Thursday, January 16, 2014

ඒබ්‍රහම්, මහත්මා, ලියනාඩෝ, නොබෙල්....උඹලා අඩාපල්ලා .....................




උඹ අඩාපන් ඒබ්‍රහම්,
උඹ වහල් භාවය ලෝකයෙන් නෙරපුවාට
මිනිස්සු කුලමල-ජාති-ආගම් වලින්
ඔළු උදුම්මවා ගනිමින්
අනෙකා පහත් කොට සලකනවා.
ඉතින් උඹ අහෝසි කළ වහල්භාවය මොකටද ඒබ්‍රහම්,
උඹ අඩාපන්.............................

උඹ අඩාපන්  මාර්ටින්,
උඹ අඩාපන් මහත්මා,
උඹලා ලෝකයට අවිහිංසාවෙන් සටන් කරන්න කියලා දුන්නට,
තාමත් ලෝකය මිනිස්සු මරාගෙන
ලක්ෂ ගණන් යට කරගෙන යුද්ධ කරනවා.
ඉතින් උඹලා කියලා දුන්න අවිහිංසාව මොකටද මාර්ටින්, මහත්මා
උඹලා අඩාපන් ..........................

උඹ අඩාපන් සොක්‍රටීස්,
උඹ ලෝකයට දේශපාලනයක් කියලා දෙයක් හොයලා දුන්නට
මිනිස්සු ඒකට මුවා වෙලා මහජනතාව හූරාගෙන කනවා.
වරප්‍රසාද ලබන අතලොස්සක් විතරක් සැප ගන්නවා.
ඉතින් උඹ කියලා දුන්න දේශපාලනය මොකට ද සොක්‍රටීස්
උඹ අඩාපන් ........................

උඹ අඩාපන් ලියනාඩෝ,
උඹ කොච්චර ලස්සන චිත්‍ර ඇන්දත්,
මිනිස්සු උඹ ඇදපු සමහර චිත්‍ර වල රූප අරන්,
යුධ ටැංකි හදාගෙන මරා ගන්නවා.
උඹේ මොනාලිසා තාමත් එතනමයි.
හැබැයි උඹේ කටු සටහන් යුද්ධ කරන යකඩ යක්කු වෙලා.
ඉතින් උඹ ඇදපු චිත්‍ර මොකට ද ලියනාඩෝ.
උඹ අඩාපන් ........................

උඹලා අඩාපල්ලා නොබෙල්, එඩිසන්, අයිසැක්
උඹලා මහා සොයා ගැනීම් ලෝකයට කරත්
මිනිස්සු ඒවා අරන් ආයුධ, යුධ මෙවලම්, උපකරණ හදාගෙන
තවත් මිනිස්සු මරන්න අවි අමෝරාගෙන යුද්ධ කරනවා.
උඹලා නොහිතපු තරම් උන් ඒ තාක්ෂණය දියුණු කරගෙන
උඹලා හීනෙන්වත් නොහිතරපු විදිහේ යුද්ධ කරනවා
ඉතින් උඹලා හොයාගත්ත දේවල් මොකට ද
උඹලා අඩාපල්ලා..........................

මිනිසුන් හිනාවෙනවා, උඩ පැන පැන හිනාවෙනවා.
උඹලා අඩාපල්ලා.
මේ මිනිසුන් හිනාවෙන්නේ වෙන කාටවත් නෙමෙයි.
ඒ උඹලාටයි මෝඩයිනේ...........

කසුප් අනුරාධ

.

6 comments:

  1. එහෙම කියන්න හොදද?? මේ තරමින් හෝ තියෙන්නේ ඒ අය නිසයි.. මරු අදහස. මගේ අදහස නිකං කිව්වේ හරිද??

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස සීයට සීයක් හරි. ඒත් ඒක ටිකක් වෙනස් විදිහට දකින්නයි අපිට ඕනේ වුනේ. ඇත්තටම ඒ මිනිස්සු ඒවා සොයා ගත්තේ සහ කළේ ලෝකයේ හොදට වුණාට මිනිස්සු ඒවා භාවිතා කරන්නේ වැරදි විදිහටයි.

      Delete
  2. ලෝකයේ ඒ පරමාදර්ශී මිනිස්සු ලෝකයට රඟන්න රඟමඬලක් හදලා දුන්නා.අපි ඒකේ රඟමින් ඔවුන්ට හිනා වෙනවා නම් අපි හිනාවෙන්නේ අපිටමයි.www.amuthusithuwili.wordpress.com

    ReplyDelete
    Replies
    1. ඇත්ත අමුතු,

      අපිට ඇත්තට ම අවශ්‍ය වුණේ අමුතු විදිහට හිතන්න. ඇත්තට ම මෙහෙම පැත්තකුත් තියෙනවානේ. මෙතන දී වැරදි ඒ මිනිස්සු නෙමෙයි අපි තමයි. ඒත් මේ විදිහට කිව්ව ම මිනිස්සුන්ට ඒක ටිකක් දැනෙනවා. අමුතුට ඒකට ටිකක් තරහා ගියා වගෙයි.

      Delete
  3. සුපිරියි.... නිර්මාණය

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නලීන්,

      ඔබගේ අදහස් අපි ව නිතරම දිරි ගන්වනවා. ‍බොහොම ස්තූතියි මේ පැත්තට ඇවිල්ලා කමෙන්ටුවක් දාලා අපිට සහයෝගයක් දක්වනවාට

      Delete

Related Posts Plugin for WordPress, Blogger...