Saturday, August 30, 2014

ඔබේ ජීවිත පූජනීයයි......!!!




















අපේ තරුණ ජීවිත වෙත ළබැඳි සෙනෙහසින් අමතමි...

ඔබ......

 
කිසියම් ම හේතුවක් නිසා හෝ... දිවි නසා ගන්නේ නම්... එය...
මහා පාපයක්ම වෙයි... මතු සියළු භවයන් අඳුරු කරවන...



ඔබ අනෙකෙකුට ප්‍රේම කිරීමට පෙර...
ඔබ ඔබටම ප්‍රේම කරගත යුතුය...



ඔබේ දිවි තොර කර ගැනීමෙන්... ඔබ සියල්ලෙන් ගැලවේ ද?...
 

නැත... එය එසේ නොවේ...
 

සියළු ආගමික දර්ශන අනුව... අපි සිදුකරන සියළු දෙයටම...

ඊට අනුරූප විපාක දෙවන්නේම ය...



ඔබට තවමත් සිතෙන්නේ දිවි තොර කර ගැනීමටම නම්... මඳක් සිතන්න...


අභියෝග සහ තෙරක් නැති ප්‍රශ්න යනු ජීවිතයේ අනිවාර්යය දෙයකි...
එය ඔබට මට පමණක් නොව විමුක්තිය සොයාගත් මහා ආගමික නායකයන් හටද පොදු වූවකි...
ඔබේ ප්‍රශ්න වලට මෙන්ම අනුන් නිසා ඔබට ඇතිවූ ප්‍රශ්න වලටද විසඳුම් ඇත...
ඉවසීමෙන් විමසා බලන්න...ඉවසීමෙන් සිටිද්දී යම් මොහොතක දී...
ඕනෑම බරපතල ප්‍රශ්නයකට යහපත්ම විසඳුම කාලය විසින් ඔබ වෙත දෙනු ඇත...

ඔබ වැනිම ප්‍රශ්න වලට මුහුණ දුන්...
ඊටත් වඩා වේදනාවන් විඳින්නවුන්...
මේ ලොව තුළ අනන්තවත් ජීවත් විය...ජීවත් වන්නේය...ජීවත් වනු ඇත...
උපතින්ම අත්, පා, ඇස්, කන් අහිමි මිනිසුන් මෙන්ම...
දිවියේ හොඳම කාලයන්හි දී සියල්ල අහිමි වූ...
ඔබට මේ මොහොතේ ඇති සම්පත් කිසිවක්ම නොමැති මිනිසුන්ද...
ඔබට වඩා මානසික මෙන්ම බාහිර පීඩාවන්ගෙන් පෙළෙනා මිනිසුන්ද...
මේ ලොව ජීවත් වන්නේය...

ඔවුන් මිනිසුන් අතර උසස්ම වන්නේය...මන්ද...



කිසිවක් නැතත් ඔවුනට ජීවත් වීමේ ධෛර්යය ඇති බැවිනි...

තවද...

 
දසමසක් කුස හොවා... ලේ කිරි කර පොවා...දහදුක් විඳ ඔබ හැදූ වැඩූ...
දෙමව්පියන් හට ඔබ පුදන උපහාරය කුමක් ද?...
දිවි තොර කර ගැනීම ද?...
ඔවුන්ගේ පපු තුළ නැගෙන ගින්දර වලින් ඔබේ ආත්මය නොපිළිස්සෙන්නේ ද...



ඉතිං... ඔබට තවමත් මේ ජීවිතය එපා නම්...



ඔබේ ජීවිතය තොර නොකර... ඒ වෙනුවට...
අනුන්ව ජීවත් කරවන්නට නුඹේ ජීවිත කැපකරපල්ලා...එය පිනකි...
රටට වැඩක් කරපල්ලා... එය පිනකි...
මනුෂ්‍යත්වය වෙනුවෙන් වැඩ කරපල්ලා... එය පිනකි...



