Tuesday, May 31, 2016

පාන්දර දිලෙන පිණි ඔහේ යනවා යන්න.............



දෙනෙත රූරා වැටෙන කඳුළු කැට ඉකිහගයි
මේ හුළං තව තවත් පහන්සිළු අවුලවයි
පාළුවට කවුළුපත් හැරලන්න බැරි හැඩයි
රාස්සිගේ අව්ව විත් සියොළඟම දවාලයි

එපා රෑ නෙත ඇදුනු හීන කැට පාගන්න
පාන්දර දිලෙන පිණි ඔහේ යනවා යන්න
හීන කතරක පේන මිරිගුවට පණ දුන්න
ඉඩෝරෙට කොළ හැළුණු ගස මමයි පිළිගන්න

හිම පියළි වැටේවිද ඉරි තැළුණු බිම් මතට
සරා සඳ නැගේවිද කළු ගැහුණු කඳු අගට
පිපුණු මල් තියේවිද සමනලුන් නැති කලට 
හෙටක් කුමකට මෙහෙම, එපා එළිවෙන්න හෙට.........



තුෂාර විතාරණ




.


Sunday, May 29, 2016

මේ සඳම අද අෑ දකිනවානම්........................











නීල තරු හිනැහෙනවා 
සරා සඳ පූදිනවා
නොපෙනෙනා දුර ඈත ඉඳගෙන
නෙත් අගින් මුමුණනවා

ආදරේ සුව ඇයිද නොදැනෙන්නේ
දිනූ සෙනෙහස ඇයි අහිමිවන්නේ
මේ සඳම අද අෑ දකිනවානම්
ඳේ ඇයි ඈ මා ළගින් නැත්තේ

කෝල වදනින් මා සවන් සනහා
නිල් උපුල්මල් බැල්මකින් රවටා
මේ ස දිහා අපි බලාගෙන ඉමු
ජීවිතේ ඇති තුරා හිත්පටලා



තුෂාර විතාරණ



.

Wednesday, May 18, 2016

ඔබ සුළඟ වගේ......


ගත සනසා ඕවිල්ලේ
හිත සනසා සිලිලාරේ
නෙත සනසා නැළවිල්ලේ
ඔබ ඇදුනා සුළඟ වගේ

ගිය හුළඟක් යළි ඒදෝ
සිසිලස යළි දැවටේදෝ
අහංකාර නෙතක බැලුම්
හැඟුම් පුබුදුවයි...


රැය සරසා රන් එළියේ
තරු ගවසා මල් වැටි සේ
උදා ඉරක් නැගෙන පැයේ
ඔබ සැඟවුණි සඳක් වගේ

ඒ සඳ යළි පායයිදෝ
රන් එළි යළි දිස්වෙයිදෝ
ආල හැඟුම් කොඳ කැකුළක්
හද තුළ පුබුදයි...


නිදි වරමින් රෑ යාමේ
සරමි සිතුම් වනන්තරේ
ගිනියම් වූ යහන කොනේ
ඔබ පිපුනා මලක් වගේ

නිදි ලොව මට යළි එයිදෝ
වන සරණක් දිස් වෙයිදෝ
මංමුලාවු හිත ඇදෙන්නෙ
ඔබේ දෙසටමයි...



අසංක ගයාන් අබේසිංහ

Monday, May 16, 2016

සිල්වා පව් මල්ලී......................



සිල්වා හොදයි මල්ලි...................
ඔය වැදලා ගත්තු ඇමතිකමක් කරගෙන
පොරටොක් දිදී හිටියට
අතට අහුවෙච්චි රාජ්‍ය සේවකයෙක් දෙන්නෙක්
කොහු ළණුවකින් ගස්බැන්දාට
මාධ්‍ය කාරයන්ට සන්දර්ශන පෙන්නලා
උසාවි ගානේ කරක් ගැහුවාට
මාධ්‍ය ආයතන අස්සේ රිංගලා 
සුලුදිය වලින් නෑවාට
පාර්ලිමේන්තුවේ ඉන්න එක දෙයියෙක්ගෙවත්
ලේ බින්දුවක්වත් හෙල්ලුවේ නෑනේ මල්ලී................

