Saturday, September 14, 2013

අතීතයෙන් විත් නෙතේ ඇදෙනවා....




අතීතයෙන් විත් නෙතේ ඇදෙනවා
එදා නුඹේ කෙලි කවට සිනා
ආයෙත් ආසයි යන්නට පාසල්
සැමරුම් මග බලා ඉදිනවා........

පියසි අග බිද බිදෙන් හැලෙනා
සීත වැහි බිදු අතරට සුරත පොවා
ඈත දුර සිහිනෙක උන්නා
බිත්තිය කොනකට වාරුවෙලා...
මිහිදුම් අතරින් මග බලන් ඉදිනවා
අතීතයෙන් විත් නෙතේ ඇදෙනවා....

ඔබේම අකුරින් ලියූ කවක්
තාමත් හිරිකඩට ගැහෙනවා
එදා සේම නා තුර මල් දා
                                      අතීතයෙන් මට සුවද ගෙනෙනවා.......

                                                                                                  
                                                                                                    හසිත හර්ෂණ

නොමසුරු සිනහව................


දැනුමෙන් පරතෙරට ගිය
මා,
දිනක්,
තුරුළු කරන්
දැනුමට ලද දුසිම් ගණනක් සහතික
මහත් උ...ජා...රු...වෙ....න්
සුදු මහතුන්ගෙන් ණයට ගත්
කළු පාට,
ටයි කෝට් පොරවගෙන
අඩි උස,
කළුපාට,
සපත්තු යුගලකින්
වසාගෙන මා දෙපා
වීදියේ ඇවිදයන
නූගත්,
දුප්පත්,
මිනිසුන් දහස් ගණනකගේ
හිස් උඩින්,
බලමින් වීදියේ සිව්දෙස
ඇවිද යන කල
මා දුටු,
දුගද හමන කාණුවක් අයිනේ
කඩපිලක් පාමුල
තෙමි තෙමී සිරිපොදට
වැරහැලි ඇඟලාගන
පිළුණු,
ඉඳුල් බත් වළඳමින්
හිස් අහස දෙස බලා සිටි
හිඟන්නෙක් ,
සිනා සුනා ,
මට.
ඔහුගේ කළුපාට
දත් දෙපළ විලිස්සමින්.

සුරංග එස්. විජේසූරිය

අක‍්‍රීය සත්‍යවාදීනි, තොප හැමටත් වඩා විනයකි ....



අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ මිනිසුන් රස්තියාදු කරන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය ඔලමොට්ටලයන්,
එක වැඩක් කර ගැනීමට
අතේ පිච්චියක් නැතිව
බස් ගානේ බඩ ගාගෙන
පාන්දර හිට නැගිට
දවස ම ටවුමට එන
නීති රීති හරිහමං නොදන්නා
අහිංසක මිනිසුන් ව මාස ගණන් රස්තියාදු කරති.
ඒත් ඔබ මිනිසුන් රස්තියාදු කරන්නේ නැති බව හැබෑවකි..................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ පගා යදින්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය පගාකරුවන්
වේලක් හැර වේලක් කන
බඩවල් පිට කොන්දට ඇලී ගිය
මුහුණු හැකිලී හකු පෑදුනු
දරුමල්ලන් ද කරපින්නා ගෙන එන
දුගී දුප්පතුන්ගෙන්
පුංචි ලියවිල්ලකට
දහස් ගණන් හූරා කති
ඒත් ඔබ පගා යදින්නේ නැති බව හැබෑවකි................

අක‍්‍රීය සත්‍යවාදීනි
නුඹ ගසාකන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය ගසාකන්නන්
ගෙවල් බුරුතු පිටින්
ගං වතුරට හරි නායට හරි යටවෙච්ච
ඉන්න හිටින්න තැනක් තියා කන්නවත් නැති
ජීවිතේ ගැන බලාපොරොත්තු විරහිත
පිහිට පතමින් ජීවිතය යදින
අසරණ මිනිසුන්ට කන්නට දෙන දෙයින් ගසා කති.
ඒත් ඔබ ගසාකන්නේ නැති බව හැබෑවකි....................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ මිනිසුන්ගේ කරපිට යන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය දේශපාලූවන්,
අව්‍යාජ මිනිසුන්ගේ හැඟීම්
දාහේ නෝට්ටු වලින් මැන
අවුරුදු ගානකට වරක් දකින හීන ලෝකය පෙන්වා
බියර් සහ ගල් වලින් මත් කොට
ගස් ගල් ගානේ වැඳගෙන ඉඳ
මිනිසුන්ගේ කරපිටින් ප‍්‍රාඩෝ මොන්ටෙරෝ වලට නැගැ යති.
ඒත් ඔබ මිනිසුන්ගේ කරපිටින් යන්නේ නැති බව හැබෑවකි.........................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ තමන් වෙනුවෙන් මිනිසුන් මරන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය මිනීමරුවන්,
රට ජාතිය සහ ආගම මවාපාමින්
ස්වකීය යහපැවැත්ම සඳහා ම
රටේ මව්කුසින් වැදූ
ඔත්පල මව්වරුන් අත දැරූ
පවුලේ බර උරින් දැරූ
ශක්තිමත් තරුණයින්
ජාතිමාමකත්වයෙන් පුම්බවා
වෛරය නම් යුධ අවි අතට දී
ගිනිගෙන පුපුරු ගසන යුධ බිමකට තල්ලූකර
තමන්ගේ ජීවිතය වෙනුවට උන්ගේ ජීවිත බිලි දී
අහිංසක මව්වරුන්ගේ දරුවන් මරා දමති.
ඒත් ඔබ මිනීමරන්නේ නැති බව සත්‍යයකි.....................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹේ දෑත් පිරිසිදු වන නමුත්
එය බලන්නට ලොව එකෙකුදු ඉතිරි නොවනු ඇත.