ඒත් බැරිනම්...

නුඹ අදහන කිනම් හෝ ආගමක් හදවතින්ම ඇසුරු කර...


පාපයකින් තොරව...


මේ සියළු දුක් වලින් ගැලවීමට හැකි මඟක් හොයපල්ලා...


ඒ මගේ පලයල්ලා... විමුක්තිය සොයාගනිල්ලා...

 

අසංක ගයාන් අබේසිංහ


Thursday, August 28, 2014

ලොව්තුරු නිමල පෙම......














මගේ කිරිකැටි පුතුනේ...
දැනගත් දා...
ආ බව මව්ගේ කුස තුළට...
මගේ ලෙයින් සෑදුනු නුඹ...
දැකගන්නට නොතිත් ස්නේහයෙන්...
පෙරුම් පිරුවා මා...
අනන්තයක් තරම්...

මොළකැටි අත් පා සොළවමින්...
මෙලොව එළිය දුටු දා නුඹ...
මුව මඬල විහිදා හැඬූ සඳ...
කඳුළු වෑහුණි මගේ දෙනෙතින්...
ඒ නුඹ වෙනුවෙන් ගැලූ නිම් හිම් නැති සතුටේ කඳුළුම විය...

නුඹේ කිරි සුවඳින් සපිරෙනා...
මව්ගෙ උණුහුමින් රස දෙනා...
ස්නේහයේ විජිතය මෙයම වේ ලොව...
නුඹෙයි මවගෙයි දිවි අරණ තුළ....
වනස්පතියකු වෙමිය මා අද...

පතිනියනේ... මගේ සදාදර...
ණය ගැතිය නුඹට මා සසර වසන තුරු...
මට දායාද කළ මේ වස්තුව වෙනුවෙන්...
වේදනා දරා සෙනෙහසින්...
නුඹේ කුසින්...



අසංක ගයාන් අබේසිංහ

Sunday, August 24, 2014

විශ්වාසය... ආදරය...



















ඔබට මා  පෙම් කළ තරම්
ඉර හඳ පවා දන්නවා වුව
ඒ ඉර හඳම යට අපට
එක් වන්නට ද නොහැක අද ... 


ඔබෙන් සිදුවූ වරදකින්
එයින් මතුවූ කඳුලකින්
හැකි වූවේ නම් සැඟවෙන්නට
තිබුණා නොවෙද එක්වන්නට අපට ...
 


සිහිනයක සුවඳ සේ
රැඳී උන්නද සිත කොනක
හැකිද සැනසෙනු අපට අද
මැවූ මාලිග අතර හිඳ ...
 

සයුරට නදිය මිස
නොම ගලයි සයුර නදිය වෙත
මා සයුරක් වී නම් ගලනා නදිය වෙත
තිබුණා නොවෙද එක්වන්නට අපට ...



අසංක ගයාන් අබේසිංහ

Thursday, August 21, 2014

මට පිස්සු.....


















මොකක්දෝ උලව් අහේතුවක් හින්දා......

මම තනියම හිනාවීමි...
ඔහේ උඩ බලාගෙන සිටියෙමි...
මගදී හම්බවුණු එවුන්ට විරිත්තීමි...
තනියම කතා කළෙමි...
අතට අහුවෙන දේවල් පොළවේ ගැසීමි...
පාර පුරා හෙළුකුට්ටෙන් නැටීමි...
දත් නොමැද නාන්නේ නැතුව ජීවත් වීමි...


ඒ හැර......


