Saturday, September 14, 2013

අක‍්‍රීය සත්‍යවාදීනි, තොප හැමටත් වඩා විනයකි ....



අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ මිනිසුන් රස්තියාදු කරන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය ඔලමොට්ටලයන්,
එක වැඩක් කර ගැනීමට
අතේ පිච්චියක් නැතිව
බස් ගානේ බඩ ගාගෙන
පාන්දර හිට නැගිට
දවස ම ටවුමට එන
නීති රීති හරිහමං නොදන්නා
අහිංසක මිනිසුන් ව මාස ගණන් රස්තියාදු කරති.
ඒත් ඔබ මිනිසුන් රස්තියාදු කරන්නේ නැති බව හැබෑවකි..................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ පගා යදින්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය පගාකරුවන්
වේලක් හැර වේලක් කන
බඩවල් පිට කොන්දට ඇලී ගිය
මුහුණු හැකිලී හකු පෑදුනු
දරුමල්ලන් ද කරපින්නා ගෙන එන
දුගී දුප්පතුන්ගෙන්
පුංචි ලියවිල්ලකට
දහස් ගණන් හූරා කති
ඒත් ඔබ පගා යදින්නේ නැති බව හැබෑවකි................

අක‍්‍රීය සත්‍යවාදීනි
නුඹ ගසාකන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය ගසාකන්නන්
ගෙවල් බුරුතු පිටින්
ගං වතුරට හරි නායට හරි යටවෙච්ච
ඉන්න හිටින්න තැනක් තියා කන්නවත් නැති
ජීවිතේ ගැන බලාපොරොත්තු විරහිත
පිහිට පතමින් ජීවිතය යදින
අසරණ මිනිසුන්ට කන්නට දෙන දෙයින් ගසා කති.
ඒත් ඔබ ගසාකන්නේ නැති බව හැබෑවකි....................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ මිනිසුන්ගේ කරපිට යන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය දේශපාලූවන්,
අව්‍යාජ මිනිසුන්ගේ හැඟීම්
දාහේ නෝට්ටු වලින් මැන
අවුරුදු ගානකට වරක් දකින හීන ලෝකය පෙන්වා
බියර් සහ ගල් වලින් මත් කොට
ගස් ගල් ගානේ වැඳගෙන ඉඳ
මිනිසුන්ගේ කරපිටින් ප‍්‍රාඩෝ මොන්ටෙරෝ වලට නැගැ යති.
ඒත් ඔබ මිනිසුන්ගේ කරපිටින් යන්නේ නැති බව හැබෑවකි.........................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹ තමන් වෙනුවෙන් මිනිසුන් මරන්නේ නැති බව හැබෑවකි.

එනමුත් සක‍්‍රීය මිනීමරුවන්,
රට ජාතිය සහ ආගම මවාපාමින්
ස්වකීය යහපැවැත්ම සඳහා ම
රටේ මව්කුසින් වැදූ
ඔත්පල මව්වරුන් අත දැරූ
පවුලේ බර උරින් දැරූ
ශක්තිමත් තරුණයින්
ජාතිමාමකත්වයෙන් පුම්බවා
වෛරය නම් යුධ අවි අතට දී
ගිනිගෙන පුපුරු ගසන යුධ බිමකට තල්ලූකර
තමන්ගේ ජීවිතය වෙනුවට උන්ගේ ජීවිත බිලි දී
අහිංසක මව්වරුන්ගේ දරුවන් මරා දමති.
ඒත් ඔබ මිනීමරන්නේ නැති බව සත්‍යයකි.....................

අක‍්‍රීය සත්‍යවාදීනි,
නුඹේ දෑත් පිරිසිදු වන නමුත්
එය බලන්නට ලොව එකෙකුදු ඉතිරි නොවනු ඇත.

මන් ද කෲරත්වය, වෛරය, මුසාව, සහ ප‍්‍රචණ්ඩත්වය
නුඹ මෙන් අක‍්‍රීය නොවන නිසාවෙනි.

ඉදින්
උන් හැමට වඩා නුඹ ලෝකයට
විනයකි, හෙණයකි, විපැත්තියකි...........................



