Tuesday, August 9, 2016
Thursday, July 21, 2016
ඈ කොහි අත ගියේදෝ......
හිතට දැනුණු සෙවිල්ලේ
නෙතු පියවා නිදැල්ලේ
වියෝව වූ ඇසිල්ලේ
මං හැඬුවා සඳැල්ලේ
ඈ කොහි අත ගියේදෝ
අන් සතු වී නොවේදෝ
මගේ වරද කියාදෝ
නිති විමසුම් වුණේදෝ
ඉතින් කුමක් දැන් කරම්
ඉවසූ හැටි මං දනිම්
තවත් මෙසේ බැරි තරම්
පුරමි මමත් මහණ දම්
වෙනත් ළඳක් හිතේයා
ගිනි අවුලා සිටීයා
මහණ හිතුම් කැලේයා
මට නියවා ගියෝයා
-අසංක ගයාන් අබේසිංහ-
Sunday, July 3, 2016
සිතින් පැන සෝ සුසුම් යයි පැරදී.............

ලවන පහසින් සැනින් කුල්මත් වී
සවන අමදින සුගායන සන් වී
දුවන සිත මහ මේරුවට සම වී
පවන සිප නැවතී නිසොල්මන් වී
නයන ඉඳුවර කොමල රේඛාවේ
ගයන සුමියුරු ප්‍රේම ගී රාවේ
පියන නෙතු රැය පහන් කර යාවේ
කියන නොකියන රහස් ඇසුනාවේ
මදුර කෝමල වුවන සිප සැනසී
අමර සුව ගෙන ගත පුරා ගැවසී
මයුර ලීලා මඬලකට පිවිසී
පවර තුනු සිත කළණ ගුණ පැවසී
ගතින් වෑහෙන මදන මී සුවදී
යහන් සරහා අමා සුව ගෙනදී
ඉඳින් මල්සර දැහැනකට රැයදී
සිතින් පැන සෝ සුසුම් යයි පැරදී
ඉසූ
.
Sunday, June 26, 2016
යළි නොයෙන කාලයට හිත ඔහේ දුවනවා…....

රැළි වැටුණ දෑත් යුග
ළතැවුලක් මවනවා
ගෙවුණු කාලය කෙරේ
හිතින් ලොබ බඳිනවා……
කෙළි කවට කම් කෙරූ
බාල විය හැඟෙනවා
හැම අතින් ගත මහලු
වන බවක් දැනෙනවා……
ජීවිතේ ආ මගේ
මිතුරු හිත් තියෙනවා
ළඟ නැතත් බොඳ වෙවී
මතකයේ රැඳෙනවා….
නිශා යාමය කරා
ජීවිතේ ඇදෙනවා
යළි නොයෙන කාලයට
හිත ඔහේ දුවනවා…
ඉසූ
.
Saturday, June 11, 2016
Wednesday, June 8, 2016
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්
මොනවා.............
ඇමරිකාවටත් ගෑණියෙක්.
ගෑණු විදිහට හිතන ගෑණු වැඩ කරන
දවසක් ඒවිද ඇමරිකාවට...............?
මේ අර ඇමරිකාව නේද...?
ලංකාව, බංග්ලාදේශය, පකිස්තානය යෑ
අනික් අතට ජර්මනිය තියා එංගලන්තය යෑ............
ඇමරිකාව යකුනේ ඇමරිකාව........
ලෝකෙම පොලිස්කාරයා
ලෝකෙම සල්ලිකාරයා
ලෝකෙම හයිකාරයා
ලෝකෙට ම සද්දෙ දාන මර්සියා
කොහොම තියෙයි ද
පොලිස් නෝනා කෙනෙක්
සල්ලිකාර ඇන්ටි කෙනෙක්
හයිකාර මැඩම් කෙනෙක්
ඒ විතරක් යෑ මර්සි ආච්චි කෙනෙක්................. හැක්
ධවල මන්දිරයට භාර ගන්නා
පළමුවැනි කාන්තාවලු......
මොන පිස්සු ද ?
මෙච්චරකල් පිරිමි පත්වුණාට
ධවලමන්දිරය භාරගත්තේ ගෑණු තමා.
ඒ විතරක් නං මදෑ
රටම පාලනය කළෙත් ගෑණු තමා.
හැබැයි මේකත් එක විදිහක
රෙකෝඩ් එකක් නොකියත් බැහැ.
මොක ද තුන්වෙනි පාරටත්
ඇමරිකාව භාරගන්නා එකම එක
ජනාධිපති(නිය) තමයි මේ....................... (ගොඩක් විට)
කසුප් අනුරාධ
.