මන් ද කෲරත්වය, වෛරය, මුසාව, සහ ප‍්‍රචණ්ඩත්වය
නුඹ මෙන් අක‍්‍රීය නොවන නිසාවෙනි.

ඉදින්
උන් හැමට වඩා නුඹ ලෝකයට
විනයකි, හෙණයකි, විපැත්තියකි...........................



තුෂාර විතාරණ

.

Friday, September 13, 2013

හීන පාට කරන්න එන්න ................................



සිහින කොදෙව්වක අතරමග මුණගැසුණ
සොඳුරු නෙත් මගේ හද මන බැඳුණ
එදා මෙන් අදත් සිත සුවය දෙන
මන්මත් කරයි මහද මොහොතකට සමවැදුණ ..............................

සමනලුන් රොන් සොයා පියඹලා ඇදෙන ලෙද
ඔබ මා ත් පියඹුවා නිශායම හීන ලොව
එළිවෙද්දි තටු සිඳී සිහින බොඳ වූ සඳ
හිටිවනම මියැදුනා සොඳුරු පෙම අපේ ළඟ ......................

ඔබේ මුදු උණුහුමට ලංවෙමින් සිහින ලොව
පාට පෙව් සිත්තමම මැකී ගොස් අදුරු ‍වුව
ඔබ මගෙන් දුර ගොසින් හැර දමා සිහින ලොව
යළි එන්න සොඳුර ඔබ අපෙ සිහින සිත්තමට .................................

කාංචනා චන්ද්‍රසේකර

.

Thursday, September 12, 2013

ඉනි වැට ළග බලා හිදී අප එන තුරැ අම්මා ................../ විචාර / සුරංග එස් විජේසූරිය



බුදු පදවිය හැරුණු කොට මේ ලොව එතරම්ම උත්තරීතර පදවියක් වේ නම් ඒ මව් පදවිය යයි කීම තර්ක විරහිතය. මන්ද මව් පදවිය එතරම්ම උත්තරීතර වන නිසාවෙනි. ඒ අනෙකක් නිසා නොව බුදු පියාණන් වහන්සේගේ කරුණා මහිමයට සමාන කරුණා මහිමයක් මවක් සතුවන නිසාය. ගෝලීයකරණ සමාජ ප‍්‍රවාහය හමුවේ දරුවන් වදා මහමග දමා යන යුගයක් අපට උරුම වී තිබෙන්නේ සමාජ සාරධර්ම දිනෙන් දින මිනිසුන් තුළින් වියැකී යමින් පවතින යුගයක් උදාවී තිබෙන හෙයිනි. මේ හේතුවෙන් මෙවන් උතුම් මව් පදවියට නිගා දෙමින් මව් පදවිය හෑල්ලූවට ලක්කරන ගැහැණුන්ට මව යන උතුම් වදන පවා අනුචිතයයි කිවහොත් එය නිවරදිය. මව් පදවියට මෙසේ නිගා දෙමින් මහමග දරුවන් තනිකර දමා යන කුහක අම්මලාට මව් පදවියේ උත්තරීතර භාවය කියාදීමට පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමියන් පන්හිද ඔසවන්නේ මවක සතු කරුණා මහිමය, දරු සෙනෙහස සමාජයට කියා දීමට මෙනි. අප හිමි තම සිත් කොනේ නිරුත්සාහකව ගලා එන්නා වූ මව් සෙනෙහසේ කරුණා මහිමය ගීතයකට පණ පොවන්නට සමත් වන්නේ සමස්ත ගීතය පුරාවටම චිත්ත රූප මවාපාමින්ය. සිද්ධාර්ථ හිමියන්ගේ තෙලිතුඩින් එළිබට ගීතයට අසහාය ශබ්ද මාධූර්යයක් එක් කරමින් සහෘද වින්දන මානයට ගෙන එන්නේ ප‍්‍රවීණ ගායන ශිල්පිණී දීපිකා ප‍්‍රියදර්ශනී මහත්මියයි.

