Friday, November 7, 2014

හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී .................



පායන ඉර කඳු මුදුනින් ඉසුරු අරන් වතුයායට
දවස් ගණන් වැඩ තියෙනවා දළු ඇත්තං එකයායට
පාන් රොටී නොපිරුවාට බඩකට අපෙ ඇති ගානට
හිත පිරිලා තිබ්බා සාමි පවුලෙ හිනා මල්යායට

ආඩවනේ ආපු කන්ද ලැයිම් කාමරේට උඩින්
අරන් ගිහින් මගෙ උන් ටික පරිස්සමට උන්නු තැනින්
අනේ සාමි ගියේ නැත්තං වත්තේ වැඩට කියලා උදෙන්
උන් දෙන්නට නොරිද්දන්න ඉන්න ඇහැකි උන්ට උඩින්

කන්න ජාති එමට ඇතිය ජීවිතේට දැකලා නැතී
තෙල් බත් බඩ පුරවාදායි හරි පදමට හොද්ද නැතී
ගවොං, ජීන්ස් කොතෙක් ඇතත් චීත්තයක් දැක්කෙ නැතී
හැට්ට අපිට කවුරු එවයි කැහැටු අතට සයිස් ඇතී

ගිලින පිට්ටු උගුරු දණ්ඩ හිර කරනවා කන්න බෑ
බඩ පිරිලා මොකට පපුව ගිනිගහනවා ඉන්න බෑ
අපිට පිහිට කන්දසාමී දෙයියෝ මේවා දෙන්න බෑ
අපේ වැරදි තිබුණ වුණත් පොඩි උන් යටකරලා බෑ

කන්න ජාති ඇදුම් ජාති ලොරි පටවන් ගෙනාවාම
ඔපිස් එකේ නෝනලා ටික ඉස්ටෝරුව පිරෙව්වාම
ඉවර වෙන්නේ කොහොමද අපි ගාල් කරලා තියව්වාම
මීට වඩා හිතට හොදයි පස් කන්දට යටවුණාම

කොට්ට මෙට්ට බූල් රෙද්ද දත්මදින්න බුරුසු කැටී
මෙච්චර කල් දැනුණ සීත මහත්තුරුන් දන්න හැටී
කන්ද තරං දුක්ගින්දර මෙතෙක් කලක් බලං හිටී
මහත්තුරුනි ටිකක් කලිං ආවානං හුඟක් වටී ............


තුෂාර විතාරණ



පසුසටහන - බෙරගල නගරයෙන් පහළට ඇති මාර්ගය, එනම් බෙරගල වැල්ලවාය මාර්ගය පැය විසිහතරේම පොලිස් ආරක්ෂාව යටතේ වාහන පාලනය කොට ඇත. ඊට ප්‍රධානතම හේතුව එම මාර්ගය භාවිතා කරන ප්‍රමාණය පාලනය කිරීම වුවද එමගින් නායයාමේ දර්ශන නැරඹීමට එන සංචාරකයින් නැවැත්වීම සිදු කරයි. එසේම සහනයාත්‍රා සහ වෙනත් නම් වලින් මාධ්‍ය නාලිකා දෙවනත් කරමින් කෑ ගහනා පිරිස ගේනා නානාප්‍රකාර බඩු භාණ්ඩ නිසි තැන්වලට හරවා යැවීම ද මෙම ස්ථානයෙන් ම සිදුවේ. 

බෙරගල මාර්ගය දෙපස කිලෝමීටර් තුන හතරක් යන තුරු හල්දුම්මුල්ල පැත්තට වන්නට පාර දෙපස තවමත් නවතා ඇත්තේ ආධාර රැගෙන එන ලොරි, බස් රථ ය. ඒවා පුරවා ගෙනෙන ආධාර කළමනාකරණය මේ වන විට රජයේ නිලධාරීන්ගේ ප්‍රධානත ම කාර්ය වී හමාරය. (ඒවා ජනතාව අතර බෙදා හැරීම පිළිබද කතා කිරීම අනවශ්‍ය යැයි සිතමු.) මේ අහිංසකයන්ගේ ඥාතීන් පස්කන්දකට යටවී මියගොස්ය. දැන් ජීවත් වන අවතැන්වූ අහිංසකයින් ටික හෙට අනිද්දාම මිය යන්නේ මේ ආධාර කන්දට යටවීමෙනි.................

