Monday, June 9, 2014

අප්පුහාමිගේ සැප ............................



මහඇදුරු - අප්පුහාමි මොකදැයි උඹ ඔතන කරන්නේ
අප්පුහාමි - අනේ මහත්තයො මම මේ සැපට නිදන්නේ

ම - ඔහොම නිදාගෙන ඉඳලා මොකටැයි මිනිහෝ
අ - එහෙනම් මම අහවල් දේ කරන්න ද අහෝ

ම - උඹ මොකක් ද රස්සාවක් කියලා කරන්නේ
අ - මම පොඩි එළවලු කොටුවක් වගා කරන්නේ

ම - එහෙම කියලා හරියන්නේ නැහැනෙ තමුසෙට
අ - එහෙනම් උපදෙස සර්ගෙ දෙන්න මා හට

ම - මේක දියුණු කරන්න උඹ ගනින්කෝ ණයක්
අ - ණය අරගෙන එය ගෙවන්න වෙන එකත් බරක්

ම - ඒ වුණාට උඹේ කොටුව වෙනවනේ සරූ
අ - එහෙම වුණා කියලා මට පෙනේදැයි තරූ

ම - ඊට පස්සේ උඹට හැකිය ගන්නට ලොරියක්
අ - කියන්න මට ලොරිය අරන් කරනා හරියක්

ම - ටික ටික දියුණුව ළං වෙයි උඹගෙ පවුලට
අ - ඊට පස්සෙ කරනා දෙය කියන් මා හට

ම - උඹට හැකිය ගන්නට මුදලාලි පට්ටම
අ - ඊට පස්සෙ මොකක් වෙයිද කියන් සත්තම

ම - උඹට ඊට පස්සේ ලැබෙයි සිත සැනසීමක්
අ - ඊට පස්සෙ කියන්කො මම කරන්නේ කුමක්

ම - ඊට පස්සෙ උඹට හැකිය නිදන්න සැපට
අ - ඉතින් සර් ඒක නොවෙද කරන්නෙ දැනට ...........

මහඇදුරුතුමාණන්ගේ මුඛ පූට්ටු වූ සේක ................. සාදු ... සාදු .... සාදු ....


අසංක ගයාන් අබේසිංහ


.

54 comments:

  1. අප්පුහාමි නං පට්ට....
    ඉතින් සර් ඒක නොවෙද කරන්නෙ දැනට////
    වැඩිපුර සල්ලි නොසොයන මිනිසා මක්ක නැතත් හිත සතුටිනි.
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මහේෂ්...........

      ඒ ජීවිත හරිම සරලයි. සල්ලි පස්සේ දුවන ජීවිත වල කිසිම නිදහසක් නෑ. අපි කොච්චර නිදහසේ ඉන්න උත්සහ කළත් අපි හැමෝම මේලෝකේ තියෙන මුල්‍යකරණයට ලක්වෙනවා. ඒ තුළ අපේ ජීවිතය අපිට නැති වෙනවා. සල්ලි.. ගෙවල්.. වාහන... අන්තිමේට වයසට ගගිහිල්ලා ලෙඩ වුණාම බෙහෙත් බිබී ඉදලා මැරිලා යනවා... අපරාදෙ ජීවිතේ. කරපු දෙයකුත් නෑ. නිදහසකුත් නෑ......

      Delete
    2. ඒකට වෙන්නැ කියන්නෙ
      ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියල
      නෙහ්

      Delete
    3. ඔව් මහේෂ්....

      ජීවිත කාලයක් කියලා අපිට හම්බෙන්නේ මෙච්චරයි... අපි දන්නවායෑ ආයේ මොනව ද වෙන්නේ කියලා... අඩුම ගානේ මිනිස්සු බිලියන 06 ක් ද 07 ක් ද හිටියට ජීවිතේ ජයගන්න මිනිස්සු කීයක් ඉන්නවා ඇත්ද කියලා බලන්නකෝ....

      ඒ මිනිස්සු ගත්තත් ඔවුන් ඔය උපදේශකයෝ කියන විදිහට සල්ලි පස්සේ හරි ජනප්‍රියත්වය පස්සේ හරි ගිය මිනිස්සු නෙමෙයි. ඔවුන් බොහොමයක් ඉතා සරල මිනිස්සු... ඒත් අපි. අන්තිම සංකීර්ණයි. කොහේ හරි ජොබ් කට්ටක් කරගෙන, හතර පස් දෙනෙකුට බොස් කෙනෙක් වෙලා ඉදලා මැරිලා යනවා... අපරාදේ කියලා හිතෙනවා නේද මහේෂ්.... ඇයි අපි මෙච්චර මෝඩ??????