අප හිමියන් ස්වකීය ප‍්‍රස්තුතය ගීතයට නගන්නට ආකෘතිය සොයා ගන්නේද අව්‍යාජ සරල සුගම ආකෘතික රටාවක් වන ජන කවියේ ආකෘතිය යයි කීම සාවද්‍ය නොවන්නේ ජන කවියේ ආභාසය ගීතය පුරාම ආත්මයක් වී තිබෙන බවක් පෙනෙන හෙයිනි. අප හිමියන් මවක සතු කරුණා ගුණ කඳම්බය සහෘද වින්දන මානයට රැගෙන එන්නට උචිතතම ආකෘතිය සොයාගෙන තිබේ යයි කීම නිවරදිය. සරල සුගම ගැමි කටවහරට හුරු වාග් මාලාවක් උපයුක්ත කර ගනිමින් ගැමියකුගේ සිතට තම මව කෙරෙහි දැනෙන හැඟෙන ආකල්පයන් සිතුවිලි, සෙනෙහස මවා පාමින් පද පෙළ ගොණු කරන්නේ සෑම වදනක් තුළින්ම මවකගේ කරුණා මහිමය, දරු සෙනෙහසේ මහිමය ප‍්‍රතීයතමාන වන අයුරිනි. දරු සෙනෙහසට උතුරා හැලෙන මවකගේ කරුණා ගුණ කඳම්බය ගී පද වැල් 12 කට කැටිකරන්නට යාම කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අසීරු කටයුත්තකි. නමුත් සිද්ධාර්ථ හිමියන්  උචිත පද උචිත තැන්හි පිහිටුවමින්  ගීතයට හානියක් සිදු නොවන අයුරින් පද සංකල්පනාව නිමවන්නට දරන තැත සාර්ථක උත්සාහයකි. ඒ අනෙකක් නිසා නොව ගීතයේ සෑම පදයක් තුළින්ම මවකගේ කරුණා මහිමය මතුකරන්නට සමත් වී තිබෙන හෙයිනි. මවගේ චිත්ත අභ්‍යන්තරයේ දෝර ගලන දරු සෙනෙහස, කරුණා මහිමයෙන් බිඳක් හෝ ගීතයකට කැටි කරමින් ගීතයේ රසභාව පීනනය කරන්නට අප හිමි දරණ උත්සාහය සාර්ථක වන්නේ නිර්ව්‍යාජ බසක් හිමි ජන කවි රීතියේ ස්වකීය පද සංකල්පනාව ගොණු කරන නිසාය. නූතන ආර්ථික වර්ධනයේ සහ තරඟකාරී ලෝකය හමුවේ ගැමි සමාජ වටපිටාවක් හිමි දරුවන්ට තරම් නාගරික දිවි පෙවෙතක් හිමි දරුවන්ට මාපිය සෙනෙහස කරුණා මහිමය නොලැබේ යයි කීම යුක්ති යුක්තය. මන්ද බොහෝ  දෙමාපියන් වෙහෙසෙන්නේ තම දරුවන් ගෙදරින් බැහැර කර හෝ නේවාසිකාගාර තුළ රඳවමින් සුපිරි පාසල් වෙත තම දරුවන් ගාල් කිරීමටය. කුඩා කළ සිට මාපිය සෙනෙහසක් නොලබමින් මෙසේ හැදෙන වැඩෙන දරුවන්ට හිමි වන්නේ බුද්ධිය පමණක් යයි කෙනෙකු තර්ක කරන්නේ නම් එය සාවද්‍ය නොවේ. මන්ද සමාජ සාරධර්ම ඔවුන්ට කියාදෙන්නට තම මව් සෙනෙහස කුඩා කලදීම අහිමි නිසාය. සමහර දරුවන් දෙමාපියන් දකින්නේද සතියකට වරක් හෝ දෙවරක් පමණක් වන්නට පුළුවනි. මෙවන් දරුවන් මාපිය සෙනෙහේ කාගෙන් ලබන්නද? මෙය සමාජය දෙවරක් සිතිය යුතු පැනයකි. එහෙත් අප හිමි තම ගීතයට ප‍්‍රස්තුත සපයා ගන්නේ කප්පරක් දුක් උහුලමින් කරුණාවේ ප‍්‍රතිමූර්තියක් බඳු දරු දුකට දිවා රූ නොනිදා වෙහෙසෙන ගම් ගොඬේ අම්මාකෙනෙකි.

”කඳුළු හෙළා නෑඹිලියට සහල් ගරන අම්මා
සුසුම් හෙළා ගිනි දළු ගෙන ලිප මොළවන අම්මා
වෙල් දෙණිවල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා
ඉණි වැට ළඟ බලා හිඳී අප එනතුරු අම්මා................”


