Tuesday, January 14, 2014

සමනල වැව් තෙරේ සඟවුණ අභිරහස.....................



මාවියරාව ගම තරමක  පිටිසරය 
පැල්පත පිහිටියේ වෙළ   අද්දරය
ගොම පිරියම් කළත් ඇත්තේ   සිරිකතය
අඟ හිඟ වුණත් අටු පිරුනේ වී  වලින

අයියා මලෝ විසුවේ එහි   සමගියෙන
අම්මා රැකගත්තෙ දහදිය වූ  ගොව්තැනින
අයියා මලෝ රැකගත්තේ   හොඳ හිතය
දහදිය වගුරුවා දිනුවේ  තුන්වේල

ගැහැනුන් ගන්න වයසේ උන් පසු වුවද
කලබල නොවී සිටියේ බැඳි  සෙනෙහසින
පනස්වියට ආසන්නව  මල්ලීට
අඹුවක් ගෙනාවයි අම්මාගෙ  පෙරැත්තෙට

අයියා මලෝ බඳි සෙනෙහේ  දෙදරන්න
නැන්දා ලේලී කෙහෙවලු දෙක  පැටලෙන්න
පටන් ගත්තා අඹු ආවට පසු ගෙදර
තුන් දෙන විරසකව මල්ලී පිටවුණි  ගමෙන

බෙලිහුල්ඔය ඉවුරෙ පැල්පත නව ඉදි   කෙරිණ
අඹු කීමට වුණත්  අතහැරියේ  නැත නිවස 
නැත අමතක කළේ සුවදුක්   විමසන්න 
මල්ලී ආවා හැම සතියෙම  ඉරිදාට

කාලය ගෙවුණි හීයක වේගෙන්වාගේ                    
විරසක වුණා අඹු-හිමි සැම නිති  වේලේ
මල්ලී අතුරුදන් බව අයියගේ කන  වැකුණේ
අයියයි හිතවතුන් හෙව්වා මුළු  ගම්මානේ

ගත විය දෙසතියක් නැත මල්ලී කොයි  ලෝකේ
සමනල වැව් තෙරේ පාවෙන මළ සිරුරේ
වග තුග කන වැකීඅයියා යන වේලේ
අහෝ දෙවියනේ අයියා සිහිසුන්  වූයේ

ගල් ගෙඩියක් ගැට ගසාගෙන ඔහු තම සිරුරේ
 සමනල වැවේ ගොඩ වූ රොන් මඩ පතුලේ
සිරවී සිටිය දසුනින් මුළු  ගම්මානේ
එකම කඳුළු ගංගාවක් ගලා  ගියේ

දිය කබරයන් ඩැහැගත් කුණු වුණ සිරුර
පසක් කළේ අනියත දිවියක වරුණ
නැති බැරිකමක පැවතුණ අපමණ  තරම
අදත් අභිරහසක්ය ඔහුගේ මළ  ගමන

(සමනල වැව් පතුලේ සිරවී වසර පහකට පෙර මිය ගිය අදටත් අභිරහසක්ව පවතින අහිංසක ගැමියා වෙනුවන් පබැඳීමි)

කාංචනා චන්ද්‍රසේකර




      

8 comments:

  1. සමනල වැවේ අභිරහස් සිද්දිය තවම මතකයි. ඒ දවස්වල අපි ඔය ගැන කතාකලා.
    සමනල වැවේ ජල කාන්දුවීමේ අභිරහසකුත් තිබුනා. ඉංජිනේරුවරු කොච්චර උත්සාහ කලත් එම ජලය කාන්දුවන්නේ කොතනින් කොතනටදැයි සොයාගන්නට නොහැකි උනා. ඒ අභිරහස සොයාගත්තේ රාත්‍රී කාලයේ මසුන් මරන්නට ගිය දීවරයෙකුයි, ඔහු සඳ එළියෙන් දැක තිබෙනවා වැවේ යම් තැනක දිය සුලියක්. ඒ සුලිය තිබූ තැනින් තමයි ජලය කාන්දු වෙලා තියෙන්නේ නමුත් අද වෙනකං මේ දිය කාන්දුව සම්පූර්ණයෙන් නවත්වන්න කාටවත් බැරි වෙලා තියෙනවා..

