Saturday, October 11, 2014

මගෙ සුදු අයියේ......



බිලිඳු වියේ වැලි කෙළියේ
සිට දැවටී ඔබ පහසේ
රැඳි ඒ මා මතකද තව
වෙනතක රැඳි ඔබේ හිතට
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

ඇලේ දොළේ ඉපනැල්ලේ
වන පියසේ තුරු වදුලේ
ගම්මැද්දේ ඔබ ඇසුරේ
කිරිල්ලියක සේ විය මා
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

අතීතයේ සිතුවම් කළ
මිහිරි මතකයක සෙවණැලි
වත්මන මා හද පතුලේ
ඇදුම් කැවෙයි ඔබේ නමින්
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

එදා පටන් සුරැකි සෙනෙහෙ
වාං දමයි හිත පුරාම
වාවනු බෑ මගෙ හදවත
නොහැඟුනාට ඔබේ හදට
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

ඔය හිත් ඉම කෙළවර වුව
ලැගුම් ගන්න හැකිවේ නම්
ඒ ඇති මුළු දිවි පුරාම
ඔබේ චූටි නංගී හට
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

 

( මා පෞද්ගලිකව හොඳින් හඳුනන සහෝදරියක විසින් මා හට පැවසූ, ඇය වර්තමානයේ මුහුණ දී ඇති සංවේදී සිදුවීමක් ඇසුරිනි )



අසංක ගයාන් අබේසිංහ

35 comments:

  1. සහොදර සෙනෙහස....


    ජය වේව ා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් විදානේ...ඔය කියන නංගිව මම ගොඩක් දන්නවා...එයාගෙ සුදු අයියවත් මට හැමදාම මුණගැහෙනවා ඔය නංගිත් එක්කම...ඒ කතාව මීට වඩා ගැඹුරුයි මම දන්න සරලම විදිහට වචන වලට හැරෙව්වට...බොහොම ස්තුතියි විදානේ...

      Delete
  2. අහිංසක පැතුමක්.
    අවිනිශ්චිත අනාගතයක්

    ReplyDelete
    Replies
    1. ඔව්...ඒ අවිනිශ්චිත අනාගත පැතුම ඉටුවෙන තෙක් අපි කාලයට ඉඩ දීලා බලා ඉන්නවා ජීවන...ඔබට බොහොම ස්තුතියි...

      Delete
  3. මේ නංගිව අදුරගත්ත
    දුකක් නොදි බලාගත්ත
    පොඩි දරුවෙක්සේ රැකගත්
    චුටි නංගි තවම ඒතන....

    මේ සුදු රත්තරං අයියා එනකං හැකි මටත් බලන් ඉන්න
    මේ නංගිට දුකක් නොදි ආදරයත් අරං එන්න

    ReplyDelete
    Replies
    1. මේ නංගි ඔයා නේද...?...මට හිතෙන්නේ එහෙමයි...අපි මුළු හිතින්ම පතන්නේ ඔබේ ආදරය ලැබේවා කියලා...!!!

      Delete
    2. ඔයා හරි ගයාන් අයියේ ඒ නංගි තමයි මේ.

      ඒ අයියාට මේ පුංචි නංගි කොච්චර ආදරයද කියලා දන්නේ ඔයා නේද?
      හැමෝටම චුටි වෙච්ච මේ නංගිව ඒ අයියා දාලා යන්නේ නැති වෙයි නේද?

      Delete
    3. ඔබ හරි නංගි...මම ඔයාව අඳුරගත්තෙ කතාකරන්න පටන් ගත්තෙ එක් විනෝද චාරිකාවක් ගිය දවසක ඉඳන් බව මට මතකයි...කොහොම හරි ගිහින් අන්තිමට ඔයාගෙ ජීවිතේ එක් සංවේදී පැතිකඩක් මට පැවසීමට තරම් ඔබ මාව විශ්වාස කළා...ඉතින් මම කළේ ඔබ මාව ඔබේ සහෝදරයෙක් වගේ සලකමින් තැබූ විශ්වාසය වෙනුවෙන් ඔබේ කතාව මට හැකි තරමින් එහෙත් පුංචි වෙනස්කම් කිහිපයක් සිදුකර කවියක් කිරීම...ඉතින්...අපේ ගී පවුරට විවෘතවම පැමිණ ඔබේ අදහස් දැක්වීම පිළිබඳවත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා...ඒ වගේම අපි බලමු කාලයට ඉඩ දීලා...

