Monday, September 29, 2014

එනු මැන...තරු කිරණ සේ...කුමරියේ...



තරු කුසුම් ගෙත්තමේ
ඉඟි පාන මිහිරියේ
ඔබට පිදු හදවිලේ
කොඳ කැකුළු පිපෙන්නේ

සීතලෙන් වෙළුණු රෑ
හුදකලා අසපුවේ
පීරමින් නබෝ ගැබ
ඔබෙ එළිය සොයන්නේ

හෝ හඬින් හමන මේ
මඳ සුළඟ මාරුතේ
කොඳුරන්නෙ ඔබෙ නමයි
කඳු අතර නිම්නයේ

සඳකැනින් නැහැවෙනා
ඈත මිටියාවතේ
ඔබෙ රුවයි මැවෙන්නේ
රුවන් සිතුවමක් සේ

ඔබෙ සුසුම් උණුසුමක්
විමසනා සිත් කොනේ
තරු කිරණ සේ ඇවිත්
රැඳෙනු මැන කුමරියේ



අසංක ගයාන් අබේසිංහ

26 comments:

  1. එනකං හිටියට වැඩක් නෑ...

    ReplyDelete
    Replies
    1. කාලයක් හොයාගෙන ගියා බං...හොයාගත්තා...වැරදුනා...දැන් ඉතිං එනකං ඉන්නවා...

      Delete
  2. කෝඩුකාර ආදරයක්..

    අතු පැලක කවුලුවෙන් සඳ රැසින් නැහැවුණු ඈත මිටියාවත දෙස බලා ඉන්න කෝඩුකාර පෙම්වතෙක් මගේ හිතේ ඇඳුනා.

    හැමදාමත් වගේ ඔබ අපව රස ගඟුලකට එක්කන් ගියා. ඒ වගේම, අසංක මේ පද රචනා බොහොම පරිස්සමින් ළඟ තියාගන්න. අපි කොහොමහරි, කවදහරි මේවා ගීත බවට පත්කරමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි මනෝෂ්...ඔබේ මේ වදන් ගෙනදෙන්නේ ලොකු ඇගයීමක්...වටිනාකමක්...අපි බලමු...අනිවාර්යයෙන්ම...

      Delete
  3. සඳ හොරෙන් හොරෙන් හොරෙන් බලා
    වලා රොදක සැගවිලා..
    අපේ මියුරු පෙම් කතා අසා සිටිනවා
    අසා.. සිටිනවා...

    කදුළු බිදු ගලා සදේ තුරු ලතා පුරා
    සියොලගම සැලී මගේ නොහිම් සීතලේ
    ඔබේ නෙත යදී...ම්...ම්.....
    මහත් වියරුවෙන්..

    කියඹු වැල් ලිහී ඔබේ මාරුතේ සැලී
    කොපුල් තල ගැටී මගේ සිතුම් සසලවයි
    නිවාලන්න මා...ම්...ම්.....
    ඔබේ සිසිලසින්...

    ගායනය - ඩබ්ලිව්. ඩී. අමරදේව
    සංගීතය - ප්‍රේමසිරි කේමදාස
    ගී පද - කුලරත්න ආරියවංශ

    ReplyDelete
  4. හාදු තියෙන - මල් හීනෙක
    රෑට පිපෙන - තරු රෑනක
    සීත ගෙනෙන - නිළිවැස්සක
    නුඹ උන්නා නම් ...

    දුක හිතෙනා - හැන්දෑවක
    පාළු පිරුණු - හීන හිතක
    මල් මතකය - හැඩ කරන්න
    නුඹ එනවා නම් .......