අපි ඒ තරම් දුක හදුනන ජාතියක් වන්නෙමු. තම ජනතාව අවතැන් වූ පසු මේතරම් දුක දැනෙන ජනතාව වෙත කුගැගීප හී ප්‍රණාමය මෙසේ ප්‍රකාශ කරමු.......

.

Wednesday, November 5, 2014

ඒක තමයි වුණේ......



සමනුයි සෝමයයි ගජ මිතුරන් වන්නා
මුන් දෙන්නා එකටම අවලමෙ යන්නා
සූදුවටම ඇබ්බැහි වී ඇත දෙන්නා
සැමදා සවස සූදු පිටියෙ එල්ලෙන්නා

සෝමෙගෙ නෝන උදයෙම සැමියගෙ අතට
දී ඇත දහක් රුපියල් බඩු ගෙන එන්ට
ඒ දාහත් අරගෙන මොහු ගියෙ යන්ට
සූදු කෙළීමේ අරමුණ ගෙන පෙරට

මෙදා පොටේ නම් සෝමෙට සරුසාරයි
දිගින් දිගට මේ සූදුව දිනන හැඩයි
දිනන දිනන මුදලම ඔට්ටුව අල්ලයි
මෙහෙම ගිහින් ලක්ෂයෙ දිනුමක්ම ලැබෙයි

පහළව ඇත තණ්හාවක් සෝමෙ හට
ලක්ෂයෙ දිනුම ලක්ෂ දෙකක් කරන්නට
ඊළඟ වටයෙ ලක්ෂය දුනි ඔට්ටුවට
සිතා දෙලක්ෂය ගන්නට ඔහු අතට

ඒත් හිතුවෙ නැති ලෙසටම වැඩ වැරදී
අනෙක් අතට ගියෙ ලක්ෂය ඔහු පැරදී
මොකුත් නැතිවු සෝමේ දැන් කම්පිත වී
මිය පරළොව ගියෙ එතනම නහර පැලී

මළ කෙළියකි සූදු පොලේ සිදුවීම
සමනුත් ගැහෙයි බියවී ලෙස හොඳ හැටිම
මරණය කියන්නේ ගෙදරට දැන් කොහොම
සෝමෙගෙ නෝන කම්පා වෙනු ඇත බෝම

මෙහෙම සිතා මොහු සෝමෙගෙ ගෙදර ඇදෙයි
වෙව්ලන පියවර නිබඳව පසට නැමෙයි
දහිරිය ගෙන ගෙදර දොරට තට්ටු කරයි
සෝමෙගෙ බිරිය ඇස් ලොකු කර දොරෙන් එබෙයි

මොකද සමන් ඇයි මේ හැටි වෙව්ලන්නේ
ඇය අසනා විට සමනුත් ගොතලන්නේ
කෙසේ කියන්නද මරණය සතුටින්නේ
සිතා සමන් මේ ලෙසටයි පවසන්නේ

සෝමය හට සූදුව විය ජය කොඩිය
ඔහු අතටම දිනුම ලැබුණි ලක්ෂයම
මෙසේ කියා කට ගන්නත් පළමුවම
සෝමෙගෙ නෝන පැනපි උඩින් මිදුලටම

අනේ මගේ දෙයියෝ කෝ දැන් සෝමේ
ලක්ෂෙ දිනා ඇත රන්කඳ මගෙ ප්‍රේමේ
දිනා නැතිය මෙහෙම ගොඩක් මේ සම්මේ
සමන් දෙසට හැරුණේ ඇය එක පිම්මේ

කිව යුතු වෙයි ඇය හට දැන් සහසුද්දෙන්
මුළු සිද්දිය නිසි පෙළටම වූ අයුරින්
එසේ සිතා හරි බරි වී පහසු ලෙසින්
කිව්වා ලක්ෂෙ පැරදුණු බව සෝමෙ උඩින්

