Monday, November 4, 2013

පබළු නගේ- නාමල් තිලකේ.....

                  සම වයසේ පසුවන ළමයින් එකතු වූ විට කෙළිදෙලෙන් කාලය ගත කිරීම බොහෝවිට දක්නට ලැබෙන්නකි. එසේම මෙලෙස ඔවුන් එකතු වූ විට ඔවුන් සිටින්නේ ද ඔවුන්ටම ආවේනික වූ ලෝකයක කිරුළු දරාය. තවද ඔවුනොවුන් අතර වෙන් කළ නොහැකි සෙනෙහසකින් එකට බැදී ඇත. මෙලෙස කාලයක් තමාගෙ ලෝකයේ තනි නොතනියට කෙළිදෙලෙන් කාලය ගතකළ තම හෙවනැල්ල සේ ළගින් සිටි  තම මිතුරිය තමාගෙන් අකාලයේ සමුගෙන යාමක් පිළිබදව දැක්වෙන අපූර්ව ගේය පද රචනයකි මෙලෙස අප විචාරයට බදුන් කරනු ලබන්නේ. එය රම්බණ්ඩා සෙනෙවිරත්නයන් අතින් පබැදුණු ගුණදාස කපුගේයන්ගේ ස්වර රචනයෙන් හා ගායනයෙන් අලංකෘත වූ ගේය පද රචනාවකි.

පබළු නගේ- නාමල් තිලකේ
පුංචි ඔසරි මැනිකේ - සුමනෝ
උඹ ඇයි නැත්තේ......

මෙහි එන කථකයා බාල ළමයෙකි. ඔවුත් සමග කෙළිදෙලෙන් කාලය ගතකරන ලද්දේ තවත් ඒ වයසේම පසුවන ලද හුරුබුහුටි දැරිවියකි. ඒ බව උක්ත දක්වන පබළු නගේ- නාමල් තිලකේ - පුංචි ඔසරි මැනිකේ ආදි ලෙස කථකයා ඈ අමතන සුරතල් පද වලින් පසක් වේ. තවද ඈ කෙරෙහි පැවති සෙනෙහස පිළිබදව ද මෙකී සුරතල් පද වලින් මොනවට පැහැදිලි වේ. නමුත් කථකයාගෙන් ඇය සමුගෙන ඇති බවක් එකී පද්‍ය කොටසින් පැහැදිලි වේ. එනම්  උඹ ඇයි නැත්තේ..... යන්නෙනි.  පෙර කථකයාගේ තනි නොතනියට කෙළිදෙලෙන් කාලය ගත කිරීමට ඔහු පසුපස වැටී එන ලද්දේ මෙකී දැරිවියයි. නමුත් දැන් ඇය නොමැති සෙයකි.

වැවේ දියේ ඇති නිකින්නි නිල්ලේ
අඩ හද යායට කෙකටිය පිපිලා
වැව් කන්දේ බෝ ගස් හෙවණේ
මම අද තනියම ඔළිද ගණිනවා
වෙනදා වාගේම තලමල පිපිලා
තිබුණට ඇළ ළග වත්තේ
සුමනෝ - උඹ ඇයි නැත්තේ...

