Saturday, April 26, 2014

එතකොට බණ කියන්නේ දැන් පොලිසියද ...... ??



ඔවැනිම හඩක් මතකයි පෙර අතීතේ
පනස් ගණන් වල ඒ හඩ හටගත්තේ
බණ්ඩා චෙල්වා ගිවිසුම ගිනි අරගත්තේ
කහ සිවුරක්ය මහ පාරේ ඉදගත්තේ .............

හැත්තෑ ගණන් වලදී රට ගිනිගන්න
කලියෙන් හැකිය මේ ගැටළුව විසදන්න
චෙල්වා එක්ක හැකි වූවත් අරඹන්න
කහ සිවුරටයි බැරිවුණෙ ඉවසා ඉන්න .............

ගිවිසුම ඉරා මහ පාරේ ගිනිතියලා
ඒ ගිනි වලින් මේ ලක්දිව උණුකරලා
ඉන්පසු උපන් දරුපරපුර මරවාලා
පස් වසරයි ගත වුණේ ඒ ගිනිනිවලා .............

ද්‍රවිඩ සතුරා නැති තැන මුස්ලිම් ගන්නේ
මෙහෙම ද හිමියනේ බුදු බණ පිළිගන්නේ
වෛරය නොවේ වෛරෙන් අවසන් වන්නේ
මතකයේ නොවේ නම් දැන්වත් දැන ගන්නේ ......

ඔය කැත වචන බුදු දහමට අදාළ ද 
අශෝභන ව හැසිරෙන්නට පුළුවන් ද
කඩා පනින බුදු හමුදාවක් වෙයි ද
එතකොට බණ කියන්නේ දැන් පොලිසිය ද  .......

සිවුරක් ඇදන් කොළඹට වී උන්නු නිසා
නොදැනුණ නමුත් මිනි මැරුවා යුද රකුසා
තවත් යුද්ධයක් ඕනෙද වෙන්න තොසා
කියනු ගාන බිල්ලට දෙන්නම් සකසා ............



කසුප් අනුරාධ

.

Tuesday, April 22, 2014

මුඩුක්කුවට එහා ............................



හැකිවෙයි ද බර කරට ගන්නට
හැපි හැපී වැටෙන ජීවිත,
දුප්පත්කමින් පීඩිත මුහුණු,
කුසගින්නෙන් හඩන පොඩිවුන්,
බේබදුකම, නූගත්කම .................. තව ඕනේ තරම්.

හැකිවෙයි ද මේ දේවල් අතික්‍රමණය කරන්නට
දුඹුටු ගැහුණු කොණ්ඩ ගුළියක් බැදගත්,
කර ඉරුණු කමිසයක් ලා ගත්,
කුණු ගොඩින් ඇහිලූ කලිසමක් දැවටූ,
මේ පුංචි උඹට .................

ඔය සිමෙන්ති බාල්දිය එසවූ දාට
කුණු ඇලට බැම්මක් නොව,
අම්මා හිතන මහා මන්දිරයකුත් නොව,
මහ උන්ට ඕන කොන්ක්‍රීට් පාරකුත් නොව,
ක්‍රිකට් ගහන්නට පිට්ටනියකුත් නොව,
උඹට හදන්නට හැකිය
ඔය මුඩුක්කුවෙන් එතෙර වන්නට
පුංචිම පුංචි අඩි පාරක් ...............................

එදාට ඒකෙන් උඹ පස්සෙන් යන්න ඒවි
දුප්පත්, නූගත්, බේබදු, උන් හැමෝම.
ඒ කියන්නේ මුළු මුඩුක්කුව ම.
ඒ දහිරිය හිතට අරන්,


කෝම හරි කරට ගනින් ඔය බර ........... දුවේ


තුෂාර විතාරණ

.

Wednesday, April 16, 2014

පිරිමින්ට වදින ගාථාව .........................