තුෂාර විතාරණ

.

29 comments:

  1. තුෂාර.....මම ඔබේ අදහසට ගරු කරමි.

    ReplyDelete
    Replies
    1. ඔබට ස්තූතියි අරෑ.

      කවි කියවලා අපිව දිරිමත් කරන්න ඔබ කෙටි සටහනක් තියා යනවාට මමත් ඔබට ගරු කරමි

      Delete
  2. උඹට මගේ ආචාරය.. සුපිරියි..

    ReplyDelete
    Replies
    1. මං දැන් දැක්කේ මාතලන්,

      ඔබේ සින්ඩියේ මගේ කවියට ලොකු වටිනාකමක් දීලා ඉඩක් දීලා තියෙනවා. මං බ්ලොග් කරන්න ගත්ත මුල් කලේ මමත් හිතුවා මගේ පෝස්ට් එකක් මේ විදිහට පළවෙනවානම් කියලා. අද ඒක වෙලා. ඔබ මට දුන්න අවස්ථාවට මං ස්තූතිවන්ත වෙනවා.

      Delete
  3. බොහොම ස්තූතිය මාතලං,

    ඔබගේ අගය කිරීම ඉතාම සතුටින් භාරගන්නවා. ඒ විතරක් නෙමෙයි ඔබ දක්වන සහයෝගයට ස්තූති කරන්නත් ඕනේ.

    තුෂාර විතාරණ

    ReplyDelete
    Replies
    1. ගනන් ගන්න එපා පුතා.. අපි අගය කළ යුතුදේ අගය කරන්න කවදාවත් පසු බට වෙන්නේ නෑ...

      Delete
    2. +++++++++
      මාතලන්ට මගෙනුත් මල් මිටක්

      Delete
  4. ඇය අරගල කළේ සියලුම මිනිසුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්...

    ඇය වෙනුවෙන් ලියැවුන මේ කවියේ යථාර්ථයට තමයි ඇය පණ පොවමින් හිටියේ මියෙනතෙක්ම.

    ඇය වගේම ඔබටත් මගේ ආචාරය

    ReplyDelete
    Replies
    1. දයානන්ද,

      මේ කවිය මං සුනිලාට සීමා කරන්න හිතුවේ නෑ. සුනිලාගේ පාරේ ගිය නමුත් අද දීප්තිටයි, නිර්මාල්ටයි බැන බැන වෙබ් අඩෙවි පුරව පුරවා ඉන්න සත්‍යවාදීන් යැයි පෙන්වන සමස්ථය ම මීට අදාලයි. දීප්ති, නිර්මාල්ට විතරක් සීමා කරන්නත් එපා. එතකොට සත්‍යවාදීන් කියන්නේ එක්ස් ලා වෙනවානේ. ඊට එහා ගිය 71 කැරැල්ලෙන් මතුවුණ, පසු ව එන්ජීඕ කරණයට ලක්වුණ සත්‍යවාදීන් යැයි පෙන්වන කොටසකුත් ඉන්නවානේ. ඒ විතරක් නෙමෙයි කුමාර් රෑපසිංහ, සුනිලා, සරා, වැලිඅමුණ, බෝපගේ, කෙලී, වගේ දැවැන්ත යැයි මවාගත් චරිත වල හෙවනැල්ල යට ඉදගෙන රස්සා කරලා යැපෙන පිරිසකුත් පෙන්නනවානේ අපි මහා සත්‍යවාදීන් කියලා. මේ වැනුම ඒ හැමෝම වෙනුවෙන් ම වේවා..................................

      ඔබේ අස්වැන්න අඩවිය මං නිතරම කියවනවා. ඒකේ තිබුණ ජයතිලක බණ්ඩාර සහෝදරයාගේ සින්දු ටික තෝර තෝර ඇහුවා.

      ඔබගේ අස්වැන්නට මගෙත් ආචාරය

      තුෂාර විතාරණ

      Delete
    2. තුශාර........ඔබ මේ සම්බන්ධව දක්වන අදහස් හරි වැදගත්. නිකම් ඉන්න ගමන් ලිව්වොත් නරකද?

