකින්
කැෂියර් වෙයි සිල්විය එහි ඉඟි මරමින්

රූමත් සිල්විය මෙහි වෙයි බා(ර්) කැෂියර්
කෙල්ල ලස්සනයි මා හට නැත බැරියර්
අනේ අක්කෙ බේරා දෙනු මගෙ කැරියර්
කොල්ල අඬයි වීලා ඇය වෙතට නියර්

සිල්විය හට දුක හිතිලා කොලුව ගැන
හොඳට හිතා නිය හපලා වෙලා ගෙන
හීන් හිනාවක් සමගින් පහළ වුණ
අදහස ගෙන ගියෙ වීදුරුවක් රැගෙන

කෙළින්ම ගොස් ඇය වැසිකිළියට වැදිලා
කෝප්පය පිරෙන්නට මුත්‍රා කරලා
ගෙනත් දුන්නෙ සරසා හැඩ වැඩ දමලා
මේක දෙන්න සිල්වෙස්ටර් හට කොල්ලා

සිල්විය ගැන උපන් ගරුත්වය සමගින්
කිසිත් නොදන්නා කොල්ලා උජාරුවෙන්
කප් එක ගෙන ඇවිද ගිහින් හෙමින් හෙමින්
එය තැබීය සිල්වෙස්ටර් ළඟ පසෙකින්

රස කර කර සිල්වෙස්ටර් එය බීය
කොලුවා හට සතුටේ නිම් හිම් නැතිය
ඈත කොනේ සිල්වියගෙත් හරි පැණිය
කොලුව ඇයට හිස නවලා හිනා විය

යළිත් රැවිය සිල්වෙස්ටර් කොලු දෙසට
කොලුව ගැහෙයි මොන මඟුලක් වේද මට
ඔහු පැමිණී ඇදලා ගෙන කොලු ළඟට
නැඹුරු වීය මුව ළං කොට උගෙ කනට

මේකත් 'හැට නවය' නෙවෙයි වාගෙ වෙද
මේ වලියෙත් උඹ මා රැවටුව නේද
කියපං තවත් මම නොකරමි කිසිත් වද
මල්ලියෙ සිල්වියා තාමත් මෙහෙ වැඩද...???


අසංක ගයාන් අබේසිංහ

Sunday, June 28, 2015

අතීතය අායෙමත් අායෙමත් මැවෙනවා...................



නිදහසේ දුව පැන්න දවස් හිත තියෙනවා
ඒ දවස් යළි යළිත් මැවී හිත රිදෙනවා
කොයි තරම් කැප කළත් තව තවත් යදිනවා
කරන්නට හැකි දේත් බැරි දේත් තියෙනවා

හමන හුළගක රැදුණු නිදහසත් දකිනවා
සරන සියොතුන් කියන කතාවත් අහනවා
සල්ලි කොළ මිටි වලින් ඉහේ ගොඩගැහෙනවා
ගෙවල් වාහන බරට උරපත්ත රිදෙනවා

අතේ සතයක් නැතිව වින්ද දුක් හරි රහයි
කන්න වේලක් නැතුව විදෙව්වට සුන්දරයි
නිදහසේ අැවිද ගිය හැටි හිතට ගතු කියයි
ජීවිතය නැති කරන් ජීවිතය හොයාගයි

අලුත් පෙම් කුරුල්ලන් දසඅතේ සරනවා
උන්ගෙ ජීවිත මලක පෙති වගේ දිලෙනවා
අාදරෙන් හිටපු හැටි නෙත් ඉමේ දකිනවා
අතීතය අායෙමත් අායෙමත් මැවෙනවා ...........................


තුෂාර විතාරණ


.

Thursday, June 4, 2015

මේක දැක්කද......???