      Delete
  4. ඔහොම සහෝදර පෙමක් ලබන්නත් පින් කරන්න ඕන බං.

    පද ටික අපූරුයි අසංක.

    ReplyDelete
    Replies
    1. මෙහෙම සහෝදර පෙමක් හිතට ගොඩක් හයියක් බං...පෞද්ගලිකව මම මේ ගී පවුරට ආවට පස්සේ උඹලා හැමෝගෙන්ම මටත් ලැබෙන මේ ආදරය හින්දම මට සහෝදර පෙම හොඳට දැනෙනවා...බොහොම ස්තුතියි ප්‍රියා...

      Delete
  5. උඹ ඉතින් කවදත් ගෙනාවෙ අපූරු නිර්මාණ අසංකයො..
    ලස්සනයි කවි පද ටික..

    මේක මං කියවපු කවි පොතක රත්න ශ්‍රී විසින් ලියල තිබ්බ කවි පන්තියක්.
    මනමාලියක් වෙන්න යන තමන්ගෙ නංගි ගැන කියවෙන්නෙ මට හිතෙන විදිහට..


    ~නංගී පෙම්වතියක්ය~

    පිපුණු මල සේය උඹ,
    සිරියාව !
    රුවට රුව..
    කොයි කොදෙව්වෙන් පැමිණි,
    බඹරෙකුගේ සින්දුවක් ඇහුණාද උඹෙ කනට ?

    රෑට හඳ එළිය වාගේ ගොළු ය.
    උදෑසන ඉර එළිය වාගේ දොඩමළු ය.
    දැන් උඹේ කට හඬින් මුළු ගෙදර පිරී ඇත
    ජනෙල් දොරවල් කවුළු සියල්ලම ඇරී ඇත
    මකුළු දැල් කැඩී ගොස්
    පාළුවද හෝදලා දමා ඇත
    උදෑසන ඉර එළිය වාගේය
    දොඩමළුය !

    ඉවුරු බිඳ ගලා එන
    මේ මහා කරුණාව
    කුමන උල්පතකින්ද ගලන්නේ ?
    හදිසියේ මතු වුණේ කොතනින්ද ?
    සියල්ලම පියකරුය නංගියේ !

    ඇස්වලට නිදාගන්නට එපා ඉඩ දෙන්න
    ඈත ඈත රුහුණු රටේ කඳු වැටි ඉස්මත්තේ
    මනුස්ස කට හඬක් නොමැති පාලු වනන්තරේ
    කාත් කවුරුත් නැති මේ අඳුරු ගුහාවේ
    පිච්ච මල් බිසව වාගෙයි නංගියෙ උඹ හිටියේ..

    හතර වටින් වනන්තරේ රෑහි හඬයි ඇහුණේ
    හතර වරන් දෙවියො උණත් අහක බලන් හිටියේ
    කණාටු ගස් කොළං මැරුණු අවු සාගත අතරේ
    අසාර වූ මහ පොළොවේ උඹ විතරයි පිපුණේ

    රණ ගිරවියක සේය උඹ ඉතා කෙළිලොල්ය
    හතර වට ගසා සිර කළ කම්බි දැල් නැතද
    සෞන්දර්යයේ ලිය කම්වලින් කොටුව සිට
    නිල් පාට ගස් කොළං මැවූ කැටයම් අතර

    ඉගිල්ලී යන්න දැන් සොඳුරු වූ ලෝකයට
    පියාපත් සැහැල්ලුය, සවිමත්ය, පියකරුය
    නිල් අහස එළා ඇත ඈත ගවු ගණන් දුර
    සොයා ගෙන මී විළඳ දැන් ඉගිල්ලී යන්න..

    ලැබුණු තටු සවිමත්ය සැහැල්ලුය පියකරුය
    නැවත පියඹලා නාවත් හිතට දුකක් නැත
    සන්තෝසයෙන් කොහේ හෝ ලැගුම් ගත් පසුව
    නැවත පියඹලා නාවත් හිතට දුකක් නැත..