උක්ත ගී පද සංකල්පනාව ඇසෙන සැණින් අපට ගැමි ගෙදරක කප්පරක් දුක් ගින්දර සිත් කොනේ රුවාගෙන එහෙත් සතුටින් තම දරුවන්ට සෙනෙහස පානා අම්මා කෙනෙකුගේ රූ සෝභාව අප සිත් කොනේ චිත්ත රූප මවන්නේ නිරුත්සාහකවමය. ඇගේ සිත් කොනේ පොරබදන දුක් ගින්දර කිසිම විටක දරුවන්ට හැඟෙන්නට, දැනෙන්නට දෙන්නේ නැත. ඒ අසීමිත දරු සෙනෙහසට දුක් ගින්දර පරාජය වන හෙයිනි. ”කඳුළු හෙළා නෑඹිලියට” යන පද කිහිපය ඇසෙන සැනින් අපට ඇගේ සිතේ නළියන දුක් වේදනා කොපමණක්දැයි සිතේ. එහෙත් ඒ දුක් වේදනා තනිවම දරාගන්නට ඇය සමත්ය. හිස පහතට හරවාගෙන සහල් ගරන ඇගේ සිත් කොනේ දෝරගලන දුක් කන්දරාවට නෙත් කෙවෙනි අගට උණන උණු කදුළු දෙකොපුල් නිම්නය දිගේ ගලා විත් නෑඹිලියට වැටෙන්නේ ඇයටත් නොදැනීය. මෙයින්ම ඇගේ සිතට දැනෙන දරු දුක කොතරම්දැයි සිතිය හැකිය. ඉතා අමාරුවෙන් උපයාගත් සහල් මිට තම පවුලේ කුසගිනි නිවන්නට තරම් වේදැයි සිතමින් ඇය සිතින් දුක් වේ යයි අපට තර්ක කිරීමට පුළුවනි. පවුලක බර පියෙකුට වඩා දැනෙන්නේ මවකටය. මන්ද ඇය පවුලේ සියල් දුක් උහුලන නිසාය. දරුවන්ගේ කුසගිනි පියෙකුටත් වඩා දැනෙන්නේ මවටයයි කිවහොත් එය සාවද්‍ය නොවේ. සහල් ගරන නෑඹිලියට කඳුලූ බිඳු වැටෙන බව අප හිමි දැක්වීමෙන්ම ඇගේ අඟහිඟකම් කොපමණදැයි මොහොතක් සිතා බැලිිමට පුළුවනි. එහෙත් කිසිම දිනක උත්තරීතර මාතෘත්වයක් හිමි මවක් තම දරු කුරුළු බිළිදුන් කුසගින්නේනම් නොතබයි. ඒ අපරිමිත දරු ස්නේහයේ යථාර්ථයයි. තම කුසට අහරක් නැතත් දරුවන්ගේ කුස පුරවා බත් වළඳ අඩියේ ඉතිරිවන කළුපාට දංකුඩයෙන් කුසගිනි නිවාගෙන ඒ දුක දරුවන්ට නොපෙන්වන මව්වරුන් මෙතෙකැයි කියා කිව නොහැක. නගරයේ සුපිරි මන්දිර තුළ අධි සුඛෝපභෝගි දිවි ගෙවන මව්වරුන් මෙවන් දුක නොදනිතත් ගම් දනව්වල අන්ත අසරණ එදා වේල කෙසේ හෝ සරිකරගෙන ජීවිතය ජීවත් කරවන මව්වරුන් කොතෙකුත් අපට හමුවේ. අප හිමි ඇගේ චිත්ත අභ්‍යන්තරයේ දැවෙන දුක් වේදනාවේ තරම කියන්නට අපූරු පද ගැලපුමක් එක් කරයි. ”සුසුම් හෙළා ගිනි දළුගෙන ළිප මොළවන අම්මා.......” ඇය ගේ සුසුම් පොදෙන් ළිප ගිනිදළු ගෙන තාලයට නැටවෙමින් ඇවිලෙයි. නමුත් අප හිමි මේ රත් පැහැ ගිනි දළුවලින් සංකේතවත් කරන්නේ ඇගේ සිතේ දැවෙන අගහිඟකම් පිළිබඳ දුක්ඛ වේදනාව යයි කිවහොත් එය සාවද්‍ය නොවේ.

එමෙන්ම ඇය කෙතරම් දරුන්ට සෙනෙහස ඇති අම්මා කෙනෙක්ද යන්න කීමට කදිම පද සංකල්පනාවක් වන්නේ ”වෙල් දෙණි වල ඇවිද ගොසින් වෙරළු ගෙනත් අම්මා.......” ඇය සැබෑම ගැමි මවකි. තම පවුලේ කුසගිනි නිවන්නට දෙයක් සොයා ගම් දනව්වේ පිය නඟන ඇයගේ නෙතට හසුවන පළතුරක් පවා  තම දරුවන්ට ගෙනෙන්නේ එය රස විදින දරුවන්ගේ සතුටු සිනා දකිමින් ඇය ද සතුටුවන්නටයි. ඒ අනෙකක් නිසා නොව ඇය සතු අසීමිත දරු සෙනෙහස නිසාය. තම තුරුලෙන් මිදී දරුවන් නිවසින් බැහැර ගියේනම් පමාවන මොහොතක් පාසා ඇගේ නෙත් රැදී තිබෙන්නේ ඉණි වැටේ කඩුල්ල ළගය. ඇය දරුවන් දැන් ඒ දෝයි සිතමින් මග බලයි. ඉණි වැට නගරයේ නම් කවදා දකින්නද. ඉණි වැට ගැන සඳහන් කිරීමෙන්ම මොවුන් ගෙවන ගැමි දිවි පෙවෙත ගැන හෙළිවේ. මෙසේ ගමේ සිටිමින් කෙතරම් දුක්ඛ දෝමනස්සයන් වැළඳුවද ඇය කිසිදා අනාගත ලාභ අපේක්ෂාවක් පෙරළා දරුවන්ගෙන් නොපතයි. නිතර දෙවේලේ පතන්නේ අන් කිසිවක් නොව තම දරුවන්ගේ දියුණුව පමණි. ඇගේ එකම බලාපොරොත්තුවද තම දරුවන්ගේ දියුණුව දැකිමයි. ඇය නිතැතින්ම පතන්නේද දරුවන්ගේ දියුණුව යි.

