Wednesday, May 7, 2014

මේ ඔහු පිළිබද ව වූ මාගේ වේදනාවයි..........



ගුත්තිල ගුරුවර ගත වෙහෙසා දර පලනා
අසිත තවුස්වර කල ගෙඩියෙන් දිය ගෙනෙනා
මහසද් පඩිවර උදළු මිටට දුක කියනා
ගණදෙවි නුවණට බර වැඩ නුහුරට දැනෙනා ...........//

අළුයම සීනුව තාමත් හිත ගස්සනවා
නීල කොබෙයි රැල මා නැතුවත් හිනැහෙනවා
පාළුව තනිකම සතර අතින් නැගැ එනවා
පෙන්ෂන් දිවියේ මිහිර තවම අහුලනවා ..............

රජවරු තැනුවෙකි, තනි ව මිදුල අමදිනවා
ඉර හඳ දුටු සිත බිත්ති හතරෙ බැඳලනවා
හාන්සි පුටුවේ දැල් නුහුලන බර දෙනවා
දහවල් සීනුව හිත නිදහස් කරලනවා ..............
දහවල් සීනුව හිත නිදහස් කරලනවා ...............//



පසුව ලියමි...

මෙය 2013-05-30 දින මා විසින් ම ලියා පළකරන ලද කවියක් බව මුලින් ම සදහන් කළ යුතුය. නැවත ඔබ හමුවේ මෙය තැබීමට සිතුවේ මාගේ අලුත් ම අත්දැකීමක් හේතුවෙන් ලියන්නට ගිය අලුත් කවිය බොහෝ දුරට මීට සමානව ම ලියැවුණු නිසා මෙම කවිය ම නැවත පළ කළ යුතු යැයි සිත කී බැවිනි. එසේ ම ඊට පහතින් ලියූ සැබෑ කතාව ඔබට කීමට අවශ්‍ය නිසා ය.

මෙය මාගේ පවුලේ කෙනෙකු සම්බන්ධයෙන් ලියැවුණු කවියකි. ගුරුවරයෙක් කීවාට ඔහු දෙවියෙකු වගේ ගුරුවරයෙකි. සැබැවින් ම ගුත්තිල පඩිවරයෙකි. නමුත් මෙහි මූසිලයෙකු ගැන සදහන් නොවේ. ඒ මූසිල එක් අයෙකු නොව අප සැම දෙනා යැයි මට සිතේ......

විශ්‍රාම ගැනීමෙන් පසු නිදහසේ ජීවත් වන මේ ගුරුවරයා දර පළයි. වතුර අදියි. වත්ත උදළුගායි. දහඩිය ගලමින් වත්තේ ගලක් උඩ හිද සිටිනු මම දැක ඇත්තෙමි. මේ පාසලේ ඉගැන්වූ ගුරුවරයා නේදැයි මට එවිට සිතෙයි....

පාසලේ හඩ ඇසෙන මානයේ නිවස තිබේ. තාමත් උදේ පාසල පටන්ගන්නා විට ඔහු තමන්ගේ සියලු වැඩ නිමකර පත්තරයක් කියවයි. නමුත් කිසිදාක පාසල් ජීවිතය මතක් කරමින් දුක්වනු මම දැක නැත්තෙමි. ළමයින් සමග සිටියානම් හොද යැයි හෝ දැන් තමන්ට පාලුවක් දැනෙන බව හෝ කියනු අසා නැත්තෙමි. නමුත් ඔහුගේ වැඩ තවමත් පාසලේ සීනු නාදයට අනුව සිදුවන බව මට හැගෙන්නේ දවසේ පෙළගැස්ම දුටුවිටය. නමුත් එය මාගේ සිතුවිල්ලක් පමණි.....

