මගේම චිතකය ඇවිලී අළුවෙයි
මගේම දෙනුවන් අභිමුවෙහී
හඬනා තැවෙනා කිසිවකු නෑ
මගේම තනියට අද මා පමණයි.............
ගීතය හුදු ජීවනෝපාය මාර්ගයක් බවට පත් කර ගනිමින් කුමන හෝ පද කිහිපයක් ගලපාලමින් එයට තාලයක් එක් කරමින් බාල බොළඳ ශබ්ද මාධුර්යය පමණක් කැටිකරගත් ගීත රචනා කරන නූතනයේ ගීත රචකයන්ට මල්දෙණිය මහතා අභියෝගයක් කරයි. ඔහු බලාපොරොත්තු සුන් වූ තරුණයකුගේ චිත්ත අභ්‍යන්තරයට ගමන් කරනුයේ එය තම අද්දැකීමක් බවට පත්කරගනිමිනි. දක්ෂ කලාකරුවකුගේ ස්වභාවය මෙය නොවේද? තරුණයාගේ චිත්ත සන්තානය තුළ පොදි බැදි නේක බලාපොරොත්තු වැල්ලේ තැනූ මාලිගා මෙන් සුණු විසුණු වී ගොස් හමාරය. ඔහුට ජීවිතය පවා එපා වී හමාරය. සිත් තුළ බැඳි නේක බලාපොරොත්තු ප‍්‍රාර්ථනාවන් සියල්ල ඔහුට සිහින පමණක්ම වී තිබේ. ඔහු පේ‍්‍රමයෙන් පරාජිතයෙකි. ඔහු ඔහුගේම සිරුර සහිත ගිනි ගෙන දැවෙන චිතකය තම දෙනෙත් ඉදිරියේම දකිමින් වැළපෙයි. තම සිරුර සහිත චිතකය තම දෙනෙත් අභිමුව ගිනිගෙන අළුවී යනු දකින්නට හැකි කිසිවෙක් මෙලොව සිටිත්ද? සිටීනම් ඒ මාර්ගඵල ලාභියෙකි. එහෙත් පෙරදා දහසක් බලාපොරාත්තු ගෙන එමින් තම සුරතේ දැවටුන තම පෙම්වතිය හැරයාමෙන් තනිවු තරුණයා තමන්ගේම චිතකය තම දෙනෙත් ඉදිරියේ දැවී අළුවී යනු බලා හිඳී. මෙය අමුතුම ප‍්‍රස්තුතයක් තේමා කරගත් ගීතයක් බැව් කීම අමුතුවෙන් නොකිවමනාය. තම චිතකය දැවෙනු බලා හිදින තරුණයා සමීපයේ ඔහුගේ තනියට කිසිවකුත් නැත. ඔහුට සිටින්නේ ඔහුම පමණකි. ඔහුගේ දුක කීමට හෝ ඔහු සමග හඬා වැළපීමට කිසිවකුත් නැත. විප‍්‍රයෝගයේ දුක්ඛ දෝමනස්සය පද හතරකට කැටි කිරීමට ගේය පද රචකයා දක්ෂ වී තිබේ. නමුත් කිසිම විටක සහෘදයා තුළ කෝපයක් තරහවක් ඇති නොවන අයුරින් පද කැටි කිරීමට හැක්කේ දක්ෂ නිර්මාණකරුවකුට පමණි. මෙකී ලක්ෂණය රැකීමට ගේය පද රචකයා ද දක්ෂ වී තිබේ. දැවී අළුවී යන තමාගේම සිරුර සහිත චිතකය දෙස දෙනෙත් අයාගෙන ප‍්‍රාර්ථනා සුණු විසුණු වී ගිය තරුණයා තනිව ම හුදෙකලාවේ වැලපෙමින් බලා සිටී. මෙය අපූර්වත්වයකින් දකින්නට හැක්කේ වාසනා ගුණයෙන් හිමි දක්ෂ නිර්මාණකරුවකුට පමණි.
සුරංග එස්. විජේසූරිය
සමස්ථය වෙත >>>>>
.
No comments:
Post a Comment