”මව්කිරි බිඳෙන් බිඳ දෙතොලට පොවාලා
පෙව්කිරි බිඳෙන් බිඳ ලෝකය නිවාලා................”


ඇය ගතින් සිතින් කප්පරක් දුක් වේදනා ඉහිලූවද දරු සෙනෙහසට ඇයට ඒවා තරම් නොවේ. රඹුකන සිද්ධාර්ථ හිමියන් උක්ත පද ද්විත්වයෙන් අප අපගේ ළාබාල කාලයට රැගෙන යාමට සමත් වේ. මෙලොව මව්කිරි බිඳක් දෙතොල නොගෑ කෙනෙක් නැත. එසේ වේනම් ඔහු හෝ ඇය  ඕපපාතිකයෙකි. මෙලොව උපන් කෙනෙක් වේනම් උපන් වේලේම මෙලොව පළමුව රස බලන්නේ මව් කිරිය. තම කුසින් දරුවකු වැදීමට අනන්ත දුක්ඛ වේදනා ඉහිලූවද ඇයට තම දරු කුරුළු බිළිඳා දුටු ගමන් ඒ සියලූ දුක් වේදනා මොහොතින් අමතක වේ. තම දරුවාගේ සිගිති දෙතොල් අතරින් මතුවන කිරිකැටි සුමුදු සිනා දකින ඇය ප‍්‍රීතියේ පත්ලටම කිඳා බසී. දරුවාගේ සිනා දකින ඇගේ සිරුරේ ගලන රුධිරය කිරි බවට හැරෙන්නේ මේ දරු සෙනෙහස නිසාය. තම සිරුරේ රතුපාට රුධිරය කිරට හරවා දරුවාට පොවන ඇය කිසිම විටක තම සිරුරේ සුන්දරත්වය ගැන හෝ  නොසිතයි. සිරුරේ නහර වැල් මතුවෙමින් සිරුර වැහැරුනද ඇය මොහොතක් හෝ ඒ ගැන නොසිතන්නේ දරුවාට ඇති සෙනෙහස නිසාය. කිරි උරා බොන බිළිඳාගේ සුරතල් සිනා බලමින් ඇය සතුටු වේ. මේ සැබෑ මවකගේ ලක්ෂණයයි. අප හිමි මවගේ දෙතනෙන් කිරි උරා බොන සිගිති දරුවකුගේ සුරතල් සිනා දකින මවකගේ සිතේ ඇතිවන සතුටු සිනා සහෘද වින්දන මානයේ චිත්ත රූප මවමින් ගීතයට පණ පෙවීමට සමත් වේ. මේ මනා පරිකල්පනයක් හිමි දක්ෂ නිර්මාණකරුවකුගේ දක්ෂතාවයයි. පොවාලා, නිවාලා යන පද තුළ තිබෙන්නා වූ රිද්මය තුළින් කිරි උරා බොමින්  දරුවා නැළවෙන අයුරේ රිද්මයක් මතු කෙරෙන බවක් ගම්‍යමාන වේ. දරු සෙනෙහසින් ඉල්පෙන සැබෑ මවක් තුළ තම දරුවන්ගෙන් කිසිදු ලාභ අපේක්ෂාවක් නැත. ඇය තුළ පිරී පවතින්නේ අපේක්ෂාවක් නොව උපේක්ෂා ගුණයයි. ඇය දරුවන් දෙස බලමින් දරුවන්ගේ දියුණුව පමණක්ම හදවතින් පතන්නේ එනිසාය.

”සක්විති වෙයන් යයි සිඹ සිඹ කියාලා
අම්මාවරුන් දුක් වින්දා හඬාලා........”


මේ ලෝ තලයේ සිටින සෑම උත්තරීතර මවක්ම නිතැතින්ම පතන්නේ දරුවන්ගේ දියුණුවම පමණි. ඇය හදවත පතුලින්ම නිරතුරු පතන්නේ සිහින දකින්නේ තම කුසින් වැදූ දරුවන් සක්විතිි පදවිය ලබනු දැකීමටයි. එනම් දරුවන්ගේ දියුණුවයි. දරුවන්ට දුකක් වේදනාවක් ඇතිවන විට දරුවන්ට වඩා හදවත රිදුම් දෙන්නේ අම්මා වරුන්ටයයි කිවහොත් එය තර්ක විරහිතය. දරුවකු නොමග යනවිට ඇය හදවතින් දහස් වරක් හඩා වැළපෙන්නේ දුක් වන්නේ එනිසාය. මන්ද තම දරුවන් කෙරෙන් ඇය දකින සිහින බොඳවනු දැකීමට ඇය අකමැති බැවිනි. මවක් කුඩාකළ සිටම තම දරුවන් නළවන්නේද උකුලේ නැළවෙන බිළිඳා මෙලොව සිටින නිර්භීතම දරුවා කරමිනි. ඒ අනෙකක් නිසා නොව කුඩා කළ සිටම තම දරුවන් රජුන් කරවන බලාපොරොත්තුව සිතේ සිහිනයක් සේ තිබෙන නිසාය.

”ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා..”


ලෙසින් දරුවා  නළවන්නේද තම ඇකයේ සිටින දරුවා නිර්භීත තැනැත්තෙකු බව සිතට කාවද්දමිනි. ගලින් ගලට පනින සද්දන්ත ඇතුන් පවා තම බිලිදාට බයේ දුවන බව කියමින් උකුලේ නැළවෙන දරුවා රජෙක් කරන්නට කුඩාකළ සිටම ඇය සිහින දකී. මේ ගීත තුළ ධනාත්මක ච්න්තනයක් පවතින බව මේ ගැන විමසිල්ලෙන් බලන අයකුට පෙනේ. එහෙත් වත්මනේ මහත් ඛේදවාචකය වී තිබෙන්නේ මෙවන් නැළවිලි වත්මන් මව්වරුන් නොදැනීමයි. අද දරුවන් නින්දට යන්නේ බාල බොළද රේඩියෝ නාලිකා ඔස්සේ අතොරක් නැතිව ගලායන  ගිරවුන් මෙන් වාචාල  දොඩවන රැප් (Rap) සංගීත හඩින් යයි කිවහොත් එය නිවරදිය. තම සිරුරේ සුන්දරත්වය නැතිවේ යයි බියෙන් මව්කිරිද නොදෙන මව්වරුන් ද වත්මනේ අඩුවක් නැත. දරුවාට කුඩා කළ සිට පොවන්නේ දෙතනේ මව්කිරි නොව එළදෙනුන්ගේ කිරිය. නැළවෙන්නේ රැප් (Rap) සංගීතයෙනි.

”දරුවන් අනේ රජවනතුරු මග බැලූවා
දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා
දරු සෙනෙහසින් මුහුදත් කඳුළක් කරවා
ඉුදුවන පුතුන් හට අය ඉණි මං තැනුවා...............”


උතුරා දෝර ගලන දරු සෙනෙහසින් හරිහමං අහරක් කුසට නොගෙන කුසෙන් අඩක් සතපා මවක් දරුවන් ලොකුමහත් වනතුරු අනේකවාරයක් සිතින් සිහින මවන්නෙත්, සිතින් පතන්නෙත් දරුවන්ගේ දියුණුව පමණි. දරුවන්ට දියුණුව පතමින් දරුවන්ට සමාජයේ ඉහලට යාමට ඉණිමගක් වන්නේ ඇයයි. එහෙත් එසේ මවගේ වාරුවෙන් ඉහලට යන දරුවන්ට අතට යහමින් මිල මුදල් ලැබෙන විට මව්පියන් අමතක වේ. මෙය සමාජයේ මහත් ඛේදවාචකයකි. මෙය ගෝලීයකරණයේ වරදද? එසේ නොමැතිනම් බුද්ධිය පමණක් වඩවන සාරධර්ම නොවැඩෙන නූතන අධ්‍යාපන රටාවේ වරදද? අප නිර්මාණකරුවාණන් සමාජයේ ගැඹුරු ප‍්‍රශ්නයක් තිබෙන තැනකට නෙත් යොමයි.

”දුක සැප බලන්නට නාවත් සෙත් පැතුවා...”

බොහෝ දරුවන්ට අතට මිල මුදල් ලැබී සමාජ තලයේ ඉහලට යනවිට තම මහළු දෙමාපියන් තමනට බරක්, කැළලක් යයි සිතනවා වන්නට පුළුවනි. දරුවන් සුවිසල් මන්දිර තුළ සුර සැප වි`දිමින් යෙහෙන් වැජඹෙයි. දෑතේ කරගැට එනතුර අනත්ත දුක් විදිමින් කුසට සරිලන තරම් හරිහමං අහරක් නොගෙන කුසින් අඩක් පුරවාගෙන තම ගතේ නහර වැල් මතු වී සිරුර කෘෂ වන තුරු සිරුරේ රුධිරය කිරට හරවමින් දරුවන් ලොකුමහත් කිරීමට කප්පරක් දුක් ඉහිලූ මව්පියන් මහළු මඩමේ සුසුම් හෙළති. එහෙත් මවක් කිසිම විටක තම දරුවන්ට වෛරයක් සාපයක් නොකරයි. සිත් කොනකින්වත් තරහක් නැත. තමන් මහළු මඩම් තුළ අනන්ත දුක්, සංකා වළ`දමින් දුක් වේදනා වින්දද තව තවත් පතන්නේ දරුවන්ගේ දියුණුවම පමණි. මේ උතුම් මවකගේ මව් සෙනෙහසේ මහිමයයි. කිසිදා තමන් බැලීමටවත් නොආවද කිසිම දිනක දරුවන්ට සාප නොකරයි. අප හිමි ගීතය අවසන නැවත වරක් මව්පියන් අමතක කරන දරුවන්ට මවගේ කරුණා මහිමය මතක් කර දෙන්නේ  ”බුදුවන පුතුන් හට ඇය ඉණිමං තැනුවා” යන ගී පද පේළියෙනි. මහළු තමන් බැලීමටවත් නොපැමිණියද දරුවන්ට ශාප නොකර දරුවන්ට බුදු බව පවා පැතීමට වුවද ඇය කාරුණික ගුණයෙන් යුත්තය. මේ ඇය සතු සිවි බඹ විහරණයන් නිසා නොවේද? මවක් කිසිදා තමා පෙව් කිරි ක`දුළට, කැවූ බත් කටට පෙරලා දරුවන්ගෙන් ප‍්‍රත්‍යූපකාර බලාපොරොත්තු නොවේ. ඇයට උපේක්ෂාවක් මිස අපේක්ෂාවක්  නොවේ යයි කීවේ මෙනිසාය. දරුවන් වදා මහමග තනිකර දමා යන මව්වරුනට දරු සෙනෙහසේ මහිමය කියා දීමට අප ගීත රචක සිද්ධාර්ථ හිමියන් මහත් වෑයමක් ගන්නා සෙයක් පෙනේ. ගීතය පුරා සෑම පදයක් පාසාම උතුරා යන මව් සෙනෙහසේ කරුණා මහිමය ගීතය තුළින් කුළුගැන්වීමට අප හිමි සමත් වේ යයි කීම නිවරදිය.