ජරාව බුදින ඌරෙක්...
ස්ත්‍රී දූෂිත කුපාඩියෙක්...
දහදුරා වැඩ කරන වලත්තයෙක්...
මිනී මරන අසික්කිතයෙක්...
පස් පඩංගුවේ බොරු කියන පජාතයෙක්...
හොරකම් කරන ජඩයෙක්...
මැරකම් කරන පාදඩයෙක්...
පක්කලිකම් කරන පඩත්තලයෙක්...
කාගෙවත් බලෙන් රැස්පොට් දාන සෙවලයෙක්...
අනුන්ගෙන් ජීවත් වෙන ගමන් ලෝකයට කොකා පෙන්වන හම්පඩයෙක්...
හොරට සිල් රකින බුම්මට්ටෙක්...
ගන්න පඩියට වැඩ නොකරන පිංගුත්තරයෙක්...
කාපු පතේ පහරන සක්කිලියෙක්...
මිනිස්සු රවට්ටන අවලමෙක්...
කේලම් කියන නරිප්පඩයෙක්...
නීතිය වනසන මූකලන් බස්සෙක්...
පළාතම ගඳ ගස්සන උරුලෑවෙක්...
අලජ්ජි වැඩ කරන මුස්පේන්තුවෙක්...
බක තපස් රකින හාල්පාරුවෙක්...
ඇඳුම් ඇඳගෙන වාචාලකමින් හෙළුව පෙන්වන කැනහිලෙක්...
සෙප්පඩ විජ්ජා පෙන්වන පොළොස් කොට්ටෝරුවෙක්....



නොවීමි


ඉතිං......

ඉහත කී අලුකුත්තේරු වැඩ අම්මමෝ නැතිව කරන නස්කූනි පාහරයන් රැළක් කියන විදිහට නම් මට ඔල්මාදය ය......නුහුගුණය ය......පිස්සුය......

උන් මාව කුදලාගෙන ඇවිත් මේකට දැම්මෙව්වෝ ය......මාව කොටුවිය......

දැන් අපි වගේ වාහෙලා ගොඩක් ජොලියේ ජීවත් වෙන මේකට කියන්නේ පිස්සන් කොටුවය......

එබැවින් මම පිස්සෙක් වෙමි.



නවතම පුවතක්: පිස්සන් කොටුවේ සිටින අයවලුන්ගේ රෝගී තත්ත්වයන් සඳහා සාර්ථක ප්‍රතිකාර ඇති නමුත් එළියේ සිටින හිකනලුන් රැළගේ නිදන්ගත රෝග සඳහා සක්වළ ගලෙන් මෙපිට කිසිදු ප්‍රතිකාරයක් හෝ නොමැති බව අලුත්ම පරීක්ෂණ මගින් තහවුරු වී ඇත.


අසංක ගයාන් අබේසිංහ


Tuesday, August 19, 2014

ඔව්......දැවී යනවා මේ අවස්ථාවේ දී .......!!!












ඔයා මට ඇත්තටම ආදරේද ?
ඔය බොරු...
මං දන්නැද්ද තමුසෙගෙ හැටි...
ඔයා මට ආදරේ නෑ...!!!
ඔව් ඉතින් ඔය කරේ...
ඊයා...
මෝඩයා...
ෆෝන් එක තියලා කොහෙද හිටියෙ ??
අනේ මේ මිනිහ නම්...
හැම තිස්සෙම එකම දේ කියන්න බෑ...
ඔයාට මාව තේරෙන්නෙ නැද්ද දෙයියනේ ??
ඇයි ඒ ??
මං හොයාගන්නංකො...
වෙන කෙල්ලො දිහා බලන්නෙ එහෙම නෑ ඔන්න...
මං ඔයාට ආදරෙයි ආදරෙයි ආදරෙයි උම්මා...
මං තරංවත් ලස්සන නැති එවුන් දිහා බලන්න එපා ඕයි මට ලැජ්ජයි...
ඔය කොහෙද බලන්නෙ ??
මාත් එනවා ඔයත් එක්ක...
ඇයි ඕකට තනියමම යන්න ඕන ??
ෂුවර් එකටම එතන තව නැට්ටිච්චියො ඇති
පාටි එක හොඳයිද ??
මං නැතුව පාළුයිද ??
කෙල්ලොත් හිටියද ??
නැටුවද ??
ඔයාට හොඳනම් මට මොකද ??
ඔයාට මාවද නැත්තං යාළුවොද ලොකු ??
හා...
බෑ...
කමක් නෑ...
නෑ ප්‍රශ්නයක් නෑ...
මං කිව්වනේ සැරයක්...
අපි මේක නවත්තමු...
ඔයාට ඇත්තටම ඕනි මේක නවත්තන්නද ??
මං දන්නව ඔයාට මාව නැතුව බෑ කියලා...