සිල්වා හොදයි මල්ලි...................

ස්ටේජ් එකක් මයික් එකක් දැක්ක සතුටට
කුණුහරපයක් දෙකක් කිව්වාට
නොට්ටිගේ පුතා කරපු පව් හින්දා
කතා හදාගත්තාට
යූඑන් එකෙන් එවපු මිනිහෝ නැති උන්ට
තනිරකින දතකෑවාට
කැළණිය පැත්තේ අතුරපු සිමෙන්තිකැට තියා
ගල්කැටයක්වත් ගැලෙව්වේ නෑනේ මල්ලී................

සිල්වා පව් මල්ලී.................

එකට කකා හිටපු උන් ගැන ෆයිල් අරගෙන
පැමිණිලි දදා ඇවිද්දාට
තමන්ගේ පොල්පරාල වහපු උන්ගේ 
පොල්කෙන්දත් පෙන්නුවා
මාධ්‍ය සාකච්ඡා ලෑස්ති කර කර
රහස් කතා කිව්වාට
පාර්ලිමේන්තුවේ හිස්වුණ පුටුවකටවත්
තාම සිල්වා ව ගත්තේ නෑනේ මල්ලී.............


කසුප් අනුරාධ



.

Friday, May 13, 2016

රැග් එකේ රෙද්දෙන් වහන විළිලැජ්ජාව...........................


හැමෝම රෙදි අදින්නේ වහගන්න
ලෝකයාට පෙන්නන්න බැරි කැත
හැබැයි ඔය හැම එකාටම තියෙනවා
රෙද්දෙන් වහගත්තු විළිලැජ්ජාවක්................

වැට් එකයි පැනමා පේපර්ස් වලිනුයි
ජනතාවගේ රෙදි ගලවපු ආණ්ඩුව
හෙලුව වහගන්න ජනතාවට දෙන
රැග් රෙද්ද දැක්කාමත් විළිලැජ්ජාවයි................

පෙරටුගාමීන් බලය ඇල්ලුව හින්දා
කඩේ යන ආණ්ඩුවේ රෙද්දෙන් වැහිලා
කැම්පස් වල ඉන්න උන් හිරේ දාන එක
ජවිපෙ වහන් ඉන්න විළිලැජ්ජාවයි...............

ආණ්ඩුවට කඩේ ගිහින් වල ඉහගන්න
රැග් එකේ රෙද්දෙන් කුහකකං වහන්
තනතුරු බලාන කෙළහලන එක
ලෙචාලා වහගෙන ඉන්න විළිලැජ්ජාවයි...............

රැග් එකට විරුද්ධ ව මැරෙන්න හදලා
එක එකාගේ ආතල් වලට කඩේ ගිහින්
වහගන්න රෙදි නැතුව හෙලුවෙන් දගලන
අපිගැන මතක් වෙද්දිත් විළිලැජ්ජාවයි..............



තුෂාර විතාරණ



.

Wednesday, May 11, 2016

සාධාරණ මැවිල්ල......



විෂ්ණු දෙවිඳු දවසක් දා නිදැල්ලේ
මහා බ්‍රහ්මයා සමගින් වාඩිවෙලා
පුංචි චැට් එකක් දාගෙන හිඳින්නේ
ලෝකෙ සිද්දවෙන දේවල් ගැන හිතාලා

ඔන්න ඉතින් හොඳ මොහොතක් බලාලා
විෂ්ණු දෙවිඳු ඇහුවේ මේ පුරස්නය
මහා බ්‍රහ්ම තුමනි ඉතින් කියනු මැන
හොඳම ලෙසට මැව්වේ ඔබ කුමන රට

මහා බ්‍රහ්මයා දෙවරක් නොසිතාලා
පැනපු ගමන් 'සිරි ලංකා' ලෙස කිව්වා
ඊට එපිට කරුණු තවත් දැනගන්න
විෂ්ණු දෙවිඳු කන අයාන දැන් ඉන්නා

