ලෝකෙ දියුණු රටවල් එකතුව හැදුව
ජනපදයකි හඳේ තියන හරි පුදුම
පදිංචියට එහි යවන්න තකහනිය
හොයයි සුදුසුකම් සපිරුණු පිරිසක්ම
හොයා බලා හතර අතේ ඇහැ දාලා
ජන ඝනත්වෙ කවුන්ට් කරල වලි කාලා
ඇනලයිස් කොර ආර්ථිකේ සලකාලා
ගණන් හිලව් සිදුවන්නේ ඇර දාලා
හෙමින් හෙමින් අවසානය එළඹෙන්නා
දියුණු වෙන්න කැමති පිරිස් තෝරන්නා
හොර කෙරුමෙන් ඉහළම ලකුණුම ගන්නා
අම්මට සිරි ලංකාවම තේරෙන්නා
සිරි ලංකා සැට් එක වෙයි සතුටින්නේ
හඳේ පදිංචියට යන්න දින ගැන්නේ
සියළු දෙයට සූදානම් වී ඉන්නේ
අන්තිමේදි ගමන යැවෙයි හඳ යානේ
සියළු පහසුකම් සපිරුණු ජනපදය
වැඩ කරන්න කියාපු හොඳ පරිසරය
අපේ එවුන් එහෙ පිරිලා තනිකරය
දියුණු වෙන්න දැන් කිසි බාධක නැතිය
කලක් ගතවෙලා ගිය පසු මේ අයුරින්
දියුණු රටවලින් එන්නේ හරි සතුටින්
ටෙස්ට් කෙරුමට අපේ එවුන් වැඩ කෙරුමෙන්
ගිහින් බැලුව කල ඇස් ගියෙ උඩ පුදුමෙන්
අපේ එවුන් ඉන්නා මේ ජනපදය
අජූත වී මුඩුක්කුවක ගෙන සිරිය
වැඩක් කරන කිසිම කෙනෙක් නැති හැඩය
දියුණු රටක ලොක්කෙක් ඇහුවා පැනය
ඇයිද උඹල කාලකණ්ණි වී මෙලෙස
අපි දුන්නේ දියුණුව තිබු ජනපදය
වැඩ කරලා එය රැකුමත් යුතුකමය
කිමද මෙසේ වූයේ දැන් කිව යුතුය
කුටු කුටු ගෑ පිරිස තුළින් ඉදිරියට
දෙකට නැමී ආවේ කැහුටෙකි පෙරට
ඔළුව කසා උත්තර දුනි හරි රහට
ප්‍රශ්නය ඇහු ලොක්කා හට බඩ යන්ට
හඳ හැමදාම පායලනේ... ඒ කියන්නේ පෝය... අපි ඉතිං පෝය නිවාඩු...හීහීහී......!!!
අසංක ගයාන් අබේසිංහ
.gif)