      Delete
  2. ඔන්න ඔහොම තමයි උපදේශකයෝ කියන එවුන් , අපි දැන් කරන දේම තව අවුරුදු පහකින් කරන හැටි අපිට කියලා දෙනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඉවාන්...

      ඒකත් අපේ ක්‍රමේට හරි ලේසි විදිහකට හරි නෙමෙයි... උන්ගේ ක්‍රෙම්ට සහ මාර දුකක් විදලා කරන විදිහට..... අනේ අපොයි තමයි කියවෙන්නේ...........

      Delete
  3. මෙහෙම කතාවක් මං අහලා තියෙනවා මාළු බාන මනුස්සයෙක්ට නිවාඩු ගිය පොහොසත් පොරක් දෙන උපදෙස් වගයක් ......

    .එකෙත් අවසානේ පොසත් මනුස්සයා කියන්නෙ සල්ලි හොයාගෙන නිදහසේ මාළු බන්න නිවාඩුවකට එනවා කියනවා ,අර මාළු බාන මනුස්සයා කියනවා දැනුත් එකනේ මං කරන්නෙ කියලා .....

    කොම උනත් ජය වේවා !!!

    ReplyDelete
    Replies
    1. අවසානයේ එ මහඇදුරුතුමාණන්ගේත් මුඛ පූට්ටු වූ සේක .................

      Delete
    2. ඔව් සහෝ....

      ඔය අදහස තියෙන කතා කිහිපයක් ම තියෙනවා. එක එක පැතිවල විවිධ විදිහට තමයි ඕක කියන්නේ... සමහරු කියනවා බෝක්කුවක් උඩට වෙලා පාඩුවේ හිටපු මිනිහෙක්ට පෙන්ෂන් ගිය ලොක්කෙක් කියන කතාවක් විදිහටත්...

      කොහොම වුණත් ඒක කවියෙන් අහලා නෑනේ..... ඉතින් අපි පොඩි වෙනසකටත් එක්ක ඒක කවියක් කරා... අප්පුහාමි කෙනෙක් එහෙම ගාවලා...............

      ස්තූතියි අදහසට සහෝ..................

      Delete
    3. කුරුටු මං එහෙම කතාවක් කිව්වෙ එහෙම එකක් අහලා තිබුණ නිසා,මේකට මං කැමැති ,හරය වටිනවා නම් අයේ ඊට එහා වෙන මොනවද ?//

      Delete
    4. අනිවා සහෝ...

      ඔබ විසින් අප වෙත පෙන්වා දෙන ඕනෑම දෙයක් අපි පිළිගන්නවා.. මොක ද ඔබ වැනි අපේ බ්ලොග් සහෘද පිරිස අපි සමග නිතරම හිදිමින් අපිව දිරිගන්වන නිසායි.. අපේ මේ ගමනට පදනම වුණේ ඔබ. ඉතින් ඔබ මොනවා කියුවත් අපි බින්දුවක් වත් වැරදියට හිතන්නෑ සහෝ....

      ඔබේ අදහස් අපිට මහත් ශක්තියක් සහෝ.........

      Delete
  4. අසංක ගයාන් අබේසිංහ////
    අසංක ගයාන් අබේරත්න///
    තව අලුත් කෙනෙක් එක්කාසු වුනා ද ??

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ වැරැද්ද පෙන්නුවාට.....

      අපි 10 දෙනෙක් කවි ලියුවට බ්ලොගය එක විදිහකට තියෙන්න ඕනේ නිසා කවිය අප්ලෝඩ් කරන්නට විතරක් එකම තැනයි භාවිතා කරන්නේ.... ඒ නිසා ඒක කරන්නේ එක්කෙනෙක් විතරයි. අපි අනික් අය ලියන කවිය මේල් කරලා යවනවා....

      මේක එතනදි සිදුවුණ පොඩි අවුලක්. බොහොම ස්තූතියි සහෝ ඒක අපිට පෙන්වා දුන්නට.... දැන් හරි....