      Delete
    3. ඔබගේ අදහසට ගරැ කරනවා.

      මට මගේ ජීවිතයේ එක් අවස්ථාවක එක්ස් සාමාජිකයන් සමගත්, හිටපු එක්ස් සාමාජිකයන් (තවත් වචනයකින් කියනවා නම් එක්ස් විරෝධී වූ එක්ස් පාවාදුන්නවුන්) සමගත්, මුල් යුගයේ එක්ස් මතවාදය ගොඩනැගූ නමුත් එක්ස් ගොඩනැගෙන ‍මොහොතේ ඊට එරෙහිවූවන් සමගත්, වැඩ කරන්න අවස්ථාව ලැබුණා. ඒවගේ ම එන්ජීඕ කාරයන් බහුතරයක් එක්ක ම පාහේ වැඩකරන්නත් ලැබුණා. මට ඔය හැමෝම ගැන විවේචන තියෙනවා. ඒත් මං බ්ලොග් පිටු පුරව පුරවා මඩ ගහන්න තියාගත්තොත් මමත් නිර්මාල්ලා, දීප්තිලා, පෙරදිග සුළං සහ ත්‍රිමාණ වගේ ම තවත් වෛරය පිට කරගන්න බ්ලොග් කරන කෙනෙක් වෙනවානේ.

      ඒ හැමෝ ම එක්ක වැඩ කරපු වෙලාවෙදි (වැරදියට තේරැම් ගන්න එපා මං කවදාවත් එක්ස් මතවාදය එක්ක හෝ එක්ස් විරෝධී මතවාදය එක්ක එකට හිටගෙන වැ‍ඩකරලා නැහැ. පුද්ගලයන් එක්ක විතරයි සමීපව වැඩ කරලා තියෙන්නේ.) මට පිටින් ඉදන් සමීපව එයාලාගේ චර්යාව නිරීක්ෂණය කරන්න ලැබුණ නිසා මං සතුව ඔය හැමෝම ගැන හොද ගණනය කිරීමක් තියෙනවා. හැබැයි මං ඒක ලිය ලිය කේලම් කියවන්න මිනිස්සු එකතු කරන්න ඕන නැහැ කියන එකයි මගේ අදහස. අනික මට අනූව එක්ස් කියන්නේ ස්වයං වින්දනයක් වගේ එකක්. එයාලාම පොඩි ආතල් එකක් අරන් එයාලාම ඒක ගැන කතා කර කර ඉන්නවා. එයාලා ම බෙදිලා බැන ගන්නවා. ඒවගේ ගන්න ආතල් වලට ගැලපෙන වචනේ එ්ක තමයි.

      හැබැයි සාමාන්‍ය සමාජය කියන එක ඊට හාත්පස වෙනස් දෙයක්. ඔවුන්ගේ අවශ්‍යතාවයන් සහ හැසිරීම් ඉතා ම සරලයි. ඔවුන්ට මහා න්‍යායන් සහ මතවාදයන් ඕනේ නැහැ. නූතනත්වය හරි පශ්චාත් නූතනත්වය හරි මොකට ද එදා වේල කන්න දුක් විදින කුලී වැඩකරන මිනිහෙක් ට. ඒ නිසා නිර්මාණකරණය කියන දේ වෛරයට හෝ දහ පහ‍ලොස් දෙනෙක්ගේ ආතල් එකකට සීමා නොකර මහපොළොවේ පැලවුණ යතාර්ථය ගැන සංවේදී මිනිසුන් බිහිකරන්න භාවිතා කරන්න ඕනේ කියන එකයි මම හිතන්නේ. ඒ නිසා අපි එක්ස්ලා ගැනයි එන්ජීඕ ගැනයි කතා නොකර ඉමු.

