Tuesday, July 30, 2013

ජීවිතය ..................... ලැබූවෙමි.



පේ‍්‍රමය
සරා සඳක් සේ නැගුණි දිවි අඹරට ..............

කැපකිරීම
සතයක් නැතිව දන්දුනිමි පරාර්ථයට ..............

අහිමිවීම
නැවතත් නොවන්නට වගබලාගත්තෙමි හැබෑට ..............

සතුට
අතොරක් නැතිව ලැබූවෙමි සිත් මංසලට ..............

නිදහස
දැන දැනම මැරෙන බව පැන්නෙමි මහවැලියට ..............

ඒත් ..............   අවසානයේ දී

ජීවිතය
ලැබූවෙමි කැපකිරීම්, අහිමිවීම්, නිදහස සහ සතුට පරයා නැගුණ තරමට  ..............


තුෂාර විතාරණ

.

Monday, July 29, 2013

ආදරියේ ......................



සිතුවිලි අවදියි.
හදවත නිසලයි.
ඔබේ රුව ම නෙත් පුරා සොයයි............

හදවත අවදියි.
සිතුවිලි නිසලයි.
ඔබේ සුවඳ හැම දෙසින් දැනෙයි...............

ලා හිරු නැග එයි.
ගහකොළ පිබිදෙයි.
මද පවනේ ඔබේ හඬම ඇසෙයි................

සැඟවුණු තැනකින් තුරුළට එනු මැන,
කින්නරාවියේ ලොවට හොරෙන්.................


- අසංක -

.

Thursday, July 25, 2013

පැල් රකින සිතුවිලි ...............














සඳු නැතිව වැ‍ළපේවි අමාවක රෑ අහස
තුරු මතට සලසලා නෙත් අගින් පිණි බින්ඳු
සිත් අගට ගලනවා කාන්සිය ගොම්මනේ
කම්මුලට වැටෙනවා මාන්සිය දාවලේ .................

ගිනි මැලට ලංවෙවී හීතලට ගුලිගැහී
ඇලවෙන්න පින් නැතත් නැත හඬන්නේ ම'සිත
පොඩි එවුල් ගුලිවෙලා හීතලට ඈ ළඟට
නිදනවා මයෙ හිතත් උන් සමග උණුහුමට ..............

වැඩ නිමා වී උදේ ගෙදර යන කනිසමට
ඇගෙ සිනා මල් පිපේ දෙවැට දිග අද්දරට
ඒ දෑසේ දොඩමළුව සිත නිවයි සදහටම
එළිවෙන්න මේ තරම් පරක්කුද හැබෑටම ...........?

තුෂාර විතාරණ

.

Tuesday, July 23, 2013

හදක් සහ පෙමක්






ලොවක් දුටුවේ - නෙතක් තුළ වූ
සඳක් දුටුවේ - වතක් තුළ වූ
සිතක් සෙව්වේ - මලක් වැනි වූ
වරක් සිතුවේ - මදක් ගැන වූ

හදක් පැතුවේ - හදක් නොවෙදෝ
බිඳක් දැ‍නුනේ - සිතක් තුටු වූ
සුවක් දැනුනේ - ලයක් නැළ වූ
පෙමක් දැනුනේ - නිමක් නොම වූ

නෙතක් හැඬුවේ - ලොවක් නැති වූ
වතක් මැරුණේ - සදක් නොම වූ
මලක් වූයේ - සිතක් නැති වූ
හදක් රිදුනේ - වරක් නොම වූ

හදක් දුටුවේ - හදක් හැඬවූ
සිතක් බිඳුනේ - බිඳක් නොම වූ
ලයක් තැවුනේ - සුවක් නැති වූ
නිමක් දුටුවේ - පෙමක් නොවෙදෝ


- අසංක -

.

Saturday, July 13, 2013

දුකට කියන කවි ..................... II



සර හැර සියොත් කැල විමසයි නුඹේ ගැන
මග හැර යන්න බෑ දුටුවන් නගයි පැන
ඉර හැර යන සවස සිහිවෙයි නුඹෙ මුහුණ
මා හැර නුඹ ගිහින් බිඳුනයි හද පහණ ................

දෑස පියා ගෙන නුඹෙ රුව දකින්නෙමී
සවන වසාගෙන නුඹෙ හඩ අසන්නෙමී
හමන සුළෙඟෙ නුඹේ සුවඳ සොයන්නෙමී
ඔබ ගිය නමුත් මා ඔබ හැර නොයන්නෙමී ....................

නු‍ඹ මගෙ හදට ආවා පෙම් කවුළු අරා
දෑත් වෙලා පියමැන්නෙමු සිහින පුරා
අද නෑ ලඟින් තනිවම මම හිදිමි දරා
පන්හිඳ කඳුළු වගුරයි පත්තිරුව පුරා .....................


තුෂාර විතාරණ

 .

Friday, July 12, 2013

පිපුණු මලේ රුව වසන්කළ හැකි ද ලොවෙන්....









මල් පෙතක රූ සිරි නෙත         බලා
සමනලය මල් පෙතට පෙම්      කලා
වෙන කෙනෙකු ඒ වෙත ළං    වෙලා
මල සිඹිති යැයි කියල  සැක      කලා


රැකගන්න මල් පෙතව          අනතුරෙන්
මල වැසුව සිය තටු               යුගලයෙන්
ඈ සමනල තටු පිනි පතක           දවටලා
සමනලය දුක කදුලකම             සිරකලා
ඌ සෙමින් සෙමිහිටම තටු              සලා
කදුලු සලා මල් පෙතෙන්          පිටවුණා.....


හසිත හර්ෂණ

Thursday, July 11, 2013

දුකට කියන කවි .......................