      Delete
  5. මේ කව තුළ ගැඹුරු දේශපාලන දහමක් පෙන්වා දෙනවානේ. ඔය නය දෙන උන්දලා දෙන ලණු කන්නේ නැති අප්පුහාමි කෙනෙක් වන එක තමා වටින්නේ. මේ අගනා නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තට ම නලීන්... එහෙම කියද්දි නලියා තවත් දෙයක් මතක් වුණා ඉන්ෂුවරන්ස් කස්ටිය ගැන. අහුවුණොත් අනාථයිනේ....(අපේ බ්ලොග් සෙට් එකෙත් ඉන්ෂුවරන්ස් සගයෝ ඉන්නව ද දන්නෑ)

      ඒක නම් එක විදිහක පිස්සුවක් මචං... හොදට ඉන්න මිනිස්සුන්ව බය කරවලා.. ඇගිල්ලක් කැඩුනොත් මෙච්චරයි... මැරුණොත් මෙච්චරයි... ඩිසේබල් වුණොත් මෙච්චරයි... කැන්සර් එකකට මෙච්චරයි කියලා අල්ලගන්නවා.. අර හොදට ඉන්න උන් එදා ඉදලා මැරෙන්න පටන් ගන්නවා....

      Delete
    2. අනේ අපේ බ්ලොග් කාරයෝ කීප දෙනෙක්ම ඉන්වා මචෝ මේ රස්සාව කරන. උන් සේරම වගේ මගේ නං හොද මිත්තරයෝ..

      Delete
    3. එක තමයි නලියා ඔය කතාව කියුවට මටත් එහෙම හිතුණා... ඒත් පහුගිය ටිකේ මං මාර කට්ටක් කෑවේ එකෙක්ගෙන් බේරෙන්න.....තව ඩිංගෙන් උගෙන් බේරෙන්න බැරුව මට එල්ලිලා මැරෙන්න වෙනවා..... හික්... කට්ටිය අවුල් වෙන එකක් නෑ. අපි කතාව මෙතනින් හමාර කරමු........

      Delete
    4. මාත් රැකියා ජීවිතේ පටන් ගත්තෙ ඔය රැකියාවෙන්.

      මාස තුනයි කලේ. :)

      Delete
    5. බුදු අම්මෝ...............

      ඔන්න අපි අර රක්ෂණ ගැන කියපු කතාව මුළුමනින් ම ඉල්ලා අස්කරගන්නවා. ඒකට අපේ සමාව භජනය කරනවා.. නැත්තම් මාර අවුලක් වෙන්නේ... මං කියන්නේ ප්‍රියා ගැන විතරක් නෙමෙයි. ගී පවුරේ උනුත් රණ්ඩු කරනවෝ....................... බුදු අම්මෝ.......

      Delete
    6. අනෙ හප්පේ අපි නම් රණ්ඬුවට ආවෙ නෑ ඕන්… අපි අහිංසකයි. :)

      Delete
    7. හරි හරි ප්‍රියා නිර්දෝෂීයි.. ඒත් අවුල අපේ ගී පවුරේ ම සහෘදයෝ ටිකක් බර බරේ දැම්මා මේකට ......................... අනේ මන්දා... කැබිනට් එක වගේනේ.. සාමූහික වගකීම.......... ඔන්න අපි නෑ ඕවාට...

      Delete
  6. සමාජයේ පිරිසක් ඉන්නවා මැරීගෙන වැඩ කරලා හම්බ කට ගෙන බොහොම සැහැල්ලුවෙන් ජීවත් වෙන උන්. තව පිරිසක් ඉන්නවා සහතිකයක් තියාගෙන අර මිනිස්සු රවටාගෙන කන උන්. ඇත්තටම උන් දන්න ඉටි ගෙඩියක් නෑ. දන්නවනේ අර මෝටර් මෙකැනිසම් ඉන්ජිනියර් මහත්තගේ නට් ටික වැටිලා උන වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතලන්.............

      මේ මොකක් ද ඉන්ජිනියර් මහත්තයාගේ කතාව... වෙලාව තියේ නම් වචනෙන් දෙකෙන් කියහංකෝ බලන්න...............

      Delete
  7. මේක කියවනකොටම මේ වගේම මට ලැබුනු තවත් කතාවක් මතක් උනා. ඊයකින් ලැබුනේ. ඒකෙ ඔය දෙබස යන්නෙ ධීවරයෙක් සහ ආර්ථික විද්‍යාඥයෙක් අතර. හරිම ලස්සන කතාවක්. මං මේක කියවල මෙච්චරවෙලා මේල් බොක්ස් එක පීර පීර ඒක හෙව්වෙ. ඔයාලටත් බලන්න දාන්න. ඒත් හොයාගන්න බැරිවුනා.

