Thursday, August 28, 2014

ලොව්තුරු නිමල පෙම......














මගේ කිරිකැටි පුතුනේ...
දැනගත් දා...
ආ බව මව්ගේ කුස තුළට...
මගේ ලෙයින් සෑදුනු නුඹ...
දැකගන්නට නොතිත් ස්නේහයෙන්...
පෙරුම් පිරුවා මා...
අනන්තයක් තරම්...

මොළකැටි අත් පා සොළවමින්...
මෙලොව එළිය දුටු දා නුඹ...
මුව මඬල විහිදා හැඬූ සඳ...
කඳුළු වෑහුණි මගේ දෙනෙතින්...
ඒ නුඹ වෙනුවෙන් ගැලූ නිම් හිම් නැති සතුටේ කඳුළුම විය...

නුඹේ කිරි සුවඳින් සපිරෙනා...
මව්ගෙ උණුහුමින් රස දෙනා...
ස්නේහයේ විජිතය මෙයම වේ ලොව...
නුඹෙයි මවගෙයි දිවි අරණ තුළ....
වනස්පතියකු වෙමිය මා අද...

පතිනියනේ... මගේ සදාදර...
ණය ගැතිය නුඹට මා සසර වසන තුරු...
මට දායාද කළ මේ වස්තුව වෙනුවෙන්...
වේදනා දරා සෙනෙහසින්...
නුඹේ කුසින්...



අසංක ගයාන් අබේසිංහ

45 comments:

  1. ලස්සනයි..

    දැන් අසංක විතරමද තනියම ලියන්නේ.. අනිත් කට්ටියව දැක්කේ නෑනේ හුඟක් දවසකින්..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි දිනේෂ්....ඇත්තමටම අපේ අනෙක් සහෝදර සහොදරියන්ට කතා කළාමවත් උත්තර දෙන්න බැරි තරමට බිසී( ලු )...හි..හි...ඉතිං මම මේ දවස් වල ටිකක් වැඩියෙන් ඉන්නවා...මම මේ ඉන්නේ අපේ බෝඩ් මීටින් එකක් කෝල් කරනකම්...උන්දැලට ලුණු ඇඹුල් ඇතුව හොඳවයින් ටිකක් කතා කරන්න...මාව තනි කෙරුවට....හික්ස්...

      Delete
  2. Like this very much.
    Keep up good works

    ReplyDelete
    Replies
    1. Thank you very much.
      Be with good works

      Anyway...Anytime...Everywhere...

      Thank you very much Deutscher...

      Delete
  3. සුදු ඇත් පොව්වෙක් සුදු පියුම හොඩින් ගෙන
    පැදකුණු නොකලත් සිරි යහනේ
    පෙරුම් පුරා මා කුසට පැමිණි බිළිදු
    මට රජ පැටියෙක්.......

    හංකිති කවමින් කුස තුල සක්මන් කරනා
    නුබ දගයෙකු වේදැයි නිකමට මෙන් මට හිතෙනා
    පැටියෝ නුබ දුවක වුනත් මට පුතෙකු වුනත්
    නුබේ හිස පළදින්නේ වෙනසක් නැති එක ආදරයයි ආදරයයි

    කුස තුල දැරුවයි මතු බුදු වන පැතුමන් නෑ
    ලෙය කිරි කර පෙවුවැයි උදම් අනන්නට රිසි නෑ
    පැටියෝ නුබ දුවක් වුනත් මට පුතෙකු වුනත්
    මා නුබට පුදන්නේ සැබෑව දිදුලන ජීවිතයයි...ජීවිතයයි..

    ගායනය - නිරෝෂා විරාජිනී

    ReplyDelete
    Replies
    1. හරිම සංවේදී ගීයක් දමිත්...මම වැඩිය අහල නෑ...ඒත් පද පෙලින් පේනවා මෙහි අපූර්වත්වය...බොහොම ස්තුතියි දමිත්...ඔබ කවිය තවත් අර්ථවත් කළා...

