Sunday, August 10, 2014

මාමයි... බෑණයි...




















එකමත් එක ගමක හිටිය ඒ කාලේ
මරිමෝඩයි කිවහැකි ගමරාළ කෙනෙක්
මේ උන්දෑ කැමැත්ත දෙයි හැම දේට
බෑ නොකියා අනිත් උන්ගෙ ඉල්ලුමට

දවසක් දා තව ගමයෙක් ගමේ හිටී
මේ උන්දැට කතා කළේ මේ විලසින්
මලේ වරෙන්කොයි යන්නට කැලේ මැද
හොයන් එන්ට අවුසදයක් බේතකට

දැන් දෙන්නා කැලේ මැදින් ගහයි කරක්
හොයන් ආපි අවුසදෙ ලැබුණේද නැතුං
ගොහුන් ගොහුන් මහ හිමේට අන්තිමට
දෙන්න නැවතුනේ අලි කොටි වලස් කැලේ

එකෙක් අතේවත් නැතිවෙද ගිනි බටයක්
තියෙන්නෙ පොරවයි කැති දෙකකුයි ඉතරයි
ඒව අරන් යනකුට යනකුට දෙන්නා
කොටි හපුවෙක් ගහක් මුලක නිදියන්නා

කොටි හපුවා නිදන් ඉන්නෙ උගෙ වලිගේ
ගස් මුල් දෙකක් අතරින් එළියට එන සේ
දැන් ඇහැරුණු කොටියා වෙයි සූජානම්
මුන්ගෙ ඇඟට පැනලා ගොදුරු කේ ගන්ට

ඉතින් නුවණ ඇති මිනිහා පැන්න ගමන්
ඇදලා ගත්තෙ කොටි වලිගය හොඳ හිරට
ඊට පස්සෙ ඒ ගහටම මුවා වෙලා
අනික් එකා වෙත මේ ලෙස කියන්නා

මලේ මා මෙයෙයි කොටියට හෙල්ලෙන්ට
නොදී ඉන්නෙ හිප්පාගෙන මේ ගහට
ඉතින් උඹට තියෙන්නෙ අරගෙන කැත්ත
දෑත බදල කපන්න මේකගෙ බෙල්ල

මෝඩ ගමය එබිලා කොටි මූණ වෙත
ආපසු හැරුනෙ කියමින් මේ ලෙස දුකසේ
මයෙ මාමණ්ඩිගෙ වාගෙම වෙයි මුගෙ මූණ
හත්තණ්ඩේ මට බෑ මුට කොටන්නට

ගොන්තඩියෝ තොගෙ නෑකම් තියෙද්දින්
කොටපිය මේකගේ බෙල්ලට කැති පාරක්
නැත්තම් ගැලවුමක් නැතිවෙද මේ අපිට
අනික් ගමය බෙරිහන් දෙයි මෝඩයට

අනේ අනේ මටනම් බෑ අයියණ්ඩි
මාමා වගේ ඉන්නා මුට කොටන්නට
අඬන විටදි මෝඩ රාළ ඒ ලෙසට
අනික් එකා කිව්වෙ ඌට මේ අයුරින්

හා එහෙනම් කේන්නෙමිය ඒ වැඩය
මමම ඉතිං උඹට බැරි නිසා ඒක
උඹ ඇවිදින් වලිගය කොටි හපුවාගේ
අල්ලගනින් කොටනා තුරු මම කැත්තෙන්

මෝඩ ගමය අල්ලගත්ත කොටි වලිගෙන්
ඊට පස්සෙ අනික කරපු වැඩේ යසයි
ඌ කියලා යන්න ගියේ මේ ලෙසට
මෝඩ ගමය වෙත හොඳහැටි ඔලොක්කුවෙන්

හා හා මලය උඹ මාමත් එක්ක ඉතින්
ගහගං ඕන කුදයක් දැන් වෙලා අරන්
ඉතිං අපේ මෝඩ රාළ කොටි වලිගේ
අල්ලං ඉඳී දැන් දිගටම අමාරුවෙන්

මෙහෙම ඉඳල ඉඳලා වූ බැරිම තැන
අතහැරුණා වලිගේ මේ උන්නැහෙට
ඉතිං ඊට පස්සෙන් පහු සංගෙඩිය
කියන්නටත් ඕනෑ වෙද සහසුද්දෙන්......