    නියමයි අසංක අයියේ... වෙලාව ආවම ඒවි... :)
    සඳුමල් කිව්ව වගේ ඔය පදවැල් වගේම කවි උල්පතක් වෙච්චි ඔය කවි හිතත් පරිස්සම් කරල තියාගන්න :)

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ඔබේ කවි මගේ හදවත මටත් නොදැනී ස්පර්ශ කරනවා සුවපත් කරනවා දිලිනි නංගි...මාව වරදවලා තේරුම් නොගනී කියලා හිතනවා...ඔබට බොහොම පිං හිත හැදෙන වචන කිහිපයක් හරි පැවසීමට කාරුණික වීම ගැන...මෙතනට නොගැලපෙයි කියල හිතුවත් මගේ පුද්ගලික ජීවිතය ගැන දශම ගානක් හරි කිව යුතුයි කියලා හිතෙනවා...ඒ වෙන මොකුත් හින්දා නෙවෙයි ඔබ අතරේ මගේ ජීවිතය හරිම සතුටින් ගෙවී යන බව අවංකවම දැනෙන හින්දයි...කාලයකට කලින් අපේ මනෝෂ්ටත් මම මගේ අත්දැකීමක් ගැන ඉතාම කෙටියෙන් කිව්වා...අද සමාජය මා දිහා දකින විදිහට නම් මම කියන්නේ ඉතා උගත් ඒ වගේම ඉතා වැදගත් ලෙස රැකියාවක් කරන කෙනෙක්...මහ ලොකු සල්ලියක් නම් නෑ...ඒත් මේ කලබලකාරී සමාජයේ මාත් තව එක චරිතයක් විතරයි හැමෝටම...ඉතිං මගෙ හිත දිහා විවේකී සුවයෙන් අවධානයෙන් එබිලා බලන්නේ කවුද...මට එහෙම බලන්න පුළුවන් කා දිහාද...මේ මගේ ජීවිතය නෙවෙයි කියල හිතෙන වාර ගණන කියලා නිම කරන්න බෑ...ඒ තරම් හිස් බවක් දැනෙනවා විටකදී...ඒ මම ලෝකය දිහා බලන විදිහ වෙන්නත් පුළුවන්...එක අවදියකදී...මටත් ජීවිතය වැරදුණා නොපතපු විදිහට...ඒවයින් ඉතිරි වුණු මම තමයි අද කවි හිතක් බවට පරිවර්තනය වෙලා තියෙන්නේ...ඒත් මට සමහර විට සත්තකින්ම බයක් ( දුර්වලකමක් නෙවෙයි ) දැනෙනවා...කවි හිත විතරක් තුරුළු කරගෙන මරණය දක්වාම තනියම ඉන්න වේවිද කියලත්...ඒ වෙලාවට හිත දැඩි කරගන්නවා පුදුම විදිහට කදුළු එන්න නොදී...මම ඒ එක්කම දන්නවා ලෝකෙ මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රශ්නය ආදරය නෙවෙයි කියලත්...මම ජීවිතේ හරිම බොළඳ විදිහට දකින්නෙත් නෑ...ඒත් මම කවදාවත්ම මේ කවි හිත අත්හරින්නේ නෑ ඔබ කිව්වා වගේම...නැවත වරක්...ඔබට බොහොම පිං...බොහොම ස්තුතියි...

      Delete
  5. ලන් ලන්ව ඉන්නට සිත කීවාට
    වෙන් වෙන්ව යනවා ඈ හොරාට
    සන් සුන්ව ඉන්නට බැරි කමට
    කවි කියවෙනවාද තනි වූ යාමයට

    ReplyDelete
    Replies
    1. ලස්සන සුන්දර පද ගැලපුමක් සොමියා...ඇත්තමයි...

      Delete
  6. අදත් ලස්සන පද පෙලක්. සිත්තමක් ඇඳුනා හිතේ. ඔය කියන විදිහෙ රාත්‍රීයක් නම්, කවි ගංගාවක උල්පතක් තමයි :)

    ReplyDelete
    Replies
    1. ඔබේ හිතේ රූප මැවුනා නම් මගේ උත්සාහය සාර්ථකයි චන්දනයෝ...බොහොම ස්තුතියි ඔබට...ඇත්තටම සුන්දර රාත්‍රියක සිතුවිලි කෙතරම් ලස්සනද...

      Delete
  7. පද ටික අපූරුයි.!

    තාමත් එනකම්ද බලන් ඉන්නෙ.?