      Delete
  4. දෙමව්පියන්ට තියෙන ලොකුම සම්පත , අමිල වත්කම තමා දරුවෝ, දරුවෙකු පිළිබඳව සිහින දකින දිනයේ පටන් , කිරිකැටි බිළි‍ඳෙක් තමන්ගේ ලෝකෙට එන්න සුදානම් බව දැනගත් දිනයේ පටන් මව්පියො දකින සිහින , ගොඩනඟන බලපොරොත්තු අප්‍රමාණයි. එවන් දයාබර පියෙකුගේ , ආදරණීය සැමියෙකුගේ සිතිවිලි අපූරුවට විවර කරලා තියෙන සොඳුරු , සංවේදී නිර්මාණයක් ......

    ReplyDelete
    Replies
    1. ඇත්ත සඳරු...ඒක බොහොම ඇත්ත...දෙමව්පියන්ට දරුවකුට වඩා තවත් දෙයක් නෑ...මම දැකලා තියනවා බොහොම දරුණු මිනිස්සු පවා තාත්තෙක් වුණු ගමන් හරිම අහිංසක මිනිස්සු බවට පරිවර්තනය වෙන හැටි...දයාබර සැමියන් වන හැටි... දරු සෙනෙහස ඒ තරම් ප්‍රබලයි....

      Delete
  5. අම්ම කෙනෙකුගේ සෙනෙහස ගැන කියන්නට වචන නෑ. පතිනිය මවක් වන දිනයේ සැමියෙකුගේ සතුට කියන්නටද වචන නෑ

    ReplyDelete
    Replies
    1. ඔබ හරියටම හරි ඉවාන්...ඒ ගැන ගොඩක් පැහැදිලි කළ නොහැකියි...එය ඒ තරම්ම හදවත ළඟින් තියන හැඟීමක්....

      Delete
  6. දුකේදී හැඬුමට - සැපේදී සිනාසෙන්නට ළඟ ඉඳන්
    තවත් අම්මා කෙනෙකු ඇත්නම් නුඹයි ඒ අම්මා

    සොඳුරියෙ නුඹයි ඒ අම්මා
    අහස මෙන් ලත් චෝදනා - පොළොව මෙන් දුක් උහුලනා
    මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපදීලා
    සොඳුරියෙ නුඹේ සෙනෙහසින් ඉමි ලොවෙහි රජ වීලා

    සිතට සැනසුම් කල්පනා - ගෙනෙන පාදා වාසනා
    තනා ටජ් මහලක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
    සොඳුරියෙ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරඟ

    ටී.එම්. ජයරත්න

    ReplyDelete
  7. කවදත් වගේ ලස්සනයි අසංක පද පෙළ. හැම පිරිමියාටම මෙතරම් දයාබරව ගෞරවයෙන් තම්න්ගෙ බිරිඳව දකින්න පුලුවන්නම්.. ඒ වගේම හැම ගැහැණියකටම තම්න් සතුව මේ තියෙන අපරිමේය වටිනාකමට සාධාරණයක් කරන්න පුලුවන්නම්..ඒ වටිනාකම ආරක්ශා කරගන්නවනම්..

    ReplyDelete
    Replies
    1. හැමදාමත් වගේ ඔබත් මේ නිර්මාණය තව තවත් අර්ථවත් කළා මනෝෂ්...ඇත්තෙන්ම....දරුවෝ...මව...බිරිඳ...යෙහෙළිය....මේ හැම දෙයක්ම අප වෙත ලබාදෙන්නේ අපේ පතිනියයි....එයා තමන්ගෙ දරුවෝ සැමියා වෙනුවෙන් කොයි තරම් කැපවෙන්න සූදානම්ද...කොයි තරම් නම් ජීවිතේ වේදනා දරනවද....ඇත්තෙන්ම ඇය කොතරම් උතුම්ද.... ඇත්තෙන්ම හැම ගැහැණියක්ම මේ වටිනාකම තේරුම් ගත යුතුයි...