    තව දෙයක් සමනල වැව ඉස්මත්තට වෙන්න ලස්සන නිවාඩු නකේතනයක් තියනවා මේකේ සාමාන්‍ය කෙනෙකුට ගිහින් නවතින්න බැහැ නවතින්න යන්න ඔනනම් අඩුම ගානේ පලාත් සභාවේ මන්ත්‍රී කෙනේක් වත් වෙන්න ඕන. මේ බංගලාවේ එක ලග කාමර දෙකක් යා කරමින් දොරක් තියෙනවා මේක දොරක් කිව්වට එකම උලුවස්සෙ සවි කරපු දොරවල් දෙකක් කාමර දෙකේ අයම එකතු වෙලා තමයි මේ දොරවල් දෙක අරින්න ඕන. මේ කාමරදෙක පාවිච්චි කරල තියෙන්නේ සිනමා සක්විති කෙනෙකුයි චෞර රැජිනකුයි කියල තමයි කියන්නේ..

    ඔබගේ සමනල වැවේ කවිය කියවපුවම මෙව්වා නිකං මතක් උනා..
    ලස්සන කවියක්

    ජය වේවා!!!

    ReplyDelete
    Replies
    1. විදානේ.........ඔබ රත්නපුර පැත්තට නෑකම් කියන කෙනෙක්දැයි හිතෙනවා විටෙක.සමනල වැව සම්බන්ධව ඔබ කියූ බොහෝ දෑ ගැන මා දැනුවත්.සමනල වැව සහ බංගලාවත් ඒ අවට ප්‍රදේශයත් ඇත්තටම හරිම සුන්දරයි.සමනල වැවේ වැව් බැම්මට මදක් ඉහළදී හිරිකටු ඔයයි බෙලිහුල්ඔයයි එකතු වන ස්ථානය හමු වෙනවා.ඒකත් ඉතාම සුන්දර දර්ශනයක්.සුන්දර සමනල වැාව් සැඟවුණ අභිරහස් වලින් එකක් පමණයි මා කවියට නැගුවේ..................

      බොහොම ස්තුතියි ඔබගේ ඇගයීමට
      ්‍

      Delete
  2. ඔය කතාව මමත් අහල තියෙනව..කවි ටිකෙන් මුළු කතාවම තේරුම් ගන්න පුළුවන්..

    ReplyDelete
    Replies
    1. උමේෂ්........මේ අභිරහස් මරණයට ගෙදුරු වුණේ අහිංසක දුප්පත් ගැමියෙක්.මේ මරණය තවදුරටත් අභිරහසක් වෙන්න ඔහුගේ දිළිඳුකමම හේතුවක් වෙන්න ඇතියි කියලයි මගෙනම් අදහස.....ස්තුතියි මේ පැත්තට ගොඩවුණාට





      Delete
  3. ඉස්සර කවි කොල මතක් වුනා. නරකද ටිකක් අච්චු ගහලා බෙදන්න පටන් ගත්තොත් :D

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් තමයි අරූ.......ඒත් වෙලාව තමයි නැත්තෙ.‍
      බොහොම ස්තුතියි මේ පැත්තට ඇවිත් කමෙන්ටුවක් දැම්මාට............

      Delete
  4. නොදන්නා මුත් කවියට පසුබිම් වූ වග - තුග
    කවි පෙළ කියවූ නිසා කඳුළක් නළියයි නෙතු අග

    සංවේදී කථාවක්,බොහොම අපූරුවට කවියට නඟල තියෙනවා.
    අපේ සුභ පැතුම් ...!

    ReplyDelete
  5. මේ කවියට පසුපිම් වූ ගැමියාගේ බිරිඳ හදිසියේ මහ මගදී මට මුණගැහුණා.ඇත්තටම හිත ගොඩක් කම්පා වුණා.ගෙදර ඇවිත් කවියට නගන්න හිතුවා ඒ සිදුවීම.............ඉතින් කවී ස්තුතියි ඇගයුවාට.........

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...