Tuesday, November 15, 2016

බජට්......( ජය ශ්‍රී, 'ශීලා' ගීතයේ තාලය )



ආදර බජටය, මේ ගීතයෙන්වත් දැනගන්න
මගේ හදවතේ දුක...


බැලු බැලු හැම අතම හොල්මන් වාගේ
අයවැය සේයාවන් මසිතේ ඇඳේ
සුළඟේ පාවී සුසුමන් යාවී
දැනුනොත් දෙනවාදෝ සැනසුම ආයේ

මා හට සැරවීලා හොයි, කොහෙදෝ යන්නේ මෙසේ
හිත රිදවන්නෙපා, අය වැය ආදරේ
කෙළවීලා හොයි, මම ඉන්නේ කෙසේ
දේවීදෝ සැනසීම ආයේ

රටම මිරිකීලා, ගිනිගෙන වටේ
බිය සහ වියදම, දැවටී වතේ
දුරකතනයකින්, අමතනු බෑ දැන්
ආතල් ගන්නෙමි තනි ලෝකයේ

මා හට සැරවීලා...

ගිනිගත් සිහිනෙට එන විට තවමත් රස්නෙ දැනේ මට
හීනෙන් සැනසුම් ලබනටවත් වරම් ලැබේද මට

මේ ලස්සන අය වැය තවකෙකු හට දුක් දෙන්න එපා
ඒවීදෝ...ඒවීදෝ...ඒවීදෝ සැනසීම ආයේ

බජට් බජට් මේ, බජට් බජට් ඕ
බජට් බජට් මේ, බජට් බජට් ඕ හෝ හෝ හෝ

බජට් බජට් මේ, බජට් බජට් ඕ
බජට් බජට් මේ, බජට් බජට් ඕ හෝ හෝ හෝ

දේවීදෝ සැනසීම ආයේ...

-අසංක ගයාන් අබේසිංහ-

Sunday, November 13, 2016

අපිට නං ඒක අහපු වෙලාවේ ඉඳලා නින්දක් නෑ.................



මේ තරම් බය හිතෙන්න
හොල්මන් කතාවක් කියද්දිත්
ඔහොම නිදාගන්නේ කොහොමෙයි..........?
අපිට නං ඒ කතාව අහපු වෙලාවේ ඉඳලා
හරිහමං නින්දක් නෑ...... රෑටවත්.............


කසුප් අනුරාධ



රූපය - http://www.gettyimages.ie/photos/lankan-minister?excludenudity=true&sort=mostpopular&mediatype=photography&phrase=lankan%20minister


.



Thursday, November 10, 2016

කළ්‍යාණ මිත්‍ර.....?





සිප් හලෙහිදි හමුවී
දෙසිතක් එකක් වෙලා
එකම පතේ බත් කෑ නුඹ දැන් කෝ
සුහද මගේ මිතුරේ...

ලොව දහසක් අතරේ
ඔබ වෙනුවෙන් කැපවී
සිටියේ මා පමණයි දුක සැපෙහිත්
මතකද මගෙ මිතුරේ...

මාරුතයක පැටලී
ජරපත් සමාජයේ
සිටියදි ගලවාගත් මා මතකද
ඔබට මගේ මිතුරේ...

අද මා අඳුරක වී
යා යුතු මග නොපෙනේ
පාර කියන්නට නුඹ නැතිවාදෝ
දැන් මාගේ මිතුරේ...

ආලෝකය නැතිදා
සෙවණැල්ලද සැඟවේ
එලෙසින් ඔබ මට පිටු පෑවේදෝ
කියන් මගේ මිතුරේ...




අසංක ගයාන් අබේසිංහ

Friday, November 4, 2016

එපා වෙන්නැති ඕන්නෙත් නැති ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා....




ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා
තෙරක් නැති ගංගාව සේ
ඉමක් නැති මහ සයුර සේ
නිමක් නැති සංසාරයේ
විටෙක හෙමිහිට - විටෙක විගහට
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................

