Tuesday, November 12, 2013

කොළඹ කොටුවේදී මවක් ගෙළවැලළා ගැනීමට උත්සහ ගනී .............



වෙනකෙක් නෙමේ දරුවන් දූෂණය කරේ
උන්ගෙම තාත්තා
දරුවෝ ටික අරං ගිහිං පොලීසියට
අනික් දවසේ දැම්මා උසාවියට
පරිවාසේ නෝනා උඩින් පල්ලෙන් අහලා විස්තර
ළමයි දානවැයි කිව්වා ළමා නිවාසයකට
ගෙදර ආ‍රක්ෂාවක් නැතැයි කිව්වම
මං මොනවා කියන්න ද දෙයියනේ ................

එදා ඉදලා බෑ මට ගෙදර ඉන්ට
ඇහෙන්නෙම පොඩි උන්ගේ ඇඩිල්ල
හීනෙන් ඇවිත් හීං එකී කියනවා
ගෙදර එක්කන් යන්ට කියලා
ගිහිං ඇහුවම ළමා නිවාසෙට
ළමයි පෙන්නන්න බෑලු කියන්නලු පරිවාසෙට
පරිවාසේ නෝනට පිටිං යන්න බැරිලු උසාවි නියෝගෙට
මං මොනවා කරන්න ද දෙයියනේ ....................

දරුවෝ මරං කන්න හදපු අමන මිනිහා
එක දවසක් පොලීසියේ තියාගෙන
අපිට පේන්න බැන්නා විතරයි උෟට
අනික් දවසේ උසාවි දැම්මට
ඇප දුන්නා යටිගිරියෙන් කෑ ගහපු ලෝයර්ගේ කටට
මිනිහා ඒ ගමන් ගියා අනික් ගෑණිගේ ගෙදරට
ගේ දොරකඩට ම ඇවිත් බැන්නේ මට
ජීවත් වෙලා ඉන්න දෙන්නෑ කියලා ඌට කරපු දේට
මං මොනවා කරන්න ද දෙයියනේ ......................

ගියා කියන්න ඕනේ හැමෝම ළගට
කිසි කෙනෙක්ගෙන් පිහිටක් නෑ මගේ දුකට
ළමයි ටික ළග නැතුව පපුව ප‍ැලෙන්න එනකොට
මැරිලා ගියානං හොදයි කියලා හිතුනා මට
පොලීසිය උසාවිය පරිවාසේ විතරක් නෙමේ
මේ ලෝකේ මොන කෙංගෙඩි තිබ්බත්
නීතියක් කියලා මොන හරුපයක් ලියලා තිබ්බත්
තමන්ගේ ම ළමයි දූෂණය කරපු එකා
හොර ගෑණිත් එක්ක ඉන්නවා හරි අගේ ට
ළමා නිවාසෙකට දාලා  දුක් දෙනවා ළමයින්ට
මං මොනවා කරන්න ද දෙයියනේ ......................

මේ අවනඩුව තේරෙන්න අැරලා 
මැරෙන්නයි කියලා හැදුව මට
පොලීසියෙන් එක්කන් ගිහින් 
නඩු දාලා උසාවිත් දාලා
දැම්මා මාව මනෝ වෛද්‍යවරයෙක් ගාවට
අනේ හත් දෙයියනේ ...........................
ළමයි දූෂණය කරපු තාත්තට 
නිදහසේ ඉන්න දීලා හොර ගෑණිත් එක්ක පවුල් කන්න දීලා
අමාරුවේ වැටුණ ළමයි ළමා නිවාසෙට දාලා
ළමයි ඉල්ලපු මාව උසාවි දාපු 
මේ මහලොකු මහත්තුරු දැන් කියනවා පිස්සුලු මට
අනේ මහත්තයෝ පිස්සු ම‍ට නොමේ ----------

තුෂාර විතාරණ

.

7 comments:

  1. අනේ මහත්තයෝ පිස්සු ම‍ට නොමේ ----------///


    ආයිත් අහල.... වෙන මොනා කියන්නද උන්ට...

    ReplyDelete
    Replies
    1. ඇත්ත හීරූ,

      නීතිය තියෙන්නේ මිනිස්සුන්ට වැඩ කරන්න. ඒත් වෙන්නේ නීතියට වැඩ කරනවා කියලා පෙන්න පෙන්න මිනිස්සු අමාරුවේ දාන එක. නීතිය හදලා තියෙන්නේ මිනිස්සුන්ට වුණාට ඒක ක්‍රියාත්මක කරන්නේ ඒක හදලා තියෙන අරමුණ හරියට තේරුම් නොගෙන. ඒකනේ මිනිස්සු උසාවියට ඔච්චර බය. ඒක නීතියේ වරදක් විතරක් නෙමෙයි ඒක හරියට තේරුම් නොගත්ත නිලධාරීන්ගේ වරදකුත් වෙනවා.