      සැර වැඩි වුණාද මන්දා. එහෙම හිතනවානම් සමාවෙන්න

      තුෂාර විතාරණ

      Delete
    4. තුෂාර......බොහොම ස්තූතියි. සැරද, තිත්තද කියලා අදාල වෙන්නේ නැහැ බං සත්‍යය ඉදිරිපිට. උඹලාගේ බ්ලොගේ ඉඩක් තියෙනවානම් මේ වගේ ලිපිවලටත්, අපිටත් නොදන්න දෙයක් දැණගන්න පුලුවන්

      Delete
    5. අනිවා.

      අපි ඒ දැන ගැනීම නිර්මාණකරණයක් තුලින් ම හදුනා ගමු. බොහ‍ොම ස්තූතියි ඔබගේ අදහස් වලට

      තුෂාර විතාරණ

      Delete
  5. නිර්මාණකරණයට ඔබ දක්වා ඇති සමත් කම ඉහළින්ම අගයමි.

    ReplyDelete
    Replies
    1. ඔබේ අගය කිරීමට බොහොම ස්තූතියි. නිර්මාණකරණය කියන දේ අපි හැමෝම ළග තිබෙනවා. යම් ප්‍රස්තුතයකට සමවැදීමට තරම් එය අපට දැනුන විට අපේ කටෙන් පිටවෙන හැම මචනයක්මත්, අතින් ලියැවෙන හැම දෙයක්මත්, සිතේ මැවෙන හැම රෑපයක්මත්, නිර්මාණයක් කියන එකයි මගේ දර්ශනය. අවශ්‍ය වෙන්නේ ඒ ප්‍රස්තුතයට අපි කොයිතරම් සමීපයිද කියන දේ විතරයි. ඒක ප්‍රකාශ වෙන මාධ්‍යය හෝ වචන හෝ එම වචන වල ශිෂ්ට අශිෂ්ට බව කියන දේනම් එච්චර වැදගත් නෑ.

      තුෂාර විතාරණ

      Delete
  6. ඇත්තටම සුපුරියි..නියමයි..අයියට හොද හැකියාවක් තියෙනව..ජය වේ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රොෂාන්,

      ඔබේ අගය කිරීම මගේ කවියට වටිනාකමක් එකතු කරා කියලයි මට නම් හිතෙන්නේ

      තුෂාර විතාරණ

      Delete
  7. හරිම අගෙයි....
    මිනිස්සු වැඩිපුරම බය සත්‍යයට, සත්‍යවාදීන්ට. මවාගත්ත බොරුවක් ඇතුලේ ඉඳගෙන එය රසවිඳින්න පුරුදු වෙලා ඉන්නවා මදිවට අනුන්ටත් ඒ බොරුවම ගිල්ලවන්න හදන වුන් අතර ඔබේ ලිවිල්ල සත්‍යවාදීනට සවියක් වේවා...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මොරබ්බා,

      හැබැයි ප්‍රශ්ණය තියෙන්නේ ඇත්තටම සත්‍යවාදීන් වන පිරිස හැමදාම නිහඩයි. බොරැ සත්‍යවාදීන් රගපෑවට ඇත්ත සත්‍යවාදීන් අක්‍රීයයි. එතනයි ප්‍රශ්නය තියෙන්නේ. එයාලා වැරදි නොකර හිටියට මදි. අසත්‍යය පරද්දන්න සත්‍ය වෙනුවෙන් සටන් කළ යුතුයි. නමුත් සැබෑ සත්‍යවාදීන් අක්‍රීයයි.

      Delete
    2. සැබෑ සත්‍යවාදීන්ට සක්‍රිය වෙන්න ඉඩ දෙන් නෑ... මම මුලින් ම වැඩ කළේ මානව හිමිකම් ක්ෂේත්‍රයේ... ඒ සඳහා ඇති රජයේ සහ රජයේ නොවන ආයතන හැම එකක ම වැඩි පුර ම ඉන්නේ බොරු මවා පාන්නන්... මානව හිමිකම් කියන දේ තේරුමවත් නොදන්නා අය... එයින් මුදල් උපයා ගන්නා අය. එතැනට උගත්/නූගත් දෙපිරිස ම අයත්. ඒ ගැන හැබෑ හැඟීමක් ඇති කෙනා ඒ අය දකින්නේ අන්තරාවක් විදිහටයි. ඉතින්, ඒ ගැන සැබෑ හැඟීමක් ඇති මිනිසුන් කපා හරිමින් ඔවුන් සන්ධානගත වී අදාළ ක්ෂේත්‍රයේ ආධිපත්‍යය පතුරවනවා.

