බේබද්දෙක් එක දවසක හැන්දැ කොරේ
පාර පුරා යයි උස්සා සරම කරේ
බීමරගාතෙ දොඩමින් නොමැතිව චාරේ
යන මිනිසුන්ට නොහැකිය බේරෙනු පාරේ
මේ මිනිහා යන පාරට ඉතා ළඟින්
රේල් පාර වෙයි කලබල නිරන්තරෙන්
දැන් මිනිහා වැනි වැනි යයි සැහැල්ලුවෙන්
ගොඩවී රේල් පාරට හරි ලොකු ජොලියෙන්
මෙහෙම යද්දි හෙළුවැලි පසුපස පෙන්නා
කෝච්චියක් පිටිපස්සෙන් දිව එන්නා
මේක නොදන්නා බේබදු බම්මන්නා
කුණුහරුපයක් කියමින් සතුටින් ඉන්නා
ගහයි කෝච්චිය හූ හඬ නළාවෙන්
බේබද්දා පන්නනු ඉවතට පාරෙන්
නළාව ඇසි මේ ගොබිලා කේන්තියෙන්
ඉවතට පැන මරහඬ දෙයි මහ සද්දෙන්
කවුද අඩෝ හූ කියන්නෙ මෙමා හට
කෝච්චියෙත් වෙනසක් නැත මේ පොරට
එහෙම කියා දිගහැර අතපය පෙරට
ගැහුවෙ පයින් පාරකි යන එන්ජිමට
සිහිය නැතුව මොහු දැන් ඉස්පිරිතාලේ
පයින් ගැහුව කකුල කපා ඇත මෙවෙලේ
සිහිය එන විටත් නොදනී ජංජාලේ
ඇහැරෙන විට ඇඳ වට මිතුරන් වේලේ
දැන් දැන් මතක් වෙයි උන්දැට පෙර දිනය
අන්තිමටම හිටියේ හරි ජොලියෙන්ය
ගැහුවෙ කෝච්චියට පයින් හරි කෙළිය
ඇහුවෙ මෙලෙස මිතුරන්ගෙන් වුණු හරිය
අඩෝ මචං...කෝච්චිය පෙරලුණාද බං ?...පයින් ගැහුව විතරයි මට මතක......!!!
( අසා තිබූ කතාවක් කවියෙන් ඉදිරිපත් කිරීමකි )
අසංක ගයාන් අබේසිංහ








