Thursday, October 16, 2014

හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි.......



තරඟයක පැටලිලා ලෝකයම දුවන කොට
පාර අයිනක තනිව නුඹ හිඳිනු පෙනුණි මට
මුවේ නැගි කිරිසිනා නුඹේ දුක වැහැව්වට
වතේ රැඳි වැරහැල්ල දුක කියයි හෙමීහිට.................

හිනාවෙන මිනිසුන්ම හෙට ඔබට ඔරවාවි
හිනාවෙන හිරුඑළිය සැඩව පීඩා දේවි
හිනාවෙන මද සුළං රළුව නුඹ හඬවාවි
හිනාවෙන තරමටම හඬන්නට සිදුවේවි.................

මහා මන්දිරයකදි නුඹ ලොවට ආවානං
සැන් පුයර සුමුදු සළු වත පුරා තියේ දැං
උන් හදයි නුඹේ ලොව නුඹට නොදැනී හෙමිං
එහෙම් ලොව හීනයකි තනිව ගොඩනැගෙනකං.................

සිඟිති පා සියුමැලිය මහපාර පරදන්න
සුමුදු අත් සවි ඇත්ද කම්කටොලු මැඩලන්න
මුවේ පිරි සිනාමල් ඇති වේවි සවිදෙන්න
නවතින්න එපා හෙට කොහොම හරි ජයගන්න.............................


තුෂාර විතාරණ


(බසයක යන අතරමග දුටු දසුනක් පිළිබඳ කුරුටු ගෑ කවියකි. ඔහුට සතයක්වත් දෙන්න නොලැබුණ මුත් මේ වදන් පැවසීමට අවස්ථාව නොලද බැවින් සිතේ තිබූ වේදනාව අකුරු කළෙමි..............)

Tuesday, October 14, 2014

බොමුද සර්......!!!



සිරිපාල : බොමුද සර් මගේ ගානෙ අද විතරක්
ගුරුතුමා : එහෙම හොඳද සිරිපාලයො ඇත සැකයක්

සි : මොන කතාද මේ කියන්නෙ සර් අනේ
ගු : ඇයි උඹ මේ තරමට දැන් වද වෙන්නේ

සි: නම්බුව අපිට ලැබෙනව නොවැ සැලකුවොතින්
ගු : හා එහෙනම් කරමු උඹෙත් හිත සතුටින්

සි : ඔන්න වක්කරා ඔබ හට වීදුරුව
ගු : වරෙන් උඹත් හැරදමලා ලැජ්ජාව

සි: සර් එක්ක එකට බොන්න මොකද වගේ
ගු : කමක් නෑනෙ උඹ මගෙ ගැන දනියි අගේ

( දැන් දෙදෙනා මඳ පමණට පදම් වී ඇත )

සිරිපාල : සර් මචං උඹනං මහ නියම පොරක්
ගුරුතුමා (සිතින්) : යකෝ මේකා මචං කියයි හරි අවුලක්

සි : ඇයිද යකෝ උඹ කතාව නැතුව ඉතින්
ගු (සිතින්) : මූත් එක්ක තව බිව්වොත් රෙදි ගැලවෙන්

( සිරිපාල පමණක් තව බොයි. ඔහුට හොඳටම වෙරි වී ඇත )

සි : අඩෝ ගුරා තෝ ඇයි මේ ඔරවන්නේ
ගු (සිතින්) : මළ කෙළියයි මෙන්න මූට තදවෙන්නේ

සි : උඹලගෙ ප්‍රින්සිපලයා නම් හරිම කැතයි
ගු (සිතින්) : හත්වලාමෙ බේරෙන්නට බැරිම හැඩයි

සි : තෝත් වරෙන් ඌට දෙකක් කියන්නට
ගු (සිතින්) : දැන්නම් මා හට සිදුවෙයි දුවන්නට

..........................................
..........................................
..........................................

සිරිපාල : @#%&*$$!!~~%@@#

.........................................

අවවාදයයි : මත්පැන් පානය සිදුකිරීම තමන්ගේ තත්ත්වයට ගැලපෙන පුද්ගලයන් සමග පමණක් සිදු කරන්න. කවුරුත් නැතිනම් තනිවම පානය කරන්න...

අසංක ගයාන් අබේසිංහ

Saturday, October 11, 2014

මගෙ සුදු අයියේ......