    ඇත්තෙන්ම අන්තයට හිතුවම ජීවිතේ වෙනුවෙන් අපි මේ කරන්නෙ නිශ්ඵල අරගලයක්. ඇත්තෙන්ම අපි නැහෙන්නෙ අපි වෙනුවෙන් නෙවෙයි. අපි දිහා බලං ඉන්න සමාජය සනසවන්න. ඒ කිව්වෙ අපි කරන්නෙ ජීවිතේ විඳිනෙක නෙවෙයි, අපේ ප්‍රතිරූපයන් නඩත්තු කරනෙක. ඇයි අපි ලක්ෂ ගනන් වැ‍ය කරල ගෙවල් හදන්නෙ? අපිට කටු මැටි ගෙදරක් ඉන්න බැරි නිසා. නමුත් අපි ඉන්නෙ මාලිගාවකද, පැලකද කියල හොයන්න කවුරුත් නැත්නම් අපි ගෙවල් හදන්න බැංකු වලට ණයවෙයිද? ඇයි අපි වෙඩින් ගන්නවා කියල ලක්ශ ගනන් වියදම් කරන්නෙ. ඇත්තම කතාව රටට පේන්න. සමාජය තුල ඊට යාවත්කාලීන් වෙමින් අපේ ප්‍රතිරූපය නඩත්තු කරන්න. නිකමට හිතුවොත් අපි ඉන්නෙ කාත් කවුරුත් නැති දූපතක කියල, අපිට මේ මොනවත් ඕනි වෙයිද? ඒත් මේ මොකුත් නැතිව සොබාදහමත් එක්ක අපි කොච්චර නම් ජීවිතේ විඳියිද? ඇත්තෙන්ම අපි අපි වෙනුවෙන් කරන්නෙ කන බොබ එකයි, පහසුවට වාහනේක යන එකයි, ලෙඩට බේත් ගන්නෙකයි විතරනෙ. අනික් හැම දෙයක්ම අපි කරන්නෙ එහෙම නොකලොත් සමාජෙන් කොන්වෙන නිසා. ඕක නේද ඇත්ත?

    ReplyDelete
    Replies
    1. ඇත්ත ම කතාව ඕක තමයි මනෝෂ්...

      ඒත් මනෝෂ් අපි ආත්මයක් ලැබ ඉපදුන සත්තු ජාතියක්නේ.. ඉතින් කවදාක හරි මැරෙනවාම තමයි. ඒත් මනෝෂ් අපි එහෙමමයි කියලා මැරෙන එක ගැන හිතලා කිසිම දෙයක් නොකර අනික් සත්තු වගේ ඉන්න එක මනුස්සකම නෙමෙයි. අපි මිනිස්සු හැටියට අපි අපි වෙනුවෙන් මනුස්ස කම වෙනුවෙන් සහ අනාගත මනුස්ස සමාජය වෙනුවෙන් දෙයක් කරන්න පුළුවන්...

      ඉතින් සමහරු විද්‍යාව පැත්තෙන් වැඩ කරනවා. සමහරු පර්යේෂණ වලින් නව දේවල් හොයා ගන්නවා මනුස්ස සමාජයේ දියුණුවට.. සමහරු ආගමික පැත්තෙන් මේ ජීවිතේ නිරර්ථක බව දැකලා එයින් එතෙර වෙන්න උත්සහ කරනවා. මේ දේවල් වැරදි නෑ.. ඒත් මනෝෂ් ඔබ සහ අපි කියනවා වගේ මේ කෙටි කාලීන ජීවිතේට සීමා වුණ සැපක් බලාගෙන සල්ලි හම්බකර කර අනුන්ට පේන්න ජීවත් වෙලා මැරිලා යන එකනම් කිසිම හරයක් නැති දෙයක් තමයි......

      ස්තූතියි වෙලාව කැප කරලා අපි වෙනුවෙන් මේ විදිහට සංවාදයට එකතුවීම ගැන....