පරළ වීය සෝමෙගෙ නෝනා හොඳට
ඇසූ විගස මේ කතාව ඒ ලෙසට
ගත්ත ගමන් ඇය කෑ ගැහුවේ යසට
"සෝමේ උඹ මැරිලම පලයන් යන්ට"

එසේ කියා ගතවූ සුළු පමාවකින්
සමන් හටද සිහිය පැමිණි ඇසිල්ලකින්
කියා දැම්මෙ හිත තෙරපූ සිතුවිල්ලෙන්
සෝමෙගෙ නෝන වෙත මේ ලෙස සැහැල්ලුවෙන්


" ඉතිං ඒකම තමයි වුණේ......!!! "

( ඇසූ කතාවකි )


අසංක ගයාන් අබේසිංහ

Sunday, November 2, 2014

නොවිමසනු ආයෙත්......


 
ඇසුවා ඔබ මගෙන්...
"කොපමණ තරම් ආදරේද මට?" කියා...
ගොළුවිය මා එසැනින්...
සැබැවින්ම මා එය නොදන්නා නිසා...

එහෙත්...

කෑ ගසා නොකීවද

මම ඔබට ආදරෙයි
මම ඔබට ආදරෙයි

තනිව හිඳිනා විට හැඬවෙනා තරම්...
එක්ව හිඳිනා විට සිහිනයක් තරම්...

විමසනු නොමැනවි එය ඉතින්
තවත් පැහැදිලි කරනු කියා...


අසංක ගයාන් අබේසිංහ

Thursday, October 30, 2014

කෙරුවෙ නැතුවට තිබුණනෙ......


පොලිස් රාළහාමි : ජේන් උඹව ගෙනියන්නට වෙනව පොලීසි
ජේන් : ඇයි මේ හැටි මා කුදලා යන්ට හදිස්සි

පො : උඹම තමයි ගමටම මෙහි පෙරනු කසිප්පු
ජේ : කව්ද කිව්වෙ ඒ වග දැන් වීල කුලප්පු

පො : කිව්වෙ නැතත් දන්නව උඹෙ කැරැට්ටුව හොඳින්
ජේ : පෙරදි කළත් නැවතුවෙ එය වසරකට කලින්

පො : කසිප්පු පෙරුවේ නැතුවට ඇත උපකරණ
ජේ : යකාගෙ නීතිය එය වෙයි නැත උපහැරණ

පො : හා හා බේරමු එව්වා කියාලා නඩු
ජේ : එහෙම කළොත් නඩුවෙදි මම හෙළිකරමි බඩු

පො : ඒ මොකක්ද ඒ මොකක්ද කියාපිය බොලේ
ජේ : රාළහාමි නොවෙද මාව දූෂණය කළේ

පො : යකෝ තෝව මම නැහැ නොවැ දූෂණය කළේ
ජේ : ඉතින් කියමු ඒ බව නඩුවෙදි සැනසිල්ලේ

පො : වල් ගෑනියෙ උඹ කොහොමද ඔප්පු කරන්නේ
ජේ : කෙරුවෙ නැතත් සර් ළඟම ඇත උපකරණේ...


අසංක ගයාන් අබේසිංහ

Wednesday, October 29, 2014

වන්දනීය පිළිලය......???


අපි තරම් බණ කියන බණ අහන ජාතියක්
ලොවේ නැත ලොවේ නැත මිනිසුනේ...
එහෙත් ඒ තරමටම හරසුන්ව බොරුවටම
කිම මෙසේ අපේ සිත් පෙළඹුනේ...

උතුම් කරුණා දෙනෙත් පහර වැදි මේ බිමට
කුමක් වී ඇතිද අද මිනිසුනේ...
ඒ නිමල දයා ගුණ උතුම් වූ දහම් ගුණ
දෙසට නැමි මුර දෙවියො දැන් කොහේ...

හිමි දෙසූ රන් රුවන් ධර්මයේ පහන් වැකි
කවි තාල විරිදු ගී වූ නියා...
ඒ තාල විලාපය කළඹවයි කන් අඩිය
කිසිවකුට යහපතක් නැති සෙයා...