බිලිඳු වියේ වැලි කෙළියේ
සිට දැවටී ඔබ පහසේ
රැඳි ඒ මා මතකද තව
වෙනතක රැඳි ඔබේ හිතට
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

ඇලේ දොළේ ඉපනැල්ලේ
වන පියසේ තුරු වදුලේ
ගම්මැද්දේ ඔබ ඇසුරේ
කිරිල්ලියක සේ විය මා
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

අතීතයේ සිතුවම් කළ
මිහිරි මතකයක සෙවණැලි
වත්මන මා හද පතුලේ
ඇදුම් කැවෙයි ඔබේ නමින්
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

එදා පටන් සුරැකි සෙනෙහෙ
වාං දමයි හිත පුරාම
වාවනු බෑ මගෙ හදවත
නොහැඟුනාට ඔබේ හදට
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

ඔය හිත් ඉම කෙළවර වුව
ලැගුම් ගන්න හැකිවේ නම්
ඒ ඇති මුළු දිවි පුරාම
ඔබේ චූටි නංගී හට
මගෙ සුදු අයියේ... මගෙ සුදු අයියේ...

 

( මා පෞද්ගලිකව හොඳින් හඳුනන සහෝදරියක විසින් මා හට පැවසූ, ඇය වර්තමානයේ මුහුණ දී ඇති සංවේදී සිදුවීමක් ඇසුරිනි )



අසංක ගයාන් අබේසිංහ

Thursday, October 9, 2014

මගෙ වෙලාව තමයි......!!!

 



රටේ පතළ ඉස්පිරිතාලයක වන
දවසක එක උළෙලක් විය සම්මාන
මෙතුවක් කල් කළ සේවය අගයන්න
දොස්තරලට දෙයි සහතික කුසලාන

සංවිධාන කර ඇත මෙම උළෙල හොඳින්
කවර කලෙකවත් කවුරුත් නොදුටු ලෙසින්
වේදිකාව සරසා ඇත අමුතු හැඩෙන්
නැවුම් අදහසක් එළිදක්වන අටියෙන්

උත්සවයට වාරය දැන් එළඹෙන්නා
දොස්තරලත් හරිබරියේ හිඳ ඉන්නා
නිවේදකගෙ වරුණාවන් දෙදරන්නා
හැමදෙනාගෙ තෝම්බුවන් දිගහැරෙනා

ඇස් දොස්තර මහතා හට පළමුකොට
සම්මානය දීමට ඇත සකස් කොට
ඇහැක් මැදින් එන සේ ඔහු සභාවට
ආකෘතියක් සකසා ඇත මනාකොට

ඇහේ මැදින් පැමිණී දොස්තර මහතා
හරි සතුටින් සම්මානය පිළිගත්තා
දෙවන අවස්ථාවත් එළඹී ඇත්තා
දත් දොස්තර මහතා දැන් සිටගත්තා

දත් තිස් දෙක හොඳටම ඇති මුඛ හැඩය
තනා ඇත්තෙ ලෙසට පේන වපසරිය
දොස්තර පැමිණී අතරින් ඒ මුඛය
කුසලානය ගත්තෙ මැදින් අත්පුඩිය

එක එක විෂය ලෙස ආකෘති සැකසීම
වේදිකාවෙ සිදුවෙයි හොඳ හැටි බෝම
දොස්තරවරු එකිනෙකාගෙ පැමිණීම
මතින් සිදුකෙරේ හොඳහැටි ඇගයීම

මෙහෙම ගිහින් උත්සවයත් අවසානයි
ඒ අතරේ තැනක මහත් කසුකුසුවයි
හරි සතුටින් එක දොස්තර මහතෙක් වෙයි
කිමද කියා ඒ අරුමය එළියට එයි

වහ කන්නයි වෙන්නේ මට ලැජ්ජාව
සම්මානයක් නොලැබුණි මගෙ වෙලාව
මොකක් මැදින් එන්නට වෙද හිනාව
දොස්තර මමයි නාරිවේද හා ප්‍රසව...!!!



( ඇසූ විහිළු කතාවක් කවියට නැගීමකි )


අසංක ගයාන් අබේසිංහ

Tuesday, October 7, 2014

අන්තිම හාදුව .......................


සීතල කොපුල් සනහා
ඉහිරෙන කඳුළු නදියේ
මතක පෙණ පිඩු අතරින්
මැවේ නු‍ඹ රුව දෙනෙතේ...............

දුන්න හසරැල් වේදනාවේ
යන්න මං මග බලන් උන්නත්
යල් පනිණ ඒ පැතුම් ගුළිකර
හිතේ පතුළෙම හංගලා...............