මුහුදෙන් වට වූ මුතු ඇටයකි ඒක
දේශගුණය සමබරවයි මම මැව්වේ
ස්වාභාවික විපත් එහෙම බෝ අවමයි
සාරවත් පසක් එහෙමත් තියෙන්නා

මැණික් නිධිත් මිනිරන් හෙම තියෙන්නා
කවදා හරි ඛණිජ තෙලුත් හොයාගනී
භූමිය යට නෙක සම්පත් බොහොම ඇතී
ඉතින් කොහොම වේදෝ මගෙ මැවිල්ල

විෂ්ණු දෙවිඳු අකම්පාල වී බොහොම
යාප්පුවෙන් මහ බ්‍රහ්මය විමසන්නා
ඔබ වහන්සෙ අසාධාරණය බොහොම
එක රටකට සේරම දේ ඇයි දීලා

බොහ් ගාලා හිනා ගියා මහ බඹුට
මුව අයාන විෂ්ණු දෙවිඳු බලා හිඳී
ගොඩක් වෙලා හිනා වෙලා මහ බ්‍රහ්ම
දුන්නෙ උත්තරේ මේ ලෙස පහදාලා

සේරොම දුන්නත් 'සිරි ලංකා' රටට
ඊට මැව්ව මිනිස්සු ටික බලපල්ලා
අම්මට නෑ අප්පට නෑ කොන්දක් නෑ
නෑ ප්‍රතිපත්ති කිසි එකෙකුට ඇති වැදගත්

එකා පිටට එකා වැටෙයි නරා වළේ
උන් උන්ගේ කකුලෙන් ඇද බිම දාලා
කුළල් කා ගනී උන් උන් පිල් බෙදිලා
දූෂණ නාස්තිය ඉහවහ ගොස් දමලා

උනුත් කා ගනී එහෙයින් රටත් කැවෙයි
'සිරි ලංකා' රටේ විදිහ ඔහොම තමා
මෙච්චර හොඳ බැලන්ස් රටක් තියනවනම්
කියනු යෙහෙකි දෙවිඳු විෂ්ණු දැන් මහට



                                                                  -අසංක ගයාන් අබේසිංහ-

Tuesday, May 10, 2016

- නො එනු මැන -



කිව්වට නාවත් ඔබ මගෙ දිවියට
පෙරදා කඳුලින් ඉල්ලද්දී
එන්න එපා දැන් මගෙ ඇස් මානෙට
ඔහු සතු වී කල් බෝ ඉක්මී

වරක් නොවේ ඔබ හිත රිද්දූයේ
වරද මගේ යයි නිති පවසා
එහෙව් වු වරදක් තවමත් නොදනිමි
පමා වැඩී දැන් ඔබ මෙදිනා

සතුටින් ඇරඹූ ප්‍රේමය නිමියේ
ඇස්වහ කාගේ වැදිලාදෝ
සිහින විජිතයේ නිරිඳුන් ඔබ මුත්
කිරුළු පළන් රජු ඔහු නේදෝ

නොපතන ලෙස මා යළි ඔබෙ දිවියට
වත්මන කඳුලින් ඉල්ලමි මං
පිටුපා ගිය මුත් පෙරදා කඳුලට
අදවත් සලකනු එහි අභිමන්