      මේ දේ හරිම කනගාටුදායක තත්ත්වයක්. අන්න ඒ නිසයි, මානව හිමිකම් කිව්වා ම අපට මැවී පෙනෙන්නේ, තරු පහේ හෝටල්වල පවත්වන නොයෙකාකාර සමුළු සම්මන්ත්‍රණයි ඉංග්‍රීසි කතා කරන පන්තියකුයි විතරක්.

      ඉතින්, බොරු උජාරුව පෙන්වන උස් හෙළවල් නොවී ඇත්ත අය අවට පරිසරයට හරිත පැහැය ගෙන දෙමින් පුංචි පැළෑටි වෙනවා..

      Delete
    3. ඔබ හරිහට ම හරි කදු,

      ‍මගේ අත්දැකීමත් ගොඩක් සමානයි. මම ත් මානව හිමිකම් ක්ෂේත්‍රයේ කාලයක් වැඩ කරා. ඔබ‍ගේ අදහසට මම මුළුමනින් ම එකග වෙනවා. ඒ වගේ ම සැබෑ සත්‍යවාදීන්ට සක්‍රීය වෙන්න නොදෙන්නෙත් මේ හොරැම තමයි. ඒ හින්දාමයි මානව හිමිකම් කියන දෙය අපේ රටේ මේ තරම් අභියෝගයට ලක් වෙලත් අපිට කරන්න දෙයක් නැත්තේ.

      තුෂාර විතාරණ

      Delete
  8. Replies
    1. බොහොම ස්තූතියි කදු

      Delete
  9. මේ පෝස්ට් එක නම් හරිම අගෙයි ..මම කිව්වේ ලියලා තියෙන රටාව සුපිරියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සයිලන්ට්,
      ඇත්තට ම අපි ඇගට දැනෙන්න කියන්න ඕනේ දේවල් තියෙනවානේ. අපි මේවගේ දේවල් මහා ලොකුවට කතා කෙරුවට ඇත්ත කතාව තමයි මේවා ප්‍රායෝගික ව කරන්න මිනිස්සු සූදානම් නෑ කියන එක. ඒවා කරන්න තරම් මිනිස්සු අවංක නෑ. ලෝකයට පෙනෙන්නට මහා සුදනෝ වෙන මිනිස්සු හැංගිලා ගත කරන පුද්ගලික ජීවිතය තුළ දී හරිම කුහකයි. ඒවගේ ම කුප්පයි. ඒ නිසා මේවා කවි වලට සීමා නොකර ජීවිත වලට එකතු කරගන්න පුළුවන්නම් විතරයි වටින්නේ සයිලන්ට්.

      Delete
  10. සුදර්ශන ගුණවර්ධනSeptember 25, 2013 at 10:15 AM

    තුෂාර පුතා, අද ඔබ යුද හමුදාවේ කපිතාන් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන බව දැන ගන්නට ලැබුණා. අපේ රට රැකගැනීමට පෙරමුණ ගත යුත්තේ ඔබ වැනි සක්‍රිය සත්‍යවාදීන් මිස අක්‍රිය සත්‍යවාදීන් නොවෙයි. මානව හිම්කම් ගැන ඔබට සැබෑ කැක්කුමක් තිබුණත් එන් ජී ඕ කාරයන් ඔබ වැනි අවංක පුද්ගලයන් කපා දමන්නේ ඔබ් වැනි අයට ඔවුන් බිය නිසයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරියෙකු ලෙස තරු පටි පැළැඳ මානව හිමිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කිරීමට වරම් ලැබේවායැයි මම ඔබට ආශීර්වාද කරනවා.