පිරිමි පිතිකරුවන් සඳහා ගොඩනැගූ නීති 4 ක්;

(මේවා පවසනුයේ මට සාපේක්ෂව පමණක් බව කරුණාවෙන් සලකන්න...ඔබටත් අදාළ විය හැක...)

1. ඉහත ආකාරයේ වේග, දඟ, ගුග්ලි, දුස්රා, බවුන්සර්, යෝකර් හා තවමත් සොයා නොගත් නහුතයක් පන්දු වර්ගවලට ඕනෑම අවස්ථාවක මුහුණ දීමට සිදුවිය හැක.

2. මේවාට ආරක්ෂිතව පසු පාදයේ ක්‍රීඩා කිරීම මගින් කඩුල්ල රැක ගැනීමට හැකි වනු ඇති අතර කඩුල්ල මුවා කිරීමේ වරදට හසු නොවීමට ද වගබලා ගත යුතුය.

3. ඉහත දෙවන නීතිය පිළි නොපැද වේගවත් ප්‍රහාර එල්ල කිරීමට යාමෙන් දැවී යාමට ඉඩ ඇති අතර සමහර විට ජීවිතාන්තය දක්වා තරඟ තහනමක් බලපෑමට ද ඉඩ ඇත.

4. ස්වභාවිකවම අතිශය අවිනිශ්චිත සිතීමේ රටාවක් සහිත, හරියටම තේරුම් ගැනීමට නොහැකි, කොච්චර කළත් සෑහීමකට පත් කළ නොහැකි පාර්ශ්වයක් හා තරඟය පවත්වන බැවින් වෙන මොකුත් නොහිතා තරඟය ගැන පමණක් අවධානය යොමු කළ යුතුය.



අසංක ගයාන් අබේසිංහ

Sunday, August 17, 2014

ඒ කාලය ආයෙත් එනවානම්......

















පුංචි මල් වැස්සේ - දුව පැන නටා ඔහේ
මල්ලිත් එක්ක රණ්ඩු වී - ගුටි කයි දෙන්නාම අම්මාගෙන්

මහ වැසි වසින විට - අපි සේරම එකතු වෙලා
කඩදාසි ඔරු හදා - පාකර යවා සතුටු වෙයි වතුරේ

කිචි බිචි නදින් කුරුල්ලන් සේ - කෑ ගසා දුව පනිමින් ගේ පුරා
හැපෙයි අම්මාගෙ ඇඟෙත් - සුරතල් රැවුම් මැද ඇගේ

ඉස්කෝලෙ යන්නට කම්මැලි වී - ඇඳට ගුලි වී හොර පූසන් සේ
සිටින විට සැර වෙයි අම්මා - තාත්තාටද කියයි කේලම්

ඉස්කෝලේ යාම හරිම යුද්ධයකි - උදේට කෑමත් හරිම කරදරයි
අම්මා කරවයි ඒ සියළු දේ බලෙන් - කිරි කොකුන් සේ අපි ගෙදරින් යන්නේ

හවසට ගෙදරට එන්නේ - මඩ තවරාගෙන මුළු ඇඟ පුරා
බනිමින් ඒත් ආදරෙන් අපිව - නාවයි රෙදි සෝදා දෙයි අම්මා

පාසලේ පාඩම් හොඳින් -කරයි තාත්තාගෙ අණින්
නොලැබෙන විටදි ප්‍රතිඵල - දඬුවමත් ලැබෙයි හොඳහැටි

