Friday, November 4, 2016

එපා වෙන්නැති ඕන්නෙත් නැති ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා....




ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා
තෙරක් නැති ගංගාව සේ
ඉමක් නැති මහ සයුර සේ
නිමක් නැති සංසාරයේ
විටෙක හෙමිහිට - විටෙක විගහට
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................

සුමුදු මල් සිප මද සුළං යනවා
කටු අකුල වැසි බලා අයැදිනවා
පොළව අහසට තවත් දෙස් දෙනවා
ඒ කිසිත් නොපෙනෙනා නොබලන
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා..................

අතට ගත් දේ අතින් ගිලිහෙනවා
සිතු පැතූ දේ ඇවිත් සනහනවා
කදුළ සිනහව අතර සමවෙනවා
එපා වෙන්නැති ඕන්නෙත් නැති
ජීවිතේ ඔහෙ ගලාගෙන යනවා...................




තුෂාර විතාරණ



.

Tuesday, November 1, 2016

එපා ආදරය...



රාග දෙනෙතින් බැලූ සඳ මා
කෝල බැලුමන් හෙලයි මා වෙත
කිම ළඳේ මේ අධම ලෝකේ
ආදරය මා වෙතට පෑයේ

නුරා දෙනෙතකි සොයන්නේ මා
ඔබෙන් හෝ අන් ළඳක් වෙතකින්
පලක් නෑ මට ප්‍රේම විජිතය
එය වසා දැන් බොහෝ කල් වෙයි

පෙර කලෙක යම් කෙනෙකු වී නම්
ආදරේ පිළිරුවක් විලසින්
මාද එලෙසම සිටියෙමි
ආදරේටම පණ පුදා

ඒත් දැන් මා හිතේ ඉඩ නැත
දරාගනු බෑ ආදරේ මට
පටන් චපල වු ප්‍රේම ලෝදිය
ගැලූ පසු මා හද තුළින්...

 

අසංක ගයාන් අබේසිංහ

Sunday, October 30, 2016

හතරවැනි හයිකුව........




නැතිවුණත් කමක් නැහැ පාළුවනං
තනිව උන්නාට වඩා අගෙයි මේ මල් පොකුර
මේක වෙන්න ඇති නේද ජීවිතය ?


තුෂාර විතාරණ


.
පසු සටහන - 2016 ජූනි 11 තුන්වැනි හයිකුව ලියුවාට පස්සේ https://kurutugegeepawra.blogspot.com/2016/06/blog-post_11.html (මාස 4.5 පමණ කාලයකට පෙර) බ්ලොග්කරණයෙන් ඈත් වී සිටි නමුත් නැවතත් බ්ලොග්කරණයේ යෙදීමේ හැකියාව පිළිබද ව උත්සහ කොට බැලීමට තැබූ සටහනක් ලෙස මෙම හයිකුව සලකන මෙන් කාරුණික ව ඉල්ලා සිටීමට කැමැත්තෙමි. 

Friday, October 28, 2016

ජන්දෙ දීල උඩට ගත්තෙ...



ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්න
වසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්න
දැන්ම හිතල මතල හොඳට වැඩට බහින්න
හිතන්න මේ රට කරවන්න
හිතන්න මේ රට කරවන්න

අපෙ ජහ මනයා අනේ මෙහෙම කියන්නේ
දැන් අතේ මිටේ පිච්චිය නෑ කොහොමද ඉන්නේ
අපි කොහොමද රෙදි ඇඳගෙන දැන් මහමග යන්නේ
ඇයි අපි ජන්දය දුන්නේ උඹලට ජන්දය දුන්නේ

ඇයි ජහ මනයෝ උඹල ඔහොම නටන්නේ
ඇයිද උඹල අපෙ රජයට ගින්දර දෙන්නේ
දෙදහස් විස්සක් වෙනකංවත් අපි ඉම්මු දෙවියනේ
මෙහෙම කිව්ව හැටියෙ ජය මනයා ඇඟට ගොඩවුනේ

ජන්දෙ දීල උඩට ගත්තෙ මෙරට හදන්න...

ජහ මනයගෙ වැඩ පුදුමයි දැන් සිහිවෙනවා
පෙර ආණ්ඩුවත් ඇඩා නැතුව ගෙදරම යැව්වා
කෙළෝගන්නත් ලෝබයි බෙනිෆිට් සිහිවෙනවා
පැලැස්තරයක් ගහලාවත් අපි විසඳුම් දෙනවා

රට අරාජිකයි ඒත් අපිට උත්තර තියෙනා
වැට් එකකුත් ගැහුවා ඒකෙම අපිත් එල්ලුනා
කට ළඟටම එන්නා දැන් ජහ මනයා පිරෙන්නා
එය දුටු අපෙ ලොක්කා මරහඬ දීගෙන පැන්නා

ජන්දෙ දීල උඩට ගත්තෙ මෙරට හදන්න...