    -රත්න ශ්‍රී විජේසිංහ-

    ReplyDelete
    Replies
    1. සැබැවින්ම බොහොම ලස්සන අරුත්බර කවියක් සංචාරකයෝ...උඹ කොහෙන්ද මේක හොයාගත්තේ...මේ කෙල්ලෙක්ගේ මනෝභාවයන් එක එක අවදි වලදී වෙනස් වෙන විදිහ කියවෙනවා...ඇය ගෙදරට නංගි කෙනෙක් විදිහට හිටපු විදිහ නෙවෙයි පෙම්වතියක් වුණාම...ඒ හින්දා වෙන මානසික විපර්යාසය කදිමට කවියට නගපු අවස්ථාවක්...මට නිකම් හිතෙනවා අපේ මනෝෂ් සහෝදරයා මේ ගැන අපි නොහිතන පැත්තකින් ලස්සන විචාරයක් දේවි කියලා...වෙලාව තිබුණොත් මනෝෂ්...අපි බලා ඉන්නවා...ඒ වගේම බොහොම ස්තුතියි සංචාරකයෝ...

      Delete
    2. ගී පවුරේ විචාරයක් කරන්න නම් හැකිවෙයිද මංද. ඒත් මං මට හිතෙන දේ මෙහෙම කියන්නම්.

      මට මෙහෙම සිතුවමක් මැවිල පේනවා. පුංචි කොලු පැංචෙකුයි, කෙලි පොඩ්ඩකුයි, වැලි දූවිලි නාවර පෙරාගෙන සෙල්ලම් කරනවා, අඬනවා, හිනාවෙනවා, සිංදු කියනවා. ඒත් එක්කම පේනවා ඒ දෙන්න ටිකක් ලොකුවෙලා ඉන්න්වා. කෙල්ල ලස්සන චීත්ත ගවුම් පොඩිත්තක් ඇඳගෙන, පොඩි කොන්ඩ කරල් දෙකක් බැඳලා ඉන්න්වා පේනවා. කාලය තව ගෙවෙනවා. කෙල්ල දැන් නව යෞවනියක්. තාමත් චීත්ත ගවුම ඇඳලා, පිට දිගට පත්තෑයෙක් වගේ ගානට ගොතල දාපු ඉරිච්ච කලු කොණ්ඩෙ. ඇලේ දොලේ වෙල් ඉපණැල්ලෙ ඇවිදගෙන යන යුවතියක්. කෝල සිතුම පහල වෙලා මූණ පාට වෙච්ච මනමාල කෙල්ලෙක්. එතනින් එහාට ගියාම, කොස් ගස්, අඹ ගස් වලින් හෙවන වෙච්ච සිංහල උළු වහපු ගෙදර අද ලොකු කලබලයක්. කුරුලු කොබෙයියන්ගේ ලේනුන්ගේ හඬින් පිරුන උදෑසනක් වෙනුවට නිතර අමුත්තො එහෙ මෙහේ යන සුහද කතාබහ වල නිරටහ් වෙන, හිටි ගමන් හයියෙන් කෙකර හිනා නඟන මහ කලබලකාරී උදෑසනක්. අපේ පුංචි කෙල්ල පෝරුවක නැඟලා. තනියෙන් නෙවෙයි, අයියා වගේම කොල්ලෙක්ගෙ අත අල්ලගෙන. තව ටිකකින් එයාල පිටත් වෙයි.

      දැන් එයාල ගිහින්, උත්සව කලබලේට පස්සෙ ගෙවෙන හැමෝම නික්මිලා ගිය පාලු ගෙදරක්. අයිය පිල කණ්ඩියේ වාඩිවෙලා ඈත පාර දිහා බලාගෙන කල්ප්නා කරන්වා. හිටිගමන් කොන්ඩෙ අතින් හද හද කණ්නාඩියට එබිලකෝල කරන නංගිගේ මූණ මැවිල පේනවා. කවට කමක් කරල පැනල ගවුම උඩදාගෙන දුවන නංගිගේ හිනා හඬ ඔහුට ඇහෙනවා. දිගම දිග හුස්මක් හිස් වාතලයට මුඅදා හැරල ඔහු තමන්ගෙ නංගිට හිතින් ආශිර්වාද කරනවා.

