Thursday, October 3, 2013

නැගිටපල්ලා, නැගිටපල්ලා, උඹලගේ කාලය ඇවිල්ලා ..........



එක බත්පත බෙදා ගත් එකාගේ
පපු කැවුත්තෙහි ගැස්ම නොදත්,
අනෙකාගේ දෑස් රූරා වැටෙන කදුලක
උණුහුම ‍කොතරම්දැයි නොදත්,
දහසක් ප්‍රශ්ණ හමුවේ සලන සුසුමක
වේදනාව කොතෙක්දැයි නොදත්,
සතුන් පිරිසක් මිනිසුන් කරවීය
අධ්‍යාපනය ..............................

රහ වැටී හොද්දෙහි බොර දැක,
හැකි පමණ ගරා ගනු අටියෙන්
දුගී දුප්පත් අසරණුන්ගේ
දුවාදරුවන් රැළ පිටින් කැන්දමින්,
තියරි වක්කර, මොළගෙඩි හපකර,
හැකියාව පොඩි චප්පකරමින්,
කුණුහරප, අවලංකම් සමග මුසු කර
පේමන්ට්, කඩපිල්වල දමා විකුණූ
අධ්‍යාපනය .............................................

හැදූ මව්කුසට පහරන්නට සිතන,
වැදූ මව් කෙළෙසන්නට තතනන,
ඇවිදින්නට සුළගිල්ල දුන් පියාගේ
දෙපා පළා ලුණු ඔබ්බන්නට සැරසෙන,
රජ වෙන්නට පය ගැසූ ඉනිමං
කඩා බිද දමා සුනු විසුනු කරන,
කැණහිලුන් රැළක් රජවී
කඩු කිනිසි අමෝරාගෙන
දිවි පරදුවට තබමින්
පණ පිටින් වළලන්න වෙරදරයි
අධ්‍යාපනය .......................

ලෝකයා මොන නාඩගං නැටුවත්,
අහස දෙදරා බිමට වැටුණත්,
පොළව ගුගුරා දෙකඩ වූවත්,
සදු වැදී ඉර කැබලි කැඩුනත්,
ඇගේ නොවදින තාක් කම් නැති
රටක් ලෝකය තියා තමනුත්
මැරෙන්නැතුවට පණ තියෙන අපි,
දැනන් උන්නත් කතා නොකරම,
කණට ඇහුණත් හිතන්නැතුවම,
නිකං හිතුණත් බලන් නැතුවම,
මරාගෙන හෙට කන්න ඉඩ දෙමු
මෙතෙක් දුරකට අපිව ගෙනැවිත්
ඉසුරු සැපසම්පත් ලබා දුන්
තාත්තා ළග සල්ලි නැතුවට
කුඩම්මගෙ සැළකිලි නොදැක්වූ
නිදහස් අධ්‍යාපනය ..................................

තුෂාර විතාරණ

No comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...