අබුද්දස්ස තාලෙට යන කලාවේ
ලබුත් තිත්ත වෙනවනේ මේ දසාවේ
නමුත් සියළු දන හට සිව් දිසාවේ
අහන්නට තමයි මේ කවි ගෙනාවේ ..........................

දකින දකින කල්ලන් ඇසුරට වැටෙන
අමන පිරිමි ගති නිරතුරු ඇස ගැටෙන
දමන දමන කොළයම යළි බිම වැටෙන
කුමන නැටුම් දෝ සකියනි දිවි සටන ..........................

ඔය විදිහට දකින හැම කෙල්ලට ම බොලේ
අයියේ දානවද හංගන් ඉන්න කොළේ
අය්යෝ පිරිමි කමට ද ඔය වැඩේ කළේ
කලදක් තියේ නම් මදියෑ නුඹට මොළේ ..........................

පිරිමකම නෙමෙයි කලිසම් අදින එක
ළංවී දකින හැම මලට ම වෙලෙන එක
මගියනි නොදැක්කා ලෙස යනවාද දැක
අට පහ නොදන්නා කමමයි නොවේ සැක ..........................

බසයේ යන ගමන් අගනන් ඩැහැ ගන්න
අනග බැලුම් හෙළමින් දුන්නෙන් විදින
නුඹලා වැනි පිරිමි කොතෙකුත් ලොව ඉන්න
අපාගත නොවී යහතින් බැහැ ගන්න ..........................


ඉසුරිකා චූලරත්න

.

Tuesday, April 15, 2014

රිදුම් දී ඔච්චමට යළි යළිත් ඉගිකරන .......................



නෙත සොයයි ඔබේ රුව 
කාලයේ වැලි අතර 
කදුළු නෙත් පොකුණ තුළ
ගිලී ගිය ඔබේ රුව .........................

ගෙවුණු හැම සිහිනතර
නුරා විත හෙළුෑ නෙත
සිත් අහස එකළු කර
මැකී ගිය සොදුරු රුව ........................

තව තවත් සොයන්නේ 
මතක මල් උයන මැද
පරව ගිය පෙම් කුසුම.........................

සිත් හැගුම් නිදිවරණ
අදුරු සැමරුම් කැටිය
මලානික සද එළිය
එළි කරන නිශාන්තයක
රිදුම් දී ඔච්චමට
යළි යළිත් ඉගිකරන .......................


ඉසුරිකා චූලරත්න

.

Monday, April 14, 2014

සුභ අලුත් අවුරුද්දක් වේවා .................................



කොවුල් හඩ හා රබන් හඩ විත්
සවන්පත් සතුටින් පිරේ
රතිඤ්ඤා පුපුරන හඩට ඇස්
පියන් හදවත් සිසිල් වේ ....................

කැවුම් අලුවා කොකිස් උදුවැල්
රස නහර සුවදින් වැසේ
වෙලේ කමතේ නැවුම් පුසුඹට
ලැබූ අවුරුදු සුව දැනේ ......................

පංච කෙලියට කැට ගැහිල්ලට
තවත් දිනයක් නැත සිතේ
තෑගි ලැබුණා නේක පෑයට
ඇදුම් ආයිත්තම් වතේ ....................

නෝක්කාඩු සිත් මුවින් හිනැහී
කැවිල් වට්ටිත් මාරු වේ
අඹර මුදුනත නැගී හිනැහෙන 
හිරු කුමරු අරුමෙකි කළේ .....................

ලැබූ අවුරුදු සතුට සැම සිත් 
පහන් කරමින් පතල වේවා
පතන පැතුමන් සපළ වීමෙන්
සිත් සතන් හැම සතුටු වේවා .......................


කුරුටු ගෑ ගී පවුරේ අවුරුදු සුභ පැතුම් ....................

.

Tuesday, April 8, 2014

උඹට තියෙන ප්‍රශ්ණ කප්පරක් තරම් ........................