රඹුකන සිද්ධාර්ථ හිමියන්ගේ තෙලිතුඩින් එළිබට මෙම පද සංකල්පනාවන් ගැමි ආරක් ගත් සිව්පද ආකෘතය තුළ ගොණු කරන්නේ ඊටම උචිත සරල අව්‍යාජ වාග් මාලාවක් පරිභාවිත කරමින්ය. උතුම් මව් සෙනෙහසේ අගය ගීතය පුරාම මොනවට සූචනය කරන්නේ උතුරා යන මව් සෙනෙහසේ කරුණා මහිමය සෑම පදයක් තුළටම කැටි කරමින් බව ගම්‍යමාන වේ. කවියට පුනරුක්තිය දෝෂයක් වුවද අප හිමි ගීතයට පුනරුක්තිය ආභරණයක් කරගනිමින් ගීතයේ රසය වැඩිකරවන බවක් විශද වෙයි. ”අම්මා”, ”අම්මා” ලෙස මුල් පද පේලි හතරේම අගට යෙදුවද එය එළිසමය වෙමින් මවකගේ උතුම් කරුණා මහිමය, දරු සෙනෙහස සෑම පදයක් තුළින්ම ප‍්‍රතීයමාන කිරීමට සිද්ධාර්ථ හිමියන් සමත් වී තිබෙන බව කීම සාවද්‍ය නොවේ. ගීතයේ පද පේළි 12 පුරා එළිසමය නිරුත්සාහකව රකිමින් එය ගීතයට ආභරණයක් කරගනිමින් ගීතය අලංකාර කරන අතරම එමගින් ගීතයේ රසය වඩවයි. මෙකී එළිසමය මගින් උතුරා යන මව් සෙනෙහස විද්‍යමාන වන බවක්ද පෙනේ. සමස්ත ගීතයෙන්ම කරුණා රසය මතුකරන සෙයක් පෙනේ. මේ අනුව ගැහැණියකට මෙලොව ලැබිය හැකි බුද්ධත්වයට පමණක් දෙවනි වන උත්තරීතර මව් පදවිය කුළුගැන්වීමට රචනා වූ ගීත අතර රමණීය ගීතයක් ලෙසින් මෙය අගය කිරීම තර්ක විරහිතයයි සිතේ. 


සුරංග එස්. විජේසූරිය.

.

Wednesday, September 11, 2013

හුදෙකලාව ............................



මේඝයක් සේ ඇදී විත් සිත් අඹර හළු කළා
විශ්වාසය ........................

ගව්ගණනක් දුර හා හැර දමා ඔබ ගියා
බලාපොරොත්තුව ..........................

ආත්ම ගණනක් පුරා දුටු හීන බොද කළා
ආදරය .......................

වගවලසුන්ට හසු ව සිදී බිදී විසිර ගියා
රැකවරණය ...................

නොකා නොබී නිදිවරාගෙන සොයා ඇවිද්දා
ජීවිතය .....................

සියල්ල සැඩ සුළගකට හසු ව ඔබ විතරක් ම ඉතිරි වුණා
හුදෙකලාව .......................


කාංචනා චන්ද්‍රසේකර

.

Sunday, September 8, 2013

අදත් තරහා වෙලා ......................



ඊයේ තරහා වුණේ
තවම කිසිම සද්දයක් නෑ..............

හැමදාම ඔහොමයි
පුංචිම පුංචි දේකට තරහා වෙනවා.
එදා වෙනකල් මං කරපු හොද ඔක්කොම ඉවරයි.
මේ ලෝකේ ඉන්න
කාලකන්ණිම මිනිහා මං කියලා කියනවා.
ඒ විතරක් යෑ,
ඊ‍ට පස්සේ මං උන්නද මලාද බලන්නේ නෑ.................................

කොච්චර තරහා වුණත් කමක් නෑ.
මාව පේන්න බෑ කියලා කිව්වක් කමක් නෑ.
මට බැන්නත් කමක් නෑ.
මං ගැන කාට මොනවා කිව්වත් කමක් නෑ.................

ඔච්චර ම තරහයි නම්,
මට ගැහුවත් කමක් නෑ.
ඒත් මදිනම් මට වෙඩි තියලා මැරුවත් කමක් නෑ.............