අසංක ගයාන් අබේසිංහ

Sunday, May 8, 2016

විශ්ව විද්‍යාල නවකවද විචාරය සහ නලීන් ද සිල්වාගේ සුළග එනු පිණිස විචාරය


සුළග එනු පිණිස
විචාරය කරන්නට
ලෙනින්එක පුරවා
මහා සෙනගක්

‘‘මේවා කුණුහරප
කනවා බොනවා
*කනවා විතරයි
කොහෙද චිත්‍රපටියක්‘‘

පළමුව කතාකළ
නලීන් ද සිල්වා 
මහාචාර්ය තෙමේ
පලු යන්න බැණුමක්

ලේ රත්කරන්
පුටු උඩ නගිමින්
අසා සිටි අපෙන්
අත්පුඩි වරුසාවක්

නිහඩව බලාසිට
වේදිකාවට විත්
හදගම ගුරාගෙන්
අහපි පැණයක්

මේ වගේ දේවල්
සර් නොබැලුවත්
බැලුවාද චිත්‍රපටය
කරන්නට විචාරයක්


උත්තරය - 
*&% *&*^ *&$% *&^ $#@ *&% #@$# &^%@ *%^$ 


නිදාන කතාව - කැළණිය විශ්ව විද්‍යාලයේ ලෙනින් එකේ (ලෙනින් එක කියන්නේ ධර්මාලෝක ශාලාවට කියන අන්වර්ථ නාමයයි) දෙතුන් දාහක් පුරවලා සුළග එනු පිණිස විචාරයක් තිබ්බා. මතක විදිහට ඒකට ධම්ම දිසානායක, මහචාර්ය නලීන් ද සිල්වා, අශෝක හදගම වගේ ම තවත් දෙදෙනෙක් විතර ඇවිත් හිටියා කථිකයෝ හැටියට. චිත්‍රපටය අධ්‍යක්ෂණය කරපු විමුක්ති ජයසුන්දර ඇවිත් හිටියේ නැහැ. සාමාන්‍යයෙන් අපි නලීන් ද සිල්වා මහාචාර්යතුමාගේ කතා අහන්න මාර ආසයි. ඒ වෙන මොකවත් ම හින්දා නෙමෙයි. ඒවායේ තියෙන කුණුහරප උද්වේගකර අවස්ථාවන් අහන්නයි. නලීන් ද සිල්වාගේ තියෙන අනික් ලක්ෂණය තමයි හරිම තර්කානුකූල ව ඕනෑම බොරුවක් ඔප්පු කර පෙන්වීම. 

ධම්ම දිසානායක මධ්‍යස්ථ කතාවක් කරා. අනික් කථිකයොනුත් එහෙමයි. ඊට පස්සේ නලීන් ද සිල්වා කතාව පටන් ගත්තා. හ්ම්.... මේවා චිත්‍රපටිද...? මේවාට චිත්‍රපටි කිව්වොත් චිත්‍රපටි වලට මොනවද කියන්නේ....? මේවා කසිකබල් විකාර.... (මේ තමා නලීන් ද සිල්වා කතා කරන විදිහ. දත්මිටි කකා හ්ම් හ්ම් ගගා හෝ ගාලා බනිනවා. විචාරයක් හරි අදහස් ඉදිරිපත් කිරීමක් නෙමෙයි. ඔහු කතා කරද්දි අහගෙන ඉන්න ප්‍රිය ගතියක් එහෙම නැහැ. ඒත් අර බනින කොටස් වලට අපි මාර ආසයි. අනික තමා මේ වෙද්දි නලීන් ද සිල්වා කියන්නේ සයන්ස් ෆැකල්ටියේ මැත්ස් එකේ හෙඩ්. සයන්ස් ෆැකල්ටිය සහ අපේ අනික් ෆැකල්ට් අතර තිබුණ අල-පොදු ගැටුම නිසා අපිට වැඩිය මෙතුමාගේ කතා අහන්න ලැබෙන්නැහැ. චින්තන පර්ශදය කියලා සංවිධායක් හදාගෙන සතියකට සැරයක් විතර ජිම් කැන්ටිම ඉදිරිපිට දේශන තිබුණා. අපි ඉතින් හොරෙන් ගිහින් පිටිපස්සට වෙලා හැංගිලා ඕවා අහගෙන ඉදලා එනවා. ඒ යන්නෙත් බන්න කොටස් අහන්නම තමා.) මේ විදිහට හදගම දිහා බලාගෙන මේ හරකා ගගා බනිනවා. කෙලින් ම අත දිග් කර කර මේ ඉන්නේ බටහිර ගැති බල්ලෝ කිය කිය හදගමගේ දිහාට අත දිග් කරකර බනිද්දි අපිට මාර චූන්. 