      Delete
  8. ලස්සනයි මචෝ...
    හැමදාම වගේ අසංකයගෙ කවි අපිට හිතන්න දෙයක් වගේම සංවේදී සිතුවිල්ලකුත් හිතට එකතු කරනව...
    අම්ම කෙනෙක් තාත්ත කෙනෙක් වෙන එක කොයි තරං සන්තෝසද කියන්න මට මගෙම කියල අත්දැකිමක් නැති වුණත් මගෙ යාළුවො දිහ දැක්කහම මටත් ලෝබ හිතෙන වෙලාවල් තියේ...

    පට්ටයි මචෝ ජයවේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් ජය වේවා මහේෂ්...ඇත්තෙන්ම මටත් ඔබට දැනෙන ලෝබකම දැනෙන වාර කියලා නිම කරන්න බෑ...මටත් ඔබට වගේම මෙහෙම හැඟීම් අනුන් හින්දා දැනුණු වාර අනන්තයි....මගේ මේ නිර්මාණය බිහි වුණේ ඒ හැඟීම් මගේම කරගෙන මගේ හිතින්....

      Delete
  9. නියමයි අසංක! අද නම් කියාගන්න වචන නෑ. ඒ තරම් හිතට දැනුනා. ඔය දවසෙදි 'තාත්තා' කියන පදවිය ලබපු පීමියෙක්ගෙ හිතට දැනෙන හැඟීම අකුරු කරන්න අමාරුයි.

    සුපිරියි කියලා විතරක් කියන්නම්.!!!

    ReplyDelete
  10. මට මතක් උනේ දුවගෙ පළවෙනි උපන් දිනේදි මම තියපු සටහන!

    පුංචී දෝණී මගේ… දෑසෙ වේ ඔබ මගේ……

    ReplyDelete
    Replies
    1. ඇත්ත ප්‍රියා...පියෙකුට තමන්ගෙ දරු සෙනෙහස කියාගන්න බෑ...මට ඒ අත්දැකීම හැබැහින් නෑ...ඒත් ඒ හැඟීම මටත් මේ තරම් හිතට දැනෙද්දී ඔබට එය හැබැහින් දැනෙන විදිහ මට කොහෙත්ම හිතාගන්න බෑ ප්‍රියා...සත්තකින්ම...ස්තුතියි ප්‍රියා...

      Delete
    2. ප්‍රියා මචං,

      ගිහින් කියෙව්වා. ආයෙ හෝදන්න දෙයක් නෑ, හොඳම එකෙත් හොඳම එක. හිතට ආව අදහස එතනම් කියල ආවා..

      Delete
    3. ප්‍රියා...ඔබ දමා තිබූ ලින්කුවෙන් ගිහින් ඔබේ දියණියගේ උපන් දිනය වෙනුවෙන් ඒ ලියලා තිබුණ ලිපිය සහ කවි කියෙව්වා...ඇත්තමයි කියන්නේ ප්‍රියා...හිතට මහ මොකක්දෝ කියාගන්න බැරි හිත හිරකරන හැඟීමක් දැනුණා...මට මේ අත්දැකීම ගන්න තව කල් යයි...සමහර විටක නොලැබෙයි....ඒක මගේ දෛවයේ විදිහට වේවි...එතෙක්...ඔබේ නිර්මාණය මගේ හිතත් නෙතත් සසල කරන්න සමත් වුණා...හරිම සම්පූර්ණයි...හරිම සංවේදියි...මීට වඩා පැහැදිලි කරන්න මට තේරෙන්නෙ නෑ...ඔබේ දුවටත්, ඔබටත්, මුළු පවුලටමත් හැමදාම සතුට, ජය ප්‍රාර්ථනා ක්‍රරමි....

