Sunday, October 27, 2013

කපුගේ.........., එන්න මේ මිනිසුන් අතරට, මේ ඔබේ ලෝකයයි...................



කපුගේ,
අපිට තරු හතේ අටේ හෝටල්  ඕනෙ නෑ.
අපි කැසිනෝ ඉල්ලන්නෙත් නෑ.
නැව් ආවත් නැතත් අපිට වරායවල්  ඕනෙත් නෑ.
මිනිස්සු ගොඩබහින්නැති තැන්වලට
ගුවන් තොටුපලවල්  ඕනෙත් නෑ.
වෙන එකක් තියා අධිවේගී මාර්ග  ඕනෙත් නෑ.
ඒත් අපිට කන්නැතුව ඉන්න බෑ කපුගේ
අපිට  ඕනේ ජීවත් වෙන්න කන්න දෙයක්.................

”මිරිවැඩි සගලක් ඉල්ලා නොහඩමි
පායුග නැති උන් වෙසෙන රටේ
කුසගින්නට කිරි ඉල්ලා නොහඩමි
ඉදුල් බතට පොර බදින රටේ

බණක් අසන්නට පන්සල් කුමට ද
වැදි බණ කියනා මෙහෙවු රටේ
අඳ ගොළු බිහිරන් වී කුමට ද අපි
ඔළුවක් නැති උන් වෙසෙනා මෙහෙවු රටේ..............”

ලක්ෂ ගණනින් ජනතා කැමැත්ත
හූරා කමින්, කොල්ලකමින්
අත යටින් ලැබෙන පිච්චියකට දෙකකට
අම්මා තාත්තා පාවා දුන්නවුන්
ගිනස් වාර්තා තබමින් ජයගත්තත් කුමකට ද කපුගේ
උන් අපිට ම හිනා වෙවී ජයපැන් බොනවා..............

”නවත්වන්න ඔල්වරසන්
බිම හෙළන්න බොන ජයපැන්
දිනන්නේ කවුද මෙතැනදි සහෝදරයිනේ..................”

ගල් වලක, වැඩපළක
දවස පුරා දහදිය හළා,
ලැබෙන තුට්ටු දෙක තුනක මුදල
දහසකුත් එකක් හීන දළුලන හිතට තියා
වැරහැලි හැඳි පොඩි වුන් විලිවසන්නටවත්
නොහැකි නම් මොනවා කියලා කරන්න ද කපුගේ
උන් දකින වාරයක් වාරයක් ගානේ
හිතට දැනෙන දේ අනන්තයි.................

”බණ්ඩි පැටවු මගට ඒවි
උන් අම්මා පිලට ඒවි
හිස් අත්දෙක කියන කතා රස දැනුනාවේ
අගහිගකම් මුතු වැස්සේ අපි තෙමුණාවේ.............”

කපුගේ,
ලෝකය බින්දුවක්වත් වෙනස් වෙලා නෑ.
එදා නුඹ දුටු කුරිරු, දුෂ්ටකම්
තාමත් එහෙමයි. එහෙමමයි.
නුඹට එන්න කීවත් නුඹ කියනා දේ
වෙනසක් නෑ කියලා මම දන්නවා................

”මන්දිර මණ්ඩප සිහසුන් අරනා
රාජ ඉසුරුබර නිරිදුන් හමුවේ
පේලි ගැනී හිද ගැති හඩ නගනා
ප‍්‍රශස්ති ගීයට නොබිදින් මා තත................”

මටත් කියන්නට තිබෙන්නේ නුඹ කී දේමයි.
නැගිටින්න ඔතනින්.
එන්න දුක් විදින් මිනිසුන් අතරට.
උන් තාමත් එදා වාගෙම දුක් විදිනවා.
වේදනාවෙන් මිරිකෙමින්,
කන්න බොන්න නැතුව,
දුගී දුප්පත්කමින් ඔහේ බලාගෙන ඉන්නවා.
එන්න මේ මිනිසුන් අතරට,
මේ ඔබේ ලෝකයයි...................

”දිලිදුබවේ අසරණකම උරුමව
ලොව දුක් විදිනා දනන් අභිමුවේ
සිත් සැනහී යන ලෙංගතු රාවෙන්
වයනු මැනවි තත් සත්සර නංවා....................”

තුෂාර විතාරණ

.

5 comments:

  1. Replies
    1. ස්තූතියි. ස්තූතියි ............

      Delete
  2. විශිෂ්ඨයි! අතිවිශිෂ්ඨයි. පරක්කුවෙලාහරි, අහම්බෙන් වගේ මගේ ඇහැ ගැටුනෙ වටිනා ලිපියකට. ස්තූතියි ඔබේ මෙම අදහස් වලට. හැමෝම මෙහෙම හිතුවනම්.. අනේ කපුගේ අපි අතර හිටියනම්.....

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝෂ්........

      ටික කාලෙකට කලින් ලියපු කවියක්. ඔබේ අගය කිරීමට බොහොම ස්තූතියි.................

      Delete
  3. පට්ට කපුගේට ආදරේ කරන අයට ඒක සුපිරියට දැනෙනව

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...