මේ විදහට බැනලා අඩියත් පොළවේ හප්පලා නලීන් ද සිල්වා බැහැලා ගියා. ඊට පස්සේ හදගම ආවේ අන්තිම කථිකයා හැටියට. හදගම කැළණියේ ම තමා. ඒ වගේ ම දන්න විදිහට (ඒ වෙලාවෙදි කණ වැකුණ විදිහට) හදගම කියන්නේ නලීන් ද සිල්වාගේ ගෝලයෙක්. ඉතින් හදගම ඇවිත් ඒ කාලේ ගැන ටිකක් මතක් කරලා නලීන් ද සිල්වාගෙන් ප්‍රශ්ණයක් ඇහුවා. දැන් මේ දේවල් මහා ලොකුවට විවේචනය කරන්න ඔබතුමා මේක බලලා තියෙනවාද???????? මේ ප්‍රශ්ණයත් අහලා ඔහු කතාව කරගෙන ගියා. ආයෙම වතාවක් ඉල්ලගෙන කතා කරන්න ඕනේ කියලා නලීන් ද සිල්වා වේදිකාවට ගොඩ වුණා. අපිට ඉතින් ෆුල් චූන්. ඊට පස්සේ අර ප්‍රශ්ණයට උත්තරයක් දුන්නා. 

අනේ යකෝ *&^ මේවා විචාරය කරන්න මට මේවා බලන්න ඕනේ නැහැ. තොපි වගේ *&^% හදන ඒවා මොනවා ද කියලා මං දන්නවා. ආය මේක විචාරය කරන්න *&%$^ සල්ලි වියදම් කරලා මං මේවා බලන්නෑ *&^$......... 

අපි පුටු උඩ නැගලා හූ කිය කිය ගැහුවා අත්පුඩි පාරක් හිටු කියලා........... ඒත් දැන් මේක මතක් කරද්දි හිනායනවා මිසක් ඉතින් වෙන මොනවා හිතෙන්නද නේද???????? 

බ්ලොග් අස්සේ කුරටු ගෑවෙන රැග් එක ගැන ටිකක් කියෙව්වා. ඒ අස්සේ විභියාගේ මේ පෝස්ටුවත් දැක්කා.
https://vibheeshana2.blogspot.com/2016/05/blog-post_8.html ඒ තර්කය දැකපු ගමන් ම මතක් වුණ මේ අත්දැකීම ලියන්න හිතුණා. ඒත් මේක ඒ කිසිවක් විවේචනය කිරීමක් නොවන බවත් කරුණාවෙන් සලකන්න.

ගිම්මිගේ අත්දැකීම - https://gimmigekolama.blogspot.com/2016/05/blog-post.html
ලේ ගේ පෝස්ටුව - https://lepataheena.blogspot.com/2016/05/wilpattuwill-vs-vat.html
නයිනාගේ පෝස්ටුව - http://naiyageni.blogspot.com/2016/05/blog-post_8.html
ට්‍රාන්ස්ගේ පෝස්ටු - http://transyl2014.blogspot.com/2016/05/blog-post_5.html
                                           - http://transyl2014.blogspot.com/2016/05/blog-post_6.html
ගෝමස්ගේ පෝස්ටුව - http://chandimagomes.blogspot.com/2016/05/the-ugly-face-of-ragging-in-sl.html
කතිකා හී පෝස්ටුව - https://kathika.wordpress.com



තුෂාර විතාරණ

.

Wednesday, May 4, 2016

රත්නපුර පැල්මඩුල්ල උඩරංවල විද්‍යාලයේ නෙලුම් මල් පිපුණු දා..........




දුවේ,
ඔය පහණ වගේ
දවසක දැල්වෙමින්
පාසල විතරක් නෙමෙයි
ලෝකය ම එළිය කරන්න...
දුෂ්කර මාවතක යන 
හැම ගමනක ම අවසානයේ
ජයග්‍රහණය තියෙනවා...
සුමට පාරක ගිහින්
ජීවිතේ දිනපු උන්ට වඩා
නුඹලාගේ ජයග්‍රහණය වටිනවා...
මොකද ඒ ජයග්‍රහණය 
දුක පරදා අත්පත් කරගත්තු 
තනිකර ම නුඹලාගේ 
ජයග්‍රහණයක් වන නිසා...