රජවරු තැනු ඔහු තනිව මිදුල අමදියි. එය ඔහුගේ දින චර්යාවේ වැදගත් ම අංගයකි. ඒ අසීමිත ලෝකය දුටු නෙත දැන් නිවසට කොටුවී බව මට හැගෙයි. පත්තරය කියවන්න හාන්සි පුටුවට බර දුන්න ද ඔහු සිටිය යුතු තැන ඊට හාත්පස වෙනස් යැයි මට හැගෙයි. දහවල් පාසල් නිමවන සීනුව ද නිවසට හොදින් ඇසෙයි. එවිට ආහාර ගෙන අහවර වන ඔහු සැපසේ කෙටි නින්දකට යයි. කිසිදාක ඔහුගේ දින චර්යාව වෙනස් නොවෙයි. ගුරුවරයෙකු ව සිටි කාලයේ තිබූ බොහෝ දේ දැන් අහිමි වී ඇතත් ඔහු කිසිදු දුකකින් තොරව තම නිදහස් විශ්‍රාම දිවිය ගත කරයි. නමුත් එය බලා සිටින මට නම් මෙය මහා වේදනාවකි. එබැවින් මේ වූ කලී ඔහුගේ කතාව නොව, ඔහු පිළිබද ව වන මාගේ වේදනාවයි.......


තුෂාර විතාරණ

.

32 comments:

  1. හදවත දුකෙන් බර කලා බං. හේතුව මේ විදියෙම ගුරු දෙවියෙක් මගේ ජීවිතේ මටත් හිටිය. එතුමන් නම් තාම උගන්නනවා. මේ දෙවිවරු ගැන කියන්න වචන නෑ. ගුරු කමේ ප්‍රතිමූර්තීන්. සුනිල් එදිරිසිංහයන්ගෙ පැන මඩ කඩිති ගීය මතක් වෙනවා. මං මේ කීව ගුරුතුමාට ඒ ගීතයේ හැම පදයක්ම හරියටම ගලපන්න පුලුවන්. තිතටම ගැලපෙනවා.

    පැන මඩකඩිති වැව් තාවලු වැහි කාලේ
    පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
    සිත් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
    අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

    සාමා අමර විකුණති බස් පොලේ කජු
    කුමා‍රෝද පිටු දන්දෙති එයින් මතු
    උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ
    වේවැල වටා ඉකිබිඳ දඩුවමක් පැතූ

    රන් මසු පටපිළී අභරණ උරන වෙලා
    සමන් පිච්ච කැකුළිය ගෙයි මිලිණ වෙලා
    තුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා
    ලොකු හාමි‍නේ ඇත බිතු සිතුවමක් වෙලා

    ReplyDelete
    Replies
    1. හැබැයි මනෝෂ් මගේ ජීවිතේ දැකපු මේ විදිහ චරිත 3 ක් තියෙනවා. හැබැයි ඒ තුන්දෙනාම මගේ ගුරුවරු නෙමෙයි. මේ කවිය ලියුවෙත් ඒ අතරින් එක් අයෙකුට. හැබැයි මේ තුන්දෙනාම මගේ බිරිදගේ ගුරුවරු. මට මගේ ජීවිතේට එහෙම ගුරුවරු හමුවෙලා නෑ. ඒත් මං විවාහ වුණාටත් පස්සේ තමයි මට මේ අය හමුවෙන්නේ. මේ ජීවිත කියන්නේ අපිට අනුව නම් මහා ප්‍රාඥයෝ මනෝෂ්. ඒත් ඒ අය අන්තිම සරල මිනිස්සු. උදේට උගන්නලා ඇවිල්ලා හවසට කුඹුරට බැහැලා වැඩ කරන සාමාන්‍ය මිනිස්සු. උඩගුකමයි ගෑවිලාවත් නැති, තව කෙනෙකුට මාර ගෞරවයක් දීලා කතා කරන අමුතුම අහිංසක චරිත. මට විස්තර කරන්න වචන නෑ මනෝෂ් ඔබ කියුව විදිහට ම ...............

      සුනිල් එදිරිසිංහ ගයන ඔබ ගෙනා ගීතයත් අති විශිෂ්ට ගීතයක්. ඒකේ කියැවෙන විදිහට සිප්කිරි පෙවූ මූසිලයින් සිටිති. නමුත් මොවුන් විසින් බිහිකළ දරු පරපුර ලංකාවේ ඉහළ තැන් වල සිටින නමුත් මොවුන් කෙරෙහි අතිශය බැදුනු ගරුකරන අය වෙති. අනෙකක් තියා මොවුනගේ ගෝලයන් නොවූ මා ද අතිශය ගරුකරමි.....

