Thursday, October 17, 2013

අසම්මත ප්‍රේමය ......................



සොදුරු නිශාන්තයේ
දුටු හීන බොද වුණා.
ඒ හීන හැඩ කරපු 
ඔබ මාව හැරගියා.
ගතින් නොවෙතත් 
සිතින් අප ළංවුණා.
පාට පෙවු හීන මා
දවයි මුළු රෑ පුරා ......................

මුහුණු පොතේ පිටු පෙරළුණා.
ඔබේ සද ඔබ අසල වැජඹුණා.
මා සෙව්ව හීන මට වද වුණා.
අසම්මත ප්‍රේමය ම ගොළුවුණා ...................

මගේ සද මා වෙතට යා වුණා.
ඔබේ සද ඔබ වෙතට යා වුණා.
අපි අපි ම දුටු හීන බොද වුණා.
මාව හැර දමා ඔබ බොහෝ දුර ඉගිලුණා ..................

දහසකුත් දේ කියූ 
ඔබේ ඔය දෙනෙත් යුග,
පතා මම මග බලමි
අද ඒවි හෙට ඒවි,
අහෝ කාලය දුන්නු 
ඔබේ ඔය සරදමට ,
තවත් මා දැවෙනවා 
එදා මෙන් හැමදාම ..........................

කාංචනා චන්ද්‍රසේකර

.

18 comments:

  1. ප්‍රේමයට මා හිතන විදියට අසම්මත විය නොහැකී. කොහොම උනත් ලස්සන කවි පෙලක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතුරංග අදහසට. ඒත් ඇයි ප්‍රේමයට අසම්මත විය නොහැකියි කියන්නේ. ඒක ටිකක් තේරුණා මදි. විස්තර කරන්න බලන්න.

      Delete
    2. ප්‍රියා......කියහන් බලන්න ඇයි ප්‍රේමය අසම්මත විය නොහැකි?

      කාංචනා.....ප්‍රේමයේ සම්මතය සහ අසම්මතය වෙන් වෙන්නේ හෝ කරන්නේ කොතැනින්ද? කියහන් ළමයෝ බලන්න.

      Delete
    3. අරූ,

      ප්‍රේමයේ සම්මත අසම්මතභාවය පිළිබද සීමාවෙහි ගැටළුව සම්බන්ධයෙන් ඔබ විසින් දක්වන ලද අදහස සමග අපි පළමුවෙන්ම එකග වන්නෙමු. එය සාමාන්‍යයෙන් සමාජ විද්‍යාත්මක කාරණා සියල්ලක ම පාහේ දක්නට ලැබෙන පොදු ලක්ෂණයක් වන්නේ ය.

      එසේ වුව ත් අරූ, ප්‍රේමයෙහි සම්මත අසම්මතභාවය ගැන සෑම කෙනෙකුන් විසින් ම ගොඩනගා ගන්නා ලද අදහසක් පවතින බව දැකගත හැකි ය. ඒ ඔවුන් විසින් නියෝජනය කරන්නා වූ සමාජය, සංස්කෘතිය, සදාචාරය සහ වටිනාකම් වැනි කාරණාවන් ඔස්සේ ගොඩනගා ගන්නා ලද සීමාවන් ඔස්සේ ය. එබැවින් ප්‍රේමයෙහි සම්මත අසම්මතභාවය එක් ඒක සන්ධර්භයට අනුව සාපේක්ෂ වූ කාරණාවක් බව පෙනී යයි. කෙසේ වුව ද එක් ස්වාමියෙකු සිටින භාර්‍යාවක විසින් තවත් පුරුෂයෙකු පිළිබද ප්‍රේමයක් ගොඩනගා ගැනීම මේ සෑම සන්ධර්භයක් තුළදීම අසම්මත කාරණාවක් වන බව නම් නොකිවමනා ය.

      අරූ, ඔබ විසින් ගොඩනගන ලද තාර්කික සංවාදය අගය කරන අතර මේ පිළිබද ව වූ අදහස් දැක්වීම්ට ඔබට ඉඩ තබමින් අපි නවතිමු.

