Sunday, April 17, 2016
Friday, April 15, 2016
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා.....
දහඩිය හෙලළා හම්බකරපු
ධන ධාන්‍ය ටික ගෙට අරන්
තමන්ගේ ම මහන්සියෙන්
හොයාගත්තු වසන්තය ආවෝ ආවෝ කියන්නෙ
තමන්ට ම කියලා කූඩුවක් හදාගන්න බැරි
අනුන්ගේ පහණින් එළිය බලන කොවුලෝ.
ඒකයි මං කියන්නේ
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා.............
එකෙක්ට එකෙක් පේන්න බැරිව
තුවක්කු අමෝරාගෙන උන්නු
කැති පොරෝ අරගෙන ගිහින්
බඩදරු අම්මලා කපලා මරාදාපු හිංගලයෝ දෙමළු
එකම නැකතට එකම ජාතියක් විදිහට
එකට එකතු වෙලා කැවිලි බෙදාගන්න අවුරුද්ද
ඒකයි මං කියන්නේ
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............
අවුරුද්දක් ම බඩගාගෙන
සල්ලි පස්සේ දුවෑවිදලා
රජයේ නිවාඩු දවස් ටිකේ
ටීවි එකේ පෙන්නන ලංකාවේ නැති ගමක් දකින්න
තිලකවර්ධන එකේ සේල් පෙට්ටියෙන් තෑගි පොදිගහන
වැහි නැති හෙණ ගහද්දි සමරන අවුරුද්ද
ඒකයි මං කියන්නේ
මෙතැන මොකක් හරි අවුලක් තියෙනවා කියලා..............
කසුප් අනුරාධ
.
Monday, April 11, 2016
පරසතු... මා සතු...
පරසතු කුසුමක පෙති සැලුනා
නුපුරුදු රසයක සුව හැඟුනා
සුවඳ සොයා ඉව පාරේ පියැඹූ
බඹරිඳු මා පමණද ලඳුනේ...
රහසක්ව කොඳුරලා
මඳ පවන හා එවා
කැන්දුවේ ඔබ ළඟට
මා පමණදෝ...
ජීවිතයේ නිම් තෙර මානේ වූ
ජීවන රසයේ පහස කියාදුන්
ඈ අමතක කර එනු මා ඔබ වෙත
කෙලෙස කියන් ලඳුනේ...
ඔබ වෙතට තැබූ පය
ඈ දෙසට යළි තබමි
යළිඳු මා නොපතන්න
සොයුරියේ...
-අසංක ගයාන් අබේසිංහ-
Sunday, April 10, 2016
දඬුවම...
දවසක් දා එක මිනිහෙක් - සිය බිරිඳයි නැන්දම්මයි
සමග ට්‍රිප් එකක් යන්නට - එළියට බැස්සා
ඒ ට්‍රිප් එක හරි අමුතුයි - බෝට්ටුවෙන් යා යුතු වෙයි
නවමු අත්දැකීමකි ඒ - හැමටම ලැබෙනා
ඒත් කරුමයක් පළදී - කවුරුවත්ම නැති තැනකදි
බෝට්ටුවේ ඇන්ජිම - නැවතී ලෙඩ දුන්නා
අමාරුවෙන් හබල් ගසා - එහා ඉවුරෙ ගොඩ බැහැලා
රට ඇතුළට කැලේ මැදින් - තිදෙනා යන්නා
අහෝ දෛවයේ සරදම - මේ තිදෙනා වට කොරාන
ගෝත්‍රිකයො රැළක් - සැනින් කඩාන පැන්නා
තොපි මොකදැයි මෙහෙ කොරන්නෙ - අපෙ නිජබිම හරහ යන්නෙ
ගෝත්‍රයේ නායක තැන - දැන් විමසන්නා
අනේ අපිට සමාවෙන්නෙ - අතරමංව මෙහෙට වැටුණෙ
අපෙ මිනිහා හැකි තරමට - තේරුම් කෙරුවා
උඹල අතරමං වුණු බව - ඇත්තක් බව පෙනී යන්නෙ
ඒත් දඬුවමක් නොමැතිව - අපි යවන්නෙ නෑ
එක එකාට කසෙන් පහර - සීය බැගින් දැන් දෙනවා
ඇත්ත කිව්ව හින්දම එය - ලිහිල් කොරඤ්ඤං
උඹල කැමති දෙයක් පිටේ - බැඳගන්නට අවසර ඇත
එනව හොඳයි පළමු එකා - මෙතනට විගසින්
කොට්ටයකුත් ඉල්ලාගෙන - ඒක පිටේ බැඳලාගෙන
බිරිඳ මුලින් කස පහරට - පිට දික් කෙරුවේ
අන්තිම හරියේ දඬුවම - කොට්ටෙ පැළී කස පහරට
ටිකක් වැදී ලේ පෙරාන - බිරිඳ පැමිණුනා
ඒක දැකපු නැන්දම්මා - කොට්ට තුනක් ඉල්ලාගෙන
ඒව හොඳින් ගැට ගහගෙන - පිටියට බැස්සා
නැන්දම්මා බොහොම හොඳින් - ගොඩදාගෙන ඒ දඬුවම
අපෙ මිනිහගෙ වාරය දැන් - මතුකර දුන්නා
උඹෙ පිටටත් ගැට ගහන්න - කොට්ට ගේන්නද විමසා
ගොත්‍රයේ නායක තැන - විමසා හිටියා
අපේ මිනිහා දොහොත් මුදුන් - දී වැඳලා නායක වෙත
මෙන්න මෙහෙම කියපි ඉතින් - දඬුවම ඉල්ලා
අනෙ පිංවත් උත්තමයිණි - කොට්ට එපාමයි මා හට
නැන්දම්මව පිටට තියා - ගැටගහන්නකෝ...!!!