      Delete
    2. මේකෙ අන්තයට යන්න හොඳ නෑ. ඒත් අපි එහෙම ජීවත් උනා කියල ඇති සෙතේ මොකක්ද. සත්තු වගේ අපිත් මැරුණම පස් යට. ඉන්නකල් රටට ලෝකෙට ඕනි පේන්න අපේ ප්‍රතිරූපය නඩත්තුකරන්න දිවා රෑ නැතිව දුක් විඳිනවා. මදි හරියට හොඳට ලෝකෙට ණයත් වෙනවා. අන්තිමේ මැරෙනකල් හිස උඩ ගිනි කබල තියාගත්ත වගේ දුක්විඳිනවා. නිකමට මේ කිව්වෙ. නිකං හිතුන දේ. ඒකයි මේකෙ අන්තයට යන්න හොඳ නෑ කීවෙ. ඇත්තටම සොබාදහමෙ අනිත් හැම ජීවියෙක්ම මිනිසාට වඩා ජීවිතය විඳිනවා.

      Delete
    3. ඔව් මනෝෂ්....

      දැන් මේක සංස්කෘතියක් කරලා ඉවරයි. අපේ රටේ ගත්තා ම ළමයෙක් ඉපදුන දවසේ ඉදලා ඉස්කෝලේ දාන්න බොරු ලියුම් හදනවා. ඊට පස්සේ ඌ එක වසරේ ඉදලා ශිෂ්‍යත්වයට පන්ති යවනවා. අම්මලා මහ මගමයි ඉතින්. එදා ඉදලා ඕ.ලෙවල්. ඊට පස්සේ දොස්තර කෙනෙක් කරගන්න ඒකා නොදන්න සයන්ස් වලටම තල්ලු කරනවා.. ඒ.ලෙවල් වලදී ඌ එක්කෝ එල්ලිලා මැරෙනවා. නැත්තං කෙල්ලෙක් අරං පැනලා යනවා. ටිකක් වුන් ඉගෙන ගන්නවා. අනික් උන් ගෙදර නවතිනවා.

      එදා ඉදලා අරකා ජොබ් කරන්න ඕනේ. හම්බ කරන්න ඕනේ.. ලොකුවට මගුල් කන්න ඕනේ නිසා පළවෙනියට ම ණය වෙනවා. ඊට පස්සේ කාර් එකක්... ආයෙත් ණයක්... ගෙයක් ලක්ෂ තිහක විතර ණයක්.... ඉතින් ආය ඌට ජීවිතයක් තියෙයි යෑ....

      මනෝෂ් කියුවා වගේ අනික් හැම සතාම මිනිස් සතාට වඩා ජීවිතේ විදිනවා. ඇත්තට ම උන්ට නිදහස තියෙනවා... අපිට මොලේ තියෙන නිසා ම අපි ජීවිත සංකීර්ණ කරගෙන. ඇත්තට ම බැලුවා ම ඒක මොලේ තියෙන කමද නැති කමද කියලත් හිතන්න වෙනවා නේද මනෝෂ්....

      Delete
    4. අන්න හරි. ඇත්තටම මිනිසාට මොලේ තියෙනවද? කුරුටු අද ගෙනාව පෝස්ට් එකේ තියෙන කතාවෙත් අවසානෙට එන්නෙ ඔය ප්‍රශ්නෙමයි. ඇත්තටම මොලේ තියෙනවනම් ඇයි අන්තිමට නිකම්ම වෙන දේ කරගන්න බොරුවට මෙච්චරම දඟලන්නෙ.

      Delete
    5. ඔව් මනෝෂ්...

      අපි නැවත හැරිලා බලන්න ඕනේ තැනට අවිල්ලා ඉන්නේ. ඒ අද ඊයේ ආපු තැනක් නෙමෙයි. මීට බොහෝ කාලයකට පෙර අපි එතනට එන්න ඇත්තේ. අපි කරන්නේ මිනිස්සු විදිහට කරන්න ඕනේ දේ නෙමෙයි.. මනෝෂ් කියනවා වගේ අපි ලෝකයාට නැත්තම් සමාජයට පේන්න කරන දේ අයින් කරොත් අපිට ලොකු කාලයක් ඉතුරු වෙනවා මිනිහෙක් විදිහට ජීවත් වෙන්න සහ මිනිසුන් වෙනුවෙන් වැඩ කරන්න. සමහර විට ආත්ම පහ හයක කරන දේවල් කරන්න තරම් කාලයක් එකම ජීවිතයක් තුළ අපිට ඉතුරු වේවි. ඔය ආටෝප වලින් ඈත් වෙන්න මිනිසා සරල නොවී බෑ මනෝෂ්.............