      Delete
    2. මහපොලොවෙ අපිට හැබෑවටම හමුවෙන දුයිෂෙන්ලා කුරුටු. සෑබෑම දුයිෂෙන්ලා. අනේ මංද ලියනවනම් කෙලවරක් නැතිව ලියාගෙන යන්න පුලුවන්. මගේ ජීවිතේ මේ වගේ උතුම් ගුරුවරු දෙන්නෙක් ඉන්නවා. දෙන්නම මට ඉගැන්නුවා. ඒත් දැන් ඉන්න කාලකන්නි ඒ මිනිස්සුන්ගෙන් ගන්න තියෙන දේ ගන්න දන්නෙ නෑ. උන්ට මේ මිනිස්සු වටින්නෑ. දන්නෑ උන් කොහොම උන්ද කියල. මට මාර දුකයි කුරුටු. දවසක ලියනව මං මේ මිනිසුන් දෙදෙනා ගැන. එදාට මං මේ සිද්දියත් මතක්කරන්නම්. තව කාලයක් යයි. ගී සංවේදනා තේමාවෙන් මිදෙන්න අමාරුයි දැන්ම බ්ලොග් එකට.

      Delete
    3. ඇත්ත මනෝෂ්,

      දැන් ඉන්න ශිෂ්‍යයන් ඒ විදිහට ම මේ අයගෙන් ප්‍රයෝජන ගන්න දන්නෑ කියන කතාවනම් ඇත්ත. අපිත් ඔබට ආරාධනා කරනවා ඔබේ බ්ලොගයේ ඒ වගේ අතකට හරවන්න කියලා. නමුත් ඔබ විසින් ගොඩනගමින් යන ගී සංවේදනා නම් ඉතා අගනේය. අපි ඒ පැත්තට ගියොත් ගීත කීපයක් ගැනම කියවලා තමයි එන්නේ. ඒත් ඒකට ම අල්ලලා තවත් ඔබගේ ම අදහස් ලියැවෙන පිටුවක් පටන් ගත්තොත් මොකද????

      Delete
    4. දැනට නම් ඒ අදාල විචාරයට පසුව ඒ පිළිබඳව මගේම අදහසත් පළකරනවා. මං හිතන්නෙ ගී පවුරෙ ඔයාලත් ඒ ටික දකින්නැති. දැනට පෝස්ට් ගොඩක මං එහෙම ලියල තියෙනවා. ඒකට තරමක් ප්‍රතිචාරත් ලැබුනා. තව වෙනසක් කරන්න ඉදිරියේදි උත්සාහගන්නම්. ඒක ඉතින් තීරණය වෙන්නෙ දැනට මගේ ලිවීම තුල ඇතිවන සාර්ථකත්වය මතයි. ඒ නිසා මවිසින් ලියන දේවල් ගැන ඔයාලගෙ යෝජනා, චෝදනා හා විවේචන මට ගොඩක් වටිනවා.

      Delete
    5. ඔව් මනෝෂ්

      අපි ඒ ගැන කියලා ඔබට කමෙන්ටුත් දාලා තියෙනවා. ඒ තුළ ඔබ හොද පරිචයක් ගොඩනගා ගනිමින් සිටින බව මොනවට පේනවා. මං දන්න විදිහට දැන් ඔබ අවුරුද්දකට ලං වෙන කාලයක් බ්ලොගය කරගෙන යනවා. ධම්මික බණ්ඩාරයන්ගේ විචාරයන් අපට කිවයන්නට සලස්වමින්.

      මෙහෙමයි මනෝෂ්, අපි නම් යෝජනා කරන්නේ දැන් ඔබේ ම විචාරයන්ට යමු කියලයි. ඒ අතර එතුමාගේ ඒවත් එකතු කරන්න. එතුමාට විතරක් සීමා නොවී හැකි නම් සහ ඔබ කැමති නම් වෙනත් විචාරකයන්ගේ රචනා වුණත් එකතු කරන්න. නමුත් ඒ අතර ඔබට හැකියි තව දුරටත් ඔබේ හැකියාවන් වර්ධනය කර ගන්නට. ඉතින් අපි නම් හිතන්නේ දැන් තමයි කාලය කියලා. ඔබට ඒ හැකියාව ඇති බව ඔබ විසින් රචනා කරන කොටසින් පැහැදිලි ව පෙන්නා දීලා තියෙනවා.

