Saturday, October 12, 2013

නාමයෝජනා සමග මානසික සෞඛ්‍ය වාර්තාවක් කැදවීම ...........




ඊයේ රාත‍්‍රියේ සිහිනයක් දුටුවෙමි.
එය පුදුමාකාර සිහිනයකි.
තමන් විසින් පාලනය කරන ලද්දා වූ,
අමාත්‍යංශයන් හී වංචා දූෂණයන්,
පාර්ලිමේන්තු ව ඉදිරියේ දී පිළිගනිමින්,
අමාත්‍යංශ භාරව සිටි අමාත්‍යවරුන්,
තමන් විසින් ම තමන් ගස්බැඳ ගත් හ.
මා විශ්මයට පත් විය.
අසල සිටිඅයෙකුගෙන්
මම හේතුව විමසා සිටියෙමි.
මෙවර නාමයෝජනා දෙන විට
මානසික සෞඛ්‍ය වාර්ථාවක්
ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය.
එය සිහිනයක් බව මම එසැනින් දැනගතිමි.

ඊට පෙර දිනයේ ද මම සිහිනයක් දුටුවෙමි.
එය ද පුදුමාකාර සිහිනයකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ
එවක සිටි මහලේකම්වරිය
සංචාරයකට පැමිණ සිටි අතරවාරයේ
අපේ අමාත්‍යවරයෙකුට
මංගල යෝජනාවක් ගෙනාවාය.
අමාත්‍යවරයා මහත් සංයමයෙන්
තම විදග්ධ බව සහ පරිණත බව පෙන්වමින්,
එතුමියගේ අමනෝඥ යෝජනාව,
බැහැර කර සිටියේ ය.
එයින් මම විශ්මයට පත් විය.
අසල සිටි අයෙකුගෙන්
මම හේතුව විමසා සිටියෙමි.
මෙවර නාමයෝජනා භාරදෙන විට,
අමාත්‍යවරුන්ගේ බිරින්දෑවරුන්ගේ ද
මානසික සෞඛ්‍ය වාර්තාවක්
ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය.
එය ද සිහිනයක් බව මම දැනගතිමි.

ඊට පෙර දිනයේ ද මම සිහිනයක් දුටුවෙමි.
එය ද පෙර සේ ම පුදුමාකාර සිහිනයකි.
අමාත්‍යවරයෙකුගේ පුතෙකු විසින්
හමුදා සොල්දාදුවෙකුට පහර දුන් නිසා,
අමාත්‍යවරයා තම පුතණුවන්,
නීතිය ඉදිරියට පමුණුවා,
රට ජාතිය බේරා දුන් හමුදා සොල්දාදුවාට
සාධාරණය ඉෂ්ඨ කර දුන්නේ ය.
මේ තරම් අවංක සහ සත්ගුණවත්
අමාත්‍යවරුන් පත් කරගතේ කෙසේ දැයි
මම මවිතයට පත්වීමි.
අසල සිටි අයෙකුගෙන්
මම හේතුව විමසා සිටියෙමි.
මෙවර නාමයෝජනා භාරදුන් අයදුම්කරුවන්ට
ඡන්දය දීමට අපේක්ෂා කරනු ලබන
ඡන්ද දායකයන් තේරීමට
ඡන්දය දෙන ජනතාවගේ මානසික සෞඛ්‍ය වාර්තාවක්
ලබා දීම අනිවාර්ය කොට තිබූ බව ඔහු පැවසීය.
එය අනිවාර්යෙන් ම සිහිනයක් බව මම දැනගතිමි.


තුෂාර විතාරණ

.

12 comments:

  1. දැන් නැගිටපන්. ඔය මැදැ නිදියගත්ත

    ReplyDelete
    Replies
    1. ඒක රටේ සමස්ථ ජනතාවට කියන්න ඕනේ කතාවක් දමිත්,

      අපි හැමෝම නිදාගෙන වෙන දේවල් දිහා හීන බල බල ඉන්නවා

      Delete
  2. හරි භයානක හිනයක්නේ අනේ ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ආයෙම නිදා ගන්නත් බය හිතෙනවා.

      Delete
  3. ඕක සදා කාලික සිහිනයක් පමණයි. (ඔය සිහිනය දකිමින්ම 'අප' නිදා සිටින තුරු).

    ReplyDelete
  4. ඔව් චතුරංග,
    එහෙම අපේ මන්ත්‍රීවරුන්ගෙන් මානසික වාර්තා ගත්තොත් ඔතන ඉන්න ගොඩක් දෙනෙක් ගෙදර යන්න වෙනවා. ඒ විතරක් නෙමෙයි ඡන්දය දෙන අයගේ මානසික වාර්තා ගත්තනම් බාගයක ම විතර ඡන්ද අයිතිය නැතුව යනවා. හැබැයි එකක්. ඊට පස්සේ ඡන්දය දෙන මිනිස්සු හරි මොලේ තියෙන ටිකක් පාර්ලිමේන්තු යවන නිසා රට අපි සිහින දකින තැනට වෙනස් කරගන්න පුළුවං වෙයි නේද????????

    ReplyDelete
  5. කට කපලා වතුර කෝප්පයක් බීලා ආපහු නිදාගනිං..ඊළඟ හීනේ ආපහු ඕකේ රිවර්ස් එකද දන්නේ නැහැනේ.

    ReplyDelete
    Replies
    1. අරූ,

      අයේ නිදා ගන්නත් බයයි. මොනවා පෙනෙයි ද දන්නේ නෑනේ.

      Delete
  6. ඇත්තටම ඒ හීනෙ හැබෑ උනොත් අපට සැනසිල්ලෙ නිදාගන්න ලැබේවි, නැවුම් හෙට දවසක් ගැන බලාපොරොත්තුවෙන් ...

    ReplyDelete
    Replies
    1. ඒක හරි. බැහැයි කවී‍ මේක හීනයක් ම විතරයි. රටේ මිනිස්සු ඉන්නේ මර නින්දේ. ඉතින් හීන බලන එක ඇරෙන්න මුකුත් ම කරන්න එයාලට බෑ.

      Delete
  7. මේ සිහින මතු යම් දිනක හෝ සැබෑවක් වේවායි පතමි..

    ReplyDelete
    Replies
    1. අපි හැමෝම එකතු වෙලා ඒ පැතුම පතමු. ඒ විතරක් නෙමෙයි ඒ වෙනුවෙන් අපිට පුළුවන් දේත් කරමු.

      Delete

Related Posts Plugin for WordPress, Blogger...