සුමුදු මල් සිප මද සුළං යනවා
කටු අකුල වැසි බලා අයැදිනවා
පොළව අහසට තවත් දෙස් දෙනවා
ඒ කිසිත් නොපෙනෙනා නොබලන
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා..................

අතට ගත් දේ අතින් ගිලිහෙනවා
සිතු පැතූ දේ ඇවිත් සනහනවා
කදුළ සිනහව අතර සමවෙනවා
එපා වෙන්නැති ඕන්නෙත් නැති
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................




තුෂාර විතාරණ



.

Tuesday, November 1, 2016

එපා ආදරය...



රාග දෙනෙතින් බැලූ සඳ මා
කෝල බැලුමන් හෙලයි මා වෙත
කිම ළඳේ මේ අධම ලෝකේ
ආදරය මා වෙතට පෑයේ

නුරා දෙනෙතකි සොයන්නේ මා
ඔබෙන් හෝ අන් ළඳක් වෙතකින්
පලක් නෑ මට ප්‍රේම විජිතය
එය වසා දැන් බොහෝ කල් වෙයි

පෙර කලෙක යම් කෙනෙකු වී නම්
ආදරේ පිළිරුවක් විලසින්
මාද එලෙසම සිටියෙමි
ආදරේටම පණ පුදා

ඒත් දැන් මා හිතේ ඉඩ නැත
දරාගනු බෑ ආදරේ මට
පටන් චපල වු ප්‍රේම ලෝදිය
ගැලූ පසු මා හද තුළින්...

 

අසංක ගයාන් අබේසිංහ

Sunday, October 30, 2016

හතරවැනි හයිකුව........




නැතිවුණත් කමක් නැහැ පාළුවනං
තනිව උන්නාට වඩා අගෙයි මේ මල් පොකුර
මේක වෙන්න ඇති නේද ජීවිතය ?


තුෂාර විතාරණ


.
පසු සටහන - 2016 ජූනි 11 තුන්වැනි හයිකුව ලියුවාට පස්සේ https://kurutugegeepawra.blogspot.com/2016/06/blog-post_11.html (මාස 4.5 පමණ කාලයකට පෙර) බ්ලොග්කරණයෙන් ඈත් වී සිටි නමුත් නැවතත් බ්ලොග්කරණයේ යෙදීමේ හැකියාව පිළිබද ව උත්සහ කොට බැලීමට තැබූ සටහනක් ලෙස මෙම හයිකුව සලකන මෙන් කාරුණික ව ඉල්ලා සිටීමට කැමැත්තෙමි. 

Friday, October 28, 2016

ජන්දෙ දීල උඩට ගත්තෙ...



ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්න
වසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්න
දැන්ම හිතල මතල හොඳට වැඩට බහින්න
හිතන්න මේ රට කරවන්න
හිතන්න මේ රට කරවන්න

අපෙ ජහ මනයා අනේ මෙහෙම කියන්නේ
දැන් අතේ මිටේ පිච්චිය නෑ කොහොමද ඉන්නේ
අපි කොහොමද රෙදි ඇඳගෙන දැන් මහමග යන්නේ
ඇයි අපි ජන්දය දුන්නේ උඹලට ජන්දය දුන්නේ

ඇයි ජහ මනයෝ උඹල ඔහොම නටන්නේ
ඇයිද උඹල අපෙ රජයට ගින්දර දෙන්නේ
දෙදහස් විස්සක් වෙනකංවත් අපි ඉම්මු දෙවියනේ
මෙහෙම කිව්ව හැටියෙ ජය මනයා ඇඟට ගොඩවුනේ

ජන්දෙ දීල උඩට ගත්තෙ මෙරට හදන්න...