හැබැයි මට පේනනම බැරි,
මෙච්චර රින්ග් කරලත්,
ෆෝ‍‍න් එක ගන්නැති එක ...............................

තුෂාර විතරණ

.

Saturday, September 7, 2013

මැරෙන්න බය නැති මිනිසා .......................



මට ගෙදරක් නැත.
ගෙයක් දොරක් කුමට ද
මට කාත්කවුරුවත් නැත.
ඒ නිසා ම මං මොනවත් ම
පොදි ගසා නැත.
ඉතින් මට රකින්නට දෙයක් තිබුණේ ද නැත.
තිබුණත් ඒ වෙනුවෙන් යුද වදින්නට
දරුවන් ද නැත.
දරුවන් කොයින් ද
මම කසාද බැන්දේ ද නැත............................

මම මැරෙන්න බය නැත.
මන්ද මගේ මිනිය ප්‍රදර්ශනයට
දවස් ගණං තියාගන්නේ නැත.
තියාගන්නේ කොහේ ද
මට ඉන්න හිටින්න තැනක් නැත.
තියාගත්තත් මොකට ද
මං වෙනුවෙන් දුක්වෙන්න, අඩන්න කවුරුත් නැත.
අඩන්න තියා දවසක් දෙකක්
නිදිමරන්නවත් එකෙක් නැත..........................

ඒ නිසා මම මැරෙන්න විතරක් නෙමෙයි 
ආයෙම ඉපදෙන්න වුණත් බය නැත.....................................

තුෂාර විතාරණ

.

Thursday, September 5, 2013

හරමානිස්ගේ ඡන්ද තේරීම ............



ජනාධිපතිවරණය, මහමැතිවරණ,
ප‍්‍රාදේශීය සභා ඡන්ද මදෑ බං.................
අහවල් කෙංගෙඩියට දෑ
පළාත් සභා .......................

මට නං ඔය මක්කක්වත්
තේරෙන්නෑ කොලුවෝ .............
හැම ඡන්දෙකදිම පෝස්ටර් වල ඉන්නේ
මහින්ද මහත්තෑනේ..................
ඡන්දෙන් පස්සේ පැරදුනා කියන්නේ
රනිල් උන්නැහැනේ............................

ඉතින් උං දෙන්නට එක තරගයක් තිබ්බනං
ඇති නෙව
හැමදාම ඡන්ද මොකටෙයි ...................

හැමදාම බෙදන
ලැට්කටවල්, ටකරං,
ඇස්කන්නාඩිවලින් හරි
හීං එවුන්ට පොත් පත් බෙදන එකෙන් හරි
ඡන්ද වරිගේ හොයාගන්න බෑ කොලුවෝ ............................

හැබැයි ඒකට ත් කරමයක් තියෙනවා.
ප‍්‍රාදේශීය සභා කියන එකේ දී කෑම දෙන්නේ
මහතුං මලයලෑ ගෙදර දි ...........
පළාත් සභා කියන එකට කෑම දෙන්නේ
විලිසොං අප්පොලාගේ දිහෑදි ...............
මහමැතිවරණයට කන්න දෙන්නේ
දිසානායක ඇමතිලෑ දිහෑදි .................

ජනාධිපතිවරණයට විතරක්
කලිං නම දාගෙන
අයිඩිංඩිය පෙන්නලා
බස් එකේ ගොහිං
ජනාධිපති මන්දිරේ දී නෙව කන්නේ..................

ඕං  ඕක තමා ඔය ඡන්ද වල වෙනස ......................


තුෂාර විතාරණ

.

Wednesday, September 4, 2013

එකම එක පාරක් . . . . . . . .




කවුරුහරි ඔබට එක පාරක් බැන්නාද?
ඔහු ඔබත් එක්ක සිය පාරක් හොඳින් කතා කරලා තියෙනවා.

කවුරුහරි ඔබට එක පාරක් එරෙව්වාද?
ඔහු ඔබත් එක්ක දහස් පාරක් හිනාවෙලා තියෙනවා.

කවුරුහරි එක පාරක් ඔබ දිහා නොබලා ගියාද?
ඔහු අනේක වතාවක් ඔබ දිහා බලල තියෙනවා.

කවුරුහරි ඔබව එක පාරක් ප‍්‍රතික්ෂේප කරාද?
ඔහු කීප පාරක්ම ඔබත් එක්ක වැඩ කරලා තියෙනවා.

කවුරුහරි ඔබව එක පාරක් පහත් කොට කතා කළාද?
ඔහු බොහෝ වාරයක් ඔබව අගය කරලා තියෙනවා.

කවුරුහරි ඔබෙන් එක දෙයක් උදුරගත්තා ද?
ඔහු ඔබට බොහෝ දේවල් දීලා තියෙනවා.

කොහොම වුණත්,
ඒ එක වාරයටත් ඔබ බොහොම අකමැතියි තමයි.

ඒත් ඒ අකමැති එකම එක වාරය මතක තියාගෙන.
ඔබ කැමති වාර සිය දහස් ගණනක් අමතක කරනවා ද ?


 තුෂාර විතාරණ

.
Related Posts Plugin for WordPress, Blogger...