Tuesday, May 31, 2016
පාන්දර දිලෙන පිණි ඔහේ යනවා යන්න.............
දෙනෙත රූරා වැටෙන කඳුළු කැට ඉකිහගයි
මේ හුළං තව තවත් පහන්සිළු අවුලවයි
පාළුවට කවුළුපත් හැරලන්න බැරි හැඩයි
රාස්සිගේ අව්ව විත් සියොළඟම දවාලයි
එපා රෑ නෙත ඇදුනු හීන කැට පාගන්න
පාන්දර දිලෙන පිණි ඔහේ යනවා යන්න
හීන කතරක පේන මිරිගුවට පණ දුන්න
ඉඩෝරෙට කොළ හැළුණු ගස මමයි පිළිගන්න
හිම පියළි වැටේවිද ඉරි තැළුණු බිම් මතට
සරා සඳ නැගේවිද කළු ගැහුණු කඳු අගට
පිපුණු මල් තියේවිද සමනලුන් නැති කලට
හෙටක් කුමකට මෙහෙම, එපා එළිවෙන්න හෙට.........
තුෂාර විතාරණ
.
Sunday, May 29, 2016
Wednesday, May 18, 2016
ඔබ සුළඟ වගේ......
ගත සනසා ඕවිල්ලේ
හිත සනසා සිලිලාරේ
නෙත සනසා නැළවිල්ලේ
ඔබ ඇදුනා සුළඟ වගේ
ගිය හුළඟක් යළි ඒදෝ
සිසිලස යළි දැවටේදෝ
අහංකාර නෙතක බැලුම්
හැඟුම් පුබුදුවයි...
රැය සරසා රන් එළියේ
තරු ගවසා මල් වැටි සේ
උදා ඉරක් නැගෙන පැයේ
ඔබ සැඟවුණි සඳක් වගේ
ඒ සඳ යළි පායයිදෝ
රන් එළි යළි දිස්වෙයිදෝ
ආල හැඟුම් කොඳ කැකුළක්
හද තුළ පුබුදයි...
නිදි වරමින් රෑ යාමේ
සරමි සිතුම් වනන්තරේ
ගිනියම් වූ යහන කොනේ
ඔබ පිපුනා මලක් වගේ
නිදි ලොව මට යළි එයිදෝ
වන සරණක් දිස් වෙයිදෝ
මංමුලාවු හිත ඇදෙන්නෙ
ඔබේ දෙසටමයි...
අසංක ගයාන් අබේසිංහ
Monday, May 16, 2016
සිල්වා පව් මල්ලී......................
සිල්වා හොදයි මල්ලි...................
ඔය වැදලා ගත්තු ඇමතිකමක් කරගෙන
පොරටොක් දිදී හිටියට
අතට අහුවෙච්චි රාජ්‍ය සේවකයෙක් දෙන්නෙක්
කොහු ළණුවකින් ගස්බැන්දාට
මාධ්‍ය කාරයන්ට සන්දර්ශන පෙන්නලා
උසාවි ගානේ කරක් ගැහුවාට
මාධ්‍ය ආයතන අස්සේ රිංගලා
සුලුදිය වලින් නෑවාට
පාර්ලිමේන්තුවේ ඉන්න එක දෙයියෙක්ගෙවත්
ලේ බින්දුවක්වත් හෙල්ලුවේ නෑනේ මල්ලී................
සිල්වා හොදයි මල්ලි...................
ස්ටේජ් එකක් මයික් එකක් දැක්ක සතුටට
කුණුහරපයක් දෙකක් කිව්වාට
නොට්ටිගේ පුතා කරපු පව් හින්දා
කතා හදාගත්තාට
යූඑන් එකෙන් එවපු මිනිහෝ නැති උන්ට
තනිරකින දතකෑවාට
කැළණිය පැත්තේ අතුරපු සිමෙන්තිකැට තියා
ගල්කැටයක්වත් ගැලෙව්වේ නෑනේ මල්ලී................
සිල්වා පව් මල්ලී.................
එකට කකා හිටපු උන් ගැන ෆයිල් අරගෙන
පැමිණිලි දදා ඇවිද්දාට
තමන්ගේ පොල්පරාල වහපු උන්ගේ
පොල්කෙන්දත් පෙන්නුවාට
මාධ්‍ය සාකච්ඡා ලෑස්ති කර කර
රහස් කතා කිව්වාට
පාර්ලිමේන්තුවේ හිස්වුණ පුටුවකටවත්
තාම සිල්වා ව ගත්තේ නෑනේ මල්ලී.............
කසුප් අනුරාධ
.
Subscribe to:
Posts (Atom)







