ඊයේ රාත‍්‍රියේ සිහිනයක් දුටුවෙමි.
එය පුදුමාකාර සිහිනයකි.
තමන් විසින් පාලනය කරන ලද්දා වූ,
අමාත්‍යංශයන් හී වංචා දූෂණයන්,
පාර්ලිමේන්තු ව ඉදිරියේ දී පිළිගනිමින්,
අමාත්‍යංශ භාරව සිටි අමාත්‍යවරුන්,
තමන් විසින් ම තමන් ගස්බැඳ ගත් හ.
මා විශ්මයට පත් විය.
අසල සිටිඅයෙකුගෙන්
මම හේතුව විමසා සිටියෙමි.
මෙවර නාමයෝජනා දෙන විට
මානසික සෞඛ්‍ය වාර්ථාවක්
ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය.
එය සිහිනයක් බව මම එසැනින් දැනගතිමි.
ඊට පෙර දිනයේ ද මම සිහිනයක් දුටුවෙමි.
එය ද පුදුමාකාර සිහිනයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
එවක සිටි මහලේකම්වරිය
සංචාරයකට පැමිණ සිටි අතරවාරයේ
අපේ අමාත්‍යවරයෙකුට
මංගල යෝජනාවක් ගෙනාවාය.
අමාත්‍යවරයා මහත් සංයමයෙන්
තම විදග්ධ බව සහ පරිණත බව පෙන්වමින්,
එතුමියගේ අමනෝඥ යෝජනාව,
බැහැර කර සිටියේ ය.
එයින් මම විශ්මයට පත් විය.
අසල සිටි අයෙකුගෙන්
මම හේතුව විමසා සිටියෙමි.
මෙවර නාමයෝජනා භාරදෙන විට,
අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරුන්ගේ ද
මානසික සෞඛ්‍ය වාර්තාවක්
ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය.
එය ද සිහිනයක් බව මම දැනගතිමි.
ඊට පෙර දිනයේ ද මම සිහිනයක් දුටුවෙමි.
එය ද පෙර සේ ම පුදුමාකාර සිහිනයකි.
අමාත්‍යවරයෙකුගේ පුතෙකු විසින්
හමුදා සොල්දාදුවෙකුට පහර දුන් නිසා,
අමාත්‍යවරයා තම පුතණුවන්,
නීතිය ඉදිරියට පමුණුවා,
රට ජාතිය බේරා දුන් හමුදා සොල්දාදුවාට
සාධාරණය ඉෂ්ඨ කර දුන්නේ ය.
මේ තරම් අවංක සහ සත්ගුණවත්
අමාත්‍යවරුන් පත් කරගතේ කෙසේ දැයි
මම මවිතයට පත්වීමි.
අසල සිටි අයෙකුගෙන්
මම හේතුව විමසා සිටියෙමි.
මෙවර නාමයෝජනා භාරදුන් අයදුම්කරුවන්ට
ඡන්දය දීමට අපේක්ෂා කරනු ලබන
ඡන්ද දායකයන් තේරීමට
ඡන්දය දෙන ජනතාවගේ මානසික සෞඛ්‍ය වාර්තාවක්
ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය.
එය අනිවාර්යෙන් ම සිහිනයක් බව මම දැනගතිමි.
තුෂාර විතාරණ
.