මගේ ජීවිත අඳුරු කුටියෙම
මගේ හිත අද තනිවෙලා
ආදරේ පෙර අංශුවක්වත්
දුන්න නම් මට ළංවෙලා..............
නුඹේ අන්තිම හාදුවෙන් මගේ
හිතේ දුක යයි දුරුවෙලා............


ඉසුරිකා චූලරත්න


.

Monday, October 6, 2014

පිං මඳ වීදෝ......අප හට......



මැද පෙරදිග දෙසින් හමා
මෙරටට එන උඩු හුළඟට
ජීවිතයම උකස් තියන
අපෙ සොයුරියනේ...

නුඹෙ ජීවන රඟ මඬලම
ඒ හුළඟට ඇඹරී යයි
දැන දැන උන්නත් ඒ බව
අපි කුමක් කරම්...

වහල්කමේ රුදුරු යවුල්
කිඳා බසී නුඹ හද තුළ
තිරිසන්කම දිග හැරේවි
නුඹෙ සියුමැලි සිරුරු මතින්...

දුප්පත්කම ඇපයට ගෙන
කාමුක රස පහස සොයන
නොමිනිසුන්ගෙ වනන්තරේ
නුඹලා මුව පොව්වන් වේ...

නුඹේ රුහිරු ගත සූරා
බුදින ශ්‍රමය දෙගොඩතලා
නුඹෙ දිවියද එහිම ගිලෙයි
විදෙස් විනිමයේ නාමෙන්...

නුඹේ වේදනාව දැනෙන
නුඹේ අඳෝනාව ඇහෙන
පාලනයක් ලබනට අපෙ
පිං මඳ වීදෝ...



( මනෝෂ් සඳරුවන් නොහොත් 'සඳුමල්' සොයුරාණන් ලියූ 'අබුඩාබියේදී ය දයාබර ස්වාමීනි' ලිපිය කියවා ඒ මතින් මාගේ හැඟීම ප්‍රකාශ කිරීමකි )

අසංක ගයාන් අබේසිංහ

Saturday, October 4, 2014

මගෙ දෙනෙතින් නුඹ හට ලොව පෙන්වන්නම්......



මලට නොවේ මල් සුවඳට සිත ඇදුනේ
රොනට නොවේ සිත් බඹරිඳු ලොබ බැන්දේ
මිහිරි ළඳේ නුඹෙ සිරියාවත් මුහුණේ
ඇඳුනු ජීවිතේ රසයයි හද සෙව්වේ...

මලේ රුව නොවේ සෙව්වෙමි හද මඬල
බඹරෙකුද නොවෙමි සෙව්වත් නුඹෙ පහස
සදාකල් දෙවන පැතුමක ගිලුණු ලය
සොයයි නැවුම් ආදරයක රැඳි සුවය...

රුවට නොවේ හිත බැඳුනේ නුඹ වෙතට
කවි මල් පුබුදුවයි මුව පිරි සිනහවට
කුමුදු මල් සැලෙයි බිඟු ගී කතාවට
සෙනෙහස් මල් විලේ කිමිදෙමු අපි යටට...

මගෙ දෙනෙතින් නුඹ හට ලොව පෙන්වන්නම්
දිවි ඇති තෙක් තුරුළුට ගෙන රැකගන්නම්
ලියේ ගනියි නම් නුඹ හදවතේ ලැගුම්
නුඹම වෙයි මගේ ජීවන පැලේ කැලුම්...

ජීවන මග සැඩ ගංගා ජයගන්න
නුඹේ අත්වැලත් මා හට ලැබදෙන්න
හිනැහී සෙනෙහසින් පැටලී අප දෙදෙන
යමු පිය ළඳේ නවතින තෙක් දිවි ගමන...

දෑස නුඹේ නොදකින මුත් ලොව එළිය
හදවත නුඹේ මම දකිනෙමි සිරියාව
දසන් පෙන්නලා මුතු කැට මල් වැස්ස
මා පිය ළඳේ සැමදා හිනැහී යන්න...



අසංක ගයාන් අබේසිංහ









Thursday, October 2, 2014

කාංචනාගේ සිහිනය.................



සොඳුරු සිතක පැහැය වරුණ
හිත අද්දර සෙනෙහෙ විලක
ගුලි වී සිර වී මසිතම
හිතයි කෑ ගසා කියන්ට..........