      Delete
  8. ඇස් දෙක පියාන ලොකු ලොකු හීන පෙන්නවලා අන්තිමට කියා දෙනවලු ඇස් දෙක පියාගන්න හැටිය, හෙක්. හීන බලන්න ඕන, එත් හීනේටම ඇලෙන්න හොඳ නෑ, හීන හැබෑ කරගන්න කැපවෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ඇත්ත සොමියා.....

      අපි අපේ ජීවිතේ නිකරුණේ විනාශ කරගෙන මැරිලා යනවා විතරයි. අනුන්නට ඕනේ දේවල් කරලා ඒ ටිකෙත්.........

      Delete
  9. මිනිස්සු බොරුවට සංකීර්ණ වෙලා අවට මිනිස්සුන්ගෙ සරල බවත් විනාශ කරනවා.

    අපූරුයි අදහස අසංක.

    ReplyDelete
    Replies
    1. ඔව් ප්‍රියා......

      තනියම සහ සරලව ඉපදිලා. අනුන්ට පේන්න සංකීර්ණ ජීවිතයක් ගත කරලා මැරිලා යනවා... අපි මහ මෝඩ සත්තු ජාතියක් කියලත් වෙලාවකට හිතෙනවා ප්‍රියා..........

      Delete
  10. සරළ විදිහට පෙනෙන, ගැඹුරු අර්ථයක් තියෙන නිර්මාණයක් ...!

    අද වෙන්නෙම අහිංසක , සරළ ජීවිත ගෙනියන මිනිස්සුන්ට ලොකු හීන පෙන්නලා ඔවුන්ව අතරමං කරන් එක නොවැ ....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සඳරූ,

      අදහස් දැක්වීමට... කතාව නම් ඇත්ත තමයි. අද ලෝකය ම ඒකට ලෑස්ති වෙලා ඉන්නේ... සරළ ව ජීවත් වෙන්න උත්සහ කරන කෙනෙක්ට වුණත් එහෙම වෙන එක ලේසි නෑ ඒ නිසා....

      Delete
  11. වටේ ඉන්න අය ඔක්කොම මොබයිල් පෝන් ඔබ ඔබා මොන මොනවද කරනව වටපිට බලන්නෙ වත් නෑ.ලොකුම ලොකු වැඩක් වගේ.වයිබර්ලු අරකලු මෙකලු.මට නං ඔය මොන ඔළුවෙ කැක්කුමක් වත් නෑ සැනසිල්ලෙ මනෝ පාරක් දාගෙන ඉන්නව.

    ReplyDelete
    Replies
    1. අන්න එහෙමයි හැලපේ ඉන්න ඕනේ............. හැක්

      Delete
    2. හැලපේ....අර කතාවක් තියෙන්නේ..බල්ලාට ඇති වැඩකුත් නැහැ...හෙමින් ගමනකුත් නැහැ කියලා. මගේ මොබයිල් එක මම ලන්ඩන් ගෙදරක දාලා ඇවිත් දැන් සති තුනක්. ඒක එහෙමම තියෙන එක ලොකු පහසුවක්. මම පෝස්ට් එකෙවත් එවන්න කියලා කිව්වේ නැහැ. පුදුම පහසුවක් බන්.

      Delete
    3. අරූ ඇත්ත කතාව.......

      මමත් මේ දවස් ටිකේ ම ෆෝන් එකෙන් අයින් වෙලා තමයි ඉන්නේ... පසුගිය මාස කීපයේ ම ටිකක් දරුණු විදිහේ පුහුණුවක හිටපු නිසා මාස ගානක් දුරකථන පහසුකම් අපෙන් අයින් කරා.ඉතින් දැන් දුරකථනය එක්ක වැඩි සම්බන්ධයක් ම නෑ.. ඒත් ආයෙම ටික ටික අපි ඒකට යට වෙනවා දැනෙන කොට නිදහස නැති වෙනවා නේද කියලා හිතෙනවා අරූ......

      ෆෝන් එකක් ලන්ඩන් යාලුවාට තෑගි දුන්නනම් හොදයි කියලා හිතෙනවාද???