( අපේ සිංහල ජන කතාවක් කවියට නැගීමකි )

වෙනස් වචන

මරිමෝඩ - විශාල ලෙස මෝඩ/ අමන / තකතීරු
වරෙන්කොයි - වරෙන් / එන්න

නැතුං - නැතිව
ගොහුන් - ගිහින්
මහ හිමේ - ගණ කැලේ
ගිනි බටයක් - තුවක්කුවක්
ඉතරයි - විතරයි

යනකුට - යනකොට
කේ ගන්ට - කර ගන්න
මෙයෙයි - මේ
හිප්පාගෙන - තද කරගෙන
හත්තණ්ඩේ - පුදුමය දැනවීමේ වචනයක් / හත්තිලව්වේ
කේන්නම් - කරන්නම්
සංගෙඩිය - සිදුවීම / වින්නැහිය

 


අසංක ගයාන් අබේසිංහ

19 comments:

  1. හැක් ..පස්ටයි කතාවක් මෙ විදියට දෙන එක ,,,මේ හා සමාන කතාවක් කියෙව්වා මතකයි

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි සහෝදරයෝ අගය කිරීමට... ඔබේ දිරිමත් කිරීම තමයි අපිව ඉදිරියට ගෙනියන්නේ.....ඔබ කිව්වා හරි...මේ වගේම කතාවක් තව තියනවා තමයි... කියමනකුත් තියෙන්නේ කොටි වලිගය අල්ලගත්තා වගෙයි කියලා.....

      Delete
  2. බ්ලොග් ලියනවා කියන්නෙත් කොටි වලිගයක් අල්ල ගත්ත වගේ වැඩක් තමයි

    ReplyDelete
    Replies
    1. අපොයි... කිව්වම මොකද ජීවන තමයි හරිම අර්ථදැක්වීම දුන්නේ බ්ලොග් ලියන අපි ගැන... ඒ වුණත් අවංකවම කියන්න ඕන අපි මේ කොටි වලිගය අල්ලගෙන ඉන්නෙ බොහොම සතුටෙන්...ඔබ හැමෝම වෙනුවෙන් යමක් ලියන්න ලැබීමම කොයි තරම් සතුටක්ද... ඔබේ අදහස් හින්දම තමයි අපිට යම් හැකියාවක් තියනවනම් ඒවා දියුණු වෙන්නේ.....ගොඩක් ස්තුතියි ජීවන ඔබට....

      Delete
    2. සම්පූර්ණයෙන්ම එකඟයි ජීවන සමඟ සහ අසංක සමඟ.

      Delete
  3. මදෑ වෙච්චි දේ!!!

    නියමයි පද ටික. අර වෙනස් වචන ටික දුන්නු එකත් වටිනවා.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ප්‍රියා ඔබේ ඇගයීමට... අපේ ජනකතා වල මීටත් වැඩිය අපි නොඇසූ වදන් මාලාවක් තියනවා... ඉදිරියට ඒවත් ගේන්න බලාපොරොත්තු වෙනවා...අපි අපේ ජන ලේඛන ගැනත් දැනගන්න එක සුන්දරයි කියලා හිතුවා... එහෙම හොඳයි නේද...ඔබේ දිරිමත් කිරීම, පිළිගැනීම හින්දා අපිට විවිධ ක්ෂේත්‍ර ගැන ලියන්න ආස හිතෙනවා....

      Delete
  4. විශිෂ්ඨයි අසංක. අමතකවෙලා තිබුනෙ මේ කතාව. ඒ වගේම ඔබේ කවිය කියෙව්වට පස්සෙ මට මතක් උනේ ඉස්කෝලෙ යන කාලෙ සිංහල සාහිත්‍ය පොත. ඒකෙත් කවියට පස්සෙ මෙහෙම පදරුත් දාල තියෙනවනේ. ඇත්තෙන්ම ඒක ගොඩක් වටිනවා. ගී පවුරෙන් අලුත් වෙනසක්. හැමෝටම ගොඩක් ප්‍රයෝජනවත් වටින වෙනසක්.