මොකද දෙවියනේ ඔහෙලට වෙලා තියෙන්නේ
ඇයි අපෙ රට මේ විදිහට දැන් රුයිතෙට යන්නේ
එය ඇසුණු ගමන් ඇඟේ මාළු ගඟේ නටන්නේ
ජහ මනයට ලොක්කා මේ විදිහට උත්තර දුන්නේ

මම දන්නෙ නෑනෙ කිසිම දෙයක් පත්තර එනකං
දැක්ක ගමන් මම මේ ආවෙමිය දුවං
මටත් බලයක් නෑ වාගෙයි දැන් දැනෙන්නේ හිටං
ලොක්ක එහෙම කිව්ව ජහ මනයට තේරුණ ගොංකං

ජන්දෙ දීලා උඩට ගත්තෙ මෙරට හදන්න
වසර දෙකක්වත් බෑ වගෙ හොඳට දුවන්න
දැන්ම හිතල මතල හොඳට වැඩට බහින්න
හිතන්න මේ රට කරවන්න
හිතන්න මේ රට කරවන්න

-අසංක ගයාන් අබේසිංහ-
(තාලය: ඇන්ටන් ජෝන්ස් මහතාගේ 'සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න' ගීතය )

Tuesday, October 25, 2016

ඈ දනී නම්...!!!





නිලුපුල් නෙතක දැඟලිලි
හෙමින් සැලෙනා කෙහෙරැලි
සුර ලොවක සිතුවිලි
සිහිල් කිතියකි නැළවිලි

මිහිරි හැඟුමන් පෙනි පෙනි
කෙසේ කියමිද සිතමිනි
වියළි තොල් යුග තෙමමිනි
අද මගේ හද තනියෙනි

මෝසම් සුළං රැළි
හමනා රැයක සැණකෙලි
ළඟින් හිඳි නම් වෙළි වෙළි
සිත ඇදුම් දෙයි ගිනි ගුලි

හිතින් පෙම් කල තරමිනි
ඇය දනී නම් සතුටිනි
හාදු වැස්සක තෙමි තෙමි
මමත් සිඹිනෙමි මල් කෙමි





අසංක ගයාන් අබේසිංහ

Thursday, October 20, 2016

කුරුටු සෙත්..........!



අරසර කිවියර නැණ ඉසුරින්දා
සුලකර කවි පදවැල් මන නන්දා
පළකර සරසවි බැලුම පසින්දා
හැමවර මනකළ පද පටබැන්දා

රහු මුව පත් සිසි කිරණසෙ ගුවනේ
කවු පබැදුම් සැඟවී ගිය ලෙසිනේ
පවු නොම කළ සරසවි කිවියරණේ
එවු යුදයට කවි පබඳින අරණේ

පස්වන නැකතින් පන්හිඳ ගෙනතා
කස්තුරි කුංකුම චන්දන කලතා
වස් නොව සෙත් දෙන කරුණා මුදිතා
ඇස්වහ දොස් දුරු වී ජය නියතා



ඉසුරි


.

Tuesday, October 18, 2016

- ජීවන මං පෙත -



ජීවිත උදෑසනේ
පිරිසිදු හිත් අහසේ
කිරි සුවඳින් පිරි
මුව මඳහාසෙන්
උණුහුම් තුරුළක වේ...

ජීවිත දිවා යමේ
කිළිටි වු හිත් ගඟුලේ
කිමිදී තෙමි තෙමි
දුගඳ වු හැඟුමෙන්
සරන්නෙ වනන්තරේ...

ජීවිත සැඳෑ සමේ
අසරණ හිත් දැහැනේ
කියාගන්න බැරි පව් කඳ තනිකම
රජයන වීදි දිගේ
සැනසුම මිරිඟුව වේ...



අසංක ගයාන් අබේසිංහ

Thursday, September 22, 2016

කුරුටු ගෑ පැල් කවි



පෑයු ඉර සමුදුර සැඟවුණා                               දෝ
නිලඹර සඳ රාහුට හසුවුණා                            දෝ
පන්හිඳ කුරුටු ගෑ හොරු ගෙන ගියා                දෝ
කුරුටු ගී පවුරට සෙනසුරු ලබා                      දෝ

සමුදුර සැඟවුණත් හිරු යළි                     පෙනීයන්
රාහුගෙන් මිදී යළි සඳ                             නැගීයන්
හොරු ගෙන ගියත් පන්හිඳ පණ               පෙවීයන්
කුරුටු ගී පවුර නැවතත්                             පිපීයන්

                   
                                                      ඩබ්.ටී වීරසිංහ

Monday, September 19, 2016

පිටුපා ගියේ ඇයි......



නෙතු සන් කළේ ඔබ
කිම මියුලැසි
පිටුපා ගියත් මට
අමතකව නෑ දැන්
ගිනිගන්න නෙතු අග
කඳුලක්ව නිතරම
හමුවේද... නොමවේද...
ඔබ යළි තවත්...

නෑ උරුම මේ ලොව
සැනසුම් පවන්
සුවඳ රොන් බිඟු රස කෝ
නිදි නැති යමේ
ආදරේ වේදනා
විරහ ගී සරසලා
දියවෙලා යයි මගේ
තුණු යම ඉතින්...

රෑ අහසෙ තරු පමණයි
තනියට මගේ
තරුපතිද නිති හිනැහෙයි
ඔච්චමට වගේ
ආදරේ වේදනා
සඳ කිරණෙ දියවෙලා
ගලා යයි ජීවිතේ
හුස්මට උඩින්...



 

අසංක ගයාන් අබේසිංහ

Thursday, September 8, 2016



මිදි කයි ද ? නරි


  
නොතිත් ආශාවෙන්
රැස් කරයි ධනය
නරයා
මිදි ඇඹුලය කියා
අත් හැරීමේ සුව විඳී
නරියා
ඉස්පිල්ලක වෙනස
පහදයි ගැඹුරු දහමක්..


ඩබ්.ටී වීරසිංහ
Related Posts Plugin for WordPress, Blogger...