      අද දීගෙක ගිය නුඹ මට බුලත් අතක් දීලා
      යන්න පිටත් වූ මොහොතේ මගේ දෙපා වැඳලා
      එතෙක් සිනහවෙන් සිටි මා කොහෙදෝ තනි වීලා
      නෙතේ කඳුළු සිරකර ගෙන සිටියෙමි ඉවසාලා

      පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //

      මා සිටියත් ඉවසා ගෙන නෙතේ කඳුළු නොසලා
      අප දෙන්නා දිහා බලා උන් අම්මා දැකලා
      ඇගේ නෙතින් කඩා හැළුණු කඳුළු මතක් වීලා
      කවුරුත් නැති තැනකට වී හැඬුවෙමි තනි වීලා

      පුංචි නංගියේ, මගේ පුංචි නංගියේ //


      පද රචනය: ධර්මසිරි ගමගේ
      සංගීතය: රෝහණ වීරසිංහ
      ගායනය : සුනිල් එදිරිසිංහ

      Delete
    3. ඔය මම කිව්වේ බොරුද...අපි කවුරුත් නිකම්ම පේන දෙය විතරක් දිහා බලා හිටියත් ඊට එහා තියන දෙයක් වෙනම දකින්න පුළුවන් විශේෂ කෙනෙකුට විතරයි...මට ඇත්තටම හිතෙනවා අපේ මනෝෂ් කියන්නේ ඒ වගේ දේවල් විනිවිද දකින්න පුළුවන් අපූරු මිනිසෙක් කියලා...අපි හැමෝම ඔබේ ඒ හැකියාව රස විඳිනවා වගේම තව තවත් ඒ හැකියාව දියුණු කරගන්න මෙන් ඔබෙන් ඉල්ලා සිටිනවා වගේම දියුණු වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා...!!!

      Delete
    4. ඒ බං ඔහොම කියනකොට ලැජ්ජා හිතෙනවා. මන් ඉතින් කිව්වෙ ඕකෙ තියෙන දේමනේ.

      Delete
    5. හා...හා...දැන් ඔහොම ලැජ්ජා වෙලා බෑ කොල්ලෝ...අපි විහිළු කළාට මේකනම් කිව්වේ අවංකවම...ඔය ලැජ්ජ බය පැත්තක තියලා උඹ ඉදිරියටම පලයං...

      Delete
  6. සුදු අයියට මේක ඇහෙයිද?

    ReplyDelete
    Replies
    1. ඒ සුදු අයියට මේක ඇහුණත් නැතත් මම පුද්ගලිකවම එයාව මුණගැහිලා කතා කරන්න හිතාගෙන ඉන්නේ ඉවාන්...මේ කවියේ සරලව කිව්වට හරි අමුතු පැත්තක් මට ඇත්තටම පේනවා...ඉතින් මට හිතුණා ඒ සුදු අයියව ( මට නම් මල්ලි...) මුණගැහෙන්න...මම එයාව දන්නවා...බොහොම ස්තුතියි ඉවාන්...

      Delete
  7. මොන දේ උනත් සහෝදර ප්‍රේමය අන්තිමට එකතු වෙනව..

    ReplyDelete
    Replies
    1. මෙහෙම සහෝදර පෙමක් නම් එකතු වෙන්නම ඕන උමේෂ්...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  8. බොහොම සංවේදී වචන පෙළක්.

    හොඳටම හිතට දැනුන..මොකද මාත් නංගි කෙනෙක් ගේ යය කෙනෙක් හින්ද..

    ReplyDelete
    Replies
    1. උඹලා යම්කිසි විදිහකට සංවේදී වෙනවනම් එයයි මගේ සාර්ථකත්වය විභී...බොහොම ස්තුතියි ඔබට...

      Delete
  9. අපූරුයි මචෝ....
    හිතට වැදුණ බොක්කටම....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මචෝ...බොක්කෙන්ම...

      Delete
  10. සැබෑම අත්දැකීම් පාදක කරගනිමින් ලියැවෙන නිර්මාණ වලට මං බොහොම මනාපයි. ඒවගේම ඒ නිර්මාණ වල අනෙක් නිර්මාණ වලට සාපේක්ෂව වඩා සංවේදී බවක් තියෙනවා. ඒ වගේම රසවත්. අව්‍යාජකමින් පිරිලා. ඉතින් ඒ හැකියාව තියෙන අසංකගේ මේ නිර්මාණයත් මං බොහොම රසවින්දා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියනවා හැර මම වෙන මොනවා කියන්නද මනෝෂ්...ඔබ සැම හින්දාම ලස්සනට ගලා යන ජීවිතේ මිහිර මතින් තමයි මේ නිර්මාණ කරන්නේ...

      Delete
  11. සොහොයුරු පෙම ගැන හරිම අපූරු සංවේදී ගීයක්...