නිස්සාර මේ දිවිය පින්සාර කරගන්න
පිහිටක්ය අවැසි වනු අද දිනේ...
එහෙත් බුදු හිමි නමින් රවටමින් මෝහ සිත්
දක්කන්නෙ හුදී ජන මේ කොහේ...

මඩිය තර කරගන්න ලෞකිකව ජයගන්න
ආමිසය මුලට ගෙන පුද දෙතේ...
පෙරට ගත යුතුව තිබු ප්‍රතිපත්ති පූජාව
යට ගසයි බලෙන් ආයාසයේ...

කළ යුතු වු දහක් වැඩ පසෙකලා සඟවලා
ජන කුපිත වන කෙරුම් රඟ දෙවයි...
එවන් වූ අබුද්දස් කාලයේ අරුමයේ
අරුණලු ද සොයන්නේ අපි කෙසේ...

එක්වෙයව් මිනිසුනේ ළං වෙයව් එක ලෙසේ
ඉරා කඩතිරෙන් වැසු මේ මුසා...
එවන් වූ කලෙක යළි පණගසා අළුගසා
නැගිටීවි දැය සමය නිසි ලෙසා...


අසංක ගයාන් අබේසිංහ

Monday, October 27, 2014

අන්න......අන්න......






මචං සිරා...
උඹට මතකද දවසක්...
අපි ට්‍රිප් එකක් ගියා...කෝච්චියේ...
මරු නේ...මාර ආතල් බං...
එදා විතර ජොලියක් මට නම් කවදාවත් දැනුණේ නෑ...
අපි දෙන්නා හිටියේ ජනේලයක් ගාව...
අපිට නිකමට හිතුණා එළියේ ඉන්න එවුන්ට කෝචොක් එකක් කරන්න...
ඉතිං අපි මොකද කළේ...මතකයි නේද උඹට...



උඹ උඹේ මූණත්තහඩුව ජනේලෙන් එළියට දාලා විරිත්තගෙන ගියා...


මම මගේ පශ්චාත් භාගය ජනේලෙන් එළියට දාලා පෙන්නගෙන ගියා...



ඒක දැකපු මග දිගට හිටපු මිනිස්සු කෑගැහුව හැටි උඹට මතකද...



ඒයි...ඒයි...අන්න නිඹුල්ලු දෙන්නෙක් යනවා...අන්න නිඹුල්ලු දෙන්නෙක් යනවා...!!!

( ඇසූ කතාවකි. මෙහි චරිත සඳහා කැමති ආදේශකයන් යොදාගත හැක. අපේ බ්ලොග් සගයන් එකිනෙකාට ආදේශ කර නොගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි )




අසංක ගයාන් අබේසිංහ

Saturday, October 25, 2014

ආලෙන් විය මා මුලා.....................


වැටුනත් වැසිබිදු දහසක් පොළොවට
පමණක් වෙයි එය සියුමින් මෙලෙකට
නැත කවදත් යයි වී එය නැත්තට
එලෙසම මා හද උරුමය ඔබහට

දෙනුවන් මාගේ ඇත රතුවී ගොස්
රහසකි හේතුව කල දන මහගොස්
තව නැත කදුලුත් සැම රූටා ගොස්
දනිමී මා අද ඇය මා හැ‍රගොස්

රසයකි විරහව කවි තනනා විට
ඉපදෙයි තරහව සමගින් සෝකය
කරවයි ගරහව හට තම සිතටම
වියෙකෙයි සිනහව එය අත්දුටු විට

බිය දැනේ මට යම්විටක දැනෙනා විටක බව මා මුලා
නමුදු මාසිත සැම විටක තැවෙතී සොවින් විරහව නිසා
අකමැතිය තවමත් මසිත දිවි ගෙවීමට ඔබ නැති නිසා
ඉතිරි කර දුක සමඟ ප්‍රේමය පැනගියා මා හද අරා

විටක මා කලවිටදි මා ලොව අඳුරු මාගේ නෙතු පියා
කරයි නැවතත් මැවුන ඔබෙ රුව එලිය මාලොව සැකෙවිනා
නෙතුපියන් මාගේ එවිට මට බලකරයි නිදියන ලෙසා
එවිට මට හැක දැකීමට ඇය රාත්‍රියෙ සිහිනෙන් පවා