      Delete
  2. //// කෙසේ වුව ද එක් ස්වාමියෙකු සිටින භාර්‍යාවක විසින් තවත් පුරුෂයෙකු පිළිබද ප්‍රේමයක් ගොඩනගා ගැනීම මේ සෑම සන්ධර්භයක් තුළදීම අසම්මත කාරණාවක් වන බව නම් නොකිවමනා ය.////

    දැන් ඔය ළමයි කියන්නේ එක් බිරිඳක් සිටින මං වගේ කෙනෙක් තවත් ගැහණියක හා සම්බන්ධයක් ඇති කර ගැණීම සම්මතය කියාද? නැත්නම් ඒ කොටස මම ගැන හිතලා ලිව්වේ නැද්ද?:D මට හිතෙන්නේ මේ රිප්ලයි එක දැම්මේ බුවෙක් කියලා. බුවියක් නොවේ.:D

    අපි කතා කරමු.මේක හොඳ සංවාදයක් වෙයි.

    ReplyDelete
    Replies
    1. නෑ. නෑ අරූ,

      ඒක දෙපැත්තට ම එක සමානයි. මං කවියෙදි ලිව්වේ ගැහැණු කෙනෙක්ගේ දෘෂ්ටියෙන් නිසයි එහෙම කිව්වේ. එහෙම නැතුව පිරිමි කරන දේ සාධාරණීකරණය කරලා නෙමෙයි.

      හැබැයි අපි සමාජ යතාර්ථය ගැන බැලුවොත් පිරිමින්ගේ අසම්මතයට වැඩි ඉඩක් තියෙනවා කියන එක නම් ඇත්ත. ඒක ප්‍රායෝගික කාරණාවක් මිසක් සාධාරණ තර්කයක් නෙමෙයි. කොහොම වුණත් අපේ රටවල් වල වගේ වැහුණු සංකීර්ණ සම්බන්ධතාවයන් ඇති රටවල් වල නම් අසම්මතය කියන දේ හරිම පුළුල් විදිහට නිර්වචනය කරනවා. ඒ විතරක් නෙමෙයි ඒ සංස්කෘතික සහ ආගමික පරිසරයන් විසින් ගැහැණුන් විතරක් නෙමෙයි පිරිමින් පවා අනවශ්‍ය සීමා කිරීම් වලට ලක් කරලා හිර කරලා කියලයි මට නම් හිතෙන්නේ.

      Delete
    2. ඒක ඇත්ත කාංචනා. අපි මෙහෙම හිතමු. අපි විවාහ වෙනවා අපි ප්‍රේමයක් ගොඩ නගා ගත්ත නැති කෙනෙක් එක්ක. අපිට සමාජය තෙරපුමක් දෙනවා මේ කුටුම්බය කෙලෙස හෝ රැක ගත යුතුයි . අනෝන්‍ය් ප්‍රේමයක් අවබෝධයක් නැති වාතාවරණයක් තුල ඔහු හෝ ඇය මෙය රැක ගෙන යන්නේ කෙසේද? අපේ සංස්කෘතික බැමි තුල අපිට ඉඩක් නැහැ දෙදෙනාට සාකාච්ඡා කර ඉවත්වෙන්නට. තුන්වැනි පාර්ශවයක ඇඟිලි ගැසීම නවත්තන්නම බැහැ.(මෙහෙම නොවන අවස්ථා නැතුවාම නොවේ) අකැමැත්තෙන් හෝ මුහුණවත් බලන්නට කැමති නැති දෙදෙනෙක් එක ගෙදරක ආගන්තුකයෝ වගේ ජීවත් වෙනවා. ඔහු හෝ ඇය වෙන යම් තැනක ප්‍රේමයේ ආශ්වාදය හොයාගන්නවා. එතකොට ඔබ මේ කියන වාක්‍යය අපි කොහාටද ආදේශ කරන්නේ?