      Delete
    4. ඒ තඹයක් නොවටීනා ෆෝන් එකක්. පාසැල් යන ළමයෙක් වත් ගාව එහෙම එකක් නැහැ. ඒකනේ මම කිව්වේ සිම්පල් ප්ලෑන් එකක් කියලා. නොවටිනා දේවල් වලට වටිනාකම් දෙන්න ගියාම සිම්පල් කැපිටල් වෙනවා බන්. ඔන්න ඕක තමයි වටහාගන්න ඕන. ඒක මූල්‍යමය වෙන්න පුළුවන්..වෙනත් දෙයක් වෙන්නත් පුළුවන්.

      Delete
  12. හොද වැඩේ...
    අප්පු හාමි නෙව දවසකටත් මිනිහා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නිමෝ...... අදහසට........

      Delete
  13. අන්න නියම උත්තරේ.. එක අතකට අපිට තියෙන දෙයක්ම ආයෙම අපේ ඇගේ ගහන්න දඟලන ගොයියොත් ඉන්නවා තමා එක වෙලාවකට..

    ReplyDelete
    Replies
    1. ඔව් දිනේෂ්.................

      අපි ජීවිත කාලෙම මේ වගේ මිනිස්සුන්ට රැවටෙන එකට වැඩිය කිසිම දෙයක් කරලා නැති ගානයි නේද ආයෙම කල්පනා කරලා බලද්දි.....??

      Delete
  14. හුඟක් විශේෂඥයෝ කරන්නෙ අපි දන්නදේ අපිටම ලියල දෙන එකයි එහෙම වෙන්නේපේ රටේ අයියලා ඔය විදේශ විශෙෂඥයෝ අපිට වඩා දන්නවා කියල හිතන හින්දයි..
    මේකෙ මං කියවලා තියෙන අනිත් වර්ශන් වලට වඩා මේක රසයි..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ලංකා...........

      තියෙන වෙලාවෙදිත් අපේ පැත්තට ඇවිත් අපිව දිරිමත් කරනවාට... බොහොම ස්තූතියි ලංකා......

      Delete
  15. මමත් පුංචි පහේ අප්පුහාමි කෙනෙක්...සිම්පල් සයිමන් ප්ලෑන් එකක් තියෙන්නේ..ඒක හරිම ලේසියි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම අරූ,....

      එහෙම ජීවත් වෙන්න මිනිස්සු කොච්චර ආස කරත් කරන්නේ නෑ... හරියට අර ගමේ අගය කිය කිය නගරේ ජීවත් වෙනවා වගේ තමයි... මිනිස්සු ආස දේවල් වල් තියෙද්දි ඒවා ගැන හිතින් විදව විදව ආස නැති දෙයක් කර කර ඉන්නවා. ඒක අපි වෙනුවෙන් කරන දේකුත් නෙමෙයි. හැබැයි ලෝකයා අපෙන් ඒක බලාපොරොත්තු වෙනවා. අන්තිමේට ගහපු බෙරේකුත් නෑ බෙරේ පළුවකුත් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ............

      Delete
  16. මමත් කවදා හරි ලොකු උනාම උපදෙසකයෙක් වෙන්න තමයි හිතන් ඉන්නේ

    ReplyDelete
    Replies
    1. මැලේ...............

      ලොකු වෙන්නනම් එපා මයේ දෙයියෝ............ මෙන්න වැන්දා.............!!!!

      Delete
  17. සරල වෙන තරමටම ජිවිතේ සුන්දරයි.එත් ඒ සරල ජිවිතේ අසීමිත ආශාවන් පස්සේ යමින් අපිම තමයි ව්‍යාකුල කරගන්නේ.

    ReplyDelete
    Replies
    1. අපි මේ දේ දන්නවා. දැන දැනත් කරනවා.. අපි සරල ජීවිත ගැන ලස්සන සින්දු ලියනවා. ෆිල්ම් හදනවා. කතා ලියනවා. ඒත් අපි සංකීර්ණත්වය පස්සේ යනවා. මිනිහා කියන්නේ මාර සතෙක් මනෝජ්..........................

      ස්තූතියි අදහස් දැක්වීමට.

      Delete
  18. මම අද ඉදල අප්පුහාමි කෙනෙක් වෙනවා...
    වැඩේ ලේසියි...

    ජ ය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. එහෙනම් මං උපදේශකයෙක් වෙනවා විදානේ......

      Delete

Related Posts Plugin for WordPress, Blogger...