කථකයා අනතුරුව ඇය හා ගෙවූ අතීත ස්මරණයක යෙදෙයි. කථකයාගෙන් මෙලෙස සමුගෙන ඇති දැරිවිය ජීවත්ව සිටි කාලයේදී ඔහු සමග දුව පැන ඇවිද ගිය ඉසව් පිළිබද ඔහුට මෙනෙහි වන්නේ සළරූ පෙළක දසුන් පෙළක් මෙනි. මොවුන් දෙදෙනා ගම්බද පරිසරයක ජීවත් වෙමින් ගමෙහි වූ සුන්දරත්වයන් වින්දනය කරන්නට ඇත. ඒ බව උක්ත පද්‍ය පෙළ ගැස්ම සාක්ෂි දරනු ඇත. වරෙකදී ඔවුන් වැව අසලට ගොස් රුක් සෙවණක හිදිමින් වැවේ අසිරිය බලා සිටින්නට ඇත. අඩ සද පායා වැව් දියමත පතිතවන අයුරු  හා යායට පිපී ඇති කෙකටිය මල් යාය ඔවුන් තුළ ආනන්දයක් ජනිත නොකරායැයි කෙසේ නම් කවරෙකුට තර්ක කළහැක්කේද? පෙර දිනයේ දී ඔහු හා ඇය බෝ ගස් සෙවණක හිද ඔළිද ගනින්නට ඇත. නමුත් කවියා දක්වන  මම අද තනියම ඔළිද ගනිනවා... යන්න තුළින් ගම්‍ය කරනුයේ ඇය ඔහුගෙන් සමුගෙන ගොස් ඇති බවකි. ඇය සිටියානම් ඔහු කිසිවිටකත් තනියම ඔළිද ගනින්නට වන්නේ නැත. මක්නිසාද යත් පෙර ඇය සෙවණැල්ල සේ ඔහු පසුපස වැටී ඔහු සමග සිටි බැවිණි. ඇය කථකයාගෙන් සමුගෙන වැඩි කාලයක් නොවන බවක් ද ධ්වනිත වෙයි.  වෙනදා වගේ ම තලමල පිපිලා තිබුණට ඇළ ළග වත්තේ.... යන්නේන්  එය මනා ලෙස විශද වේ. තලමලක්  දවසකින් පරවී යන්නේද නොවේ. එය මාස කිහිපයක්  එක ලෙස  තිබී ගස සමගම  විනාශ වී යයි. මෙම තලමල පිපී තිබීම තුළින් ඇය  ඔහුගෙන් සමුගෙන වැඩි කාලයක් නොවන බව ධ්වනිතකර සිටී. තවද තලමල පිපීම ගමක අශුභ නිමිත්තක් ලෙස පැරැන්නෝ සලකනු ලබත්. ගම පාලුවට ලක්වීම විනාශයක්  ආදි  ලෙස අශුභ නිමිත්තක් ලෙස පැරැන්නන්ගේ අදහසක් මෙම තලමල පිපීම සලකනු ලබයි. මෙය කවියා යොදාගනු ලබන්නේද කථකයාගේ ළගින්ම සිටි යෙහෙළියගේ වියෝවීම සංකේතවත් කිරීමට බව පෙනේ. කථකයා විමසන්නේ ඈ ජීවත්ව සිටි දවස්වල පිපී තිබුණ තලමල එලෙසම තිබුණ ද ඇය නැත්තේ ඇයි කියාය. ඔහුට ඇය තමගෙන් සමුගත් බව තවමත් සිත් අදහාගත නොහැකි සිහිනයක් බදුය. ඒ තරම් ම ඇය ඔහුට සමීපව සිටින්නට ඇති අතර හිටිහැටියේ සමුගැනීම ඔහුට නම් විශ්වාස කළ නොහැක්කාක්මැයි වෙනදා වගේම තලමල පිපිලා තිබුණට ඇළ ළග වත්තේ....යන්න තුළින් මනාව ස්ඵුට වෙයි.

කවියා අවසාන කොටසින් කථකයාගේ සන්තානයෙහි මැවෙන ඇය සම්බන්ධ අවසාන දසුන් පෙළ මෙනෙහි කරන අයුරක් දක්වන්නාක් වැන්න.

මළහිරු එළියෙන් කොක්කු ගියා දෝ
මිහින්තලා ගල පැත්තේ
පිරුවට ඇද පෙට්ටියක තියලා
පහන් දෙකක එළි මැද්දේ
මදටිය වැටෙද්දී හද කැලතෙන ඇළ
ඒදණ්ඩේ ඉස්මත්තේ
සුමනෝ - ඇයි නුඹ නැත්තේ..