      Delete
    4. මනෝ, අසංක,

      දෙන්නටම ස්තූතියි මචෝ!! බොහොම ස්තූතියි! :)

      Delete
  11. කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත් පා යදංගු කරන්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...
    අව්වට වැගිරෙන දාඩිය වැස්සේ
    කළු ගල් තලලා මහාමං තැණුවේ
    නිවහල් ලොවකට නුඹට වඩින්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...
    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ..
    දුන්රොටු අතරේ කම්හල් ඇතුලේ
    දැති රෝදෙක දත ජීවය දුන්නේ
    නව මිනිසෙකු නව ලොවට පුදන්නයි
    කිරි කැටි පුතුනේ.. කිරි කැටි පුතුනේ...
    කරදිය ගැඹරේ තුන් යම ගෙවුණේ..

    දන්නා විදියට මේ ගීතය ගයන්නේ විශාරද එඩ්වඩ් ජයකොඩි මහත්තය.

    ඔබ ඔහොම කියද්දී තවත් ගොඩක් පියවරු මෙහෙම හිතනවා නොවේද, ලස්සන නිර්මාණයක්.

    ReplyDelete
    Replies
    1. පියෙකුගේ ආදරය කොයිතරම්ද...මනින්න පුළුවන්ද...ඒ වගේමයි මවගේ ආදරයත්...දරුවෝ කොයි තරම් වාසනාවන්තයිද...ඔබ මේ කවිය ප්‍රබල විදිහට පණ ගැන්වුවා සොමියා...ඔබ හරි...මෙහි ගායනය විශාරද එඩ්වඩ් ජයකොඩි මහතා, පද රචනය ප්‍රේමකුමාර ජයවර්ධන මහතා සහ සංගීතය රෝහණ වීරසිංහයන්...

      Delete
  12. මම ලියා ගත්තා කවිය.
    එල ද බ්‍රා!!!.
    නියමයි උපරිමයි පට්ටයි

    ReplyDelete
    Replies
    1. ස්තුතියි සංජීව....ඔබට එය හිතට දැනී ඇති බව වැටහුණා...එය නිහතමානී ආඩම්බරයක් සහ සතුටක් ගේනවා සංජීව...නැවත වරක් ස්තුතියි ඔබට...

      Delete
  13. දෑතෙම කරගැට දාලා ඒවත් ගානකට නැතිව
    හැම සතේම වියදම් කලේ දරු සෙනෙහස හිතේ ඇතිව

    කට්ටි පැනල වෙට්ටු දාල හැන්දෑවට ගෙදර එද්දි
    කෝටි ගණන් කදුළු වැටුණු තිබුනා තව ගොඩක් සිද්ධි

    තාත්තාගෙ ටොක්කට
    වදිමි දෑත් එක්කොට

    තාත්තාගෙ ආදරේ
    වා ගෙ යි ම හ … සා… ග…රේ !!!!!

    (සහන් ජයශාන්ත)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි පත්තරේ...පියකුගේ ආදරය වෙනත් විදිහටක ප්‍රකාශ කිරීමක්...ලේසියෙන් හොයාගන්න බැරි මෙවන් නිර්මාණ මේ අතරට ගෙනත් කවිය තව තවත් අර්ථවත් කළා...

      Delete
    2. සහන්ගෙ පියා වෙන එම් වී ගුණදාස කියන විරිදු ගායකයා රචනා කරන විරිදු කවි පංති ටික හරි රහයි කුරුට්ටො …

      Delete
    3. බොහොම ස්තුතියි පත්තරේ...මේව කොහොමද හොයාගන්නෙ....නෙට් සර්ච් කළාම පුළුවන්ද...නැත්තම් වෙන ලේසි ලින්ක් එකක් තියනවද...උඹට හැකිනම් දාපන්...ඒක අපි හැමෝටම ප්‍රයෝජනවත් වෙයි....

      Delete
    4. එළ කිරි මචෝ මං දාන්නං

      Delete
    5. එළ කිරි පත්තරේ...උඹ නියම මිනිහෙක්නේ..ඇහුවා විතරයි...මෙන්න ප්‍රතිථල...උඹල වගේ මිනිස්සු තමයි ආශ්‍රය කරන්න ඕන...අවංකවම...බොහොම ස්තුතියි මචං..