      /////// කෙසේ වුව ද එක් ස්වාමියෙකු සිටින භාර්‍යාවක විසින් තවත් පුරුෂයෙකු පිළිබද ප්‍රේමයක් ගොඩනගා ගැනීම මේ සෑම සන්ධර්භයක් තුළදීම අසම්මත කාරණාවක් වන බව නම් නොකිවමනා ය.////////

      Delete
    3. ඔබ කියන කාරණය ඇත්ත. මූලික ව ම මම ඒකට එකග බව කිව යුතුයි.

      මෙය පවුල් ජීවිතය තුළ ගැටළුකාරී තත්වයන් හමුවේ අපේ වැනි රටවල් වල පවතින වැහුණු සංස්කෘතික තත්වයන් විසින් එම නොගැලපෙන දෙපාර්ශවයක් එකට ජීවත් කරවීමට යෑම ඔස්සේ ඇති වන තත්වයක් වේ. පවුල් ජීවිත අසාර්ථක වීමට විවිධ හේතු බලපානවා. කෙසේ වුව ත් එවැනි අසාර්ථක වීම් හමුවේ ක්ෂණයෙන් ඔවුනොවුන්ට වෙන්වීමට නොහැකි විවිධ හේතු පවතින අතර බාහිර බලපෑම් වලට අමතරව දරුවන් වැනි සංවේදී තත්වයන් ද පවතිනවා.

      ඒත් අරූ මේ කවිය ගැන ආපහු හැරිලා බැලුවොත් මම කියන්න උත්සහ ගන්නේ සැමියාගේ අඩුවක් නැතුවත් කායික හෝ මානසික සතුටක් වෙනුවෙන් වෙනත් සම්බන්ධතාවයක් ඇති කර ගැනීම ගැනයි. නමුත් ඔබ විසින් එය විවෘත කතිකාවක් වෙත ගෙන ඒම ඉතා වැදගත්.

      දැන් අපිට හිතන්න වෙනවා මිනිසුන් සහ ගැහුණුන් වෙනත් පිරිමින්ගේ සහ ගැහැණුන්ගේ පහස සොයන්නේ පවුල තුළ නොලැබෙන දෙයක් හොයන්න ද? නැත්තම් කායික හෝ මානසික සතුටක් සොයා යෑම ඔස්සේ මිනිසුන් සහ ගැහුණුන් පවුල් අවුල් කරගන්නවා ද කියා.

      Delete
  3. බොහොම හොඳ පැහැදිලි කිරීමක් කාංචනා......මම ඔබේ කවිය පැහැදිලිව තේරුම් ගත්තා. මටත් උවමනා උනේ මෙවන් සංවාදයක් ඇති කිරීමටයි. මම ඒක අවස්තාවක් කරගත්තා. මෙවැනි සාකච්ඡා බ්ලොග් ලෝකයා තවත් අයට විවර වෙන්න අවස්ථාවක් වෙයි. අවාසනාවකට ඒවාට බොහොමයක් අය රෙඩි නැහැ. විවෘතව තබන්න. ඔබේ පවුරේ අයට අදහස් දක්වන්න කියන්න. සංවාද අහිමි ලෝකයක මෙහෙමවත් කතා කරමු. ස්තූතියි කාංචනා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ,

      දැන් කියවද්දි දැක්කා පහුගිය දවස් ටිකක බ්ලොග් කිහිපයක කමෙන්ට් සම්බන්ධයෙන් සහ ලියන අය සම්බන්ධයෙන් ඇති කරගත් ලැජ්ජා සහගත ගැටුමක්. ඒකට කුරුටු ගෑ ගී පොත නම් ‍බ්ලොගයත් ගෑවිලා තිබුණා. ඒ නම ටිකක් අපේ නමට ලග නිසා කියවලා බැලුවා. ඇත්තට ම අරූ ඔබ විසින් මගපාදා දුන් මෙවැනි සංවාදයන් අවශ්‍ය කාලයක බ්ලොග් ලියන්නන් වැනි බුද්ධිමත් පිරිසත් පෙර කී ආකාරයේ ලැජ්ජා විරහිත ගැටුම් ඇති කරගන්නා බව දුටු විට දුකක් ඇති වෙනවා.