මට විරුද්ධව මල්ලි කියයි කේලම් - මාත් අත නොහරිමි ඒ රණ්ඩුව
අම්මාගේ පැමිණිලි රැසක් මැද - තාත්තාටද වෙයි මැදිහත් වන්නට

ලෙඩක් දුකක් වූ විටක - කිහිලි ගන්නාගෙන මල්ලීව
අතින් අල්ලාගෙන මාව - අම්මා යන්නෙ තාත්තත් සමග

බොන්නට නොහැකිව තිත්ත බෙහෙත් - ගේ පුරා දුවන්නෙමු අපි
පන්නයි අම්මා නිරතුරු පස්සෙන් - පැණිරසක් එක්ක බෙහෙත් ගිල්ලන්නට අපිට

කොලු කෙල්ලන් සමග එකතු වී - සෙල්ලම් කරයි අල්ලයි කිරිගස්
දුව පැන නටා රිසි සේ - අඳුරට කලින් එන්නෙ සිහිවී අම්මාගෙ බැනුම්

සිහිවනා විට ඒ සොඳුරු විය - නැවත නොඑන බව මේ භවේ
සිතේ සිරවුණු අමුතු දුකකින් - පෙළයි මා වැඩිහිටි වියේ......


අසංක ගයාන් අබේසිංහ

Saturday, August 16, 2014

කුඩේ...... කුඩේ......
























හද්ද ගොඩකරේ උන් මුදලාලි කෙනෙක්
එක දවසක දුර බැහැරක යනු සිතලා
බුරුත කෝට් බෑය දාල උජාරුවෙන්
අවෙ යන ලෙසින් පාරට හනික ඉතින්

මේ උන්නැහෙ අත මිට ඇත කාසි පනම්
ඒත් මෝඩ ගතිගුණ නම් එමට වෙතේ
ඊට සරිලනා ලෙස ඇති මාන්නයෙන්
පිම්බීලා ඇත මුන්නැහෙ හොඳ පදමින්

සේන්දු වී නගරෙට මේ මුදලාලී
ගිනි පූටක අව්වෙ තට්ටෙ රත්වීලා
ගෙදරින් ගෙනා ලොකු කුඩයත් ඉහලාන
ටවුමෙ හතර කොන ඇවිදී මහන්සියෙන්

මේ ලෙස ආ කාරිය වූ පසු ඉෂ්ඨ
රෑ බෝ විලා මුදලාලිත් දන්නෙ නැතුං
දැන් මුන්නැහෙ කලබල වී හොඳ හැටියේ
ආපසු යන්න බසයක්වත් නැත මේ රෑ

ඉතිං ඇවිද බලනා විට වී විපරම්
තානායමක් වෙයි මේ ලොකු ටවුමෙ ඇති
බයෙන් එහෙත් උජාරුවෙන් ගිහින් බලා
රෑ නවතින්න විදිහක් දැන් විමසන්නා

වැඩට දක්ෂකම ඇති මේ මුදලාලී
ගත්තා එතන තිබු වටිනා කාමරයක්
ඉතිං එදා රෑ ගෙවිලා එළිවෙද්දිං
ආපසු ආවෙ රට රාජ්ජෙ දිනූ ලෙසින්

ඉතිං මෙහෙම තන්තෝසෙන් එන අතර
මගදි සිහිවුණේ ඉහමොළ රත්වීලා
අමතක වී ඇත මගෙ අර ලොකු කුඩය
එය තැබුවේ මා හිටි ඒ ඇඳ යටය

දැන් ආපසු යනවා මේ මුදලාලී
කුඩය කොහොම හරි ගත යුතු වේම සිතා
එහෙම නැතොත් විසුමක් නැත හාමිනෙගෙන්
බැනුම් කප්පරක් ලද හැක හොඳ පදමින්