පුළුවනි ද උඹට අඩිය ගහන්න පන්තියට හෙට
ගේන්න කියූ රුපියල් පනහ අත නැතිව
කළු ගැහුණු පිය මුහුණ කරගැට වපුල දෑත
හෙට හොයාවිද වැඩිපුර කාසි නුඹ නමට ................................

උදේට කාපු හීල් බතට හා ළූණු පළුවට
හැකි ද හිතේ හැංගුණ ආශාවන් නිවන්නට
අතේ පැද්දෙන වලලු වල හඩට දුවන
ලේන් පැටියට කියන්න ද මේ දුක ...............................

කෙස් හැලුණු බෝනික්කිට අන්දන්න ගවුමක්
උඹ හීන දැක්කාට කොයින්ද සුද්දියේ කාසි
මහන්න පුළුවන් නම් අම්මා මහයි ඊට කලියෙන්
සුදට සුදේ ඉස්කෝලේ යන්න ගවුමක් උඹට ..............................

වටේ පිටේ පාන්කිරිත්තෝ ගී කියනවා තමා
ඒත් උන්ගේ ජීවිත තරම්වත් ලස්සන නෑ මේවා
උන්ට අදින්න රෙදි, ඉස්කෝලෙට සල්ලි ඕනේ නෑ
ඒත් උඹේ ලෝකය ඒ තරම් ලස්සන නෑ.........................

උඹ අහක බලං කල්පනා කරනවා
පොතේ තියෙන ප්‍රශ්ණ වලට උත්තර හොයන්න
ඊට කලින් උඹට තියෙනවා උත්තර හොයන්න
හෙට පොත කියවන්න පාසල් එන එක ගැන ....................

තුෂාර විතාරණ


.

Sunday, April 6, 2014

තව තවත් වැඩි කරයි නුඹ ගැන ආදරය .....................



පාලුව ඉරාගෙන නැගුණු කළුහද
යදිමින් උඩුබුරන කටෝර හඩ
කිටි කිටියේ හඩ තලන රෑහි නද
තව තවත් වැඩි කරයි නුඹ නැති දුක .....................

මොර සූරාගෙන වහින දිය කද
පොල් අතු නවා ගෙන හමන තද සුළග
කළින්ම ගෙනැවිත් සැදෑ අදුර
තව තවත් වැඩි කරයි නුඹ නැති ශෝකය ...........................

කෑලි කපන්නට තරම් තද අන්ධකාරය
පීරාෙගන හමායන පිච්ච සුවද
අෑතින් පෙනෙන බොද වුණ තරු එළිය
තව තවත් වැඩි කරයි නුඹ නැති පාලුව ..............................

ඉරිතලා ගිය කාෂ්ටක පොළව
කොළ හලාගෙන නැගී සිටින වෘක්ෂයන්
අව පැහැ ගැහී නිදා වැටුණු කටු පදුරු
තව තවත් වැඩි කරයි නුඹ අහිමි වේදනාව ...........................

රෑ පිපෙන පුර හද
දහවල් හිනාවෙන හිරු එළිය
පිපී වැනෙන මල් බරවුණු පදුරු
තව තවත් වැඩි කරයි ඔබ ගැන මතකය ............................
ඒ්ක 
තව තවත් වැඩි කරයි නුඹ ගැන ආදරය .....................

තුෂාර විතාරණ

.

Sunday, March 30, 2014

යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම ..........................


ශේෂ වුණු කදුළක් කොපුල් රූරාගෙන
ශ්වේත අංජන නෙතින් අභිනික්මන් කර
රෝස පෑයට පිපුණු කම්මුල් මත
වේලිලා ඉරිතලනු ඇති බව දනිමි මම ...........................

අතොරක් නැති කර්කෂ ගෝෂාව මැද
අයාගත් දෑස් පියන්නට අතහැරී
අනන්තය දකින්නට යත්න දරමින්
කල්පනාබරිත ව සිටින බව දනිමි මම ..........................