-අසංක ගයාන් අබේසිංහ-
Tuesday, April 5, 2016
නිළියකට පෙම් බැඳ...
සොමි කැළුම් උතුරනා - රෑ සැඳෑ සාදයේ
රන් පබළු එළි වැටක - රැඳුනු මුතු කුමරියේ
ඔබෙ දිස්න නෙතු මැණික් - කළඹවන්නේ හදයි
එක් සිනාවක් ඔබේ - ලැබගන්න ආසමයි
රුවන් මුතු කුමරියේ...
රූබර වු යුවතියේ...
දෑස මගෙ පින් කළත් - ඔබේ රුව දැකගන්න
ගත මගේ එලෙස වෙද - පහස නුඹෙ විඳගන්න
සිත මගේ මුමුණන්නෙ - ප්‍රේමයේ සොඳුරු කව
ලදොත් මා ඔබේ පෙම - සක්විති වු රජෙක් වෙද
දහස් නෙත් පරදවා - ඔය දෙනෙත් දිනන්නට
බලා ඉන්නේ මෙතැන- තුන් යමේ නොව වෙහෙස
ඉතින් එක් වරක්වත් - මුණ ගැසුනි නම් බැල්ම
වහා ඉහිරවන්නම් - ලොව් තුරා බිඟු රහස
නෙලන්නට දිග මදිලු - මගෙ දෑත ඔය කුසුම
ලොවේ නින්දා පරොස් - මා කරා නොව අඩුව
ඒත් මම නොවේ පසු - පස දෙපා තියන්නේ
එක් වරක් බලන්නකො - මගේ රන් කුමරියේ...
-අසංක ගයාන් අබේසිංහ-
Monday, April 4, 2016
Saturday, April 2, 2016
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....
වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ
තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.......
නග්න අහස විසිරි තරුයි
නුඹෙ තනියට ළඟ උන්නේ
රෑ කුමාරි මල තනිකර
නුරා බඹරු පැන යන්නේ
ගිනි ගත් කුස සනසවන්න
දෙලෝ ගිනිද අවුලන්නේ
විලවුන් තැවරූ සියොලඟ
කෙලෙස් ගඳද මතුවෙන්නේ
වීදි බසින සඳ එළියේ
සුවඳ අරන් ඇදෙන ලියේ
තුට්ටු දෙකටදෝ ඇඳිවත උනාලියේ
සැතපෙන්නේ කොතැනද රෑ මනාලියේ.....
ඉසූ
.
Wednesday, March 30, 2016
නොසිඳෙන ආශාව...
ඈත මෑත සොයමි නිතර
හද ඇඳි රුව ඇතිද කියා
වරෙක මහත් වෙහෙසකි මට
එකම රුවක් මදිය කියා
මේ ලැබුණා දැන් ලැබුණා
කියා සිතට සැනසුම එයි
ඒත් සැනින් නිමේශයෙන්
ඊට වැඩිය රුවක් මැවෙයි
එකම පෙමක රැඳුනු සිතක්
සතුටු සිතින් හිඳිනු කෙසේ
එයද මහත් පැනයකි මට
සලකන විට වෙනස් රසේ
සනසනු බැහැ මගේ සිතත්
තිබහට ලුණු දිය බිව් සේ
ගහෙන් ගහට පනින්නටයි
හිත කියන්නෙ හැම මොහොතේ
සංස්කෘතිය සභ්‍යත්වය ආගම හා ලැජ්ජා බිය
පසුපසටම අදිනු වගේ මගේ නොතිත් ආශාවම
ඒත් අනේ කෙසේ කියා අමතක කරනට හැකිවෙද
මගෙ සුන්දර අන්තඃපුර සිහින රාජ මාලිගාව
-අසංක ගයාන් අබේසිංහ-
Tuesday, March 29, 2016
එකක් නොව අත පුරා සම්මාන ත්‍රිත්වයක් - නෙලුම්යාය බ්ලොග් සම්මාන උලෙළ
තෙවසරක බ්ලොග් දිවිය
විඩාබර කාලයක්
බැලූ කල ආපස්ස
දුක සතුට මතකයක්
ජීවිතේ පොරබැදපු
දාහකුත් දින තිහක්
අත්දැකපු දේ අරන්
කවි කෙරුණු පද ගොඩක්
බලා අදහස් කියූ
බ්ලොග් සොහොයුරන් රැලක්
ළග ඉදන් දිරිදුන්නු
සහෝදර බැදීමක්
මුල් වරට බ්ලොග් ලොවේ
දිරිය සම්මානයක්
එකක් නොව අත පුරා
සම්මාන ත්‍රිත්වයක්
නෙලුම්මල් පිපුණු දින
සතුට පිරි සාදයක්
හිතේ තිබු පැතුම් පොදි
හැබෑ වුණ දාවලක්...............