ජීවිතේ කියන්නේ ම
මහ අමුතු දෙයක්...
දුක කියන්නේ ම
හැමෝම විදින දෙයක්...
කදුළ කියන්නේ ම 
සිනහවට අභියෝගයක්...
වේදනාව කියන්නේ ම
සතුටට ආරාධනයක්...
ජයග්‍රහණය කියන්නේ ම
පරාජයන් පරාජය කිරීමක්.....


ඊයේ දිනයේ අප විසින් රත්නපුර පැල්මඩුල්ල උඩරංවල විද්‍යාලයේ දරුවන්ගේ භාවිතාව සදහා ඡායාපිටපත් යන්ත්‍රයක්, ටෝනර් 03ක්, පාසලේ සියලුම දරුවන්ට පොත් රැගෙන ගියා. ඒ කටයුත්ත අති සාර්ථක ව සිද්ධ වුණා. අපි උදේ 10 ට යන්න සැලසුම් කරලා තිබුණාට මාර්ග දුෂ්කරතාවය නිසා අපිට පොඩි දුරක් යන්න පැය දෙකක් ගත කරන්න වුණා. විදානේ විසින් ෆොටෝ කොපි මැෂිම සහ පොත් ටිකත් ටෝනර් ටිකත් පටවාගෙන ඔහුගේ නිලරථයේ ගියා. විදානි, පොඩි විදානි, සබරේ ඇනෝ සහ රූපිකා මිස් ඒ රථයේ ගියා. විදානෙගේ ප්‍රිය බිරිදගේ නිල රථයේ රියදුරු වුණේ මම. මං ෂාරුක්ඛාන් වගේ යද්දි ලංකා බැංකුවට වෙලා ස්ථාවර තැන්පතුවන පොළිය ගණන් බලමින් සිටි ප්‍රසන්න අයියා ඒ ස්කූටරයට නංවා ගත්තා (ආ.... ප්‍රසන්න අයියා හොද මේකප් එකක් දාලා ඇවිත් හිටියා.... ) අපි දෙන්නා ස්කූටරයෙනුත් අර කලින් කියපු සෙට් එක කාර් එකෙනුත් කිලෝ මීටර් 10 ක් පමණ වූ දුෂ්කර ගමන පටන් ගත්තා. 

විදානෙගේ රථයට පාරේ තියෙන වලවල් නිසා ගමන් කිරීම හරිම අපහසු වුණා. ඉතින් අපිත් පිටි පස්සට වෙලා හෙමි හෙමින් ගමන ගියා. උඩරංවල පාසලට යන්න කිලෝමීටර් 03 ක් පමණ පෙර අපිට හමුවුණ හංදියේ සිට අර විදානේ කියපු ඩිමෝ බට්ටා වර්ගයේ වාහනය සහ ත්‍රීවිලරයක් මගින් අපිට ප්‍රවාහණ පහසුකම් දුන්නා. ඒත් ස්කූටරයේ රියදුරුකම දිගට ම කරගෙන යන්න වුණේ පණ බයෙන් පිටිපස්සේ එල්ලිලා හිටපු ප්‍රසන්න අයියා ද පරිස්සමට අරගෙනමයි. කොහොම හරි නොහිතපු තරම් දුෂ්කර මාර්ගයේ තත්වය නිසා අපි පැයක් පරක්කු වෙලා පාසලට ගියා.