ප්‍රේමය සංතර්පනය කොට උනුන් වෙලා
පරිධියේ කොනක පෙම් කෙළින් පෙම්වතුන්
යටගියාව පීඩනයක් කොට උගුර හිරකරවන
දුක්බරිත බව හොදාකාරව ම දනිමි මම ..........................

ලම්භාකාරව පොළවට පතිත වන
වැහි බින්දු ජනිත කරන මූසලකම සහ හීතල
පාළුව උපරිම කොට නොහිම් කණාගටුවක්
මවන බව දනිමි මම දනිමි මම .............................

අතීතයට පණ දී නැවත නැගිටුවා සිට
සුන්දරම සුන්දර දවස් යළිත් උද්දීපනය කොට
ඇස් කොනින් බලා කට කොනින් හිනාවෙන
හෙටක් තනන්නට වෙහෙසෙමි මම .......................

තුෂාර විතාරණ


.

Saturday, March 29, 2014

තාම මතකයි ඒ දවස ...............................


නැගුණු හිරු අඹරත මවනු පෙනුණි
කවදාවත් දැක නැති තරම් අමුතුම අමුතු ලස්සන සිතුවම්...................
හිරුට නොදෙවෙනිව ඒ මේ අත දුවන
නිල් හිඩැස් වසන්නට වෙහෙසුණ වළාකුළුත් අමුතුයි ...................

කලා සොළොසක් නැතිව නැගුණු
ගණකළුවරට යටවුණු හද පළුවේ තිබුණ හැඩය ..................
තරු කැටයක්වත් නැතුව තනිවුණ
අහසින් වැටුණු පිණිබින්දුවලත් තිබුණේ සතුටක් ........................

කැළේට පිපිලා හැමදාම හිනාවුණ
කටරොල් මල් වල තිබුණු ඇස් සනසන ලස්සන ................
තාම මතකයි මට ගිණි ගහන අව්වේ
පිච්චි පිච්චි ඉද්දිත් දැනුණු ඇග කිළිපොලන සීතල .....................

වෙන කවදාවත් දැකපු නැති විදිහට
ඔය ඇස් දෙක නිල් පෑයට දිලිසුණු තරම් ..........................
ඒ වෙනකන් දැකලා නැති ලස්සනකට ඔය උවන
මගේ දිහා බලාගෙන උන්නු අපූරුව .............................

තුෂාර විතාරණ


.

Monday, March 24, 2014

අසම්මත විරාමය......................


                                                                                                                                                     




අමතකව ගිය
අතීතය වල්මත්ව
සීත රෑ යමදි
සිහිනෙකින් ළං වෙලා......
ලෝකයට වසන් කර
සීත  වූ මගෙ දෙතොළ් 
උණුසුමෙන් සනසවා
 අර අදියි දුවන්නට හනික........
කතා කළ නිල් දෑස
මගෙ නෙතුළ සඟවලා
හසුව පෙම් සුළඟකට
මගෙ දෙතොළ වියළිලා..........
පැයක වැඩ විරාමය
අතරමග නවතලා
ඔය දෙතොළ කී රහස
රහසින්ම ළං වුණා.........
නෙතුළ සැඟවූ ව දෙය
දුටිමි මා සැක හැරම
ගලන ඒ ආදරය 
විඳ ගතිමි සිත් සේම......
ලෝකයට වසන් කර
වින්ද ඒ හද සිසිල
දෙතොල් මත තියා ඔබ
පැන ගියා පෙර සේම..........
ඔබගෙ හිස් ආදරය
රිදවලා මගෙ කොපුල 
අසම්ම්ත විරාමයම
 සිරකළා සිහිනයක...........


කාංචනා චන්ද්‍රසේකර


.
Related Posts Plugin for WordPress, Blogger...