තානායමට විස්සෝපෙන් ආයෙ ගිහින්
හමුවී ඇත්තෙ දැන් එහි සිටි මැනේජර
මුදලාලිත් විමසයි අර කුඩය ගැන
බලාපොරොත්තුව සුන් විය උත්තරයෙන්

කුඩයක් නම් තිබුණේ නැහැ පෙනෙන්නට
ඒ කාමරය අහුරාලා හොඳ ලෙසට
මේ දැන් දුන්නෙ නව විවාහ යුවළකට
දැන් ආයෙත් යන්නට බෑ අපට ඉතින්

කොහොමින් කොහොම හරි කියලා යාප්පුවෙන්
මුදලාලිම යයි දැන් අර කාමරෙට
ඉල්ලාගෙන එන්නට ඒ ලොකු කුඩය
වටිනා කුඩය නැතිවුනොතින් වැඩක් නැත

යනවිට වසා ඇත දොර ඒ කාමරයේ
මුදලාලිත් දොර ළඟ දැන් සුනංගු වේ
එකපාරම තට්ටු කළොත් එය නරකයි
ටිකක් වෙලා විමසිල්ලෙන් සිටිනු හොඳයි

දැන් දැන් ඇතුළතින් එන්නේ සිහින් සරින්
මධුසමයක මිහිරිය ඇති වදන් පෙළක්
මුදලාලිත් වෙලා ඉතින් හොඳ විපරම්
අසා හිඳියි සිදුවන්නේ කුමක් ඉතින්

මගේ මැණික ඔය ඇස් දෙක මගේ තමයි
නා දළු වැනි තොල් සඟලත් මගේ තමයි
ඔය කන් දෙකත් ඔය සිරුරත් මගේ තමයි
මනමාලයා මනමාලිට කියනු ඇසෙයි

හැමදෙයක්ම මගේ මගේ කියනු අසා
ගල්බීතව ඇත දැන් දොර ළඟ මුදලාලී
මේ විදිහට ගියොත් ඉතින් වලාමේ
මුළු ලෝකෙම තියන ඒව මුගෙ වෙන්නා

මගේ කුඩය මා හට නැති වෙන්න කලින්
කියා පෑව යුතු ඒ බව හනික ඉතින්
එහෙම හිතල මුදලාලිත් සද්දෙ දමා
යතුරු හිලට කට තියලා කිව්ව මෙසේ......

 

අනේ මහත්තයෝ...... ඔය ඇඳ යට ලොකු කුඩයක් ඇති...... ඒකනම් ඔන්න මගෙ හොඳේ......

අසංක ගයාන් අබේසිංහ

Friday, August 15, 2014

නුඹට ආසක්ත වූ මා......



















පාට දේදුන්නකින් වෑහෙනා
වර්ණ තැවරුණු මියුලැසි
හොරෙන් ඉඟි බිඟි පෑව ඒ රුව
හදෙහි පතුලෙහි සැඟවුනා......
 

නොමහැඟුනි මට අරුම පෙම් රස
යා වෙනා තුරු ඔබේ යුග නෙතු
කිම කළේ ඔබ මහද විජිතෙට
ස්වප්නයක් සේ ළං වෙලා......
 

රෑ පුරා පායන ඔබේ වත
සුපුන් සඳ වී රැඳෙයි මගෙ ලොව
ඉනු නොහැක මට එකම නින්දක
දෝරෙ යයි සඳ රැස් ගලා......
 

නිහඬ අරණක් වූ මගේ ලය
සියොත් කූජන නාදයෙන් පිරි
වසත් උයනක් කළේ ඔබමය
මියුරු රන් රස පාහලා......
 

උදාහිරු වැනි පෙමාතුර හද
රැඳී අමපෙම් ගඟුලෙ කිමිදෙන
දියත වේ නම් යම් තැනක්
හද පමණි ඔබෙ මිහිරියේ......




අසංක ගයාන් අබේසිංහ

Wednesday, August 13, 2014

රටේ ප්‍රශ්න...... මගේ ප්‍රශ්න......

