සීත පිනි මල් මතින් උදුරාන ගිය සේම
පෙම් ලොවක මතක ඉම අපි අපිම නොදැනීම
සුළගකට මුහුව ගිය මලෙක සුවදක් සේම
ඈත් විය අප වෙතින් එය ගිලිහුණේ කෝම

නුඹේ රුව පෙනෙන තුරු මගබලා හිදින්නම්
දැනෙන දුක ඉවසන්න බැරි වුනත් දරන්නම්
ඒත් දුක උතුරාන පි‍ටාරෙට ගලයිනම්
ලෝකයට නොපෙනෙන්න මං දෑස පිහින්නම්

සිනාවෙන් පිරැණු මුව නුඹේ හරි ලස්සනයි
ආදරෙන් තෙපලාපු නුඹෙ වදන් ලෙංගතුයි
නුඹේ වත පරදන්න සදු බෝම වෙරදරයි
මාව තනිකර ගියද ‍නුඹේ හැඩ එහෙමමයි


තුෂාර විතාරණ

.

Thursday, July 4, 2013

සදේ දඩයම.......

















සදේ තනිවුණ පුංචි සාවි
එන්න එපා පොළොවට  
මෙහේ ගොදුරු කරන්නට
නුඹව
බලා හිදී දඩයමට
දඩයක්කරුවෝ.......

මෙහේ නුඹේ ඈයෝ
නුඔ දිහා බලාන
උදම් අනනවා ඇති.
අපේ අයෙක්
සසදා
උත්තර වීම ගැන.
සක් දෙවි අතින්
පිදුම් ලද හැටි.
"අපටත් කොතරම්
නම්බුවක්ද?
එදා නුඔ ජීවිතය
පිදු හැටි."
කියනවා ඇති
නුඔව පුදනවා
ඇති
සද සාවි.

අමාවකට නුඔ නිදන
තැටිය
කඩාවැටිලවත්ද?
සක් දෙවි දිව්‍ය පුරයේ
සායම් කරන්නට
අමතක කරලවත් ද?
අන්ධකාරේ මුලු අහසම
පහන් දැලි තැවරුණු
සුදු සලුවක් වගේ.

ඉස්සරනම්
නුඔ අපේ
දරුවො නැලෙව්වා!
කිරියි පැණියි
නුඔ අපේ උන්ට
ගෙනත් කැව්වා
මතකද?
උන් එදා නිදාගත්තේ
නුඹේ කිරි පැණි
නැළවිල්ලෙන්...

අද නුඔ නෑ
අපේ දරුවන්ගේ සිත්වල
වැඩිහිටියන්ගේවත්!
එදා රොකොට්ටුවෙන්
ගිය ඈයෝ
නුඔ දඩයම් කළා
සදේ දීම.
"සදේ ඇති සාවියෙක් නෑ" ලු
"ලප" ලු ඒ.
එදායින් පසු නුඹ
ගෙනාවෙ නෑ
කිරිපැණි.
නැලෙව්වෙ නෑ
අපේ පැටව්
කවමදාවත්....
නින්දක් නෑ අද
අපේ උන්ට.............


හසිත හර්ෂණ
 

Wednesday, July 3, 2013

බැහැයි ඒ ටික වෙලාවකට විතරයි .................


සත්‍යය හැම වෙලාවෙම බොරුවෙන් අභියෝගයට ලක් වෙනවා.
බොරුව දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

විශ්වාසය හැම වෙලාවෙම අවිශ්වාසයෙන් ප්‍රශ්ණ කරනවා.
අවිශ්වාසය දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

උනන්දුව හැම වෙලාවෙම කම්මැලිකමෙන් බිඳ දමන්න හදනවා.
කම්මැලිකම දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

සතුට හැම වෙලාවෙම අසතුටෙන් නැති කරන්න හදනවා.
අසතුට දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

මිත්‍රත්වය හැම වෙලාවෙම ‍වෛරයෙන් ගිලගන්න හදනවා.
වෛරය දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

අවංකත්වය හැම වෙලාවෙම කුහකත්ව‍යෙන් උදුරගන්න හදනවා.
කුහකත්වය දිනාවි,
හැබැයි ඒ ටික වෙලාවකට විතරයි.

ඒ ටික වෙලාව කොච්චරක්ද කියලා තීරණය වෙන්නේ,
ඔබ විසින් කරන නිවැරදි ක්‍රියාව සහ ඒ වෙනුවෙන් කරන කැප කිරීම මත ම පමණයි.

තුෂාර විතාරණ

.

Monday, July 1, 2013

නීතියේ ආධිපත්‍යය - සොරුන් ඇල්ලීම



සිදු පිට නැගී ආ රන් කගක්
ලේ පිපාසයෙන් සිඳී අහිංසක ජීවිතයක්
මහ දවල් මහ සෙනගක් වුව ද මහමගෙහි
දුටුව එ‍කෙකුදු නොවේ. මිනිස්කම පලාගිය.

බෝතලයට යටවී සිතට කියූ කල බෙරි බැව්
නැගුණු සිත තුළ කාම ගිනි
කුමරි බඹසර ඉකිබිඳියි. ඈ ගත තෙමී කඳුලින්
නොමැත දක්නට අයෙක්. සඳුද සැඟවී
තරු සොයයි සැඟවෙන්න යුතු තැන්.

උහුලාගනු නොහී කුස තුළ නැගුණු ගිනි
නිවාගනු වස් හොරටම නොව ගත් ඉන්
කෙසේ නිවනෙම් ද කුස ගිනි ලයේ ගිනිගත්
දුටුවේ එකෙකිය. හඹා එන කැලකිය.


තුෂාර විතාරණ

.
Related Posts Plugin for WordPress, Blogger...