ඊට පස්සේ අපිට අර රූප වල තියෙන කෑම මේසය භාර දුන්නා. අපි ඉතින් ඒක පරිස්සමට පාවිච්චි කරා. එතනදී ඔන්න විදානේ හැලප 05 ක් කාපු කතාවනං අපි කාටවත් කියන්නෑ කියලත් පොරොන්දු වුණා. (ඒ ගැම්මෙන් තමා අර අග මුල ගැලපෙන කතාව විදානේ ස්ටේජ් එක උඩදි කරේ කියලත් මට පස්සේ පුද්ගලිකව ම කිව්වා) පස්සේ අපි 06 වසරෙන් ඉහළ දරුවන් රැස්කරලා පාසල විසින් ලෑස්ති කරපු චාම් සහ පොඩි කාලයක් ගත්තු වැඩසටහනට සහභාගී වුණා. දරුවන්ට ඒ හරහා ලොකු පණිවුඩයක් ගියා කියලත් අපිට වැටහුණා. ඒකෙදී කියපු දේවල් දෙකක් ගැන විශේෂයෙන් කියන්න ඕනේ. මට හිතට වැදුණ ම දේවල් දෙක.

01. නියෝජ්‍ය විදුහල්පතිතුමා - ඔබේ මිතුරු සංසදයේ නම ඔබට හොදට ම ගැලපෙනවා. ඔබ ඇත්තට ම නෙළුමක්. වෙනත් පාසල් වල සහ මිතුරන් අතර තියෙනවා 85 කණ්ඩායම 09 වැනි කණ්ඩායම වගේ මිතුරු සංසද. හැබැයි ඒවාගේ දී වෙන්නේ එකතු වෙලා ආතල් එකක් අරගෙන යන එකයි. නමුත් ඔබ එහෙම නැහැ. එවැනි මිතුරු සංසද තියෙන මඩ ගොහොරුවේ ම ඔබ හිටියට ඔබ එයින් උඩට ඇවිත් නෙලුමක් විදිහට පිපිලා රටටම සුවද දෙනවා. ඒකයි ඔබේ විශේෂත්වය.

02. ප්‍රධාන ශිෂ්‍යනායකයා - මේ වැඩසටහනේ දී අපිට දකින්න තියෙන වැදගත් ම දේ තමා මිතුරන් පිරිසක් කරන වැඩක්. මිතුරන් කියන්නේ එකතු වුණොත් මහා දෙයක් කරන්නට හැකි එකමුතුවක්. ඒ නිසා මේ මිතුරන් පිරිස අපිටත් හොද ආදර්ශයක් දෙනවා කවදා හරි දවසක අපිටත් හැකි වුණාම මේ විදිහට යමක් කරන්න කියලා. 

මේ එයාලා කියපු වචන එහෙමම දානවා නොවුණට. ඒ කියපු දේ මීට ගොඩක් සමීපයි කියලා මට විශ්වාසයි. තව දෙයක් තමා මේ හැම කෙනෙකුගේ ම කතා වල දී සහ අපි සමග එළියෙදී කතා කිරීමේ දී පවා මං දැකපු අනික් විශේෂත්වය තමා මේ හැම දෙනාම නෙලුම්යාය බ්ලොග් මිතුරෝ බ්ලොග් සහෘදයෝ වගේ වචන කිසිම පැටලීමකින් සහ අමුත්තකින් තොරව භාවිතා කරා. ඔවුන්ට ඒක ඒ තරම් සමීප වීම ඇත්තට ම පුදුමයි. ඒ වගේ ම සතුටුයි. අනික තමා ඒ පාසල විතරක් නෙමෙයි ඒ ගමම අපි ගැන දැනගෙන හිටියා. හැමෝ ම අපිව බලාපොරොත්තුවෙන් හිටියා. අපි අර විදානෙ කියපු ඩිමෝ බට්ටට බඩු පැටවූ වෙලාවෙදිත් අනික් අය අපි කවුද කියලා දන්නවා. වැඩේ ඉවර වෙලා මමයි ප්‍රසන්න අයියයි හංදියට ආවාම විදානෙලා ආපු ත්‍රීවිලරයේ පැච් එකක් ගිය නිසා වෙනත් ත්‍රීවීලරයක් එවන්න පුළුවන් ද ඇහුවාම අපි එතැන තිබුණ ත්‍රීවිලරයකට කතා කරද්දි ඔවුනුත් ඇහුවා අර ඉස්කෝලේ උත්සවයට ආපු මහත්තුරුද කියලා. ඒ තරම් ඒ අය අපි ගැන දැනගෙන හිටියා. ඒකෙන් ම පේන්නේ ඒ ගමට පාසලට දරුවන්ට සහ මිනිස්සුන්ට ඒ පරිත්‍යාගයේ වටිනාකම කියලයි මං නං දකින්නේ. 