    අයියණ්ඩියෙ පොඩි දා සිට අපි දෙන්නා
    එක වහලක් යට වැලි කෙළිමින් උන්නා
    එක කුස් උන් සුවඳින් සෙනෙහස වැඩුණා
    කිරි එරුණා සේ නුඹ මා වෙත බැඳුනා

    නුඹ පසු බැස්සේ මට ජය ගෙන දෙන්නයි
    දර දිය ඇද්දේ මට බත සපයන්නයි
    කුස ගිනි දැරුවේ මා කුස පුරවන්නයි
    වැරහැලි ඇන්දේ මට පිරුවට දෙන්නයි

    සොයුරන් ඇත ලොව මවුවරු පියවරු වන්
    දුක සැප හමුවේ බිතු සිතුවම් රූ මෙන්
    පෙම් කවි ගොතනා කිවියරුනේ සුපසන්
    සොහොයුරු පෙම ගැන නව කවි ගී පවසන්

    නන්දා මාලිනී
    -සත්‍යයේ ගීතය-

    ReplyDelete
    Replies
    1. අපූරු ගීයක්...අපූරු ගීයක්...ඇසට කඳුළු දෙවන අපූරු ගීයක්...බොහොම ස්තුතියි මනෝෂ් මෙය මෙතන ඉදිරිපත් කළාට...මේ හැඟීම තදින්ම දැනුණා...

      Delete
    2. සොහොයුර් පෙම ගැන කලාතුරකින් ලියැවුනු ඉතාම සංවේදී ගීයක් තමයි මේක කුරුටු. කලින් අහල නැත්නම් මෙතනින් අරන් අහල බලන්නකො. නන්දා මාලිනියගේ කටහඬ අපව කම්පනය කරනවා. පපුවට ගීතය කඩා වැටෙනවා වගේයි.

      http://topsinhalamp3.com/songs/nanda-malini-mp3-songs/aiyandiye-podi-da-sita-mp3-song.php

      Delete
    3. බොහොම ස්තුතියි මනෝෂ්...අනිවාර්යයෙන්ම අහනවා මේක...

      Delete
  12. මමත් ඇවිත් ගියා...කමෙන්ටුත් කියෙව්වා..

    ReplyDelete
    Replies
    1. හ්ම්...මෙන්ඩියා මොකුත් නොකියා මෙහෙම දෙයක් කිව්ව එකේ ලොකු කතාවක් තියනවා වගේ...උඹ හරි...මේ කමෙන්ටු වලින් සහ කවියෙන් උඹට එක එක දේවල් තේරුම් යන්න ඇති...සමහර විට කවිය මෙලෝ රහක් නැති වෙන්නත් පුළුවන්...හික්ස්...ඒ කොහොම වුණත් මේ කවිය ගැන උඹට මොනවා හිතුනත් ඒ හැම එකම හරි කියල විතරයි මම කියන්නේ...ඒ මොකද මම මේක ලිව්වෙත් අදහස් කිහිපයක් එකවර කවියෙන් ඉදිරිපත් වෙන විදිහට...බොහොම ස්තුතියි මෙන්ඩි...

      Delete
    2. මචං...(සමාවෙන්න ආමන්ත්‍රනයට)...මම හැමදාමත් උඔලාගේ කවිවලට ආදරය කරා...මේ සහෝදර ප්‍රේමයක්ද?
      මේ ගැන මට හිතෙන දේ නොලියා ඉන්නද?

      Delete
  13. භාග්‍යා ට භාග්‍යය උදා වේවා ! එදාට අපිටත් බැරියැ බාගයක් ගහල භාග්‍යවන්තයො වෙන්න!! දැනට මෙන්න මේක අහන්න.. පෝස්ට් එක දැක්ක ගමන් මට මතක් වුනු සින්දුව.

    http://geemuthuwel.blogspot.com/2012/05/blog-post_5751.html

    (අර පොඩ්ඩො දෙන්නගෙ පින්තූරෙ මරු)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි චන්දනයෝ උඹේ අවංක ප්‍රාර්ථනාවට...උඹලා වගේ සහෝදර පිරිසක් එක්ක ඉද්දි ජීවිතේ ගලාගෙන යනවා දැනෙන්නෙ නෑ බං...උඹ කිව්වත් වගේ එදාට බාගයක් ගහල නම් මදි...බෝතලයක්ම මමනම් ඉල්ලගන්නවා භාග්‍යාගෙ ගානෙ...උඹත් වරෙන්...ගීතයේ ලින්ක් එකටත් ස්තුතියි...අනිවාර්යයෙන්ම අහනවා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...