Wednesday, October 29, 2014

වන්දනීය පිළිලය......???


අපි තරම් බණ කියන බණ අහන ජාතියක්
ලොවේ නැත ලොවේ නැත මිනිසුනේ...
එහෙත් ඒ තරමටම හරසුන්ව බොරුවටම
කිම මෙසේ අපේ සිත් පෙළඹුනේ...

උතුම් කරුණා දෙනෙත් පහර වැදි මේ බිමට
කුමක් වී ඇතිද අද මිනිසුනේ...
ඒ නිමල දයා ගුණ උතුම් වූ දහම් ගුණ
දෙසට නැමි මුර දෙවියො දැන් කොහේ...

හිමි දෙසූ රන් රුවන් ධර්මයේ පහන් වැකි
කවි තාල විරිදු ගී වූ නියා...
ඒ තාල විලාපය කළඹවයි කන් අඩිය
කිසිවකුට යහපතක් නැති සෙයා...

නිස්සාර මේ දිවිය පින්සාර කරගන්න
පිහිටක්ය අවැසි වනු අද දිනේ...
එහෙත් බුදු හිමි නමින් රවටමින් මෝහ සිත්
දක්කන්නෙ හුදී ජන මේ කොහේ...

මඩිය තර කරගන්න ලෞකිකව ජයගන්න
ආමිසය මුලට ගෙන පුද දෙතේ...
පෙරට ගත යුතුව තිබු ප්‍රතිපත්ති පූජාව
යට ගසයි බලෙන් ආයාසයේ...

කළ යුතු වු දහක් වැඩ පසෙකලා සඟවලා
ජන කුපිත වන කෙරුම් රඟ දෙවයි...
එවන් වූ අබුද්දස් කාලයේ අරුමයේ
අරුණලු ද සොයන්නේ අපි කෙසේ...

එක්වෙයව් මිනිසුනේ ළං වෙයව් එක ලෙසේ
ඉරා කඩතිරෙන් වැසු මේ මුසා...
එවන් වූ කලෙක යළි පණගසා අළුගසා
නැගිටීවි දැය සමය නිසි ලෙසා...


අසංක ගයාන් අබේසිංහ

23 comments:

  1. මං හිතන්නෙ නෑ අසංක ඒ සිහිනය හැබෑවෙයි කියල. හැම තැනම, හැමතැනම තියෙන්නෙ මුසාවයි, මුලාවයි, කෘත්‍රීමකරණයයි විතරයි. ආමිස පූජාව විතරයි හැම තැනම තියෙන්නේ. ප්‍රතිපත්ති පූජාව තියෙන්න ප්‍රතිපත්තියක් තියෙන ජනතාවක් ඉන්න ඕනි. එහෙම ජනතාවකුත් නෑ එහෙම පාලනයකුත් නෑ. බොරුව, මුලාව, වංචාව දූෂණය මේ රටේ ඉහලම පුටුවෙ ඉඳල අපේ ගේ ඇතුලට එනකල්ම ව්‍යාප්ත වෙලා. සමාජ ක්‍රමය වෙනස් වෙන්නෙ නැතිව ම පවතින ක්‍රමයෙන් කවදාවත් මේ සිහිනය උදාකරගන්න බෑ.

    ReplyDelete
    Replies
    1. //ආමිස පූජාව විතරයි හැම තැනම තියෙන්නේ. ප්‍රතිපත්ති පූජාව තියෙන්න ප්‍රතිපත්තියක් තියෙන ජනතාවක් ඉන්න ඕනි.// එකඟයි බං.

      Delete
    2. ඔබ කියන දේත් එක්ක මමත් එකඟයි මනෝෂ් යම් දුරකට...ඕනෑම සමාජයක මුල වැරදි නම් මෙහෙම වෙනවම තමයි. නිසි මගපෙන්වීමක් තියෙන්නම ඕන. තනියෙන් මේක කරන්න බැරිවුණත් ඕනෙම දෙයක් පටන් ගන්න පුළුවනුත් තනියමම තමයි. අඩුම ගානෙ අපි එකා බැගින් හරි නිවැරදි ආදර්ශයක් දෙනවනම් අපේ පස්සෙනුත් එන පිරිසක් ඉඳීවි කියල මට හිතුණා මනෝෂ්...