    ReplyDelete
  11. සුදර්ශන ගුණවර්ධනSeptember 25, 2013 at 10:16 AM

    තුෂාර පුතා, අද ඔබ යුද හමුදාවේ කපිතාන් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන බව දැන ගන්නට ලැබුණා. අපේ රට රැකගැනීමට පෙරමුණ ගත යුත්තේ ඔබ වැනි සක්‍රිය සත්‍යවාදීන් මිස අක්‍රිය සත්‍යවාදීන් නොවෙයි. මානව හිම්කම් ගැන ඔබට සැබෑ කැක්කුමක් තිබුණත් එන් ජී ඕ කාරයන් ඔබ වැනි අවංක පුද්ගලයන් කපා දමන්නේ ඔබ් වැනි අයට ඔවුන් බිය නිසයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරියෙකු ලෙස තරු පටි පැළැඳ මානව හිමිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කිරීමට වරම් ලැබේවායැයි මම ඔබට ආශීර්වාද කරනවා.

    ReplyDelete
  12. සුදර්ශන ගුණවර්ධනSeptember 25, 2013 at 10:16 AM

    තුෂාර පුතා, අද ඔබ යුද හමුදාවේ කපිතාන් තනතුර සඳහා සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වන බව දැන ගන්නට ලැබුණා. අපේ රට රැකගැනීමට පෙරමුණ ගත යුත්තේ ඔබ වැනි සක්‍රිය සත්‍යවාදීන් මිස අක්‍රිය සත්‍යවාදීන් නොවෙයි. මානව හිම්කම් ගැන ඔබට සැබෑ කැක්කුමක් තිබුණත් එන් ජී ඕ කාරයන් ඔබ වැනි අවංක පුද්ගලයන් කපා දමන්නේ ඔබ් වැනි අයට ඔවුන් බිය නිසයි. ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිලධාරියෙකු ලෙස තරු පටි පැළැඳ මානව හිමිකම් රැකගැනීම වෙනුවෙන් සටන් කිරීමට වරම් ලැබේවායැයි මම ඔබට ආශීර්වාද කරනවා.

    ReplyDelete
  13. ඔබේ අදහස අදාල ව අදහසක් දැක්වීමට නොපෙළඹුණේ මෙතෙක් එම තනතුරට සම්බන්ධ වීම ස්ථිර වී නොතිබුණු බැවිනි. නමුත් දැන් එය ස්ථිරය. මම මානව හිමිකම් වෙනුවෙන් පමණක් නොව, මගේ දැක්මට අනුව වෙනස් කළ හැකි සියල්ල වෙනස් කිරීමට නොපසුබට උත්සහයක යෙදෙමි.

    මා සක්‍රීය සත්‍යවාදියෙකැයි කියමින් ඔබ කළ අගය කිරීම තරමට වැඩියමක් ය යන්න මාගේ හැගීමයි. කෙසේ වුව ද එන් ජී ඕ කාරයන් මා කපා දැමූ බවක් මා දැන නොසිටියෙමි. නමුත් එය එසේ සිදුවූවාදැයි නැවත සිහිපත් කරන විට සැක සිතෙයි.

    කෙසේ වුව ද ශ්‍රී ලංකා යුද හමුදා විද්‍යාපීඨයේ කතිකාචාර්යවරයෙකු ලෙස කපිතන් තනතුරක් ලැබ සේවය කිරීම තුළින් මා දකිනා බොහොමයක් දේ වෙනස් කළ හැකි බව මාගේ හැගීමයි. එය මගේ ශක්ති ප්‍රමාණයෙන් ඉටු කිරීමට අපේක්ෂා කරනු ලබන අතර එම තනතුර සදහා සම්මුඛ පරීක්ෂණයට සහභාගී වීමේ දී ඔබ සහ ඔබ ආයතනයේ නිලධාරීන් දැක්වූ සහයෝගය ද ඉතා අගය කොට සලකන්නෙමි. එය ඉදිරි කටයුතු සදහා මා දිරිගැන්වීමක් බව හැගෙයි. එබැවින් ඒ වෙනුවෙන් වූ මාගේ යුතුකම ද නොපිරිහෙලා ඉටු කිරීමට වගබලාගමි.

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...