      Delete
  2. අවනීතිය රජ කරයි - යුක්තිය වල පල්ලට
    මිනිසත් කම් විකිනෙන, සතයට දෙකට
    හිඳ, ඇස් වසාගත් දෙවඟනක් ඉදිරිපිට
    යුක්තිය යදිනා පිස්සු - අපට

    ඔබ නිර්මාණකරනයේදි හැමවිටම මේ සමාජයේ සුලභ. එහෙත් සිදු නොවිය යුතු දෙවල් වස්තුබීජ කර ගන්නවා. ඒ නිර්මාණ වලින් ක‍ටුක සත්‍ය අපූරුවට හෙලි කරනවා.

    ඔබගේ නිර්මාණකරණයට හෘදයාංගම සුබ පැතුම් ...!

    ප.ලි - මෙම කමෙන්‍ටුව සීමා බිඳ ඇතැයි හැඟේ නම් මෙය ඉවත් කරන්න.

    ReplyDelete
    Replies
    1. නෑ කවී,

      මේ ගැන විවෘත ව ගොඩනැගෙන සංවාදයන් තමයි මේවගේ තියෙන වැරදි පෙන්නන්නේ. ඒ නිසා ඔබේ අදහස් වලට උපරිම ගරුකරන අතර කුරුටු ගෑ ගී පවුරේ ඔබ දක්වන ඕ‍නෑම අදහසක් කිසිදු සීමා කිරීමකින් තොරව පළ කරන බවට පොරොන්දුවෙනවා.

      ඔබ විසින් ම‍ාගේ නිර්මාණකරණය පිළිබද කරන ලද අගය කිරීමට බොහෝම ස්තූතියි. අපි මේ ඇත්ත හැමදාම දකිනවා. ඒත් අපි ඒවා දැක්කේ නෑ වගේ ඉන්නවා. එහෙම වෙලා තියෙන්නේ මේවා සමාජය විසින් සාමාන්‍යකරණය කරලා තිබීමයි.ඒත් කවී අපිට මේවා ගැන කතිකාවක් ගොඩනගන්න පුළුවන් නම් ඒක මේ දේවල් වෙනස් කරන්න පුංචි හරි සහයක් දෙයි කියලා අපි විශ්වාස කරනවා.

      ඔබේ අදහස් වලට බොහොම ස්තූතියි.

      Delete
  3. තුශාර.........බල්ලෙකුටවත් වැඩක් නැති....බැල්ලියෙකුටවත් සේවයක් නැති මේ මජර රෙගුලාසි කවදා වෙනස් වෙයිද? වින්දිතයාත් දුකේ....පැමිණිල්ලත් දුකේ...පවුල් පිටින් දිවිනසා ගන්න මේවා තමයි හේතු.

    ReplyDelete
    Replies
    1. ඒක තමයි අරූ,

      නීතිය විතරක් නෙමේ රටේ රාජ්‍ය සේවය කියන දේ පවා තියෙන්නේ මේ රටේ අහිංසක ජනතාව වෙනුවෙන් කියන එක තේරුම් නොගන්න තාක් මේ දේවල් මේ විදිහට ම සිද්ධ වේවි. අපි රටක් හැටියට ගොඩනගාගෙන තිබෙන සියලු දේ ගොඩනැගි ඇති සැබෑ අරුත ටික කලක් යන විට අපිට අමතක වෙන එකයි මේකට හේතුව. අපි හැමෝම තුළ තියෙන ව්‍යාජ මුහුණු ගලවලා අපේ සැබෑ මුහුණු එක්ක ජීවත් වෙන්න පුළුවන් නම් මේ ප්‍රශ්ණ ගොඩක් විසදෙනවා අරූ,

      Delete
  4. මේ සිද්ධිය මම දන්නව.මේක සාහිත්‍ය නිර්මානයකට නම් හොඳයි.නමුත් මේකෙ මිනිහ අහිංසකයෙක්.ගෑනි මානසික රෝගයක් නිසා බොරු චෝදනා කරමින් හැසිරෙන නිසයි මෙහෙම වුනේ.මේක සමාජගත කරපු මාධ්‍ය ආයතනයත් පස්සෙ ඒක නිවැරදි කළා.මම දැක්ක ලංකාදීපෙ තිබුන එක ගෑනියෙක් මුළු ගමේම පිරිමින්ට විරුද්ධව පැමිනිලි කරල ගමම එකමුතුව උද්ගෝෂනයකුත් කරල.ඒ ගැනත් කවි පන්තියක් ලියමුද ඇඩෙන්න.හැඟීම් ඇවිස්සෙන විදියට

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...