2015 වසරේ හොදම බ්ලොගය - කුසලතා සම්මානය

2015 වසරේ හොදම ප්‍රහසන පෝස්ටුව - දෙවන ස්ථානය

2015 වසරේ හොදම 18+ පෝස්ටුව - දෙවන ස්ථානය

සටහන - සම්මාන උලෙළ උපරිම මට්ටමින් සංවිධානය කිරීම ගැන සංවිධායක මණ්ඩලයේ සියලු දෙනාටත් (අජිත් අයියා කමියා ඇතුළු), සම්මාන දෙන්න ආ කතානායකතුමාටත්, සහය දැක්වූ පරණවිතාන මහතාටත්, සංගීතය සැපයූ මනා සාජ්ජා ඇතුළු බ්ලොගාලාටත්, නිවේදක කටයුතු සිදුකළ ඉවාන් සහ එම සහෝදරියටත් (වැරදියට හිතන්න එපා), සම්මාන ඇතත් නැතත් බ්ලොග් සම්මාන උලෙළ වෙනුවෙන් තම කාලය කැප කරමින් පැමිණි සියලු බ්ලොග්කරුවන්ට සහ බ්ලොග් කිවයන්නන්ටත්, කුරුටු පවුරේ සහභාගීත්වය වෙනුවෙන් දුසිමක් නියෝජනය කරමින් පැමිණි දුසිම් භාගයක කුරුට්ටන්ටත් හදපිරි සතුට මෙසේ දන්වා සිටින්නෙමු...........
සාධාරණ විනිශ්චයක් ලබා දීම වෙනුවෙන් විනිශ්චය මණ්ඩලයටත්, සම්මාන ලැබූ සියලු බ්ලොගාලාටත්, අප ලැබූ සම්මාන වලට අගයක් දෙමින් සාධාරණ තරගයකට සහභාගී වූ සියලුම බ්ලොග් සහෘදයන්ටත්, සම්මාන නොලබා වුවත් ලබන වසර ගැන හිතේ ප්‍රාර්ථනා පොදිබැදගත් ඔබ සියලු දෙනාටත් අපේ සුභ පැතුම්............
හමායන මද පවන මුහුකොට
අපේ සුසුවද බෙදා ලෝකෙට
නෙලුම් යායක් නේක පෑයට
පිපී හිනැහෙනවා ............................... පිපී හිනැහෙනවා
කුරුට්ටෝ
.
Thursday, March 24, 2016
කලින් ආණ්ඩුවයි දැන් ආණ්ඩුවයි අතර වෙනස
ඉස්සර කරන්ට් එක ගියාම
අම්මාගේ කටහඩ ඇහෙනවා
කුස්සිය පැත්තෙන්,
ලොකු පුතා......
එළියට ගිහින් බලන්න
අනික් ලයින් එකේ
කරන්ට් එක තියෙනවාද කියලා.......
දැන් කරන්ට් එක ගියාම
අම්මාගේ කටහඩ ඇහෙනවා
කුස්සිය පැත්තෙන්,
චූටි පුතා........
මාතර නැන්දලාට
කෝල් එකක් දීලා බලන්න
එහෙටත් කරන්ට් ගියාද කියලා.......
ඉස්සර කරන්ට් එක ගියාම
තාත්තා ඉන්න තැන ඉදලා
කෑ ගහලා කියනවා......................
ලොකු දුව......
ඉක්මනට ගිහින් ටීවී එක ඕෆ් කරන්න.
අනික් අය හෙල්ලෙන්න එපා
ඔය ගිය පයින් ම කරන්ට් එක එනවා.............
දැන් කරන්ට් එක ගියාම
තාත්තා ඉන්න තැන ඉදලා
කෑ ගහලා කියනවා......................
ආ.............. ගියා
දැන් ඉතින් තම්බලා තියෙනා දෙයක්
ගිලලා දාලා බුදිය ගනිල්ලා
ආය ඉතින් හෙට උදේට තමා............
කසුප් අනුරාධ
පසු සටහන - මේ කරන්ට් එක යන විදිහට කමිෂන් පත් කරන්න ගියොත් හෙට අනිද්දට අපිත් ඉතින් ජනාධිපති කොමිසමක සභාපති කෙනෙක් හරි සාමාජිකයෙක් හරි වෙනවා නියතයි..... (හදිසියේ කරන්ට් එක යෑමේ ප්‍රීතිය නිමිත්තෙන් තැබූ සටහනක් බව කරුණාවෙන් සලකන්න.)
.
Subscribe to:
Posts (Atom)