ඇත්තට ම මේ වැඩේ දී ස්තූතිවන්ත වෙන්න ඕනේ හැම වැඩක් ම කරට අරන් කරපු විදානෙට. අනික් කෙනා තමා සබරේ. ෆොටෝ කොපි මැෂිම පළාත් සභාවෙන් නිදහස් කරලා දීම, ටෝනර් ලබා දීම, වගේ වැඩ සබරේ කරා. විදානේ පාසල සමග දිගට ම සම්බන්ධීකරණය කරමින් දවස් ගාණක් පාසලටයි පළාත් සභාවටයි ගියා. ඒ නිසා මේ දෙදෙනා විසින් මේ කටයුත්තේ වැඩි මහන්සියක් දැරූ බව අනිවාර්යෙන් ම මතක් කළ යුතුයි. ආ.... පළාත් සභාවේ රූපිකා මිසුත් ලොකු මහන්සියක් වුණා... (ඕක කිව්වේ නැත්තං හරි නැහැනේ නේද???)

මූල්‍යමය දායකත්වය අතින් නෙලුම්යාය හැටියට මේ වැඩේ ගැන සදහන් කළ විට ම අජිත් අයියා විසින් පොරොන්දු වූ පරිදි රුපියල් 15,000 ක මුදලක් ලබා දුන් අතර විදානේ විසින් නෙලුම්යායෙන් ලැබුනු තෑග්ගෙහි මුදලත් මුලින් ම යෙදවූවා. අනෙකුත් වියදම් අපි විසින් බෙදා ගැනීමේ පදනමින් වැඩේ කරගෙන ගියා. මීට අමතර ව මධුමාධවී, සබරේ, ප්‍රසන්න අයියා සහ අපි මුදලින් මේකට දායක වුණා. 

විශේෂ ස්තූතිය - ස්කූටරයේ වලවල් වල වැටෙද්දි මීක් සද්දයක් නොකර පිටි පස්සේ එල්ලී පැමිණි ප්‍රීති සින්ටා ආ නැහැ නැහැ ප්‍රසන්න අයියාට...... 



මෙන්න නෙලුම් මල ගහපු ෆොටෝ කොපි මැෂිම




විදානෙගේ පෝස්ටුවට - http://cvpsur.blogspot.com/2016/05/blog-post.html

ප්‍රසන්න අයියාගේ පෝස්ටුව - https://chaprasanna.blogspot.com/2016/05/blog-post.html








කුරුට්ටෝ
.

Tuesday, May 3, 2016

ගඟ ගලා ගියා......


ඈත කන්දෙන් ගලා ආ සඳ
දහර සමගින් එක්වෙලා
ඔබේ සුදු මුදු නැවුම් ආලය
මගේ ලොව මන්මත් කළා

රැහැයි නාදෙක පාළු අරණක
දෙදෙන එක්වී තනිවෙලා
ලොව්තුරා රස පහස ගඟුලක
හිතුමතේ කිමිදුම් කළා

එකම ගඟුලක දෙපස ඉවුරක
අපි මෙසේ ඇයි වෙන්වෙලා
කිමිද එන්නට නොහැක මා හට
ගඟ දියත් සැඩ රළු වෙලා

ගඟ දියේ ඇයි ඔබ ගියේ
ඇය රැගෙන සරු කෙත් ගං බලා
මං මෙසේ අද තනි වුණේ මැයි
නිසරු නිම්නෙක හුදකලා


 

අසංක ගයාන් අබේසිංහ
Related Posts Plugin for WordPress, Blogger...