      Delete
    6. මේ කරුණ ගැන මං මීට පෙරත් මගේ දයාබර පාඨකයෙක්ට පිළිතුරු දුන්න කුරුටු. මටනම් හිතෙන්නෙ ගීතයක් විචාරය කරන්න තරම් සාහිත්‍ය දැනුමක් මට තවම නෑ කියලයි. මොකද, ගීතය ගැන මොනවහරි දෙයක් කියල දාන එක නෙවෙයිනෙ හපන්කම. මං කියන දේ පාඨකයට වටින්න ඕනි. ඒ වගේම ඒක ඔහුගෙ දැනුමට අලුත් යමක් එකතුකරන දෙයක් වෙන්නෝනි. ඔහු නොදන්න ඉසව්වකට ඔහුගෙ පරිකල්පනාවන් යොමුකරන එකක් වෙන්නෝනි. ඒකට තවම මම සුදුසු නෑ කියලයි මට හිතෙන්නෙ ගී පවුරේ. හැබැයි මං උත්සාහකරනවා. ඉදිරියේදි අනිවාරෙන් වෙනසක් කරන්නම්.
      කොහොමහරි කමක්නෑ, මගේ අවශ්‍යතාවය යහපත්, හරවත් දෙයක් සමාජ ගතකරනෙකයි.

      ඒ වගේම ඔබේ මේ අදහස්, යෝජනා මගේ ගමනට මහා ශක්තියක්. කුරුටු ගෑ ගී පවුරෙ හැමෝටම ගොඩක්ම ස්තූතියි..

      Delete
  2. මං කියන්න හදපු එක මනෝ කියල නෙව...
    ඒත් ගුත්තිලට වඩා මං මූසිලට කැමතී....
    අපේ සාහිත්‍යෙය් ඉතිහාසයේ මේ හැමතැනම අපිට හම්බවෙන පළවෙනි රැඩිකල් පොර...

    මට දැනේන්නෙ ඒකට තමා උපේක්ෂාව කියන්නෙ... සියළු දේ සම සිතිං බාර ගැනීම

    ReplyDelete
    Replies
    1. ඔබේ පළමු අදහසට මා ප්‍රතිචාර නොදක්වා ඉන්නම් මහේෂ්. හැම විටම අමුතු දේවල් කිරීම සහ හැම විටම නොගැලපෙන දේ කිරීම ඔබ ඔය කියන රැඩිකල්කමට අදාල නොවන බව මාගේ අදහසයි.

      දෙවැනි අදහස ගැන කතා කරමු. ඇත්ත මහේෂ් ඔවුන් අපට එහා පරිණත චරිත. මට ඔවුන්ගේ තත්වය තේරුම් ගන්න බැරි වුණාට ඔවුන් මානසික නිදහසේ ඉන්න තෘප්තිමත් චරිත. නමුත් මට අනුව ඒක මහ අමාරු දෙයක්. මං පිළිගන්නවා ඒක මගේ පරිණත නොවීම කියලා...

      Delete
  3. පසුව කියවන්නං.. දැං වෙලාවක් නෑ අනේ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් ම කියවලා ඔබේ අදහසත් මේ සමග එකතු කරන්න.

      Delete
  4. තුෂාර තේරෙන්නේ නැහැ මොකක් කියන්නද කියලා. මේ කොටස තදින් හිතට වැදුනා

    //සැබැවින් ම ගුත්තිල පඩිවරයෙකි. නමුත් මෙහි මූසිලයෙකු ගැන සදහන් නොවේ. ඒ මූසිල එක් අයෙකු නොව අප සැම දෙනා යැයි මට සිතේ......
    //

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අපූර්වි.

      මටත් තේරෙන්නැති දේවල් කීපයක් ම මේ කතාව ඇතුලේ තියෙනවා අපූර්වි. අනික මං මේ කතා කරන ගුරුවරයා විශ්‍රාම ගියාට පස්සේ මුදල් අරමුණු කරගත් කිසිම දෙයක් පස්සේ යන්නෙවත් නෑ. ඔහුගේ ගෙදරට ඇවිත් කතා කරන කිසිම දේකටවත් යන්නේ නෑ. මම අහනවා සමහර විට ඒ දේවල් වලට ගිහිං සමාජයට යමක් කළ හැකියි කියලාවත් යන්න හිතෙන්නැත් ද කියලා. ඒත් ඔහුගේ විශ්ලේෂණයට අනුව ඒ දේ දැන් ඔහුට අයිති නැහැ සහ එය ඊළග පරම්පරාව විසින් දැන් භාරගත යුතු බවයි කියන්නේ. ඒවා මාර චරිත අපූරවි...