      Delete
    3. ඒකට එකඟයි ගී පවුරේ, ඕනි එකෙක් ඕනි එකක් කරාපුවාවේ, හැබැයි මං හරිදේ කරනවා. මාව බලාගෙන හැදෙන එකෙක් ඉන්නවනම් හැදෙයි.

      Delete
  2. මලක මෙලෙක නාදුනනා උන්
    නැත හදුනන්නේ මනු සිතක් තව
    රුධිර සුවදට ඉව කරනා උන් මිසක්
    ඉතිරිව නැත එක මනු සිතක්
    මනු සුවද පිරුණු...
    උවමනා රුධිරයමය
    රුධිර ගංගාමය
    පුළුටු මිනි මසු සුවදමය
    දෙරණ වසා නැගෙනා...........

    ReplyDelete
    Replies
    1. මිනිසත්කමේ වටිනාකම දැනෙනා සේ ඔබ කළ රචනය ඉතාම අගෙයි මහේෂ්...ඔබ වැනිව හිතන පිරිසක් තමයි අද අවශ්‍ය...

      Delete
  3. //එක්වෙයව් මිනිසුනේ ළං වෙයව් එක ලෙසේ
    ඉරා කඩතිරෙන් වැසු මේ මුසා...
    එවන් වූ කලෙක යළි පණගසා අළුගසා
    නැගිටීවි දැය සමය නිසි ලෙසා...//

    කළගෙඩි තරම් තියෙන ඔළු අස්සෙ අල ගෙඩි තරම් වත් මොළගෙඩි නැති මිනිස්සු අතරේ මේවා කවදා හැබෑ වෙයිද බං! :(

    ReplyDelete
    Replies
    1. මට හිතුනෙත් ඒක තමයි බං. මේව මහ කජු නෙවෙයි, පටන්ගත්තනම් මුදුනින්ම. උඩ විදියට තමයි පහළ හැදිල තියෙන්නේ.

      Delete
    2. ප්‍රියා.................
      මනෝෂ්..............

      කතාව ඇත්ත. නමුත් අපි පුළු පුළුවන් විදිහට මේකට බුද්ධිමය සංවාදයක් ඇති කරොත් යමක් කරන්න බැරි වෙන එකක් නැහැ. බ්ලොග් එකක් ලියුව කෙල්ලෙක්ට නොබෙල් දිනන්න පුළුවන් වුණානම්.. මලාලා දිනයක් සමරන්න ජනතාව පෙළගස්සන්න පුළුවන් වුණානම්.... ලෝකයේම අවධානය කාන්තා අධ්‍යාපන අයිතීන් වෙනුවෙන් පුබුදු කරන්න හැකි වුණානම්..... සමාජජාල වෙබ් අඩවි වලින් රටවල් පෙරලන්න පුළුවන් වුණානම් අපිටත් යමක් කරන්න පුළුවන්... අපි ලංකාවේ බ්ලොග් කරුවන් අතර ඉන්න පිරිස.. අපි අපිට පුළුවන් විදිහට සංවාදය ගොඩනගමු....

      තුෂාර විතාරණ

      Delete
    3. අපි මේ බුද්ධිමත් බුද්ධිමත් කිය කිය උඩ දාන සැලකුම් ලබන කී දෙනෙක් නම් මේ බොරු වලට උල්පන්දම් දෙනවද ප්‍රියා...උඹ කියන එක හරි...අපි අපිවත් පටන් ගෙන මේව සැබෑ කරන්න ඕන...හීන විතරක් නෙවෙයි මේවා...කාලයක් හීන කියල තිබුණු කීයක් දේවල් අද ලෝකෙ ඇත්ත බවට පත්කරල තියනවද මිනිස්සු විසින්...උවමනාවයි උවමනා...

      Delete
  4. අබුද්දස්ස කාලේ ලබුත් තිත්තයි රාලේ කියලා තමා කියන්න තියෙන්නේ.