ගෙවුණත් කාලය ව්ගෙන
නොගෙවෙයි ඔබෙ මිහිරි සුවඳ
දහසක් වර එක් දිනකට
තවම මතක පෙතක අරුම...........

සීමා බැමි පවුරු යදම්
සිඳ බිඳ ලා නපුරු පැතුම්
 සිහිනෙන් විත් ළංව හිඳින
 ඔබෙත් මගෙත් සිහින රැඟුම්...........

සිහි කඳවුම් ඔබෙ ආදර
මඟහැර ඉමි නිසොල්මන්ව
පියවි ලොවින් දුර ඈතක
හමුවෙමු අපි සිහින ලොවක........

උන්නත් ගව් ගණනක් දුර
සිතින් නොවේ එතුවක් දුර
ඔබගෙ සිතෙහි රැඳෙනා සුව
වළාකුලට කියනු මැනව..........

කතා කරන නිල් නෙතු ළඟ
 ඔබෙ මත් වූ දෙතොල් අතර
ළං වී  අපි අපේ ළඟට
හඬමු සිතින් එදා මෙන්ම..........



කාංචනා චන්ද්‍රසේකර


.

Wednesday, October 1, 2014

සක්කර බෙහෙත් දැම්මත් වළකනු බැහැනේ .........



කොච්චර සැන් පුයර හැලුවත් මේ මූණේ
වලවල් වහන්නට හැදුවත් හතරකොණේ
වියැකී රැළිගැසී යනවා දිනෙන් දිනේ
සක්කර බෙහෙත් දැම්මත් වළකනු බැහැනේ ...........................

කලුකරගෙන සුදුවෙන කෙස් ලොවට හොරා
නෝනලා මහත්තුරු යන්නේ කිරුළු දරා
හැදුවත් වෙන්න තිරිහන් ජීවිතේ පුරා
වයසට යනවා යනවා රූ සපුව මරා ...........................

මොන මොන ක්ලෝරයිඩ් දාලා මැදගත්තත්
දවසින් දවස හොදහැටි සුදු කරගත්තත්
දිලිසි දිලිසි කොමලෙට සිනහව මැව්වත්
හැලෙනවාය වයසට යනකොට මේ දත් ...........................

කළු හම තියන් ඉන්නේ ඇයි කැතයි හලෝ
මේ මේ දේ හොද හැටි තවරනවා බොලෝ
අර නිළියයි මේ නිළියයි නිතර කළෝ
ඒ කාටත් තේරෙයි යන කලට එළෝ ...........................

"සුන්දරීගේ මළගම දා පෙර දවස
උත්තම බුදුන් කර මිනියට වෙන්දේසි"
රජ සිටු මැති ඇමතිවරු කාටත් අහගන්න
ඉහළම මිල ගණන් කීවා එය දෙන්න ...........................

ඉස්සර එයා වෙත ආවත් සැතපෙන්න
ළං වෙන්නෙවත් නැහැ කවුරුත් අද මෙන්න
කවුරුත් නෑ මිනිය ගන්නට පොරකන්න
සල්ලි නැතිව නිකමටවත් ගෙනියන්න ...........................

එහෙම තමයි සුන්දර රුව වියැකෙනවා
උපන්නොතින් අපි දවසක මිය යනවා
ලැබුණු දෙයින් ජීවිතයම සැනසෙනවා
පසුම්බියත් ඒ විදිහට සුරැකෙනවා ...........................


ඉසුරිකා චූලරත්න


.

Monday, September 29, 2014

එනු මැන...තරු කිරණ සේ...කුමරියේ...



තරු කුසුම් ගෙත්තමේ
ඉඟි පාන මිහිරියේ
ඔබට පිදු හදවිලේ
කොඳ කැකුළු පිපෙන්නේ

සීතලෙන් වෙළුණු රෑ
හුදකලා අසපුවේ
පීරමින් නබෝ ගැබ
ඔබෙ එළිය සොයන්නේ

හෝ හඬින් හමන මේ
මඳ සුළඟ මාරුතේ
කොඳුරන්නෙ ඔබෙ නමයි
කඳු අතර නිම්නයේ

සඳකැනින් නැහැවෙනා
ඈත මිටියාවතේ
ඔබෙ රුවයි මැවෙන්නේ
රුවන් සිතුවමක් සේ

ඔබෙ සුසුම් උණුසුමක්
විමසනා සිත් කොනේ
තරු කිරණ සේ ඇවිත්
රැඳෙනු මැන කුමරියේ



අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...