      Delete
    2. අහන්න බැරි වුණා එයා තනිකඩද? එයාගේ සතුට ඒකනම් ඔයා හැකිවෙලාවට බලන්න යන්න. ආයෙමත් එයාගෙන් මොකුත් අහන්න සහ යෝජනාකරන්න එපා,

      Delete
    3. නෑ අපූර්වි.

      ඔහු සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන, දරුවන් තුන් දෙනෙක් සිටින, ඒ දරුවන් ඉහළම අධ්‍යාපනයක් දක්වා ගෙන ගිය, අපේ සමාජය පිළිගන්නා විදිහට ඉහළම රැකියා කරන තිදෙනෙකුට දරුවන් විවාහ කර දුන්න, ජීවිතේ ජයගත්ත කෙනෙක්.

      මට තියෙන ගැටළුව ඒක නෙමෙයි අපූර්වි. සාමාන්‍යෙයන් මිනිස්සු ජීවත් වෙන්නේ සමාජ පිළිගැනීම, සමාජ අවධානය, තමන් කෙරෙහි දක්වන ගරුත්වය, තනතුරු තානාන්තර, වැනි දේවල් අරමුණු කරගෙනනේ.. නමුත් ඔහුට මේ වෙලාවෙ ඒ දේවල් පසු පසින් හඹාගෙන ආවත් ඔහු ඒවා මගහරිනවා. විශ්‍රාම යෑමට පෙර තිබූ සියලු තත්වයන් ඔහු කෙරෙන් ඈත් වෙන දිහා ඔහු මැදහත් සිතින් බලාගෙන ඉන්නවා. ඒක මාර දෙයක් අපූර්වි.............

      Delete
  5. ගුරු සේවයෙන් විශ්‍රාම ගියාම දැනෙන දුක ගැන මං හොදටම අහලා තියෙනවා ,මගේ දෙමාපියන් ගුරුවරු තවම විශ්‍රාම ගන්න ලග නම් නෑ,එත් අපේ ගෙදරට ඕන තරම් ගුරුවරු යනවා එනවා ඒ අය එක්ක මං අශ්‍රය කරලා තියෙනව ..ගොඩක් ගුරුවරු හරිම සරල මිනිස්සු

    ReplyDelete
    Replies
    1. ඔව් සහෝදර,

      දැන් ඔබ දකිනවා ඇති ඔබගේ දෙමාපියන්ම ගුරුවරු නිසා ඔබේ නිවසට නිතරම ගුරුවරු දෙමාපියන් සහ දරුවන් යනවා එනවා. මගේ බිරිදගේ නිවසටත් එහෙමමයි. මේ කතාව තවත් පැහැදිලි වෙන්න මං කියන්නම්කෝ මං මේ විස්තර කරන කෙනා විදුහල්පති කෙනෙක් කියලා. නැත්තං නියෝජ්‍ය විදුහල්පති කෙනෙක් කියලා හිතන්නකෝ. එතකොට සේවය කරන කාලේ ගෙදරට යන එන පිරිස ගැන හිතාගන්නට පුළුවන්නේ. නමුත් විශ්‍රාම ගිහාම ටිකෙන් ටික ඔය එන පිරිස අඩුම වෙලා යනවා. අපිට හිතෙනවානේ ඒක දරාගන්න බැරි දෙයක් වෙයි. ඒ බලය තියෙන කාලේ ආපු මිනිස්සු ගැන වෛරයක් ඇති වෙයි එහෙම කියලා.

      ඒත් මෙතන තියෙන විශේෂත්වය තමයි සහෝදර මේ අය ඒක මාර විදිහට මධ්‍යස්ථව හිතලා ඒක දරාගන්නවා. දරාගන්නවා කියුවට ඒක දරාගන්නවාම නෙමෙයි. මං හිතන්නේ තේරුම් ගන්නවා. ඇත්තම කතාව ඒක තඹ සතේකවත් ගානක් නෑ. ඒකයි සහෝදර මෙතන තියෙන පරිණතකම.