ආනේ පුතා කළු වෙලා... ඇදිලා ගිහිල්ලා...
 

කෙට්ටු වෙලා... කෑම හරියකට නැද්ද...
 

ජොබ් එක කොහෙද... සැලරි හොඳයිද...
 

සැලරි කීයද... ආපෝ එච්චරද...
 

උපාධිය මොකක්ද... අයියෝ ඔයිට වඩා ලොකු ජොබ් එකකට යන්නකෝ
 

වාහනයක් ගන්න අයිඩියා එකක් නැද්ද... ඔයාගෙ තත්ත්වෙට හරි නෑ ඔහොම...
 

දැන් කල වයසත් හරි නේද... බැන්දොත් හොඳයි නේ...
 

තාම කවුරුවත් නැද්ද... කාව හරි බලන්නද ඔයාට...
 

ගෙයක් දොරක් එහෙම තියනවද... දැන් දරු මල්ලොත් ඉන්න ඕන වයසනේ...
 

ඔයා නාකි වෙද්දි ළමයි බඩගාන වයසේ ඉඳියි... ඒ හින්ද ඉක්මනට බඳින්න...
 

හා බැන්දද ඔයා... කොහොමද හොඳයිද... ආව්... ආව්...
 

දැන් බබාලා එහෙම ඉන්නවද... මොන ඉස්කෝලෙටද යවන්නේ...
 

ආපෝ එහෙද... ඕක හරියන්නෑ... බොරු ඇඩ්‍රස් එකක් හරි අරන් ජාතික පාසලට දාන්න...
 

දෙක වසරෙ ඉඳන්වත් ළමය ටියුෂන් යවන්න... එහෙම නැත්නම් බෑ...

 

තව...තව... එලෝ කෝටියක් ප්‍රශ්න මතු සම්බන්ධයි...
 
දැන්... මගේ ප්‍රශ්න දෙක....

අම්මා සහ තාත්තා හැර... අනෙක් බොහෝ දෙනා... මේවා අහන්නේ අවංකවම ද ?...

මටවත් මම ගැන නැති ප්‍රශ්න ගොඩක්... ඒ අයට විතරක් තියෙන්නේ  ඇයි ?...


 

අනේ මන්දා....


අසංක ගයාන් අබේසිංහ





Monday, August 11, 2014

තවමත් හමුනොවූ ඔබ......



















තෙරපි හද සන්තානයේ
ස්නේහයේ හිම බිංදු
සීතලෙන් ගුලි ගැහී
උණුහුමකි පතන්නේ


තවමත් හමු නොවූ හදවතකින්......

 

නිම් තෙරක සුව සොයා
සිත දුරක රැඳවුවා
මායාවි සිහින මැද
මධු බඳුන් හිස්ව යයි


බමන මතින් ඔබ ගැනම කොඳුරමින්......

 

තැඹිලි රතු හැන්දෑවෙ
දිනිඳු රැස් නිවී ගොස්
තරුපතිගෙ කිරණ මැද
තරු මල්ද පීදිලා

 

මගෙ තරුව කොහෙද ඔබ......
 


සිසිල වූ නිශා යමේ
ගිනියම් වු සුසුම් වැල්
තනි යහන කළඹමින්
මඳ පවන සිපගනී


සුහදිනියේ එන්න මගෙ වෙතට......

 

තනිකමත් පාළුවත්
මිරිකිලා දියවෙලා
බිඳු කඳුළු සේ ගලා
යයි නුවන් සිසාරා......


දරාගන්න බෑ මේ හුදකලාව තවත් මට......
 
 
දෛවය...... නුඹ සරදම් කළා මදිද මට තව......

මගෙ හිමිකාරිය සඟවාගෙන හිඳිමින් තවත්......

එවනු ඇය මා වෙතට......

මියැදෙන්නට පෙර මා තනිකම වෙලාගෙන......




අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...