    කාලාමයිනි, මම මෙන්න මෙහෙමයි කියන්නේ. අහපු පමණින් ගන්න එපා (මා අනුස්සවේන), පරම්පරාවෙන් ආ පමණින් ගන්න එපා (මා පරම්පරාය), මෙහෙම මෙහෙම වුණා කියූ පමණින් ගන්න එපා (මා ඉතිකිරාය), අපේ පොත්වල තියෙනවා කියූ පමණින් ගන්න එපා (මා පිටකසම්පදානේන), තර්කයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා තක්ක හේතු), ගළපලා ගලපලා ගත් න්‍යායට ගැලපිච්ච පමණින් ගන්න එපා (මා නයහේතු), මෙහෙම වුණොත් මෙහෙම වෙයිද කියලා කල්පනා කරලා ගොඩනගාගත්තු මතයට ගැළපිච්ච පමණින් ගන්න එපා (මා ආකාර පරිවිතක්කේන), දෘෂ්ටියකට බැසගෙන ගන්න එපා (මා දිට්ඨිනිජ්ඣානක්ඛන්තියා), බලාගෙන ගියහම එ්කත් හරිනේ කියලා ගන්න එපා (මා භබ්බරූපතාය), ඔය කරුණු කියන කෙනා අපගේ ගුරුවරයා කියලා ගන්නත් එපා (මා සමණෝ නෝ ගරූති).
    ”කාලාමයෙනි, යම් කලෙක ඔබ තමා තුළින්ම දැනගන්නවා නම් (යදා තුම්හේ කාලාමා අත්තනාව ජානෙය්‍යාථ),
    එ් කියන්නේ; මේවා අකුසල ධර්මයන් (ඉමේ ධම්මා අකුසලා), මේවා වැරදි දේවල් (ඉමේ ධම්මා සාවජ්ජා), මේ දේවල් බුද්ධිමත් මිනිසුන් විසින් ගරහන දේවල් (ඉමේ ධම්මා විඤ්ඤූුගරහිතා), මේ දේවල්වලින් සමන්විත වෙලා හිටියොත්, මේ ධර්මයන්හි සමාදන් වෙලා හිටියොත් බොහෝ අහිත පිණිස, දුක් පිණිස පවතිනවා (ඉමේ ධම්මා සමත්තා සමාදින්නා අහිතාය දුක්ඛාය සංවත්තන්තීති) කියලා.
    කාලාමයෙනි, අන්න එ් දේවල් දුරු කරන්න (අථ තුම්හේ කාලාමා පජහෙය්‍යාථ)”

    මේ විදියට මනුස්සයෝ දෙයක් දිහා විචාර බුද්ධියකින් බලා තමන්ම අවබෝධක කර නොගන්නා තෙක් බුදු බන උනත් කාලානුරුපීව වෙනස් කරන හම්බ කර ගන්න පුළුවන් අයිටම් එකක් විතරයි, එතකොට ඔය ගොඩක් සිවුරු හොරුන්ට නිකම්ම වජ්ජිපුත්තකයෝම වෙලා “කප්පති සිඞ්ගිලෝණපකප්පෝ, කස්පති ද්වඞගුල කප්පෝ, කප්පති අවිණ්න කප්පෝ, කප්පති ජාතරූපරජතං” විදියට ඕනා මගුලක් කර ගන්න පුළුවන්.

    එතකොට අලුතින්ම "කප්පති මත්රීකම් කප්පෝ, කප්පති ඇමති කම් කප්පෝ, කප්පති විධායක ජනාධිපතිකම කප්පෝ" කර ගන්න අපේ අන්ද බොදුනුවෝ ඉන්න කන් එකෙන්ම ඇහැකි.

    අසංක ඔබ දකින්නේ සිහිනයක්ම පමණයි.

    ReplyDelete
    Replies
    1. සොමියා...............

      හරි සාර්ථක විශ්ලේෂණයක්.. ඒ විශ්ලේෂණයට මාගේ ස්තූතිය.. උඩින් ම එකගයි.....

      අපි තාමත් කවුරුත් කියන පළියට.. කරන පළියට දේවල් කරනවා විතරයි. ඇත්තට ම ඒක ගැන අපිට තර්කයක් නැහැ. අපේ ම නිර්වචනයක් නැහැ. ඉතින් අපි අන්ධ භක්තිකයෝ තමයි... කවුද නෑ කියන්නේ...

      තුෂාර විතාරණ

      Delete
    2. ඔබගේ මෙම පැහැදිලි කිරීමට මගේ ආචාරය පුද කරමි.