උක්ත පද්‍ය පෙළ දැරිවියගේ අකල් වියෝව පිළිබද සංකේතවත් කරනු ලබයි. කවියා එය දක්වනු ලබන්නේ මළහිරු එළියෙන් කොක්කු ගියා දෝ.... ලෙසිනි. මළහිරු එළියෙන් කොක්කු යාම අශුභ නිමිත්තකි. කථකයාට සිහිවන්නේ මෙකී අශුභ නිමිත්ත ඇගේ අකල් සමුගැනීම සංකේතවත් කරන්නක් ලෙසය. තවද කවියා මෙම කථකයා හා දැරිවි වාසය කළ ප්‍රදේශය පිළිබද ඉගියක් සපයන්නාක් ලෙස මිහින්තලා ගල පැත්තේ.. ලෙස දක්වනු ලැබීමෙන් මනා කොට පසක් වෙයි. එයින් ඇය හා ඔහු මිහින්තලා ආශ්‍රිත ගම්බද පරිසරයක විසූ බවට අපට සිතිය හැකිය. අවසාන වශයෙන්  කථකයාට ඇය හා සමිබන්ධ ඒ අවසාන දසුන සිහිවෙයි. එය කවියා දක්වන්නේ චිත්ත රූප මැවෙන අයුරින් ව්‍යංගාර්ථවත් ලෙසය.  පිරුවට ඇද පෙට්ටියක තියලා පහන් දෙකක එළි මැද්දේ...කථකයා  විසින් හෙළිකරන ලද දැරිවිය මියගිය බවක් සෘජුව ගේයපද රචනාවේ කිසිම ස්ථානයක නොකියවෙයි. නමුත්  ඇය මියගොසිණි. එය කවියා දක්වන්නු ලබන්නේ ව්‍යංගාර්ථයෙනි. පිරුවට ඇද පෙට්ටියක තියලා පහන් දෙකක එළි මැද්දේ... යන්න පාඨක හද සන්තානයේ  සුදු වතකින් සැරසී දෑත ළයෙහි බැද පෙට්ටියක තබා ඇති අයුරු චිත්තරූප මවාලනු ලබයි. ඒ දසුන කථකයා මෙනෙහි වූ විට ඔහුට මෙනෙහි වන්නේ එය සිදුවූ ආකාරයයි. එය ද කවියා දක්වන්නේ ව්‍යංගාර්ථවත්වය.  මදටිය වැටෙද්දී හද කැලතෙන ඇළ...  ‍ලෙසිනි. තවද එය ව්‍යංගාර්ථවත්ව දැක්වීමට කවියා සංකේත වල උපකාරිත්වය පැතු සෙයක් පෙනේ. ඇය මියගියේ පුරුදු පරිදි ඔහු හා සමග සිට සැදෑයාමයේ ආපසු නිවස බලා එන අතර මග තිබූ ඒදණ්ඩෙන් ඇළට වැටීමෙනි. ඇයගෙන් වැගිරුණු ලේ කවියා දක්වන්නේ මදටිය වැටීමක් ලෙසය. එය කොතරම් අපූර්ව සංකේතයක්ද? මදටිය රතු වර්ණයෙන් යුතු බීජ වර්ගයකි. මෙලෙස ලේ මදටිය වලින් සංකේතවත් කිරීම කොතරමි අලංකාරද? කවියා පෘථුල වූ දැනුමක් ඇති අයෙකු සේ ගීතයට ඖචිත්‍ය ලෙස පද ගැලපීමෙන් පාඨක හද සන්තානයේ කරුණ රසය පුරවාලනු ලබයි. මෙම කාව්‍යානුභූතිය නම් අප හද සොවින් බරකරනු ලබන අත්දැනීමක් නොසපයනු ලබන බව කාටනම් කිව හැකිද?


හසිත හර්ෂණ

13 comments:

  1. මේ ගැන මගේ කියවීමත් මීට සමානයි. බොහොම අලංකාරයි!

    ReplyDelete
  2. හරිම හරබර විචාරයක්......

    මම හරිම ආස කරන ගීතයක් හසිත මේක. මං හිතාගෙන හිටියට වඩා දෙයක් අද කියෙව්වා. ඇත්තටම සතුටුයි. බොහොම අගය කරනවා ඔබේ විචාරය......................

    තුෂාර විතාරණ

    ReplyDelete
  3. මේ ගීතයේ යොදාගෙන තියන සංගීතයත් මළගමක් සංකේතවත් කරන්නක්. මළබෙර වැයෙන හඬ, ඒ සමගම අවමංගල පෙරහැරේ නලා හඬ ආදිය සිහිවෙන විදිහටයි සංගීතය නිර්මාණය වෙලා තියෙන්නේ.

    ඇලේ ඒ දණ්ඩ මරණය සිදුවූ ආකාරය පිළිබඳ දෙන ඉඟියක් කියන එක හොඳ උපකල්පනයක්. ඒත් මදටිය වැටීම, ලේ වැගිරීම කියන එකට සමාන කරන්න පුළුවන්ද කියන එක ප්‍රශ්නයක්.... මට නම් හිතෙන්නේ ඒක සොබාදහම විස්තර කෙරෙන අවස්තාවක් කියලා... මදටිය කරල් පුපුරලා ඇට ඇලට වැටෙනකොට ඇලේ තියන හඳේ පිළිබිඹුව කැලඹිලා යන එකයි මෙයින් කියන්නෙ කියලා මම හිතන්නෙ. හැබැයි අපි නොහිතන තේරුමකින් මේක යෙදුවා වෙන්න පුළුවන්.