      හරවත් සංවාදයන්ට පවතින ඉඩ කඩ අහිමි කරමින් බොලද සහ අරුත් සුන් විකාර දොඩවනු නොයෙක් විට දැකගත හැකි ය. අපේ අඩවිය තුළින් අපි උත්සහ ගන්නේ සමාජමය කාරණාවන් හැකි පමණ නිර්මාණශීලීව ජනතාව අතරට ගෙන යන්නයි. ඒ සදහා මේ ‍බ්ලොගයේ ලියන අය විවිධ ආරයන්ගෙන් නිර්මාණකරණයෙහි යෙදෙනවා.

      හැබැයි අපි කමෙන්ට් බලාගෙන හෝ විවර්ස්ලා බලාගෙන ලියන්නේ නෑ. විවර්ස්ලා සහ කමෙන්ට් අපි ව දිරිගන්වනවා තමයි. හැබැයි අපේ හැබෑ බලාපොරොත්තුව ඔබ විසින් ගොඩනැගුවා වැනි හරවත් සංවාදයන් ය. එවැනි එක් සංවාදයකින් දිග හැරෙන කාරණාවන් කවි සීයකින්වත් සමාජගත කරන්නා බෑ කියන එක අපි දන්නවා. ඉතින් බොහොම ස්තූතියි අරූ.

      Delete
  4. විනෝදයකට ඇරඹි
    අසම්මත ප්‍රේමයම
    මේ තරම් රිදවාවි
    සිතුනේ නැහැ කිසිවිටක

    අසම්මත වූ නමුත්
    ඒ බවම දැන දැනම
    ලං වුනේ කිමද අප
    සොඳුරු බැඳුමක් විලස

    ReplyDelete
    Replies
    1. පෙර සසර පුරුද්දට
      ලං වෙන්න ඇති අපිම
      එදත් මේ ඉරණම ම
      විසදෙන්න ඇති නේද

      Delete
  5. සිතින් දුක් විඳවමින්
    ගෙවන මේ කාලයට
    සමුදෙන්නේ කෙසේදැයි
    සොයන්නෙමි මම තාම

    ReplyDelete
  6. අසම්මත ප්‍රේමයට
    සමුදෙන්න කාලයම
    දැන් යලිදු පැමිණ ඇත.

    ස්තූතියි ඇනී ඔයාටත්.................

    ReplyDelete
  7. මමත් ඔයාලට මගේ අත්දැකීමක් ලියන්න හිතුවා.ඇත්තටම ප්අපි මාතෘකා කරගෙන තියෙන අසම්මත ප්‍රේමය සමහර වෙලාවට කෙනෙක්ට එයාගෙ ජීවිතයේ ලොකු සැනසීමක් වෙන අවස්ථාවන් තියෙනවා. ඒ වගේම විවාහක කෙනෙක්නම් එයා තමන්ගේ සහකාරියගෙන් හෝ සහකාරයාගෙන් බලාපොරොත්තු වෙන ආදරය,රැකවරණය,උණුසුම නොලැබෙන නිසා මේ දෙයට පෙළඹෙන්න ඉඩ තියෙනවා,ඒ වගේම සමහර වෙලාවට යෝජනා වලින් විවාහ වෙලා ඉන්න අය විවාහ වෙලා කලක් යනකොටයි තමන්ගේ සහකාරයාගේ හෝ සහකාරියගේ ඇත්ත තත්වය තේරුම් ගන්නේ,එතකොට එයාල ගොඩක් ප්‍රමාද වැඩියි,සමහර විට එයාලට දරුවන් ලැබිලා තවත් බැඳීම් එක්ක ජීවත් වෙන්න වෙන නිසා එයාල ඒ හැමදේම ඉවසගෙන ජීවත් වෙනවා පුළුවන්,මෙන්න මේ වගේ අසරණ වෙලා ඉන්න අයට තමන්ගේ සහකාරයා,හෝ සහකාරියට වඩා ආදරණීය කෙනෙක් මුණගැහුනොත් එයාලා අසම්මත පෙමකට නැඹුරු වෙන එක පුදුමයක් නෙමෙයි නේද?