අඩමි තැවෙමී යටිසිතින් මා නොපෙන්වා  ලොව දන හටා
නමුදු කදුලැල් නෙතුපියන් මගෙ පසාරා පැන මතු උනා
මත මගේ කම්මුල් දෙපල කදුලින් ඇදුනි නෙක රූ රටා
ලියා කවිපෙලවල් මෙලෙස මා මකමි ඇදි ඒ රූ රටා

සරින් කිංකිණි මැකෙයි දොම්නස
ලෙසින් වැහිබිඳු ගෙනෙයි සොම්නස 
පෙරකළෙක මා ලැබූ සෙනෙහස
සිහික‍රයි ඒ කිංකිණියෙ ගොස



වික්මල් සුබසිංහ


.

Thursday, October 23, 2014

ඇයි මට තුන්පාරක් ඉල්ලන්න බැරි ........... ?



ආ....................... මෙන්න කතාවක්
මං හොරකම් කරපු දෙයක් ඇත්තේ නැහැ
ඕනනම් අපේ අම්මා පේන කියනවා
ගිහින් අහලා බලන්න.............
(හොර විසින් ප්‍රකාශ කරනු ලබයි)

දී කිරි ද ? ..................... 
නැහැ නැහැ. දී කිරි ගෙනාවේ නැහැ.
ඔයාලට වැරදිලා ඇති. මට ෂුවර්....
දී කිරි මෙහෙ තිබුණෙ නැහැමයි..................
(බලළා විසින් ප්‍රකාශ කරනු ලබයි)

ආ......................... වතුරට ද ??
ඔන්න ඔහෙ කමක් නැහැ ඉතින්.
ආය ඉතින් මං මොනවා කියලා කියන්නද
වතුරට දැම්මාය කියලා. ඔයාලගේ කැමැත්තනේ.
(ඉබ්බා විසින් ප්‍රකාශ කරනු ලබයි)

ආ..................... මෙන්න කතාවක්
ඇයි මට තුන්පාරක් ඉල්ලන්න බැරි
ඕනනම් අපේ ශ්‍රේෂ්ඨාධිකරණය තියනවා
ගිහින් අහලා බලන්න...........
(හිටපු ජනාධිපතිනිය විසින් ප්‍රකාශ කරනු ලබයි)


කසුප් අනුරාධ


.

Monday, October 20, 2014

මාද මියැදුනා ඔබ මියගිය සඳ ..................


සිහිලැල් සැතපුන ඔබෙ සුව යහනත
නෙතින් ගැලූ අම පෙම්රස ගඟුලක
විසල් රුකක සෙවනත ඉඳ සිසිලස
ඔබයි මගේ සඳ සුව දුන් මෙදියත...................

දැකුම්කළුය ඔබෙ රුව ඇඳි සිත්තම
හදේ කුළුණු ගුණ වෑහෙයි තිස්සෙම
හිතෙයි දුවන්නට හවසට මිදුලට
මැවෙයි ඔබේ රුව සිත්හී පතුලෙම ...................

කුඩා ළදැරියක ව කේලම් කී සඳ
අසා උනිය ඔබ පියා වන්ව හිඳ
නෝක්කාඩු මා කළත් නිරන්තර
ගියේ කිසිඳු විට නැත හැර ඔබෙ පෙම ...................

දහස්වරක් සිරවෙයි මගෙ හදවත
මැවෙයි ඔබේ රුව දෙඇස් ඉදිරිපිට
ඇසිපිය නොහෙළා දිව්වත් ඔබවෙත
නොපෙනී යනු ඇයි සඳේ දුරද මම ...................

සිත්හී රජයන ඔබ පිදු සෙනෙහස
රකිමි හිමියනේ පණමෙන් දිවියම
ඇසූ එදින මා මියගිය බව ඔබ
මාද මියදුනා සත්තයි නැත පණ ...................