      Delete
    6. බ්‍රෑන්ඩ් එක ගල් :D
      - ස්තුතියි -

      Delete
    7. ඕං ආයෙ පටන් ගත්තා ගල් මගුල....උඹේ බ්‍රෑන්ඩ් එක ගල් වුණාට මට පාන්ද?...හරි..හරි...උඹ ඉතින් අපේ අතිජාත මිත්‍රයෙක්නේ...මොනව කරන්නද ඉතිං...

      Delete
  14. ඔය අත්දැකීම ලබන්න තාත්තා කෙනෙක් වෙන්නම ඕනේ.
    ලස්සනයි,කියව්වම මේක මටත් හිතුනා ඉක්මනට තාත්තා කෙනෙක් වෙන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මනෝජ්...මටත් එහෙමම හිතුණු හින්දමයි මේ නිර්මාණය බිහිවුණෙත්...ඔබට බොහොම ස්තුතියි මනෝජ්...

      Delete
  15. බෝඩ් මීටින් එකේදි දැනුම් දීපං, ආයෝජයන නිසි පරිදි නොවේ නම් තමා වෙනත් තනි ව්‍යාපාරයක් අරඹන බව...

    ReplyDelete
    Replies
    1. අපොයි...දේශකයත් ඉඳල ඉඳල කියන්නෙ බෙල්ල ගහල යන කතා තමයි...ඕව කතා කරන්න ගියොත් මගෙ ඩිරෙක්ටර් පෝස්ට් එකත් නැතිවෙයි...හික්ස්...ඒ වුණත්...දේශකයෝ...ගී පවුර මගේ අම්මා වගේ...මාව බ්ලොග් ලෝකෙට බිහිකළේ එයා...ඉතින් පුතාට අම්මව දාල යන්න බෑ නේ...ඔහේ පොඩි පොඩි ඒවට රණ්ඩු වෙවී හරි පවුලෙම එල්ලිලා ඉන්නවා...ඒ සම්බන්ධය කොහොම කඩන්නද...කවදක හරි අම්මගෙ ආශිර්වාදය ඇතුව උදව් ඇතුව මටත් පුළුවන් කියල හිතුණොත් විතරක් තනි ගමනක් යනවා...ඒත් කවදාවත් අම්මව අතහරින්න නම් නොහැකියි....

      Delete
    2. ooops...yela...yela...thanks Mr.Lecturer....I think I have passed the test....

      Delete
  16. දුවෙක්, සොයුරියෙක්, යෙහෙලියෙක්, බිරිඳක් වෙනව වගේම අම්ම කෙනෙක් වෙන එකත් හැම ගෑණු ළමයෙක්ගෙම හීනයක්... අපූරුයි පද වැල් ටික...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි තුශානි මේ හැඟීමේ අපූර්වත්වය කාන්තාවකට දැනෙන හැටි හැඟීම්බරව කළ පැහැදිලි කිරීමට...ඇත්තෙන්ම...මේ ගැන ඔබේ කමෙන්ට් එකක් මේ තරම් පරක්කු ඇයි කියල බල බල හිටියේ...

      Delete
  17. ඇත්තටම මාව මේ ලෝකෙට බිහිඋනු දවසෙ මගේ තාත්තත් අවසානෙටම කියලා තියෙන දේ කියන්න ඇති.ඒක අපිත් දවසක තාත්තා කෙනෙක් උනාම විදින්න පුලුනව් සොදුරුම අත්දැකීමක් වෙන්න ඕන...
    පද පෙළ හරිම ලස්සනයි.... කාලෙකින් මමත් මේ පැත්තට ගොඩ උනේ

    ReplyDelete
    Replies
    1. ඒක තමයි මල් මල්...බොහොම ස්තුතියි කාලෙකින් මේ පැත්තෙත් ආව එකට මුලින්ම...මේ සොඳුරු අත්දැකීම හැම අම්මෙක් තාත්තෙක්ටම පොදු දෙයක්...දරු පෙමට සීමා නෑ...ඔබට බොහොම ස්තුතියි නැවතත්....

      Delete

Related Posts Plugin for WordPress, Blogger...