      සොමියා, මේ සටහන් ටිකයි මේ සංවාද ටිකයි මෙහෙමම උස්සගෙන ගිහිල්ලා මුළු ලංකාවෙම වැඩ වාසය කරන චීවරධාරීන්ට ( සිල්වත් හිමිවරුන්ට නොව ) පෙන්නන්න වැඩපිළිවෙලක් හැදුවනම්...නැත්නම් මේ බ්ලොග් බලන්න පහසුකම් උන්වහන්සේලාට සලසල දුන්න නම්...දැන් දැන් ගිහි සමාජය හොඳයි ඔය පන්සල් හොරුන්ට වඩා...මේ සමහර බහුතර වහන්සේලා වැඩ සිටින්නේ බහුජන හිතාය බහුජන සුඛාය පරමාර්ථයෙන් නෙවෙයි...තමන්ගේ වාසිය පිණිසමය...තමන්ගේ අනාගතය පිණිසමය...

      Delete
  5. කාලයත් එක්ක කොච්චර දේවල් වෙනස් වෙලාද ?.. :(

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත හංසි...අපි මේ ගැන කෑ ගැහුවට බුදු හිමියන් මේව ගැන කලින් දේශනා කරල තිබුණ...කොසොල් රජ්ජුරුවො දුටු සිහින 16 ගැන පැහැදිලි කලාම ඒක අද සමාජෙට හරිම අපූරුවට ගැලපීගෙන යන හැටි පේනවා...

      Delete
  6. අද කවි ටික වෙනදටත් වඩා බොහොම අගෙයි. පද, අදහස ඔක්කොම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දනයො...

      Delete
  7. ආකල්පමය වෙනසකට මිනිසුන් සූදානම් වනතාක් .............. බලා හිඳිමු කුරුටුස් ..

    ReplyDelete
    Replies
    1. අපි උඹල වගේ ගොඩක් අය සූදානම් ඉවාන්...හරි නායකත්වයක අඩුව විතරයි තියෙන්නේ...

      Delete
  8. ශීලයත් භාවනාවත්
    හැර අනෙක් සියලු දෑ
    රකින බුදු පුතුන් ඇති
    රටක මොනවා නොවෙද

    ReplyDelete
    Replies
    1. ඒකනම් සහතික ඇත්ත...දැන් බොහොමයක් හාමුදුරුවරු සීලය හැර ඉතිරි හැම දේම රකිනවා...

      Delete
  9. බුදුහිමි දැන් මේ ලක්දිවට වැඩම කරොත්, උන්වහන්සේට

    මෙහෙම හිතේවි ....

    තෙවරයි මා මේ සිරි ලක්දිවට වැඩම කලේ
    තවමත් ‍රැව්දෙයි බණ පද, මා දෙසූ දම් ගඟුලේ
    සුවිසල් දාගැබ් , බෝ රුක් සතර අත දිලේ
    නිරාමිස සතුටක් ඇතිවෙයි මා සිත පතුලේ

    ඒත් සත්‍ය තත්වය තේරුම් ගත්තහම බුදුහිමියන්ට මෙහෙම හිතේවි ....

    ධම් පද, රළු-පරළු ලෙස හිස් සුළගේ පාව යයි නිකරුනේ
    ආමිස වැජඹෙයි, ප්‍රතිපත්ති පූජා කොහේද සැඟවුනේ
    බොළඳ , හරසුන් දේ නිසරු ලෙසයි මා දෙසුවේ, මිනිසුනේ
    ධර්මය ‍රැකේයැයි සිතූ ලක් දෙරණට කුමක්ද මේ උනු විණේ

    බුදුවරු, තුන් කල් දකින් , අටලෝ දහමින් කම්පා නොවන උතුම් පිරිසක් බව දනිමි. මෙය හුදෙක් නිර්මාණාත්මක සිතිවිල්ලක් පමණි. යම් සුචරිතවාදියෙකුට සිත් රිදීමක් , කෝප වීමක් ඇතිඋවහොත් කමා කරත්වා !!

    ReplyDelete
    Replies
    1. ඔව් සඳරු...මේ රටේ ඉන්න තරමක් ඉන්නෙ මොකක් හැරි ඇදක් හොයන්න බලාගෙන ඉන්න පුස් සුචරිතවාදියො විතරයි...ඒකනෙ අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ...හැමතැනම බොරුව...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...