    කාලීන සිදුවීම, මෙවැනි ගැමි කතා, දේශපාලන සිදුවීම්, මෙලෙස කවියට නැඟීමට ඔබට ඇති හැකියාවනම් අපූරුයි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මනෝෂ් ඔබේ දිරිමත් කිරීමට.... අපේ ගැමි දේශීයත්වය අපි එන්න එන්නම අමතක කරනවා නේද කියලා හිතුණා.... මේ ගොඩක් ජනකතා වල ලොකු ආදර්ශයන් තියන බව පෙණුනා...ගොඩක් වෙලාවට ඒවයේ තියෙන්නේ මෝඩකම් ගැන...ඒත් ඇත්තටම බලද්දී ඊට වඩා සුපිරි මෝඩකම් අපි කොයිතරම් කරනවද කියලා හිතෙනවා මේ නවීනයි කියන ලෝකේ...ඉතින් මෙහෙම කතා ඉදිරිපත් කරන්න හිතුණා...

      Delete
  5. අපූරුයි කියනවට වඩා දෙයක් නෑ....
    සුපිරියි


    ජ ය වේ වා!!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි කියනවට වඩා දෙයක් නෑ.... හැමදාම ඇවිත් අපිව දිරිමත් කරනවට බොහොම ස්තුතියි විදානේ.....

      Delete
  6. මරු මරු..

    සමහරක් තැන් වලදි නම් කවිය මම හිතින් කියවන් ආව තාලේ පොඩ්ඩක් එහා මෙහා වුනා.. ඊලග වතාවේ ඒ ගැනත් හිතුවනම් තවත් වටිනවා..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ් ඔබේ අගය කිරීමට... ඒ එක්කම නිර්මාණයේ ගුණ දොස් දැකලා ඒ ගැන ප්‍රකාශ කිරීමත් වටිනවා... ඇත්තම කිව්වොත් නිර්මාණකරුවෙක් ඒක කරන්නේ තමන්ට සාපේක්ෂව හින්දා එයාටම ඒවයෙ දොස් පේනවා අඩුයි...මමත් මේක ලියලා සෑහෙන වතාවක් කියෙව්වා...ඇද හැදුවා...ඒත් තවමත් නොපෙනෙන අඩුපාඩු බොහොමයක් තියනවා...ඒවා පේන්නෙ වෙනම ඇහැකටම විතරයි....ඇත්තටම ස්තුතියි දිනේෂ්....මේ නිර්මාණයේ ඔබ අඩුපාඩු දුටු තැන් මට පෙන්වා දුන්නොත් ඒක මට ලොකු උදව්වක් වේවි....

      Delete
  7. පට්ටයෝ...............
    ගිනි ගින්දර.... හිහික්...
    කොටි වලිගෙ අල්ල ?ගත්ත වගේ කියන්නෙ ෙම්කට වෙන්න ඇති

    ReplyDelete
    Replies
    1. ස්තුතියි මහේෂ්...ඔව් ඔබ හරි...මේක තමයි කොටි වලිගෙ අල්ලගත්ත වගේ කියන්නෙ...අල්ලගත්තොත් ගැලවීමක් නෑ...අතහැරියොත් ඉවරයි....

      Delete
  8. පට්ට,මේ කතා කවියෙන් ලියන එක නම් සුපිරියි.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි මනෝජ්...ඔබලාගේ මෙවැනි දිරිමත් කිරීම් හින්දා තව තවත් අලුත් නිර්මාණ කිරීමට අපිට හිතෙනවා...ගොඩක් ස්තුතියි නැවත ඔබ හැමදාමත් අපිත් එක්ක ඉන්නවට...

      Delete
  9. නියමයි... අර වචන ටිකත් දීපු එක හොඳට හිටියා..

    ReplyDelete
    Replies
    1. ඒකනේ තුෂානි...නිකමට මට හිතුනා තුෂානි වචන නොතේරී අමාරුවේ වැටෙයිවත් දෝ කියලා...ඒකමයි තේරුම් ටික වෙනම දුන්නේ....ඒක නෙවෙයි.. ඉදිරියේදී මීටත් වඩා අහල නැති බරසාර වචන මාලාවක් හඳුන්වලා දෙන්නම්කෝ...අපේ අතීත ජන සමාජය ඒ තරම් පොහොසත්...අද තියන කුණුහරුප වලට වඩා ගොඩක් දේ ඒවයේ තියනවා... ගොඩක් ස්තුතියි තුෂානි ඔබ අපිත් සමග හැමදාම එකතු වෙනවට....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...