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම ප්‍රියා...තාම එනකම් බලා ඉන්නවා...බොරුවක් නෙවෙයි...මේ කවි වෙලා විටින් විට ලියන්නේ ඇත්තටම මට දැනෙන දේවල් වල සංකලනයක්...මේ කවි යම්කිසි විදිහකට සාර්ථක නම් ඊට හේතු වෙන්න ඇත්තෙ ඒක...

      Delete
  8. අපූරුයි අසංකයො..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සංචාරකයො...

      Delete
  9. හැමදාමත් වගේ අදත් කවි ටික කියෙව්ව.අපූරුයි. ඒ කියවනකොට මට දැනුන දෙයක් තමයි මට මේ වගේ කවි ලියන්න ඒ වගේම කෙටි කතා ,නව කතා ලියන්න බැහැනෙ කියන එක.ඒත් විචාර ලියන්න පුළුවන්

    ReplyDelete
    Replies
    1. ආ තව එකක් අහන්න මතක වුනා දැන් උඹලගෙ කෙල්ලො සෙට් එක නැද්ද බං.කවියක්වත් වත් දැක්කෙ නෑ කාලෙකින්.

      Delete
    2. ඔබ මීට කලින් නිර්මාණත් රස වින්ද බව ඇසීම සතුටක්...ඒත් ඊට පස්සෙ අද මේ නිර්මාණය සඳහා කමෙන්ට් එකක් දැකීම ඊටත් වඩා සතුටක්...නිර්මාණය ඇගයීම ගැන බොහොම ස්තුතියි යකා මහත්තයෝ...විචාර කරන්නත් ඉතිං දැනුම තියෙන්න එපාය...ඒ හින්දා ඒක අවතක්සේරු කරන්න එපා...විචාරය ඉතා වැදගත්...

      ආ...ආ...මේ මොකද අපේ අහිංසක කෙල්ලො සෙට් එක මතක් වුණේ ඈ...හික්ස්...කමක් නෑ... කමක් නෑ...උන්ව උඹලට හරි මතක් වෙන එක ලොකු දෙයක්...හික්ස්...මට ආරංචියක් ආවා ඊළඟ නිර්මාණය දාන්නේ අපේ ඉසුරිකා කියලා...ඉතිං ඔන්න යකා මහත්තයාගෙ ඉල්ලීමත් ඉෂ්ඨ වෙයි ඕං...

      Delete
  10. අසංක අයියා............

    ඔබේ මෑතක ලියැවුණු ගීත නිර්මාණ ඉතා රසවත්.. මේකත් එහෙමමයි. දිගට ම ගීත නිර්මාණකරනයත් කරන්න. ගායනයට ගැලපෙන පදවැලක් තියෙන්නේ...........

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුෂාර...ඉතිං උඹලා නිර්මාණ අගය කරනවා විතරයි නොවැ...මේ පැත්ත අමතකම කරලා නේ...එහෙම එපා...ඉඳලා හිටලාවත් වරෙන් නිර්මාණත් එක්ක...හික්ස්...

      Delete
  11. ==========================================
    ..මං මේ ඊලලග නිර්මානේ දානකං ඇඟිලි ගැන ගැන ඉන්නේ..
    ==========================================

    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ඔව්...ඔව්...දැන් අපිව එපා වෙලානේ...ඕන්න අපි ගියා විදානයෝ එහෙනං...මේ දීපු බකප් එක දිගටම දෙන්න ඕන ඕං...හික්ස්...

      Delete
  12. Hello there! I know this is kinda off topic but I was wondering which blog platform are you using for this website?

    I'm getting sick and tired of Wordpress because I've had problems with hackers and I'm looking at alternatives for another platform.
    I would be fantastic if you could point me in the direction of a good platform.


    Feel free to surf to my page ... Funny Cat Vine

    ReplyDelete
  13. හොද නිරමාණයක්...කවදා වෙයිද ඔය දෙව්ලිය එන්න..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි උමේෂ්...දන්නෙ නෑ බං කවදා එයිද කියලා...

      Delete

Related Posts Plugin for WordPress, Blogger...