    ReplyDelete
    Replies
    1. ඔබත් සමග මාත් එකඟයි ඇ‍නොනි..........අසම්මත ‍‍ප්‍රේමය සමහර ‍වෙලාවට ජීවිතයට ‍ලොකු සැනසීමක් ‍වෙන‍වා.උසස් අධ්‍යාපනය රැකියා සඳහා වන දුරස්ථ වීම් ‍වැනි සාධකත් මිනිසුන් අසම්මත ‍‍ප්‍රේමයන්ට ‍ගෙන යනවා
      ඒත් අසම්මත ‍ප්‍රේමයම යම් කලකිරීම් එකතු කරණ වාර ගණන වැඩියි කියලයි ම‍‍ගෙනම් අදහස ඒ ‍කො‍‍හොම වුණත් සම්මත ‍වේවා අසම්මත ‍වේවා ආදරය ආදරයමයි ඒ හින්දා ඔබ කියන වාතාවරණය තුළ අසම්මත ආදරයක් ඇතිවීම සාධාරණයි...............

      Delete
  8. අසම්මත ප්‍රේමය පිළිබද ඔබගේ අදහස් වලට මුලින් ම ස්තූතියි ඔබට,

    කෙසේ වුවත් ඔබ සදහන් කර ඇති වාතාවරණයක් තුළ අසම්මත ප්‍රේමයක් ඇති වීම පුදුමයට කරුණක් නොවෙයි. පහත කාරණාවන් ඔබේ සංවාදයට විවෘත කර තබන්නම්

    1 සම්මත ප්‍රේමයේ අවසානය විවාහය වුවත් අසම්මත ප්‍රේමයේ අවසානය තවත් දුක්කන්දක් නම් ඔබ කියන මානසික සුවය අසම්මත ප්‍රේමයේ තියෙනවා ද

    2 අසම්මත ප්‍රේමයේ දෙපාර්ශවය ම විවාහක අයවලුන් නම් එක් පාර්ශයක් අනෙක් පාර්ශවයේ ආත්ම අභිමානයට හානි වන අන්දමින් තම මිතුරන් අතරේ අසම්මත ප්‍රේමය විග්‍රහ කිරීමක නියැලුනොත් ඔබ සදහන් කරන මානසික සුවය පාර්ශව දෙකම භුක්තිවිදින්නේ කෙසේ ද

    3 දරුවන් ලැබීම දක්වා වූ හෘදයාංගම බැදීමක් සිය සහකරුවා හෝ සහකාරිය සමග පැවතියානම් එවන් හෘදයාංගම කෙනෙක් සමග සාකච්ඡා කර (ලැබෙන ආදරය රැකවරණය උණුසුම ප්‍රමාණවත් නොවන බවට) පවුල් සංස්ථාව ර‍ැකගන්නවා විනා නොලැබෙන ආදරය රැකවරණය උණුසුම ‍අසම්මත ප්‍රේමයකින් සපුරා ගැනීම තුළ දරුවන්ගේ ජීවිත අභි‍යෝගයට ලක් නොවන්නේ ද

    ReplyDelete
  9. ඔව් අසම්ම්තය කියන මාර්තුකව මමහ් යම් දුරට හරියි කියනවා මොකද කයිකවම නොවෙයි හුදෙක් වෙලාවට මෙ අසම්මතය ගොඩ නැගෙන්නේ මානසිකව යම් සහනයක් පතා ගෙනයි, නොදැනුවත්ම දුර දිග යන අවස්තාවන් එමටයි නමුත් දෙදෙනා තුල තිබෙන අවබොධය තුලින් යම් කාලෙක මෙය අසවන් කිරිමටත් ඔහුන් පසුබට වෙන්නේ නැ . එබැවින් අපටයම් අයෙක්ට දොසක් කියන්න බැ මෙය තුල,...
    යම් කාලයකදී අසම්මතය තුලින්ම සමතයි කියන තැනටම තල්ලු වෙන්නත් ඉඩ බොහොමයි..
    .ඔබේ කව අපුරුයී ..ජය

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...