කාංචනා චන්ද්‍රසේකර


(වසර දහයකට පෙර ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරමින් සිටියදී ජීවිතක්ෂයට පත් සොදුරු මිනිසෙකුගේ සැබැවින් ම සෙනෙහෙබර බිරිඳක් මිය ගිය තම ස්වාමිපුරුෂයා වෙනුවෙන් වසරකට තුන්වරක් දානමාන ආදිය පවත්වා පින් අනුමෝදන් කරන්නීය. මෙහි සුවිශේෂීම ලක්ෂණය වන්නේ සිය ස්වාමියා වෙනුවෙන් ඇගේ දෙඇසින් අදද කඳුළු නික්මීමයි. ඇය සමග කළ කතාබහකදී වසර දහයක අතීතය ඇය සිහිකළේ අපරිමිත සෙනෙහසිනි. එවන් බිරිඳක් ලද ඔහු මියගිය ද මෙළොව හුන් වාසනාවන්ත ම ස්වාමිපුරුෂයා ඔහු නොවේදැයි මට සිත්විය. ඇය තුළ ඔහු පිළිබඳ ව වූ සිතිවිල්ල පද කිහිපයකට ගැලපීමට ගත් උත්සාහයකි මේ....)

Saturday, October 18, 2014

මට ඇති අයිතිය කිමද පහදනු මැන ............



නිලඹ‍ර මෙන්වූ දෑස් යුගලය
ඇත ලැබී කල පෙර පිනකට
ඒ දෑස් දෙපලට හිමිකම් කීමට
මට ඇති අයිතිය කිමද පහදනු මැන

ඔබේ නෙතඟින් බලන විට
සිතේ මට කවි මිමිණීමට
නමුදු ඒ බැල්මෙන් මහදෙ ඇතිවෙන
ගැස්ම බධාවකි කවි තැනුමට

ඔබේ දසුනෙන් මහද පිනා ගියත් 
අපමණ පෙම් සිතිවිලි පහළ වූවත්
ලියමි මා ඉන් බිඳක් ලෙස කවි පොදක්
හැඟුමෙන් නිකෙලෙස් හදෙහි පොදිගත්

කප් කෙල දහස් කල්
පෙරුම් පුරා මනකල්
තැනුවෙ මේ කවි පෙළවල් 
නොනිදා රෑ දහවල්

නුදුටුවෙමි දුටුගැමුණු මත මහ වැවු අමුණූ
දෙදරවා බිම හෙළා බිම මහ කුළුණූ
කලයුරු අවියෙන් මහසතුරන් දැමුණු
එලෙස මහද විය ඔබෙ ආලෙන් තුරුණූ

සුනිල් වන් දිය ඇල්ලකට 
සමානය ඔබෙ කෙස් කරල් දෙක
එහි වැලිකැටයක්වත් වන්නට 
පිනක් නම් කර තිබිය යුතුමය

ඔබේ ඇස් පිල්ලන් ගැටෙන හැඩ
සිහිකරයි අකුණු සමගින් හෙණහඩ
කැකෑරෙයි කවි සිතිවිලි ගොඩ
මෙලෙස මතුවෙයි සිතෙන් පැන උඩ

ඇඟිලි  ඔබෙ සුළඟෙ ලෙළදෙන
සිහිකරයි තුරුලතා සෙලවෙන රඟ
මහද සුවපත් කරයි වුව එදසුන
වුවද විටකදි ඔබෙන් වෙන්වෙන

ඔබෙ ඇස් රඟනා රටා තුළ
සැඟවි ඇත රහසක් නියත ලෙස
හෙලිකෙරුමට එම රහස මා තුළ 
ඇත මහා රුචියක් ඔබට නොදැනෙන

සිතේ පෙමින් පිරුණු ඔබේ වත කමලෙන්
රොන් ගැනුමට රිසිසේ සැකෙවින්
එනමුදු එකමල තැලෙතයි හැගුමෙන්
පැකිලෙයි මා හද සැමදා එ සොවින්................


වික්මල් සුභසිංහ


.

(වික්මල් සුභසිංහ අද දින සිට අප අඩවිය සමග එකතු වන අපේ අළුත් ම සහෝදරයායි.)
Related Posts Plugin for WordPress, Blogger...