    රණ්බංඩා සෙනෙවිරත්නගෙ නෑනා මේ විදිහට අකාලයේ මිය ගියා, ඇය වෙනුවෙන් ලියූ ගීතයක් කියලා මම අහලා තියනවා. එතකොට ඔහු ඉඳලා තියෙන්නෙ පාසලේ නේවාසිකාගාරේ... ඔහුගේ අධ්‍යාපනයට (හෝ විභාගයකට ) බාධාවක් වෙයි කියලා දෙමාපියන් මේ බව ඔහුට දන්වලා නැහැ, ගමට ආපුවහම තමයි ඔහු ඒ බව දැනගෙන තියෙන්නෙ. අහපු කතාවක් මිස ඇත්ත නැත්ත දන්නෙ නෑ. නෑසෙන ගීතයක් සාකච්ඡාවට බඳුන් කිරීම ගැන ස්තූතියි

    ReplyDelete
    Replies
    1. ඔබගේ අදහස් දැක්වීම ඉතාම සතුටින් භාරගන්නවා. ඔබ එකතු කළ දේවල් විචාරය තව තවත් පෝෂණය කරා කියලයි හිතෙන්නේ..............

      මදටිය වැටෙද්දි සද කැලතෙන ඇළ ගැන ඔබේ අදහස තුළත් වැරැද්දක් දකින්නේ නෑ....

      බොහොම ස්තූතියි අපිව දිරිගැන්වූවාට.

      Delete
    2. @තිසර &කුරුටු.......රන්බන්ඩා සෙනෙවිරත්න මහත්මයාගේ නෑනාගේ අකල් මරණය නිසා ලියවුනු ගීයක්. ඔහු බොහෝ කම්පාවට පත් වෙලා තියෙනවා මේ සිද්ධියත් එක්ක. ඔවුන් දෙදෙනා කුඩා කල සිට ලඟින් ඇසුරු කර තිබෙනවා. හිරු ටීවී එකේ ලොකෝත්තර කියන වැඩ සටහනේ රන්බන්ඩා සෙනෙවිරත්නයන් ගැන අපූරු වැඩ සටහනක් ගියා මීට කලකට පෙර. එය හැකිනම් නරඹන්න, මේ ගීතය සාකාච්ඡා කරනවා.

      හර්ශ....මෙවැනි ගීත ගැන කතා නොකරන යුගයක ..තරුණ ඔබ ආඩම්බරයක්!!

      Delete
    3. සමාවෙන්න.....හිරු ටීවී හී උත්තරීතර වශයෙන් නිවැරදි විය යුතුය.

      Delete
    4. ස්තුතියි අරු ඒ ආරංචිය මට ගොඩක් වටිනවා....

      Delete
  4. ඇත්තෙන්ම හරිම අපුරු ගීතයක්. පදරචනාව,සංගීතය,ගායනය එකකට එකක් දෙවැනි වෙන්නේ නැහැ.
    සිංදුවේ ඕඩියෝ ක්ලිප් එකක් දැම්මානම් හොදයි වගේ නේද..?

    ReplyDelete
    Replies
    1. මනෝජ්,

      ස්තූතියි ඔබගේ අදහස් වලට.........ඒ වගේ ම ඕඩියෝ එක ගැන අදහසටත්, ඉදිරියේ දී ඒ දේවල් එකතු කරන්නම්කෝ..............

      Delete
  5. මෙක මම ගොඩාක් කාලෙක ඉද ආස සින්දුව.හොද විචාරයක්

    ReplyDelete
    Replies
    1. ඇත්ත දමිත්,

      මේක මටත් හොදට ම දැනුන ගීතයක් ඒකයි විචාරයක් ලියන්න හිතුවේ. කපුගේ මහතාගේ කටහඩ තුළින් මේ ගීතයට පණ ලැබිලා තියෙනවා කියලයි මට නම් හිතෙන්නේ.................

      Delete
  6. මචං අටූවා ටීකා ටිප්පනි ඕන නෑ. උබේ විචාරය නොම්බර් 01

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...