ජහ මනයගෙ වැඩ පුදුමයි දැන් සිහිවෙනවා
පෙර ආණ්ඩුවත් ඇඩා නැතුව ගෙදරම යැව්වා
කෙළෝගන්නත් ලෝබයි බෙනිෆිට් සිහිවෙනවා
පැලැස්තරයක් ගහලාවත් අපි විසඳුම් දෙනවා

රට අරාජිකයි ඒත් අපිට උත්තර තියෙනා
වැට් එකකුත් ගැහුවා ඒකෙම අපිත් එල්ලුනා
කට ළඟටම එන්නා දැන් ජහ මනයා පිරෙන්නා
එය දුටු අපෙ ලොක්කා මරහඬ දීගෙන පැන්නා

ජන්දෙ දීල උඩට ගත්තෙ මෙරට හදන්න...

මොකද දෙවියනේ ඔහෙලට වෙලා තියෙන්නේ
ඇයි අපෙ රට මේ විදිහට දැන් රුයිතෙට යන්නේ
එය ඇසුණු ගමන් ඇඟේ මාළු ගඟේ නටන්නේ
ජහ මනයට ලොක්කා මේ විදිහට උත්තර දුන්නේ

මම දන්නෙ නෑනෙ කිසිම දෙයක් පත්තර එනකං
දැක්ක ගමන් මම මේ ආවෙමිය දුවං
මටත් බලයක් නෑ වාගෙයි දැන් දැනෙන්නේ හිටං
ලොක්ක එහෙම කිව්ව ජහ මනයට තේරුණ ගොංකං

ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්න
වසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්න
දැන්ම හිතල මතල හොඳට වැඩට බහින්න
හිතන්න මේ රට කරවන්න
හිතන්න මේ රට කරවන්න

-අසංක ගයාන් අබේසිංහ-
(තාලය: ඇන්ටන් ජෝන්ස් මහතාගේ 'සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න' ගීතය )

Tuesday, October 25, 2016

ඈ දනී නම්...!!!





නිලුපුල් නෙතක දැඟලිලි
හෙමින් සැලෙනා කෙහෙරැලි
සුර ලොවක සිතුවිලි
සිහිල් කිතියකි නැළවිලි

මිහිරි හැඟුමන් පෙනි පෙනි
කෙසේ කියමිද සිතමිනි
වියළි තොල් යුග තෙමමිනි
අද මගේ හද තනියෙනි

මෝසම් සුළං රැළි
හමනා රැයක සැණකෙලි
ළඟින් හිඳි නම් වෙළි වෙළි
සිත ඇදුම් දෙයි ගිනි ගුලි

හිතින් පෙම් කල තරමිනි
ඇය දනී නම් සතුටිනි
හාදු වැස්සක තෙමි තෙමි
මමත් සිඹිනෙමි මල් කෙමි





අසංක ගයාන් අබේසිංහ

Thursday, October 20, 2016

කුරුටු සෙත්..........!



අරසර කිවියර නැණ ඉසුරින්දා
සුලකර කවි පදවැල් මන නන්දා
පළකර සරසවි බැලුම පසින්දා
හැමවර මනකළ පද පටබැන්දා

රහු මුව පත් සිසි කිරණසෙ ගුවනේ
කවු පබැදුම් සැඟවී ගිය ලෙසිනේ
පවු නොම කළ සරසවි කිවියරණේ
එවු යුදයට කවි පබඳින අරණේ

පස්වන නැකතින් පන්හිඳ ගෙනතා
කස්තුරි කුංකුම චන්දන කලතා
වස් නොව සෙත් දෙන කරුණා මුදිතා
ඇස්වහ දොස් දුරු වී ජය නියතා



ඉසුරි


.

Tuesday, October 18, 2016

- ජීවන මං පෙත -



ජීවිත උදෑසනේ
පිරිසිදු හිත් අහසේ
කිරි සුවඳින් පිරි
මුව මඳහාසෙන්
උණුහුම් තුරුළක වේ...

ජීවිත දිවා යමේ
කිළිටි වු හිත් ගඟුලේ
කිමිදී තෙමි තෙමි
දුගඳ වු හැඟුමෙන්
සරන්නෙ වනන්තරේ...

ජීවිත සැඳෑ සමේ
අසරණ හිත් දැහැනේ
කියාගන්න බැරි පව් කඳ තනිකම
රජයන වීදි දිගේ
සැනසුම මිරිඟුව වේ...



අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...