ජුලියස්ගේ බල්ලගෙ නම මේක(ර්) ය
ඔහු ඒ බලු නයිදෙට හරි ආදරෙය
නාන්න යන්නට වූවත් නැත තනිය
දඩෝරියත් රැගෙන යන්නෙ හරි ජොලිය

දිනක් මෙසේ නාන්න ගියෙ ඔහු වැවට
ඇඳුම් උනා ගොඩින් තියා ගියෙ යටට
බලු රාළත් බලා ඉඳල හරි යසට
දිව්වේ ජුලියාගෙ ඇඳුම් ගෙන කටට

මේක දැකපු ජුලියස් විය කලබලය
හෙළුකුට්ටෙන් ගොඩට පැමිණ හදිස්සිය
පාර දිගේ යන බල්ලා පන්නාය
මෙය බලන්න ලස්සන හරි දර්ශනය

ටිකක් දුරක් දුවන විටදි ජුලියස්ට
දැනුනෙ ඔහුගෙ ඇඳුම් නැතිය ඇඳ , යටට
පාර දිගේ එන පාසල් දරුවන්ට
මුණ ගැහුණේ එන හොල්මන ඉදිරියට

ලැජ්ජාවෙන් මිරිකී ඇඹරී ජුලියස්
ගල්ලෑල්ල තිබු දරුවකු වෙතට දුරස්
එක් වරටම පැන්නේ විය නොවී අලස්
එය උදුරා හෙළුවැල්ලට තැබුවෙ හරස්

නැවත දුවයි ජුලියස් බල්ලව පන්නා
ඒ අතරෙදි හරිම වැඩක් සිදුවෙන්නා
රාමුව තිබෙද්දී ලෑල්ල ගැලවෙන්නා
දුවන ජුලිය ඒ බව තව නොම දන්නා

මෙසේ දුවන විට ඉදිරිය පාර දිගේ
ආච්චියෙක් ගාට ගාට එයිනෙ අගේ
ජුලිය හති දමා නැවතී ළඟින් ඇගේ
විමසන්නේ බල්ල ගැනය නොයෙක් වගේ

නැත සිදුවී මේ කරදර කිසි කලෙක
මා මේ ලෙස අසරණ වී නැත වරෙක
හොයාගන්න ඕනෑ මූ නැතය සැක
ආච්චියේ දැක්කද මාගේ මේක(ර්)

මේක මේක ගානු කුමක් මේ කොල්ල
ආච්චිගේ ඇස් ගෙඩි විය විමසිල්ල
රාමුව මැද දිස්වුණු උගෙ හෙළුවැල්ල
දුටු ඇය ලොඹු මුව විස්මිත හසරැල්ල

ඕවා  නං ඕනැ හැටිය දැකල ඇතේ
ඒත් මටත් හැකයක් දැනෙනවා හිතේ
උපන්තේක මේ වගෙ පුදුමයක් නැතේ
දැක්කාමයි රාමු කොරපු එකක් පුතේ...!!!



අසංක ගයාන් අබේසිංහ

Tuesday, June 2, 2015

විද්‍යා...!!!




වන මෘග වනය මැද
තුරු සිරස දෙදරමින්
හිස් අහස කළඹමින්
හමා ගියෙ ඒ සුසුම්...

වනේ වන සතෙක්වත්
නෑ නොවෙද රුදු වුණේ
මේ තරම්...

අලි සිංහ වලස් කොටි
සතුන් හමු වුණේ නම්
ඇඟ මසම කා දමයි
එක් වරම නෑ දුකක්...

ඒත් මිනිසත් භවය
ලැබූ තිරිසන් පුතුන්
කා දැමිය ආත්මය
එක් වරක් පමණ නොව
ලැබෙන තෙක් උනුන්ගේ
විකල් තිරිසන් සුවය...

අන්තිමේ ගිල දැම්මෙ
හිරිමල් වියේ දිවිය...

විද්‍යා දෝණියේ...සොයුරියේ...ඔබට මතු ජාති ජාතිත් මෙවන් විපතක් නොවේවා...!!!



අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...