      අනික විශ්‍රාම ගිය ඒ විදුහල්පතිගෙයි ඡන්දෙ පැරදුනු දේශපාලනඥයෙකුගෙයි වෙනස ඒක කියලයි මට නම් හිතෙන්නේ.

      Delete
  6. ජීවිත ගොඩ නගන්නේ ගුරුවරයාය යි කියමනක් මා අසා තිබෙනවා. අප හැම පසුබිමේ සිටිමින් අපව හැඩගැන් වූ බලවේගය වූයේ ගුරුවරයා බව මගේත් සිතිවිල්ලයි.

    ReplyDelete
    Replies
    1. තවත් විදිහකට මෙයාලා දුයිෂෙන්ලා ගුණසිංහ, නමුත් දුයිෂෙන් වගේ නූගත් නෙමෙයි. මං මේ කියන චරිත කීපය ම හරිම උගත්, නමුත් ඔවුන් උගත්කම ඔලුවේ තියාගෙන නෑ. වයසේ හැටියට බැලුවා ම ඒකාලේ කැම්පස් ගිය අතලොස්සෙන් කෙනෙක්නේ ද කියලා මං සමහර විට පැත්තක ඉදගෙන බලලා කල්පනා කරනවා. නමුත් ඔවුන් ඒ උගත්කම කරදරයක් කරගෙනත් නෑ......

      Delete
  7. හරිම සංවේදී ලිපියක් තුෂාර,

    ඔහොම ගුරු දෙවියෙක් මගෙ ජීවිටෙත් හිටියා. ඇත්තෙන්ම ඒ හාමුදුරු නමක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියා,

      අත්දැකීම නොලියාම බැරිතැන ලියපු කතාවක් මේක.....

      Delete
  8. ඔහොම ගුරුවරයෙක් හම්බුවෙන්නේ හරිම කලාතුරකින්.. මොකද ඇත්තටම දැන් එහෙම අය අඩු හන්දා..

    ReplyDelete
    Replies
    1. ඇත්ත ම දැන් එහෙම ගුරුවරු අඩුයි විතරක් නෙමෙයි. දැන් එදා හිටපු විදිහේ ගෝලයොත් නෑ. ඒ සිසු පරපුරත් දැන් වෙනස් වෙලා. ගුරුවරයාගේ වටිනාකම නොදන්න සිසු පරපුරක් ගුරුවරයා නිසි තැන නොතියන ඒකත් මේකට හේතුවක් වෙන්න ඇති දිනේෂ්...............

      Delete
  9. කවිය කියවද්දිම සිතේ මැවුන චරිතය ලෙසටම ඔබ විස්තර කර තිබෙනව .

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කෙන්ජි. .......................
      මට ඕනේ වුණා මං දැකපු දේ ඔබලටත් ඒ විදිහට ම කියන්න. ඒකයි මගේ අත්දැකීම ටිකක් විස්තර කරේ. නමුත් ඔබගේ අත්දැකීමට ඒක බාධා නොකලා කියලා මං හිතනවා.

      Delete
  10. චන්දන ගුණසේකර ලියපු කවියක් ඇති එයාගේ බ්ලොග් එකේ.. සඳකඩපහනක් ගැන ඒකත් බලන්නකෝ..

    ReplyDelete
  11. කෙන්ජයියා කියූ දේම තම කියන්න තියෙන්නේ ෆට්ට

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ආචාර්ය .......................

      Delete
  12. ගැටළුව අද වෙනකොට ඔය කියන විදියේ ගුරුවරු හිග වීමයි.
    ඉස්සර ගුරුවරු කලේ සේවයක්.එක රැකියාවක් දක්වා ව්‍යප්ත වීම තුල ගුරුවරයාත් අලෙවි වෙලා කියලයි මට නම් හිතෙන්නේ.

    ReplyDelete
  13. මේ ලිපිය මොනතරම් සිතට කාවැදුනේද යත් නැවතත් කියවන්නට ගත්තා. ඒ සමගම ලිපියට පැමිණ ඇති ප්‍රතිචාර මහත්සේ වටිනා අහස් ගොන්නක්.

    ReplyDelete
  14. හිතට වදිනව​.. දිගටම ලියන්න​. Bookmark කරගත්තා

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...